දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, May 10, 2016

ගලිස් [Galis] (Gardenia crameri)

කොල්ලෑකඩ සහ දකුණු පලාතේ පහඬර යනුවෙන් ද හඳුන්වන ගලිස් මීටර් 4 ක් පමණ උසට පඳුරක් ආකාරයෙන් අතු පැතිරී වැඩෙන, මෙරටට ආවේනික ශාක විශේෂයකි. දිවයිනේ වියළි ප්‍රදේශවල ගල්තලාවන් ආශ්‍රිතව මෙම ශාක සමූහ වශයෙන් දක්නට ලැබේ. සරල පත්‍රවල පත්‍ර තලය අඩියක් දක්වා දිගු වන අතර දිලිසෙනසුලුය. එක් ස්ථනයකින් පත්‍ර තුන බැගින් හට ගන්නා අතර ඒවා වලයක් ලෙස පිහිටයි. මල් සුදු පැහැතිය. පෙති 6-8 පමණ පිහිටයි. කොළ පැහැති ඵලය ගෝලාකාරය. මෙම උද්භිද ගණයටම අයත් අප රටට අාවේනික ගලිස් නමින්ම හඳුන්වන කහ පැහැති මල් පිපෙන තවත් ශාකයක් ඇති  අතර එය Gardenia fosberghii යන උද්භිද නාමයෙන් හඳුන්වා ඇත. ආසියානු රටවල් කීපයක වැවෙන Gardenia latifolia ශාකය ද ගලිස් ලෙස හඳුන්වා ඇති අතර එය දේශීය ශාකයක් බවට තොරතුරු වාර්ථාවී නැත. ගලිස් Rubiaceae කුලයට අයත් ශාකයකි.

වණ, තුවාල, දත් කැක්කුම, කුසගිනි මදිකම, අජීර්ණ, උදර වේදනා, අර්ශස්, වටපණු රෝගය, හෘද දුර්වලත්වය, ප්ලීහා රෝග, චර්ම රෝග, ක්ෂය රෝගය, ඇදුම, ඉක්කා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ගලිස් ශාකයේ දළු කොළ සහිත ළපටි කොටස් පොඩිකිරීමේදී සෑදෙන දුම්මල වැනි මැලියම් වර්ගය භාවිතා කරයි. මෙම ශාකය කොල්ලෑකඩ නමින් හඳුන්වා ඇත්තේ ද කොළ වලින් ලාකඩ ලබාගත හැකි යන අරුතිනි. ඉදුණු ගෙඩියෙහි කටුව ඉවත්කර පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
විශේෂ ස්තුතිය_ උදය ගුරුසිංහ මහතාට සහ හිනිදුමවිතානගේ සෝමාවතී මහත්මියට
Share:

Monday, May 2, 2016

මුස්සැන්ද [Mussenda] (Mussaenda frondosa)

ගැමි ව්‍යවහාරයෙහි වෙල් බුත්සරණ යනුවෙන්ද හඳුන්වන මුස්සැන්ද මීටර් 2 ක් දක්වා උසට වැඩෙන බහුවාර්ෂික පඳුරු ශාකයකි. මදක් ඔවාලාකාර හැඬයෙන් යුතු පත්‍රවල සියුම් බූවක් දක්නට ලැබේ. මෙහි හටගන්නා කුඩා මල් දීප්තිමත් තැඹිලි පැහැයකින් යුක්තය. ප්‍රකටව පෙනෙන විශාල සුදු පැහැති මණිපත්‍ර පිහිටා ඇති අතර ඒවා කීප ආකාරයකට සකසා ආහාරයට ගත හැකිය. මෙම සුදුපැහැති පත්‍ර පොල්කිරි මිශ්‍ර හාල් පිටිවල බහා පොල්තෙලෙන් බැද සකසා ගන්නා පපඩම් වැනි ආහාරය කුඩා දරුවන්ගේ ධාරණ ශක්තිය වඩවන බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" සඳහන් වේ. කොළ පැහැති ගෙඩි බූව සහිත වන අතර පොකුරු වශයෙන් දක්නට ලැබේ. මුස්සැන්ද Rubiaceae කුලයට අයත් ශාකයකි.

සෙංගමාලය, දැවිල්ල, වණ, ඇදුම, උණ, උදරාබාධ, ඇස් රෝග, මකුළු දෂ්ට කිරීම්, ස්නායු පද්ධතියේ රෝග, සුදු ලාඳුරු, උන්මාදය, ක්ලාන්තය, ශීර්ෂ රෝග, පිපාසය, සෙංගමාලය, පාණ්ඩුව, කල්ගතවූ තුවාල ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බව සඳහන් වේ. මෙහි කොළ,මල්, මුල්, ඇට සහ සම්පූර්ණ ශාකයමත් ඔසු සඳහා ගනී. ධාරණ ශක්තිය වර්ධනය සඳහා මුස්සැන්ද මුල් ක්වාතය හෝ මුස්සැන්ද ඇට චූර්ණය මී පැණියෙන් දීම, දිවි මකුළු විෂට මුසුසැන්ද ශාකය සහමුලින් ගෙන කොටා ගත් ඉස්ම උදෑසන තුනක් බොන්නට දී එම රොඩු මලවා සතා කෑ තැනට බැඳීම, සෙංලමාල රෝගය සඳහා මුස්සැන්ද කොළ කැඳ කිතුල් හකුරු සමඟ බීමට දීම, පහසු ප්‍රතිකාරයන්ය. මුස්සැන්ද කමොද්දීපක, මුත්‍රකාරක, ධාරණ ශක්තිය වඩවන ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support