දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Thursday, November 6, 2014

කොහොඹ (Azadirachta indica)

කොහොඹ ශක්තිමත් කඳක් හා විහිදී යන අතු සහිත අඩි 50-60 පමණ උසට වැඩෙන ශාකයකි. එහි පොත්ත දුඹුරු පාටය. ළපටි අතුවල පොත්ත සිනිඳුය. පත්‍ර තරමක් ළං ළංව පිහිටා ඇත. එවා පක්ෂවත්ය. එක් එක් පත්‍රයක ළා කොළ පාට සිනිඳු පත්‍රිකා ජෝඩු 2-8 දක්වා ඇත. පත්‍රයක අග්‍රස්ථ පත්‍රිකාවක් සහිතය. පත්‍රිකාවල හැඩය ලංසාකාර-දාත්‍රාකාරය. ඒවායේ දාරය දන්තූර-කරපත්‍රිකය. කක්ෂීය පුෂ්පමංජරි සංයුක්ත ඒකාක්ෂියකි. පුෂ්ප හටගන්නේ මාර්තු-මැයි කාලයේ ය. මල සුදුපාටය, කුඩාය, සුවඳවත්ය. එවා ද්වීලිංගිකය. දල ආයතය, ඵලය අෂ්ටිලයකි. එය තරමක් ගෝලාකාරය, සිනිඳුය, මොටය. එක් එක් ඵලයෙහි තනි බීජයක් තිබේ.

කොහොඹ බහුලව වැවෙන්නේ ලංකාවේ වියළි ප්‍රදේශවලයි. යාපනය. වව්නියාව, පුත්තලම, අනුරාධපුරය, ත්‍රිකුණාමලය හා හම්බන්තොට කොහොඹ ගස් බහුලව වැවේ. කොහොඹ ගසේ පොත්ත තිත්තය. කහට සහිතය. එයින්ද බොහෝ ඔෟෂධ තනනු ලැබේ. කොහොඹ කොළවල යුෂයද ඉතා තිත්තය. කහට සහිතය. එයින්ද බොහෝ ඖෂධ තනාගනු ලැබේ. කොහොඹ කොළවල යුෂය කෘමිනාශකයක් හා විෂබීජ නාශකයක් සේ ද යොදා ගැනේ. කොහොඹ ගසේ ලීයට කෘමීන්ගෙන් හානි සිදු නොවන නිසා බොහෝ කල් පවතී. කොහොඹ ශාකය මෙලියාසේ (Melliaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කොහොඹ හැඳින්වෙන්නේ "නිමිඛ", "පිවුමන්ද" හා "අරිෂ්ට"  යන නම්වලිනි. නිමිඛ (කොසඹ) හා මහා නිමිඛ (මහා කොහොඹ) යයි කොහොඹ දෙවර්ගයකි. කොහොඹ තිත්තය, සිසිල්ය. සෙම් රෝග, රක්ත දෝෂ, පිත්ත දෝෂ, කුෂ්ට හා වණ නසයි. නොපැසුණු වණ පැසවයි. පැසුණු වණවල සැරව පිට කරයි. පෙනහලු රෝග, උණ රෝග, ආහාර අරුචිය, කුරුමිණි හා පණු රෝග, වමන රෝග හා ඉදිමීමේ රෝග සුවපත් කරයි. ක්ෂය, විෂ, පිත්, දැවිල්ල හා වාතය පහ කරයි. මල බඳියි. කොහොඹ කොල ඇසට හිතකරය. කෘමි විෂ දුරු කරයි. වාතය වඩයි. මහ කොහොඹ තිත්තය. කුෂ්ට. රක්ත දෝෂ, උණ හා මී විෂ නසයි. 

කොහොඹ ඇටවලින් සාදා ගනු ලබන තෙල් කහ පාටය. කටුකය, තිත්තය. එහි අප්‍රිය ගඳක් ඇත. ඉන්දියාවේ බෙහෙවින් කොහොඹ තෙල් නිශ්පාදනය කෙරේ. ඒ ඖෂධයක්, කෘමිනාශකයක්, පහන් දල්වන තෙලක් ආදී වශයෙන් ප්‍රයෝජනයට ගනු පිණිසයි. කොහොඹ තෙල් වෙනත් තෙල් හා මේද සමග මිශ්‍ර කොට සබන් සාදනු ලැබේ. ගව ආදී සතුන්ගේ ශරීරයෙහි වසන මැක්කන් බඳු කෘමීන් පහ කිරීම හා එම සතුන්ගේ තුවාලවල මැස්සන් ඉහඳ තැබීම වැළැක්වීම සඳහා කොහොඹ තෙල් ආලේප කරනු ලැබේ. වණ, කුෂ්ට, දද හා සමේ කැසීම් ආදියට ප්‍රතිකාර වශයෙන් භාවිතා කරන තෙල් හා ආලේපන රාශියකට කොහොඹ තෙල් එකතු කෙරේ.

කොහොඹ කොළවලින් හා කොහොඹ තෙල්වලින් සාදා ගත් මිනිසාට හෝ පරිසරයට හානි නොවන ශාකමය කෘමිනාශක ඇතැම් රටවල භාවිතා කෙරේ. කොහොඹ ඇට කොටා වණ්ඩුවේ තම්බා මිරිකා තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඩු (මුරුවට) දිය කොට හොඳින් කලතා පෙරාගත් තෛලෝදය ඉතා හොද කෘමිනාශකයකි. මෙහි ගුණය හිරු එළියෙන් විනාශවන නිසා හිරු නැගෙන්නට පෙර ඉසීම වඩාත් යෝග්‍යයි. මේ තෛලෝදයෙන් පළඟැටියන්, පණුවන්, පිටිමකුණන්, මඳුරු කීටයයන්, ගොළුබෙල්ලන්, ගෙමැස්සන්, කුරුමිණියන් හා ජපන් කුරුමිණියන් මර්දනය කළ හැක. 

ධාන්‍ය වර්ග ගබඩා කරන විට ඒවාට කොහොඹ කොළ මිශ්‍ර කිරීමෙන් ඒවා පුස්, ගුල්ලන් හා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගත හැකි බව සනාථ වී තිබේ. මේ වන විට බටහිර රටවල පවා කෘමිනාශකයක් ලෙස  කොහොඹ තෛලෝදය භාවිතා කරයි.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ_ අන්තර්ජාලයෙන් 



Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support