දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, December 31, 2017

වල් ඇඹරැල්ලා [Wal Ebarella] (Spondias pinnata)

වල් ඇඹරැල්ලා මීටර් 25 ක් දක්වා උසට සහ සෙ.මි. 60 දක්වා විශ්කම්භයක් සහිතව වැඩෙන විශාල පතනශීලී වෘක්ෂයකි. ඝණකම් පොත්ත සිනිඳුය. පොත්ත පළුදු කළ විට උකු මැලියම් ද්‍රාවණයක් ස්‍රාවය වෙයි. ළපටි අතු සහ කොළ කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 40 දක්වා දිගු විය හැකිය. එක් පත්‍රිකාවකින් අවසන් වන සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 5-11 අතර සංඛාවක් පිහිටයි. සෙ.මි. 10 පමණ දිග පත්‍රිකාවන්ගේ හැඩය අණ්ඩාකාර අායත සිට ඉලිප්සාකාර ආයත වේ. අග්‍රස්ථ පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා නිර්වෘන්ත පුෂ්ප සුදු පැහැතිය. ඉලිප්සාකාර ඵලය අෂ්ටිලයකි. ළපටි ඵලය කොල පැහැතිවන අතර ඉදුණු පසු කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී. ඵලය මධ්‍යයේ පිහිටි ගණ තන්තුමය ආවරණයකින් වටවුනු බීජ 2 හෝ 3 පිහිටයි. Wild Mango යනුවෙන්ද හඳුන්වන වල් ඇඹරැල්ලා Anacardiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

විශේෂයෙන් දේශීය වෙදකමේ කොඳුඇට පෙල ආබාධ සහ කැඩුම් බිඳුම් සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා ශාකයේ පොතු භාවිතා කරයි. එමෙන්ම මෙම ගෙඩි පිත අධික බව සහ කුසගිනි මදිකමට ප්‍රතිකාර කිරීමටත්, ගෙඩිවල යුෂ කණ් කැක්කුමට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. එමෙන්ම උදරාබාධ, අතීසාරයට, ආතරයිට්ස්, හන්දි ඉදිමීම ආදී රෝග සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා පොතු භාවිතයට ගනී. මෙම මුල් කාන්තාවන්ගේ ඔස්ප් චක්‍රය ක්‍රමවත් කිරීමට භාවිතා කළ හැකි බව සඳහන්. එමෙන්ම අතීසාරය, පාචනය, වණ, තුවාල, පිලිස්සුම්, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වල් ඇඹරැල්ලා ශාක කොටස් භාවිතා කළ හැකිය. වල් ඇඹරැල්ලා ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. 

වල් ඇඹරැල්ලා කොළ සලාද ලෙසත්, අමු ගෙඩි ව්‍යංජන ලෙස සකසා අහාරයට ගත හැකිය. අමු ගෙඩි කාමවර්ධණ ගුණයෙන් යුක්තය. ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඒවායෙහි සමේ රෝග සුව කිරීමේ ගුණ සහිත බව සඳහන්. ගිණි කූරු, තාවකාලික ඇසුරුම් ආදිය නිපදවීමට මෙම ශාකයේ දැව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන් සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 24, 2017

ඇඹරැල්ලා [Ebarella] (Spondias dulcis)

ඇඹරැල්ලා ශක්තිමත් නොවන කඳක් සහිත පතනශීලී හෝ පතනශීලී නොවන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ සහ අතු සිනිඳු වන අතර පොත්තෙන් මැලියම් ස්‍රාවය වෙයි. ඒකාන්තරව පිහිටන අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සෙ.මි. 45 දක්වා දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 3-7 දක්වා පිහිටන අතර එක් පත්‍රිකාවකින් අවසන් වේ. අග්‍රස්ථීය පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. කුඩා ද්වීලිංගික පුෂ්ප කොළ පාටට හුරු කහ පාටය. ඵලය සෙ.මි. 7 පමණ දිග අණ්ඩාභ හැඩැති මාංසල අෂ්ටිලයකි. සොලමන් දූපත්, ක්‍රිස්මස් දූපත්, මලුකු වැනි ඔස්ටේලියානු අර්ධද්වීපය අවට දූපත් රාජ්‍යයන් කීපයකට පමණක් දේශීය වන ඇඹරැල්ලා ශාකය මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයකට ව්‍යාප්තව ඇත. මෙකල ගෙවතුවල වගා කරන මිටි ඇඹරැල්ලා නම් කුඩා ශාකය මෙම විශේෂයේම ප්‍රභේදක් ලෙස සැලකේ. එමෙන්ම මෙම උද්භිද ගණයටම අයත් වල් ඇඹරැල්ලා (Spondias pinnata) නම් දේශීය ශාකයක් ඇති අතර එය මෙරට සහ වෙනත් රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල ඖෂධ සඳහා භාවිතා කරයි. ඇඹරැල්ලා  වර්ග Anacardiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ගණ්ඩමාලය, මුත්‍ර මාර්ගයේ ඉදිමුම්, ග්‍රහණි, අතීසාර, අර්ශස්, අහාර අරුචිය, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම, දරු ප්‍රසූතියෙන් පසු ලේ වහනය, අම්ලපිත්තය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කල්ගතවූ කුෂ්ට, කැස්ස, කක්කල් කැස්ස, උදරාබාධ, ශ්වේත ප්‍රදර, පූය මේහ, රක්තඅතීසාරය, ප්‍රවාහිකා, තුවාල, පිලිස්සුම්, අක්ෂි රෝග, උගුරේ තුවාල සහ මුඛයේ ආසාදන ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා ශාකයේ පොතු, කොළ, ගෙඩි ආදිය භාවිතා කරයි. 

සෙම ඉවත් කිරීමට ඇඹරැල්ලා ගසේ පොත්ත පිට කුරුට්ට ඉවත්කර එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගෑ යුතුය. බෙල්ල ඉදිමීමට ඇඹරැල්ලා පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බලේලේ ගෑමට නියම කර ඇත.  ඇඹරැල්ලා පොතු, අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ගෑම ගණ්ඩමාල රෝගයට ප්‍රතිකාරයකි. තැල්මට ඇඹරැල්ලා පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගායි. කල්ගතවූ කුෂ්ට හා කක්කල් කැස්සට හොඳියෙන් පැසී ඉදුණු ගෙඩි පොතු හැර, ගෑරොප්පුවකින් සිදුරු කර මී පැණියේ බහා තබා දිනපතා ගෙඩිය බැගින් කෑමට ගත යුතුය. ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම. මුත්‍ර මාර්ගය ආශ්‍රිත ඉදිමීම්, දියවැඩියාව, ශ්වේත ප්‍රදර, පූය මේහ, ප්‍රවාහිකා, රක්ත අතීසාර ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා පොතු කෂාය යොදා ගනී. 

අමු ඇඹරැල්ලා ගෙඩි ව්‍යංජනයක් ලෙසත්,  ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් කෑමට ගත හැකිය. ඇඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකසා අහාරට එකතු කර ගැනීමට පුලුවන. එමෙන්ම ඇඹරැල්ලා යොදා ගෙන ජෑම්, චට්නි, අච්චාරු ආදිය සාදා ගත හැකිය. අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයටත්, හෘද රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ටත් එළවළුවක් ලෙස මෙන්ම පළතුරක් ලෙස ද ඇඹරැල්ලා ආහාරයට ගැනීම ගුණදායක ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 17, 2017

විෂ්ණුක්‍රාන්ති [Vishnukranthi] (Evolvulus alsinoides)

විෂ්ණුක්‍රාන්ති පොළව මත වැතරී වැඩෙන හෝ ඇතැම් විට ඉහලට වැලක් ආකාරයෙන් වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම සේදවන් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර හැඩයෙන් ඉලිප්සාකාර සිට රේඛීය ආයත වේ. පත්‍රයක දිග සෙ.මි. 0.8 සිට 2.6 දක්වා විය හැකිය. පුෂ්ප මංජරිවල මල් 1-5 සංඛාවක් පිහිටයි. නිල් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය ගෝලාකාර ස්ඵෝටිකාවකි. ඵලයක් තුල අණ්ඩාභ හැඩැති බීජ 4 පිහිටයි. විෂ්ණුක්‍රාන්ති ශාකයට තරමක් සමාන මෙම  උද්භිද ගණයටම අයත් Evolvulus glomeratus නම් විදේශීය විසිතුරු ශාකයක් ඇති අතර බොහෝ දෙනෙක් එය විෂ්ණුක්‍රාන්ති යැයි වරදවා ඖෂධ සඳහා භාවිතා කරන බව දැන ගන්නට ඇත. පඳුරක් ආකාරයට වැඩෙන එම ශාකයේ විෂ්ණුක්‍රාන්ති ශාකයේ තරම් බූවක් නොපිහිටන අතර මල සාපෙක්ෂව කිහිප ගුණයකින් විශාලය. මෙම ශාක දෙකේ සංසංදනාත්මක ඡායාරූපයක් පහත පලකර ඇත. දේශීය ශාකයක් වන විෂ්ණුක්‍රාන්ති  Connvolvulaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

භාරතීය මූල් ආයුර්වේද ග්‍රන්වථල ශංඛපුෂ්පී නමින් හඳුන්වන ඖෂධීය ශාකය වෙනුවට දේශීය විෂ්ණුක්‍රාන්ති පැළෑටිය භාවිතා කරයි. ශංඛපුෂ්පී හෙවත් සක්මල් සහ  විෂ්ණුක්‍රාන්ති යන ශාක ද්විත්වය ගුණ වශයෙන් බලන කල්හි සමානතා ඇති බව විද්වත් මතයයි.

කෝලවාත, ඉලප්පුව, ඇම්ම, සන්නිපාත උණ, අහාර අරුචිය, කැස්ස, ඇදුම, ස්වාස නාළිකා ප්‍රදාහය, අපස්මාරය, රුධිර දෝෂ, ගලගණ්ඩය, කුෂ්ඨ, ළාඳුරු ඇතුළු චර්ම රෝග, උපදංශය, පැපොල, කොලරාව, අතීසාරය, කම්බුල්ගාය, අධිරුධිර පීඩනය, මඳසරු බව, ඔසප් දෝෂ, මුත්‍ර ආබාධ, ස්නායු රෝග, නින්ද නොයාම, ළදරුවන්ට වැලඳෙන කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්ස යනාදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විෂ්ණුක්‍රාන්ති සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. විෂ්ණුක්‍රාන්ති මේධ්‍ය, ශුක්‍ර වර්ධක, රසායන, බලකාරක, මතකය සහ නුවණ වඩන, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, විරේචක ආදී ගුණයන් සහිතයි. 

ඇදුම සහ ස්වාස නාළිකා ප්‍රදාහයට විෂ්ණුක්‍රාන්ති දුම්වැටිය භාවිතා කිරීම ගුණය. වාත උන්මාදයේදී විෂ්ණුක්‍රාන්ති කෂාය යොදා ප්‍රතිකාර කරයි. එය මතකය සහ නුවණ වැඩීමටද ඉවහල් වන ප්‍රතිකාරයකි. කෝලවාත, ඉලප්පුව, ඇම්ම, නොබසිනා උණ, අරුචි, කැස්ස, ඇදුම ආදියට දියතාරාම ගුළියේ අනුපාන මිශ්‍රව යොදයි. උණට සම්පූර්ණ ශාකයෙන් සෑදූ ඵාණ්ඨය හෝ ක්වාතය භාවිතා කරයි. නාඩි දුර්වලත්වයට හා ජීර්ණජවරයට  විෂ්ණුක්‍රාන්ති, සූදුරු ක්ෂීර පානය බීමට දෙයි. ළදරුවන්ගේ කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්සට ප්‍රතිකාර කිරීමට කප්පරවල්ලිය,  විෂ්ණුක්‍රාන්ති, පාවට්ටා කෂාය හෝ පැණිය යොදා ගනී. විෂ්ණුක්‍රාන්ති පැළෑටියම ගෙන ඇල් ජලයෙන් අඹරාගත් පල්පය ආලේප කිරීම තුවාල සඳහා ප්‍රතිකාරයකි. එමෙන්ම ඒ සඳහා මෙම ශාකයේ චූර්ණය ද භාවිතා කළ හැකිය. විෂ්ණුක්‍රාන්ති යොදා සිඳගත් තෙල් හිස ගැල්වීම හිස කෙස් මනාව වැඩීමට උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 10, 2017

අතිවිඩයම් [Athividayam] (Aconitum heterophyllum)

අතිවිෂා යනුවෙන්ද ප්‍රකට අතිවිඩයම් සෘජු කඳක් සහිතව මීටරයක් දක්වා උසට වැඩෙන බහු වාර්ෂික පැළෑටියකි. භූගත අලයක් සහිත මෙහි නොමේරූ කඳ කොළ පැහැතිය. කෙඳි මුල් රාශියක් සහිත අලය බාහිරින් අළු දුඹුරු පැහැති වන අතර ඇතුලත සුදු පැහැයක් ගනී. ඛණ්ඩිකා පහකට පමණ බෙදුණු  සරල පත්‍ර විවිධ හැඩයන්ගෙන් යුක්ත වන අතර පත්‍ර දාරය කඩතොළු සහිතයි. පහලින් පිහිටි පත්‍රවල දිග පත්‍රනටු පිහිටා තිබේ. ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි හට ගන්නා මල් අක්‍රමවත්ව පිහිටා තිබේ. මල් දම්පාටට හුරු නිල් පාට හෝ කහ පාටට හුරු කොළ පාටය. ඵලය වරාවකි. අක්‍රමවත් ලෙස කෝණික හැඩයක් ගන්නා දිළිසෙන සුලු බීජ දුඹුරු පැහැතිය. ලංකාවේදී හමු නොවන, ඉන්දියාවේ හිමාලය සහ කාශ්මීරය අවට ප්‍රදේශවල වැවෙන  අතිවිඩයම් ශාකය Ranunculaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අතිවිඩයම් සම්බන්ධව කතා කරන විට ඈඳෙන තවත් නාමයක් වන්නේ අතිඋඩයන් යන්නයි.  Cryptocoryne නම් උද්භිද ගණයට අයත් ජලාශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාක විශේෂ 11 ක් පමණ අතිඋඩයන් හෝ ඇතැම් විට අතිඋදයන් නමින් හඳුන්වා ඇත. මෙරට ඇතැම් වෛද්‍යවරු අතිවිඩයම් වෙනුවට මෙම අතිඋඩයන් විශේෂ භාවිතයට ගැනීම සුදුසු යැයි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. "අතිවිඩයම් සඳහා ප්‍රතිනිධියක් ලෙස අතිඋදයන් (Cryptocoryne sp.) විශේෂ භාවිතයට ගැනේ" යනුවෙන් ඖෂධීය ශාක සංග්‍රහයෙහි සඳහන් වන සටහන ඊට අනුබල දෙන සුලුය.  එහෙත් මෙරට ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව අවිඩයම් වෙනුවට අතිඋදයන් භාවිතා කිරීම කිසිසේත් නොගැලපෙන වැරදි ව්‍යවහාරයක් වන අතර ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා ඇත්තේ එලෙස භාවිතා කිරීම සුදුසු බව නොව වරදවා භාවිතා කරන බව සඳහන් කිරීමක් පමණක් බවයි. ඔවුන්ට අනුව අතිවිඩයම් සහ අතිඋදයන් අසමාන ගුණ කර්ම සහිත ශාක විශේෂයන් ය. කෙසේ වෙතත් අතිවිඩයම් වෙනුවට නොව, දේශීය වෙදකමේ ඊට අනන්‍ය භාවිතාවන් සඳහා අතිඋදයන් යොදා ගන්නා බවට තොරතුරු දේශීය වෛද්‍යවරුන් සතුව පවතින බව දැන ගන්නට ඇත. 

කුසගිනි මදිකම, නිසිලෙස මව්කිරි ස්‍රාවය නොවීම, වමනය, අජීර්ණ, ආහාර දිරවීමේ දෝෂ, අතීසාරය, උණ අතීසාරය, පාචනය, අර්ශස්, පණු රෝග, රත්පිත්, රක්ත ස්‍රාව, ඉදිමුම් සහිත දැවිල්ල,මලබද්ධය, ප්‍රතිශ්‍යා, ඇදුම, මුත්‍ර ආබාධ, ලිංගික දුබලතාව, උමතුබව, රක්තවාතය, කෘමි සහ සර්ප දෂ්ඨන ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් අතිවිඩයම් අල සහ මුලුත් අමතරව කොල බීජත් භාවිතා කරයි. අතිවිඩයම් සෙම සහ පිත නසන, වා පිත් සෙම් සමනය කරන ගුණ සහිත බව සඳහන්. අතිවිඩයන් මුල් සහ අල විෂ සහිත බැවින් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ශෝධනය කර ඖෂධ සඳහා භාවිතා කළ යුතුය.  අතිවිඩයම් ශෝධනය පිණිස ගොම දියකර ගත් ජලයෙන් දෝලා යන්ත්‍රයෙන් ස්වේද දී සෝදා වියළා ගත යුතුය. 

කල්ගිය අතීසාරයට අතිවිඩයම්, කෙළිඳ පොතු සමව ගෙන චූර්ණ කර දෙයි. ළදරු වටපණු රෝගයට අතිවිඩයම්, වලඟසාල් සමව ගෙන චූර්ණ කොට වරකට ග්‍රෑම් 1 ක් මී පැණියෙන් දිය යුතුය. ඇදුම රෝගයට අතිවිඩයම් සුවඳ කොට්ටම් චූර්ණය වරකට ග්‍රෑම් 2 ක් මෑ පැණියෙන් දීමට නියම කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, අන්තර්ජාලයෙන් සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් (සංවාදය) 
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, December 3, 2017

බබ්බුල [Babbula] (Acacia nilotica)

බබ්බුල මීටර් 8 පමණ උසට සහ සෙ.මි. 80 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන ලංකාවට හඳුන්වා දෙන ලද ශාක විශේෂයකි. පිටත පොත්ත තද දුඹුරු පැහැතිය. සෙ.මි. 1 පමණ ගණකම් ඇතුල පොත්ත තැඹිලි පාටට හුරු කහ පාටය. ළපටි අතුවල සියුම් බූවත් දක්නට ලැබේ. පත්‍ර නටුව අසල සෙ.මි. 5 දක්වා දිගුවිය හැකි උපපත්‍ර ආකාරයේ තියුණු කටු පිහිටා තිබේ. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍රවල ප්‍රාක්ෂය සෙ.මි. 3-10 අතර දිගුය. ප්‍රාක්ෂයක සෙ.මි. 2-5 අතර දිග අන්‍රප්‍රාක්ෂ යුගල් 3-6 පමණ පිහිටා තිබේ. අනු ප්‍රාක්ෂයක පත්‍රිකා යුගල් 10-15 අතර සංඛාවක් පිහිටයි. කක්ෂීයව හට ගන්නා දිගු නටුවක් සහිත තද කහ පැහැති මල් ගෝලාකාර හැඩයක් ගනී. ඵලය සෙ.මි. 5-15 අතර දිග දුඹුරු පැහැති කරලකි. සෘජු හෝ තරමක් වක්‍ර, දැඩි බවින් යුත් කරල මේරීමේදී කළු පැහැයට හැරේ. එක් කරලක් තුල කළු පැහැති පැතලි බීජ 8-12 සංඛාවක් පිහිටයි. බබ්බුල Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

පාචනය, අතීසාරය, දියවැඩියාව, ගෙඩි, වණ, තුවාල, ලේ ස්‍රාව සහිත ක්ෂත, දත් කැක්කුම ඇතුලු දන්ත රෝග, ලේ අඩුකම, පිලිස්සුම්, ක්ෂණික මෝචනය, ලිංගික දුර්වලතාවය ඇතුළු ලිංගික රෝග, අක්මා රෝග, ගර්භාෂගත රෝග, කැස්ස, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, ඉක්කා, අධිරුධිර පීඩනය, තුවාල, අර්ශස්, මුත්‍ර ආබාධ,  ඇතුළු රෝග ගනනාවක් සඳහා ප්‍රතිකාර කිරීමට බබ්බුල ශාකයේ කොළ, පොතු, මුල්, ඇට සහ මැලියම් භාවිතා කරයි. බබ්බුල යොදා නිපදවන කල්ක, චූර්ණ, ක්වාත ආදී ඖෂධ රැසකි. බබ්බුල සෙම් හා පිත් සමනය කරන බව සඳහන්. 

බබ්බුල දළු කල්කය කෂාය විධියෙන් සංස්කරණය කර අතීසාර සහ ලේ ස්‍රාවය සහිත ක්ෂතවලදී යෙදේ. බබ්බුල මැලියම් සූකිරි ලේහය ගලප්‍රදාහ නිසා හටගත් කැස්සට සූප්පු කිරීම (චූෂණය) පිණිස යෙදේ. 

මුත්‍ර අබාධ සඳහා බබ්බුල කොළ කෂාය බෙහෙවින් ප්‍රතිඵලදායක ය. බබ්බුල ඇට චූර්ණය යෙදීමෙන් තුවාල, කැපුම් සහ තැලුම් ඉක්මනින් සුව වෙයි. අධික ගර්භස්‍රාවයන්, ගර්භාෂයේ වේදනාව සහ ඉදිමුම් ඇති විට බබ්බුල මල් සහ කොළ කෂාය දිනකට දෙවරක් පානය කිරීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි.  බබ්බුල කොළ චූර්ණය කිරි හෝ ජලය සමඟ උදෑසන පානය කිරීම ගර්භනීන්ගේ සුව තාවයට හේතු වෙයි.  බබ්බුල අක්මාව උත්තේජනය කරන ගුණ සහිත වන අතර අක්මා රෝග සුවයට ඇට චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. පාචනය හෝ බඩ බුරුලෙන් යන විට බබ්බුල කොළ චූර්ණය කිරි සහ උක් හකුරු සමඟ ගැනීමෙන් එයින් සුවය ලැබිය හැකිය.  බබ්බුල පොතු චූර්ණය හා සම ප්‍රමාණයක් උක් හකුරු මිශ්‍රකර එයින් ග්‍රෑම් 10 ක් දිනකට 3 වරක් ගැනීම සෙංගමාලයට ගුණය. උගුරේ ආබාධවලට බබ්බුල කොළ, පොතු සහ අරටුව යන ත්‍රිත්වයේ චූර්ණයෙන් සුලු ප්‍රමාණයකට ජලය මිශ්‍රකර එයින් උගුර සේදීය යුතුය. අතීතයේදී බබ්බුල දඬු දත්මැදීමට භාවිතා කර ඇත. එමඟින් දත් සහ විදුරුමස් ශාක්තිමත් වන අතර මුවට නැවුම් බවක් ලබා දෙයි. අජීර්ණය සහ  බඩේ කැක්කුම ඇති විට බබ්බුල මල් චූර්ණය දෙයි. හකුරු සමඟ ගැනීමෙන් එහි කටුක රස මඟහරවා ගත හැකිය. බබ්බුල කොළ සහ පොතු යොදා නිපදවන ඖෂධ කුෂ්ඨ සහ සම වියළීමට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඇස් රතුපැහැවීම සහ ඉදිමුම් වැනි අක්ෂි රෝග සඳහා බබ්බුල කොළ කෂායකර නිවෙන්නට තබා පොරා ඇස් සේදීමට ගනී. බබ්බුල ශාක කොටස් කාම උත්තෙජක ගුණ සහිත වන අතර ශුක්‍රමඳ බව ඇතුළු ලිංගික දුර්වලතා සඳහා ප්‍රතිකාර කීරීමට යොදා ගත හැකිය. යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන සඳහා කොල සහ පොතු යොදා ගනී. බබ්බුල ශාක කොටස් වර්ණක ලබා ගැනීමටත්, සබන් වර්ග නිපදවීමටත් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:

Sunday, November 26, 2017

කටු අන්දර [Katu Andara] (Dichrostachys cinerea)

කටු අන්දර වෙරළාසන්න ප්‍රදේශවල සුලභව හමුවන මීටර් 6 පමණ උසට අතු පැතිරී වැඩෙන පඳුරු අාකාර කුඩා දේශීය ශාකයකි. අතු කෙලවර හා පත්‍ර නටුව අසල තියුණු කටු දැකගත හැකි ය. පිටත පොත්ත කහ පාටට හුැරු අළු පාට වන අතර ඇතුලත සජීවී පොත්ත  ළා දුඹුරු පැහැති ය. අප්‍රසන්න සුවඳකින් යුත් අඳුරු රතු පැහැති අරටුව ශක්තිමත් ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි.  ප්‍රක්ෂය මත අනුප්‍රාක්ෂ 8-16 සංඛාවක් පිහිටන අතර අනුප්‍රාක්ෂයක ඝණව ඇසිරුණු නිර්වෘන්ත පත්‍රිකා යුගල් 12-20 සංඛාවක් පිහිටයි.  පත්‍රිකාවල හැඩය රේඛීය සිට ලංසාකාර වේ. දිගු නටුවක් සහිතව පහලට එල්ලා වැටෙන රෝස පැහැති මල් අලංකාරවත් ය. ඵලය ඇඹරුණු ස්වරූපයක් ගත් කරලකි. කරලක් තුල ඉලිප්සාකාර බීජ 6-10 පමණ පිහිටයි. කටු අන්දර  Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

වාත රෝග, ඉදිමුම්, මුත්‍ර ගල්, දියවැඩියාව, මුත්‍ර අඩස්සිය, වකුගඩු රෝග, අක්මා රෝග, රුධිර දෝෂ නිසා හටගත් රෝග, යෝනි ස්‍රාව, ප්‍රදාහ, කණ්ඩු ආදී යෝනි රෝග, කැඩුම් බිඳුම්, අතීසාරය, හිසරදය, බරවා, දත් කැක්කුම, සර්ප විෂ, ගෝනුසු විෂ, ලාඳුරු ඇතුළු චර්ම රෝග, උපදංශය, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය, අපස්මාරය, ආදී රෝග අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේදී කටුඅන්දර ශාකයේ කොළ, මුල්, පොතු, දළු ආදිය භාවිතා කරයි. කටු අන්දර කඵ සහ වාතය නසන, වේදනාවන් සංසිඳුවන, ඉදිමුම් නසන ආදී ගුණ සහිතයි. 

ඉන්දියාවේ දී මෙම මුල්වලින් ගන්නා යුෂ අංශභාගය සුව කිරීම සඳහා පානයට දෙන අතර මුල්වලින් නිස්සාරණය කරන යුෂෙ වකුගඩුවල ගල් ඇතුළු මුත්‍ර මාර්ගයේ රෝගවලටත්, යෝනි මාර්ගයේ රෝගවලටත්, වේදනා ගෙනෙන සන්ධි වල ආලේපනයටත් ඖෂධ වශයෙන් බහුලව භාවිත කෙරේ. පොඩිකළ හෝ පල්පයක් ලෙසට අඹරාගත් මුල් කිරි සමග මුසු කර සකසන පානය මූත්‍රකාරක, වේදනා නාශක සහ ක්‍රිමිහාරක ඖෂධයක් ලෙස බටහිර අප්‍රිකානු රටවල භාවිත කෙරේ.  චූර්ණ කරගත් මුල් නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු රටවල නාසයෙන් ලේ යාම, හර්නියා සහ ප්‍රෝටීන ඌණතාව නිසා ඇතිවන මන්ද පෝෂණය දුරලීමේ ඔසුවක් ලෙස ගැනේ.  අප්‍රිකානු මහාද්වීපයෙහි බොහෝ රටවල මුල් කෂාය සිපිලිස්, ලාඳුරු තුවාල, පටකවල වැඩිපුර ජලය එක්රැස්වීම සහ රූමැටික ප්‍රදාහය නිසා රෝගාතුර ශරීර කොටස් යථා තත්වයට කිරීම සඳහා යොදා ගනී. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
විශේෂ ස්තුතිය_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාට
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, November 19, 2017

මහ අන්දර / ඉරිමේද [Maha Andara / Irimeda] (Acacia leucophloea)


සංස්කෘතෙන් ඉරිමේද යනුවෙන් ද හඳුන්වන මහ අන්දර මීටර් 10 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඇතැම් විට මීටර් 35 දක්වා උසට වැඩෙන අවස්ථාවන් ද හමු වෙයි. කහ පැහැයට හුරු සුදු පැහැති පොත්ත සිනිඳු ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි.  පත්‍රයේ අනු ප්‍රාක්ෂ 4-13 අතර සංඛාවක් පිහිටන අතර අනු ප්‍රාක්ෂයක පත්‍රිකා යුගල 5-30 අතර සංඛාවක් පිහිටයි. පත්‍ර කඳට සම්බන්ධ වන ස්ථානයේ සුදු පැහැති තියුණු කටු යුගලක් පිහිටා තිබේ. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. මල් ළා කහ පැහැයට හුරු සුදු පැහැතිය. ඵලය සෘජු හෝ තරමක් වක්‍ර පටි ආකාර කරලකි. කරලක් සෙ.මි 15 දක්වා දිගු විය හැකිය. පැතලි බීජ අණ්ඩාකාර හැඩයක් ගනී. අන්දර Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ඇතැම් මුලාශ්‍රවල Acacia farnesiana නම් ශාකයක් ඉරිමේද ලෙස හඳුන්වා තිබුන ද  ඉරිමේදාදී තෛලය නම් ප්‍රකට ඖෂධය සඳහා භාවිතා කළ යුතු ඉරිමේද නම් මෙම මහ අන්දර බවයි බහුතර විද්වත් මතය. මෙම Acacia farnesiana නම් විදේශීය ශාකය ලංකාවේ ඇතැම් මූලාශ්‍රවල සහ ඔසු උයන්වල "සීනිද්ද" නමින් හඳුන්වා තිබුන ද ඉන්දියානු මූලාශ්‍රවල සීනිද්ද නමින් ශාකයක් ගැන සඳහන්වන බවක් දැන ගන්නට නැත. ලංකාවේ පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සීනිද්ද නමින් බුදු පුදට ගන්නා සුවදැති මල් පිපෙන ශාකයක් ගැන සඳහන් වේ. විද්වතුන්ගේ පිළිගැනීම එය දේශීය ඉද්ද හෝ පිච්ච වර්ගයක් බවයි. විදේශීය Acacia විශේෂයකට සීනිද්ද නාමය ලැබුනේ කෙසේදැයි සොයා බැලිය යුතු කරුණකි. තවත් ඇතැම් මූලාශ්‍රවල ඉරිමේද ලෙස ගූරැන්ද සඳහන් වූවද එය පරිවර්තන දෝෂයක් නිසා සිදුවූ වැරදි ව්‍යවහාරයක් බවයි විද්වතුන්ගේ අදහස. 

විදුරුමස් දියවීම ඇතුළු දන්ත රෝග, මුඛයේ තුවාල, ශ්වේත ප්‍රදර, ශුක්‍ර මේහ, විසර්ප, දියවැඩියාව, මුත්‍රගල්, මුත්‍ර අඩස්සිය ඇතුළු මුත්‍ර රෝග, යෝනි රෝග, වාත රෝග, ඇස් රෝග, රක්ත අර්ශස්, රක්ත අතීසාරය, රක්ත ග්‍රහණි, කරප්පන්, කැඩුම් බිඳුම් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට අන්දර කොළ, දලු, පොතු, අරටු, මැලියම් ආදිය භාවිතා කරයි. අන්දර මුත්‍රකාරක, ගර්භය ශක්තිමත් කරන, මුත්‍රගල් නසන, අභ්‍යන්තර වේදනාවන් සමනය කරන, රුධිරය වර්ධනය කරන, මූල රෝග සමනය කරන ආදී ගුණයන් සහිතයි. 

අන්දර කොළ, සූදුරු සහ මී කිරි යොදාගෙන මධුමේහය සඳහා නිපදවන අන්දර විලකුව නමින් ඖෂධයක් සිද්ධ වෛද්‍ය ග්‍රන්ථවල දක්වා ඇත. එමෙන්ම ප්‍රමේහයට අන්දර කොළ යොදාගෙන සෑදිය හැකි තලපයක් ගැන ද එහි සඳහන් වේ. අර්ශස්, රක්ත අර්ශස්, රක්ත අතීසාරය, රක්ත ග්‍රහණි ආදී රෝග සඳහා අන්දර ගසේ ඇතුලත සුඹුල කොටා වරකට කලං භාගයේ සිට එකහමාර දක්වා ප්‍රමාණයක් ගැනීමෙන් සුව වන බව සඳහන්. අන්දර තෛල සියළු කරප්පන් සඳහා ගුණ ය. දේශීය වෛද්‍යවරු කැඩුම් බිඳුම් වෙදකමේදී අන්දර විවිධාකාරයෙන් පත්තු, මැල්ලුම් ආදිය සඳහා භාවිතා කරයි. 

ළපටි බීජ හා බාගෙට පැලවුන බීජ එළවලුවක් ලෙස ආහාරයට ගත හැකි බවත්, කඳෙන් සහ පොත්තෙන් කාර්මික නිශ්පාදන සඳහා අවශ්‍ය ගම් වර්ග ලබා ගත හැකි බවත්, ඇතුලත පොත්තෙන් කඹ සෑදිය හැකි ශක්තිමත් කෙඳි ලබා ගත හැකි බවත්, මෙහි රතු පැහැති අරටුව වටිනා දැවයක් බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු, අන්තර්ජාලයෙන් සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සිදුකළ සංවාද ඇසුරින් (සංවාදය 1 සංවාදය 2
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:

Sunday, November 12, 2017

කෙන්හිඳ [Kenhida] (Rotheca serrata)

කන්හැන්ද සහ කෙම්හැන්ද යනුවෙන් ද හඳුන්වන කෙන්හිඳ මීටර් 4 ක් පමණ උසට වැවෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. ළපටි කඳ කොළ පැහැතිය. සාමාන්‍යයෙන් ඉලිප්සාකාර හැඬයෙන් යුත් සරල පත්‍ර සම්මුඛව පිහිටයි. කලාතුරකින් පත්‍ර හැඩය ඉලිප්සාකාර-ප්‍රත්‍යණ්ඩාරකාර හෝ ප්‍රත්‍යණ්ඩාරකාර විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 7-22 අතර සහ පළලින් සෙ.මි. 3-8 අතර විශාලත්වයකින් යුක්ත වේ. පත්‍ර දාරය දැති වැනි කඩතොළු සහිත ය. පුෂ්ප මංජරිය අග්‍රස්ථීය ඒකාක්ෂයකි. පෙති 5 ක් සහිත මල අලංකාරවත් ය. මලෙහි සමාන පෙති 4 ක් සුදු පැහැයට හුරු ළා නිල් පැහැති වන අතර පහලට යොමු වූ තරමක් වෙනස් එක් පෙත්තක් තද නිල් පැහැයක් ගනී. ඵලය අෂ්ටිලයකි. කෙන්හිඳ Verbenaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ඉන්දියානු ආයුර්වේදයෙහි සඳහන් "භාර්ගී" නම් ද්‍රව්‍ය සඳහා ශාක වර්ග කීපයක මුල් හෝ පොතු භාවිතා කරන අතර ඒ සඳහා ප්‍රකටව යොදා ගන්නා එක් ශාකයක් වන්නේ සිරිතේක්කු නම් පැළෑටියයි. Pygmaeopremna herbacea යන උද්භිද නාමයෙන් හඳුන්වන සිරිතේක්කු ලංකාවෙ දක්නට නොලැබෙන, ඉන්දියාවෙ වැවෙන ශාකයකි. මෙම ලිපියෙහි විස්තරවන කෙන්හිඳ මෙම භාර්ගී සඳහා යොදා ගත හැකි තවත් එක් ශාකයක් බව වෛද්‍ය මතයයි. ඇතැම් විට සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් කෙන්හිඳ ශාකය ද සිරිතේක්කු නමින් හඳුන්වා ඇත්තේ මෙම සම්බන්ධය නිසා ය. මෙම ශාකවලට අමතරව භාර්ගී සඳහා බංගලි පින්න / බ්‍රාහ්මනයෂ්ටි (Clerodendrum indicum), ගස් පින්න (Clerodendrum infortunatum) යන මෙරට වැවෙන ශාක දෙකේ මුල් ද සුුදුසු බව නිර්දේශ කර ඇත. මෙයට අමතරව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෛද්‍යවරු Ceriscoides turgida නම් ඉන්දියාවේ වැවෙන ශාකයක මුල් භර්ගී සඳහා භාවිතා කරයි. කෙසේ වෙතත් ඇතැම් ඉන්දියානු ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව භාර්ගී සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසු වන්නේ ලංකාවෙ වැවෙන කෙන්හිඳ ශාකයේ මුල් ය.

කෙන්හිඳ දේශීය වෙදකමේ භාවිතාවන ඖෂධ වට්ටෝරු රැසක ද යෙදෙන ඖෂධයකි. ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම, පීනස, ක්ෂය රෝගය, ග්‍රහණි රෝග, ආමවාතය, වාතරක්තය, සර්ප විෂ, ළදරු සෙම් රෝග, සුදුකබර, වණ, ගණ්ඩමාල රෝගය, හොරි, කුෂ්ඨ, කඩුවේගන්, පණුවණ, දියමිටියා කෑම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට කෙන්හිඳ ශාකයේ මුල්, කොළ, පොතු ආදිය භාවිතා කරයි. කෙන්හිඳ ඉදිමුන් නසන, වාතය සහ කඵ සමනය කරන, වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, දහදිය ගන්වන ආදී ගුණ සහිතයි. සම්පූර්ණ ශාකයේම චර්ම රෝග නාශක ගුණ පවතින බව සඳහන්.

වණ පැසවීමට සහ ගණ්ඩමාල ආදියට කෙන්හිඳ කොළ අඹරා ආලේප කරයි. පණුවන් සහිත වණ, දියමැටියා කෑම වැනි අවස්ථාවන්ට කොළ තැම්බූ වතුරෙන් සේදීම ගුණය. බාලක සෙම් රෝග සඳහා කෙන්හිඳ පොතු චූර්ණය තලතෙලින් ලේහ කරයි. කෙන්හිඳ මල් සහ මුල් බුලත් විටට උපයෝ කර ගනී. මෙම මුල් සමඟ බුලත් සැපීමෙන් දත්රෝග අඩුවන බවත් දත් ශක්තිමත් වන බවත් සඳහන්. 

විශේෂ සටහන_ ඉහත සඳහන් කර ඇති උද්භිද නාමයන් මෙකලට පිළිගත් සම්මත උද්භිද නාමයන් වන අතර කලකට පෙර පලවූ වෙදකමට සම්බන්ධ ලිඛිත මූලාශ්‍රවල ඉහත සඳහන් ශාක සඳහා එකල භාවිතා කළ උද්භිද නාමයන් පහත පරිදි බව සැලකිය යුතුය. කෙන්හිඳ (Clerodendrum serratum) සිරිකේක්කු (Premna herbacea) බංගලි පින්න / බ්‍රහ්මණයෂ්ටි (Clerodendrum siphonanthus)  Ceriscoides turgida (Gardenia turgida)

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 
Share:

Sunday, November 5, 2017

මුවකීරිය [Muwakeeriya] (Cynanchum viminale)

සෝමලතා යනුවෙන්ද හඳුන්වා ඇති මුවකීරිය පඳුරක් හෝ අධාරක ශාකයක එතෙමින් ඉහලට වර්ධනය වන කිරි සහිත වැලකි. මාංසල කොළ පැහැති සිලින්ඩරාකාර කඳේ පත්‍ර නොපිහිටයි. පතනශීලී ශල්ක තිබිය හැකිය. සුදු හෝ ළා කහ පැහැයට හුරු නිර්වෘත්ත පුෂ්ප කඳේ ගැට අසල තනි තනිව හට ගනී. ඒවා ඇතැම් විට පොකුරක් ආකාරයට දර්ශනය වේ. ඵලය ස්ඵෝඨිකාවකි. මුවකීරිය ශාකයේ උප විශේෂ කීපයක් ඇති බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. ඇතැම්හු හඳුනා ගැනීමේදී මෙම ශාකය සහ නවහන්දි (Rhipsalis baccifera) ශාකය පටලවා ගනු දක්නට ලැබේ. නවහන්දි ගල් පර්වත හෝ විශාල ශාකමත සිට පහලට එල්ලා වටෙන අපි ශාකයක් වන අතර මුවකීරිය පොළවෙහි සිය ඉහලට වර්ධනය වන පඳුරක් හෝ වැලකි. මේ පිළිබඳ පැහැදිළි කිරීමක් නවහන්දි ගැන පලවූ ලිපියට ද ඇතුලත් කර ඇත. විසිතුරු ශාකයක් ලෙස ගෙවතු අලංකරණයට ද යොදා ගත හැකි වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන මුවකීරිය Asclepiadaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

පොළව කණ මැදිරියා මුවකීරිය ලෙසත්, අහස කණ මැදිරියා උඩවැඩියා ලෙසත් පැරණි බෙහෙත් වදුළුවල දක්වා ඇත. ඇතැම් අය අහස කණ මැදිරියා ලෙස මුවකීරිය හඳුන්වයි. මුවකීරිය දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ සහ කල් ගතගවූ අස්ථි ප්‍රදාහ අවස්ථාවන්හි බහුලව යොදා ගන්නා ඖෂධයකි. එමෙන්ම ජලභීතිකාව, ශාරීරික දුබලතා, මානසික රෝග, කැස්ස, ඇදුම, ආහාර අරුචිය, අජීර්ණ, හෘද රෝග, අක්මා රෝග, අර්ශස් ආදියට ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. මුවකීරිය රසායන, බලකාරක, නිද්‍රාකාරක, වමනකාරක, මෘදු විරෙචක,  මුත්‍රකාරක, අහාර දිරවීම ක්‍රමවත් කරන,මව්කිරි වඩවන, පිත ස්‍රාවයවීම උත්තතේජනය කරන, මදනකාරක ආදී ගුණයන් රැසක් සහිතයි. 

අස්ථිභග්න හා ප්‍රදාහිත අවස්ථාවන්ට මුවකීරිය සම්පූර්ණ ශාකයම ගෙන අමුකහ, ලුණු දමා කොටා මලවා බඳී. වාතරෝග සඳහා මුවකීරිය යොදාගෙන වේදුපෑම සිදුකරයි. කැඩුම් බිඳුම් වෙදකමේදී තෙල් වර්ග සහ මැල්ලුම් සෑදීමට මුවකීරිය ශාකය භාවිතා කරයි. වාතමෘත්‍ය තෛලය සහ අශීතිවාත තෛලය මුවකීරිය යොදා නිපදවන ඖෂධයන් ය. 

වේද ග්‍රන්තයන්හි සඳහන් ඉතා ප්‍රභල රසායනික ඖෂධයක් වන සෝම පානය සෑදීම සඳහා සෝමලතා නම් පැළෑටියක් භාවිතා කර ඇති බව සඳහන් වේ. සෝමලතා සම්පූර්ණ ශාකයේ සාරයට බාර්ලි සහ එළඟිතෙල් දමා උණුකර සාදා ගන්නා තරලමය ඖෂධය සෝම පානය නම් වේ.  සෝමලතා පර්යාය මූවකීරිය ශාකයට ද යෙදී තිබුනත් එහිදී භාවිතා කළ සෝමලතා ශාකය, මුවකීරිය ශාකය මීට පෙර අයත්ව තිබූ උද්භිද ගණයටම අයත්  Sarcostemma brevistigma නම් ශාකයක් බව දැන ගන්නට ඇත. (මුවකීරිය ශාකයේ පෙර තිබූ උද්භිද නාමය Sarcostemma viminale නම් වේ) එම පැලෑටිය ඉන්දියාවේ දක්නට ලැබුන ද මෙරටදී හමු නොවෙයි. කෙසේ වෙතත්  මෙම ශාක දෙකේ ගුණ කර්ම බෙහෙවින් සමාන හෙයින් ප්‍රතිනිධි ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇති බව සඳහන්. ඇතැම් ග්‍රන්ථවල සෝම පැළෑටියේ පර්යාය නාමය මුවකීරිය ශාකයට ද යෙදී ඇති හෙයින් සෝම පානය සෑදීම සඳහා භාවිතා කළේ මූවකීරියම බවට ද මතයක් පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, October 29, 2017

නවහන්දි [Nawahandi] (Rhipsalis baccifera)

නවහන්දි දියසීරාව සහිත ගල් පර්වත ආශ්‍රිතව සහ තෙත්කළාපීය වනනාන්තරවල විශාල ගස් මත පහලට එල්ලා වැටෙමින් වැඩෙන පඳුරු ආකාර අපි ශාකයකි. තන්තුමය මූල පද්ධතියක් සහිත මෙම පැළෑටියේ කොළ පැහැති මාංසල කඳ සිලින්ඩරාකාර ය. කඳ දෙකට බෙදෙමින් පහලට වර්ධනය වේ. පත්‍ර ඉතා කුඩා වන අතර ළපටි ශාකවල පමණක් දක්නට ලැබේ. කුඩා සුදු පැහැති මල් කඳේ තනි තනිව හට ගනී. සුදු පැහැති මාංසල ඵලය විනිවිද පෙනෙන සුලුය. එ් තුල පිහිටි යුෂමය ද්‍රාවණයක ගිලුණු කළු පැහැති බීජ රාශියකි. නවහන්දි Cactaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ඇතමුන් තවත් මෙවැනිම පෙනුම සහිත දේශීය ශාකයක් වන මුවකීරිය සමඟ නවහන්දි පටලවා ගනී.  Sarcostemma viminale යන උද්භිද නාමයෙන් හඳුන්වන මුවකීරිය පොලවෙහි සිට ඉහලට වර්ධනයවන පඳුරක් හෝ වැලක් වන අතර නවහන්දි ඉහල සිට පහලට එල්ලා වැටෙන අපි ශාකයක් වීම මෙම දෙවර්ගය වෙන් කර හඳුනා ගැනීමට පහසුම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. නවහන්දි ගැන කතාකරන විට පැන නඟින තවත් ගැටළුවක් වන්නේ දේශීය උද්භිද විද්‍යා මූලාශ්‍රවල  Euphorbia tirucalli නම් උද්භිද නාමයෙන් හඳුන්වන කිරි බහුල විදේශීය ශාකයක් නවහන්දි ලෙස හඳුන්වා තිබීමයි. ඉතා කුඩා අප්‍රකට පත්‍ර දරන, කොළ පැහැති කඳ ප්‍රකටව පෙනෙන මෙම ශාකය ඇතැම් විට ගස් නවහන්දි , රට නවහන්දි සහ කිරිහන්දි යන නම්වලින් හඳුන්වනු දක්නට ලැබේ. දේශීය ඖෂධ වට්ටෝරුවල නවහන්දි ලෙස සඳහන්ව ඇති විට දේශීය අපි ශාකය මිස මෙම විදේශීය ශාකය භාවිතා කිරීම වැරදි බව අවධාරණය කළ යුතුය. 

වාපිත් රෝග, සංක්‍රමණික රෝග, ජලභීතිකා, ශාරීරික දුර්වලතාවයන්, මානසික රෝග, කැඩුම් බිඳුම්, අස්ථිප්‍රදාහ, කැස්ස, ඇදුම, අහාර අරුචිය, අජීර්ණය, හෘදරෝග, අක්මාරෝග, අර්ශස්, මානසික අවසාදතාව වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නවහන්දි සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. නවහන්දි රසායන, බලකාරක, නිද්‍රාකාරක, වමනකාරක, මෘදුවිරේචක, මුත්‍රකාරක, උත්තේජක, ක්ෂීරය වර්ධනයකරන ආදී ගුණ සහිතයි. 

දේශීය කැඩුම් බිඳුම් වට්ටෝරු රැසක නවහන්දි ඇතුලත්ව ඇත. අස්භථිග්න හා ප්‍රදාහිත අවස්ථාවලට නවහන්දි සම්පූර්ණ ශාකය, අමුකහ , ලුණු දමා කොටා මලවා බඳී. කුඩා දරුවන්ගේ අස්භථිභග්නවලට  හාතාවාරිය කොල, නවහන්දි, බැල තණ, අමුකහ, ලූණු, පොල් දමා කොටා මලවා බඳී. හැටපෑ හන්දියට නවහන්දි, හාතාවාරිය කොළ, එලබිංතඹුරු කොළ, ඔලිඳ කොළ, කොබ්බෑ කොළ යන මේවා ගෙන පොල්, කහ, ලූනු දමා කොටා මලවා බඳී. වාතරෝග  සඳහා නවහන්දි ශාකය භාවිතාකර වේදු පෑම ගුණදායකය. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම් සහ තෙල් වර්ග සෑදීමටත්, විශේෂයෙන් මෙහි දන්ඩ හන්දි තෙල් සෑදීමටත් යොදා ගනී. නවහන්දි තැල්මට ඉතා ගුණ බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ සිංහල කැඩුම් බිඳුම් වෙද පොත
Share:

Sunday, October 22, 2017

මොණරකුඩුම්බිය [Monarakudumbiya] (Vernonia cinerea)

පිපුණු මල් මොණරකුගෙ හිසමත පිහිටි ශිඛාව මෙන් දිස්වන හෙයින් මෙම පැළෑටිය මොණරකුඩුම්බිය ලෙස හඳුන්වා ඇත. එයට අමතරව මඟුල්කුඹුරුවන්න, වතුපලා, කොබෙයි කොළ, දුටුසපුටු ආදී නම්ද විවිධ ප්‍රදේශවල මෙම ශාකය හැඳින්වීමට භාවිතා කරයි. මොණරකුඩුම්බිය සෙ.මි. 30 පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳේ මඳ බූවක් දක්නට ලැබේ. අණ්ඩාකාර හැඩැති සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි 5 සහ පළලින් සෙ.මි. 2 දක්වා වර්ධනය වේ. පත්‍ර දාරයේ කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් කඩතොළු සහිත ය. පුෂ්ප මංජරිය ශීර්ෂක රැසකින් සෑදුන සමතලයකි. මල් නිල් හෝ සුදු පැහැතිය. ඵලය තද දුඹුරු හෝ කළු පැහැති චර්මලයකි. දේශීය ශාකයක් වන මොණරකුඩුම්බිය Asteraceae උද්භිද කුලය අයත් ශාකයකි. 

උණ රෝග, පාණ්ඩු, වණ, මුත්‍ර හෝ පිත්තාශ ගල්, සෙංගමාලය ඇතුළු අක්මා රෝග, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට මොණරකුඩුම්බිය සම්පූර්ණ ශාකයමත් ඇට සහ මල් වෙන වෙනමත් භාවිතයට ගනී. මොණරකුඩුම්බිය ඉදිමුම් සහ වේදනාවන් නසන, ශරීරය තුල ඇතිවන ගල් දියකර හරින, මුත්‍රකාරක, රුධිරය පිරිසිදු කරන ආදී ගුණ සහිතයි. නූතන පර්යේෂණවලට අනුව මිනිසාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඉවහල්වන ඖෂධීය ගුණ රැසක් සහිත ශාකයක් ලෙස  මොණරකුඩුම්බිය හඳුනාගෙන ඇත. කැඳ සඳහා පැරැන්නන් මෙම ශාකය සුලභව භාවිතා කර ඇත්තේ මෙය රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් අනූන බව දැනසිටි නිසා විය යුතුය.

ළදරු මාන්දමට මොණරකුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය සකසා දීම ගුණය. වණ රෝපණයට කොළ ස්වරසය යොදයි. උණට ස්වරස තෛළය හිස ගල්වයි. සෙංගමාලයට කැඳ සකසා දෙයි. මෙම යුෂ ආලේප කිරීමෙන් අළුහම් නැතිව යයි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙම කැඳ හෝ ව්‍යංජනය හෝ මලවා ආහාරයට ගත යුතුය. ඇට වූර්ණය දීමෙන් පණු රෝග සමනය වේ. 

සෙංගමාල අවස්ථාවකදී මොනර කුඩුම්බිය කොළ කොටා ගත් යුෂවලින් සෑදු කැඳ පානය ඉතාම ගුණය. අක්මාව ආශ්‍රිත රෝග සුවයට මෙන්ම ආමාශගත රෝග, මුත්‍රා ආසාදන වැනි රෝගත් එමඟින් සුව වෙයි. මොණරකුඩුම්බිය මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් අක්මාව ආශ්‍රිත රෝග, අතීසාර රෝග, ආමාශගත රෝග, මුත්‍ර රෝග ආදී රෝග රැසකින් සුවය ලැබිය හැකිය. උෟෂ්ණ කාලවලදී ඇතිවන ආසාදන, රුධිරය පිටවන අතීසාර අවස්ථාවකදී  මොණරකුඩුම්බිය කළං 12 කෂාය බොහෝ ප්‍රතිඵලදායක ය. එමඟින් උණ, උදර වේදනා, බඩ පුරවාදැමීම, අජීර්ණ වැනි රෝග තත්වන්ද සමනය වෙයි. මොණරකුඩුම්බිය මුල් කෂාය මිලිලීටර් 10ක ප්‍රමාණයක් දිනකට දෙවරක් පානය කිරීමෙන් ඉදිමුම් සහ ඇඟ පත වේදනාවන් දුරුව යයි. පොල් කිරි දමා පිසගත් මොණරකුඩුම්බිය ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති වන දැවිල්ල, සමේ ඇතිවන දුර්වර්ණවීම්,  පිත් දෝෂ ආදිය සමනය වෙයි. උගුර ආශ්‍රිතව සහ මුඛය තුළ හටගන්නා සෙම් ගෙඩිවලට මොනරකුඩුම්බිය ළපටි දලු හොඳින් තම්බා එම ඔෟෂධීය දියරයෙන් විටින් විට උගුර සහ කට සේදිය යුතුය. සිරුරේ උෂ්ණ ආසාදන නිසා සැරව බිබිළි හටගත් විට මෙම ශාකයේ මුල් කොටස ගෙන හොඳින් පිරිසුදු කර කොටා ඒ ද්‍රාවණය උෂ්ණ බිබිළිවල සැරව ගෙඩිවල ආලේප කිරීමෙන් සැරව ගෙඩි වේදනා රහිතව පිපිරී යෑම මෙන්ම ඉක්මනින් සුව වීමත් සිදුවේ. එමෙන්ම මුත්‍රාශය ආශ්‍රිත වේදනා සහ මුත්‍රා දැවිල්ල ඇති විටදී මේ ශාකයේ ඇට කෂාය කර බීම ගුණය. කල්ගත වූ කැස්සට මෙම සම්පූර්ණ ශාකයම වියළා හොඳින් කුඩුකර නටන උණුවතුර කෝප්ප භාගයකට එම කුඩු ස්වල්පයක් දමා වසා තබා විනාඩි විස්සක් පමණ ගිය පසුව එය පෙරා පානය කළ යුතුය. 

ඇස් රතු වීම, ඇහෙන් කබ කඳුළු ගැලීම, ඇස් දැවිල්ල ආදී විවිධ ඇස් ආශ්‍රිත රෝගවලදී මොණරකුඩුම්බිය මල් තම්බා ඒ දියරින් ඇස් සහ මුහුණ විටින් විට සේදීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි. මොණරකුඩුම්බිය ගසේ කොළ ඉවත් කර කඳ කොටස හොඳින් ගලේ අඹරා තලපයක් ලෙස සාදා ගෙන එම ප්‍රමාණය මෙන් කොටස් තුනකට තිප්පිලි කොටස් එකක් දමා තම්බා පානය කිරීමෙන් ඕනෑම අර්ශස් රෝගයකට ගුණය. මොණරකුඩුම්බිය ඇට ස්වල්පයක් ගෙන එය තල තෙලින් අඹරා සුදු කබරවල දිනපතා වරින්වර ආලේප කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් සුදු කබර රෝගයෙන් සුවය ලැබිය හැකිය. ඉකිලි, කිසිලි වැනි ස්ථානවල අහිතකර දද වැනි පුස් වර්ගයක් ඇතිවීමන් තදබල කැසීම් ඇති වේ. එවැනි විට මොණරකුඩුම්බිය ශාකය අරගෙන එයට කලුදුරු ස්වල්පයක් සහ වියළි පොල් ස්වල්පයක් මිශ්‍ර කර ඒ වර්ග තුනම හොඳින් අඹරා ඉකිලි, කිසිලිවල හටගත් පුස් සහිත දදයේ ආලේප කර පැය තුනක් පමණ ගිය පසු සේදිය යුතුය. මෙය දිනපතා දිනකට දෙවරක් බැගින් කිරීමෙන් ඉක්මනින් සුවයක් දකින්න හැකි වේ. කුෂ්ඨ රෝග ඇති විට මොණරකුඩුම්බිය කොළ තල තෙල් සමඟ මිශ්‍ර කර හොඳින් අඹරා මඳක් රත් කර කල්කයක් මෙන් සාදාගෙන මඳ රස්නෙ පිට කුෂ්ඨ මත, සැරව බිබිළි මත ආලේප කළහොත් කුෂ්ඨ සහ සැරව බිබිළි සුව කිරීමේ හැකියාවක් වගේම සර්ප දෂ්ටනවල විස ඇද ගැනීමේ හැකියාවකුත් මේ ඔෟෂධීය ආලේපයේ පවති. මොණරකුඩුම්බිය කොළ කෂාය කිරි ස්වල්පයක් සමඟ දිනපතා උදේ සවස පානය කිරීමෙන් ශරීරය ශක්තිමත් කිරීමේ විශේෂ ගුණයක් අත්දැකිය හැකිය. එය සිරුරට විශේෂ පෝෂණීය ගුණයක් ලබා දෙයි. වියළි මොණරකුඩුම්බිය ශාකය හොඳින් කුඩුකර බෝතලයකට දමා සුළං නොවදින්න තබා ගෙන වරකට ඒ කුඩු ග්‍රෑම් 60ක් වතුර කෝප්ප 7ක් සහ කිරි කෝප්ප 1ක් සමඟ මිශ්‍ර කර එය හොඳින් තම්බා පත එකක් ලෙස සිදුවා ගන්න. ඒ ආකාරයට සිඳුවා ගත් පත එක උදේට පත භාගයයි සවසට පත භාගයයි බැගින් සති දෙකක් පමණ දිනපතා පානය කළ යුතුය. මෙම ප්‍රතිකර්මය ශරීර ශක්තිය වර්ධනය කරගැනීමටත්, දේහධාරී සිරුරක් ලබා ගැනීමටත් සම පැහැපත් කර ගැනීමටත් මනා පිහිටුවහලක් වනු ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් 
Share:

Sunday, October 15, 2017

නා [Naa] (Mesua ferrea)

ශ්‍රි ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස සලකන නා මීටර් 30 පමණ උසට අතු පැතිරී වැඩෙන විශාල දේශීය ශාකයකි. අළු පැහැයට හුරු කඳ පොතු ගැලවී යන ස්වාභාවයක් ගනී. අරටුව තද රතු පැහැතිය. සම්මුඛව පිහිටන සරල පත්‍ර කඩාහැලෙන ලක්ෂණ පෙන්වයි. ලංසාකාර හැඩයට හුරු පත්‍රවල ප්‍රමුඛ මැද නාරටියක් දක්නට ලැබේ. පත්‍රයක් සෙ.මි. 15 දක්වා දිගු විය හැකිය. පත්‍රවල උඩු පෘෂ්ටය අඳුරු කොළ පැහැති වන අතර යටි පෘෂ්ටය සුදු පැහැති ය. ළපටි පත්‍ර රතු පැහැතිය. ඒවා ක්‍රමයෙන් රෝස පැහැයට සහ කොළ පැහැයට හැරේ. තනි තනිව පිහිටන පෙති හතරක් සහිත සුදු පැහැති මල් අලංකාරවත් මෙන්ම ඉතා සුවඳවත් ය. සුදු පැහැයට හුරු ඵලය ඉදුනු පසු රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. ඵලයක් තුල බීජ එකක් හෝ දෙකක් පිහිටයි. නා  Clusiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ශරීර දාහය, අධික පිපාසය, රුධිර වහනය, මුත්‍ර සමඟ රුධිරය පිට වීම, ගර්භාශගත රුධිර වහනය, අර්ශස්, රක්ත අතීසාරය, වමනය, චර්ම රෝග, ඉදිමුම්, වේදනා, සෙම් සහ පිත් රෝග, ශරීරයේ දුගඳ, කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් නාමල් රේණුත් අවශේෂව කොළ, ඇට, ඇටවලින් සිඳින තෙල් ආදියත් භාවිතා කරයි. 

නාසයෙන් රුධිරය පිටවන අවස්ථාවලදී, කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධියේදී සහ රුධිරය පිටවන අර්ශස් රෝගවලදී නා මල් රේණු මඳක් වියළා පත අට එකට සිඳුවා දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් පානය කිරීම ඉතා ගුණ ය. නා ඇට තෙල් බාහිර ඉදිමුම්, වේදනා, කැක්කුම් ඇති ස්ථානවල දිනපතා උදේ සවස ආලේප කිරීමෙන් එම කැක්කුම්, වේදනා, ආසාදන ඉක්මනින් සුව වීමත් ඉදිමුම් බැසීමත් සිදු වේ. අතීසාරය වැනි රෝග තත්ත්වයකදී දිය හැකි කදිම ප්‍රතිකාරයකි නාමල් කැකුළු කෂාය. දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් එම කෂාය පානය කළ යුතුය. අතීතයේ කාන්තාවකට දරු ප්‍රසූතියක් වූ විටකදී ගර්භාෂය පිරිසුදු කිරීමට කෂායක් ලෙස නාමල් කෂාය දී ඇත. නාමල් රේණු කොටසක් ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩුකර එයට සමානව උළු හාල් සහ තේජ පත්‍ර කුඩු කොටස් දෙකක් ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. ඒ ආකාරයට මිශ්‍රකරගත් කුඩු සුළං නොවදින ඇසුරුමකට දමා වරකට එම කුඩු ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක් කිරි සමඟ මිශ්‍රකර දිනපතා උදේ සවස දින පහක් පමණ ආහාරයට ගන්න. එය ඉහත සඳහන් සෑම රෝගයකටම මෙන්ම දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගේ ගර්භාෂය පිරිසුදු කිරීමටත් මේ ඔෟෂධීය ආහාරය ගුණදායකයි. නාමල් වියළා හොඳින් කුඩුකර එය නැවතත් එළඟිතෙලින් අඹරා රස්නෙ කාලයට ඇතිවන අතුල් පතුල් දැවිල්ලට අලේප කළ හැකිය. එමඟින් ශරීරයට නැවුම් සිසිලසක් දැනේවි. ඇතැම් අවස්ථාවලදී නළලෙ සෙම පිරුණු ගතියත් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමේ ස්වභාවයකදී නා කොළ ගෙන හොඳින් කොටා කල්කයක් ලෙස නළලෙ ආලේප කිරීමෙන් ඉක්මනින් සෙම ඉවත් යයි. 

එමෙන්ම අධික උෂ්ණ කාලයෙදි දහදිය දැමීම නිසා ශරීරයෙන් දැඩි දුගඳක් ඇති විය හැකිය. එවිට නාමල් රේණු කුඩු සහ සැවැන්දරා කුඩු සමානව ගෙන හොඳින් මිශ්‍රකර ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැය දෙකකට පමණ පසුව ඇඟ සෝදන්න. දහදිය දුගඳ නැතිකර ශරීරයෙන් කාන්තිමත් සුවඳක් ලබා දීමට මේ ප්‍රතිකර්මය ඉතා ගුණදායකයි.  ගුරුවරුන්, ගායකයන් වැනි වෘත්තිකයින්ට අධික ලෙස උගුර වෙහෙසවීම නිසා උගුර බැරැන්ඩි ගතියක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවල නාමල් රේණු සහ එනසාල් ස්වල්පයක් මිශ්‍රකර සූකිරි ස්වල්පයක් සමඟ ආහාරයට ගැනීමෙන් උගුරේ පවතින සෙම ගතිය සුළු මොහොතකින් ඉවත්ව යයි. රුධිරය ගලන අර්ශස් රෝගයට නාමල් කුඩු සමඟ සූකිරි ස්වල්පය බැගින් විටින් විට ආහාරයට ගැනීමත් හොඳයි.  කුෂ්ඨ කැළැල් සහ තුවාල කැළැල් මකා දීප්තිමත් සමක් ලබා ගැනීමට නාමල් රේණු කුඩු සමඟ පිණ්ඩ තෛලය මිශ්‍රකර දිනපතා හමේ ආලේප කරන්න. ටික කලක් මෙලෙස කිරීමේදී සමේ ඇති කැළැල් කෙමෙන් මැකී යෑමේ සතුට ඔබට අත් විඳින්නට පුළුවන් වේවි.

ස්ත්‍රී රෝගවලට භාවිත කරන පුෂ්‍යනුග චූර්ණය, නාරායන තෛලය වැනි ඔෟෂධ තුළත්, ස්ත්‍රී රෝගවලටම භාවිත කරන කුමාර්යාසවය තුළත්, පෙණහලු ආශ්‍රිත රෝග සඳහා ලබා දීමට සුදුසු "ද්‍රාක්ෂාරිෂ්ටය" තුළත් නා ශාක කොටස් ඇතුලත් ය. එමෙන්ම රෝගයක් වැලඳී එය සුව වූ පසු ශරීරය පුෂ්ටිමත් කිරීමට ලබා දීමට සුදුසු ච්‍යාවන ප්‍රාශාවලේහ ඔෟෂධය තුළ වැඩි වශයෙන් නෙල්ලි ඔෟෂධය අන්තර්ගත වුණත් එහි නාමල් රේණු ද අඩංගුව ඇත.

නා ගස බෞද්ධයින්ට ආගමික අතින් වැදගත් වනුයේ අටවිසි බෝධි වෘක්‍ෂයන්ට අයත් ශාකයක් වීමත් මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුන්වහන්සේලා බුදු බව ලබාගෙන තිබෙන්නේ මේ පූජනීය නා බෝධි මූලයේදී වීමත් ය. එමෙන්ම මතු බුදුවන මෛත්‍රීය බුදුරජාණන්වහන්සේගේ බෝධිය ලෙස සැලකෙන්නේද නා වෘක්ෂයයි. නා මල් පූජා කිරීමට ද බෞද්ධයෝ ඉමහත් කැමත්තක් දක්වති. මෙවන් ජාතික ආගමික සහ ඖෂධීය වටිනාකම් රැසක් සහිත පරිසර හිතකාමී නා ශාකය සුරැකීමට කටයුතු කිරීම ජාතික යුතුකමක් ලෙස සැලකිය හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්  
නා  ගෙඩි - සේයාරුව අන්තර්ජාලයෙන්‍ෙ
Share:

Sunday, October 8, 2017

හීං මිදි [Heen Midi] (Premna obtusifolia)

හීං මිදි අග්නිමන්ත නම් පර්යාය නාමයකින් හඳුන්වා ඇති නිසා අතීතයේදී ගිනිගානා දඬු හෙවත් ලී දඬු දෙකක් එකිනෙක ඇතිල්ලීමෙන් ගින්දර උපදවා ගැනීමට භාවිතා කරන්නට ඇති බවට විශ්වාස කරයි. මෙම ශාකය මිදි යනුවෙන් හැඳින්වුව ද පළතුරක් ලෙස ගෙඩි කෑමට ගන්නා ප්‍රකට මිදි වැල් සහ මෙය අතර සම්බන්ධයක් නැත. හීං මිදි මීටර් 8 පමණ උසට කුඩා ගසක් හෝ පඳුරක් ආකාරයට වැවෙන දේශීය ශාකයකි. ශාකයේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. සරල පත්‍ර ද්වීකාන්තරික-සම්මුඛ ය. පත්‍ර තලය අඳුරු කොළ පැහැයක් ගනී. පත්‍ර හැඩය ආයත, ඉලිප්සාකාර වැනි විවිධ හැඩයන්ගෙන් යුක්ත ය. අග්‍රස්ථීය පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. ළා කහ පාටට හුරු මල් අප්‍රසන්න ගන්ධයක් සහිතයි. ඵලය උපගෝලාකාර අෂ්ටිලයකි. ගැමි ව්‍යවහාරයේ වල්මිදි යනුවෙන්ද හඳුන්වන හීංමිදි  Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් දශමූලයන් අතරින් මහ පස් මුල්වලට අයත් එක් වර්ගයක් වන්නේ හීං මිදි මුල් ය. ඉදිමුම්, වාත රෝග, ආමවාත, ප්‍රමේහ, හෘද රෝග, ස්නායු දුර්වලතා, අර්ශස්, තරබාරු බව, පණු රෝග, ඉක්ෂුමේහ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් හීං මිදි මුල් සහ අවශේෂව පොතු සහ කොළත් භාවිතා කරයි. 

වේදනා සහිත අර්ශස්වලට හීං මිදි කොළ තැම්බූ කෂාය අවහාහනය කරයි. මේහ රෝග අවස්වථාවලට පොතු කෂාය යොදයි. අධික තරබාරුවට පොතු කෂාය ශිලාජතු සමඟ දෙයි. මුල් කෂාය ආමවාත වේදනාවන්ට ද ගුණදායක ය. වේදනා සහිත ඉදිමුම් අවස්ථාවන්ට මිදි කොළ රත්කර බැඳීම හෝ තැවීමත්, අඹරා තම්බා එම කෂාය වතුරින් මඳ උණුසුමින් තෙමීමත් සිදු කරයි. වාත රෝග සහ නාඩි ව්‍යුහයෙහි දුබලතාවන්ට හීං මිදි ශාකයේ පංචාංගය කෂාය යොදා ප්‍රතිකාර කරයි. පණු රෝග සඳහා පත්‍ර ස්වරසය දෙයි. ශීත පිත්තයට කොල තම්බා සේදීම කරයි. 

මෙම කොළ පොල්තෙල් සමඟ කලවම් කර හිස සෝදනයක් සාදා ගත හැකිය. තාවකාලික නිවෙස් සෑදීමේදී, ලී බඩු, විවිමේ උපකරණවල හරස් දඬු, ලිය පට්ටල් වැඩ, හබල්, පිහියා මිටි, විසිතුරු බඩු ආදිය සෑදීමට මෙම ලීය යොදා ගනී. මෙය පඳුරක් ලෙස කප්පාදු කර විසිතුරු ශාකයක් ලෙස ද වැවිය හැකි වටිනා ඖෂධ ශාකයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය

Share:

Sunday, October 1, 2017

ජයපාල [Jayapala] (Croton tiglium)

ජන වහරේ ජාපාල යනුවෙන් ප්‍රකට ජයපාල මීටර් 7 ක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. සිනිඳු කඳෙහි පොත්ත දුඹුරු පැහැතිය. ළපටි අතුවල තාරකාකාර බූවක් පිහිටා තිබේ. දිගු නටුවක් සහිත සරල පත්‍රවල පිහිටීම සාමාන්‍යයෙන් ඒකාන්තර වන අතර කඳෙහි අග්‍රස්ථයට වන්නට සුළු වශයෙන් සම්මුඛ විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 15 හා පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාර ය. තිවෘ අග්‍රයක් සහිත පත්‍රවල පත්‍ර දාරය ඇතැම්විට කඩතොලු සහිත ය. පුෂ්ප මංජරිය අග්‍රස්ථ හෝ කක්ෂීය වේ. මල් ළා කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ඉලිප්සාකාර-තුන්තල හැඩයෙන් යුත් අළු පැහැයට හුරු දුඹුරු පැහැති බීජ පිහිටා තිබේ. ජයපාල Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ජයපාල ඉතාම උග්‍ර විරේචක ද්‍රව්‍යයක් ලෙස ඉතා ප්‍රකටය. ජාපාල ගහක් යට සිටියත් බඩ බුරුල්වන්නේ යැයි ගැමියන් කියන්නේ නිකමට නොවේ. දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සහ ඖෂධ වට්ටටෝරුවල "නෙරුවාල" යනුවෙන් හඳුන්වා ඇත්තේ ද ජයපාල ය. දේශීය ගුළි කල්කවල බොහෝ විට පත්තියම් පංගුව හා විරේක පංගුව ලෙස එකම බෙහෙත කොටස් දෙකකට අඹරා ගැනෙන අතර විරේක පංගුවට නිරතුරුව යෙදෙනුයේ ජයපාල ය. පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය, කුසගිනි මදිකම, අජීර්ණ, විබන්ධ, කෘමි රෝග, ජලෝදර, මොළයේ ලේ වහනයවීම්,  සංන්‍යාස, විෂ ශරීරගත වීම, සර්ප විෂ, උඳුගොව්වා කෑම, ආමවාතය, ග්‍රන්ථිගත රෝග, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ජයපාල ශාකයේ බීජ සහ බීජ තෛලයත්, අමතරව කොළ, පොතු, මුල් හා දඬුත් භාවිතයට ගනී. ජයපාල හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ඖෂධ නිපදවීම සඳහා ද භාවිතා කරන ඔසුවකි. කුඩා කුමාර ගුලිය, වලිප්පු ගුළිය, මාන්දම් වජ්‍රකාන්ති ගුළිය, මාන්දම් සන්නි ගුළිය, පිප්පල්‍යාදී ගුළිය ආදී ජයපාල යොදා නිපදවන ඔසු රැසක්ද ඇත. 

සර්ප විෂට ජයපාල ඇට දෙහි ඇඹුලෙන් අඹරා ඇස්වලට අඳුන් යොදයි. උඳුගොව්වන් කෑමට ඇට දෙහි යුෂින් ගලගා අදාල ස්ථානයේ ආලේප කරයි. ජලොදර සහ සංන්‍යාසයට විරේකය සඳහා යොදා ගනී. පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වයට විෂ ඉවත්කරගත් ජයපාල ගිතෙලින් බැද අඹරා ලිංගයේ ආලේප කරයි. ආමවාත, ග්‍රන්ථිගත ආබාධ, ඉඳිමුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී බීජ තෛලය බාහිර අලේපනය සඳහා යොදා ගනී. 

ජයපාල උග්‍ර විරේචක සහ විෂ සහිත ද්‍රව්‍යයක් බැවින් ඖෂධ සඳහා භාවිතා කිරීමට පෙර විෂ ඉවත්කර ශෝධනය කර ගැනීම අනිවාර්ය කටයුත්තකි. පිරිසිදු අළුත් ගොම දියකරගත් ජලය හා ගව මුත්‍ර දෙහි යුෂ පිළිවෙලින් එකිනෙකින් තම්බාගෙන පිට පොත්ත හා ඇතුලේ මොටෙයියාද ඉවත්කර ගිතෙල්වල බහා තබා එයින්ම බැදගත යුතුය. මෙහිදී බැදීමට මැටි බඳුනක් යොදා ගැනීමට නිර්දශ කර ඇත. 

ජයපාල ශරීරගත වීමෙන් ජලය මෙන් වන තුරු බොහෝ වාරයක් මලපහ පිටවීම, වමනය, මුඛයේ අමිහිරිතාව, අන්ත්‍රවල වණ ඇතිවීම, කෙල වැගිරීම, මුඛය වියළීම, ඇස් ගිලීයාම, ක්ලාන්තය, අධික දහදිය දැමීම, මස්පිඩුවල ගැස්ම, සිරුරෙන් අධික තාපයක් පිට වෙන්නා සේ දැනීම, ඇසේ දෘෂ්ටිය අඳුරු වීම ආදී සංකූලතාවයන් මෙන්ම ඇතැම්විට මරණය ද සිදුවිය හැකිය. මෙවැනි විටෙකදී එළකිරි  තැඹිලි වතුර, අලුපුහුල් යුෂ, කූරතම්පලා යුෂ, බිත්තර සුදු මද, කෝපි, මුංඇට තැම්බූ ජලය යන මේවා දීම ගුණදායක ය. විෂ දුරුකිරීම සඳහා වදකහ පුලුස්සාගත් අළු, සියඹලා රොඩු දැවූ අළු යන මේවා සමව ගෙන ජලයට දියකර බාගයට සිඳුවා පැය දෙකකට වරක් පෙවිය යුතුය. එවිට වමනය සහ විරේකය නවතී. පසුව සුදුලූණු කලං 3 ක්ගෙන වතුර පතක් දමා තම්බා පෙරා මී පැණියෙන් දිය යුතුය. 

ජයපාල ඖෂධිය ද්‍රව්‍යක් ලෙස භාවිතා වනවාට අමතරව පැරැන්නන් විවිධ සාමාජීය අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. එහිදි විවිධ ‍‍‍කෙම් ක්‍රම සඳහා ‍මෙන්ම සතුරන් මර්ධනයටද, කිතුල් මල් කැපීමේදී මල් ‍‍බෙ‍හෙත් තැබීම ආදිය සඳහා ද භාවිතා කර ඇත.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Sunday, September 24, 2017

වැල් රුක්අත්තන [Wel Rukattana] (Cryptolepis dubia)

වැල් රුක්අත්තන පොළවෙහි හෝ ආධාරක ශාකයක් මත පැතිරී වැඩෙන කිරි සහිත දේශීය වැල් ශාකයකි. වැලේ ළපටි කොටස් කොළ පැහැති වන අතර වඩාත් මේරු කොටස් දුඹුරු පැහැයක් ගනී. ඉලිප්සාකාර හැඩැති පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රවල උඩු පෘෂ්ඨය දිලිසෙන සුලු වන අතර යටි පෘෂ්ඨය සුදු පැහැයට හුරුය. පත්‍රයක් දිගින් සෙ.මි. 18 සහ පළලින් සෙ.මි. 7.5 දක්වා වර්ධනය වේ. පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත කුඩා මල් ළා කහ පැහැතිය. ඵලය වරාවකි. බූමණියක් සහිත බීජ සුළඟ මඟින් ව්‍යාප්ත වේ. වැල් රුක්අත්තන Periplocaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. ඇතමුන් Allamanda නම් උද්භිද ගණයට අයත් විශාල කහ පැහැති මල් හට ගන්නා විදේශීය විසිතුරු ශාක විශේෂ කීපයක් වැල් රුක්අත්තන නමින් හඳුන්වා ඖෂධ පිනිස යොදා ගනු දැක ගත හැකිය. එහෙත් එය සපුරාම වැරදි භාවිතයක් බව අවධාරණය කළ යුතුය. 

වැල් රුක්අතන දේශීය සර්පවිෂ වෙදකම සඳහා සුලබව යොදා ගන්නා ඔසුවකි. එමෙන්ම කුසගිනි මදිකම, අරුචි, අතීසාරය, ජ්වර (උණ), ක්ෂය රෝගය, කුෂ්ට ඇතුළු සමේ රෝග, ඉදිමුම්, දැවිල්ල, තුවාල, අංශභාගය, මාන්දම, ආතරයිට්ස්, බරවා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, දඬු, කිරි ආදිය භාවිතා කරයි.

සමේ රෝග සඳහා ගුණදායක රසායන අඩංගු වැල් රුක්අත්තන පොතු කොළ හා මල් කුෂ්ට රෝග සඳහා ප්‍ර‍තිකාර සඳහා භාවිත කරනු ලැබේ. මේවා යෙදූ කෂාය ප්‍රමේහ රෝග සඳහා ද ඉතා ගුණදායක බව පැවසේ. මුඛ දුර්ගන්ධය සහ දේහ දුර්ගන්ධය යන අවස්ථා දෙකටම මින් කදිම ආලේපන දියරයක් සාදා ගත හැකිය. මෙම ශාකයේ කොටස් අඩංගු කෂාය මගින් ශරීරය පිරිසිදු වේ. දරුවන්ගේ මාන්දම් තත්ත්ව, රිකට්සියාව නම් අස්ථි විකෘති කරවන මාන්දම සඳහා භාවිත කරන ඔසුවකි. අංශභාගයට ප්‍ර‍තිකාර කිරීම සඳහා නටු කෂාය යොදා ගැනේ. මුලෙහි පොත්ත රූමැටික ආබාධ සඳහා කෂායවල දී ගැනේ. ආහාර අරුචිය, උණ සහ සමේ රෝග සඳහා මුලේ සාරය ඉතා ප්‍රයෝජනවත්ය. ලේ පිරිසිදු කරන අනගි ඖෂධයක් වන මෙය බරවා සෑදුන අයගේ රුධිරය පිරිසිදු කරන ඔසුවක් ලෙස දීර්ඝ කාලීන පාවිච්චියට සුදුසුය.

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, September 17, 2017

කොතුරුබැද්ද [Kothurubedda] (Geophila repens)

මීකන්පලා, ආබුකරණී, ආඛුපර්ණී මකුනුවැන්න ආදී නම්වලින්ද හඳුන්වන කොතුරුබැද්ද භූගත ධාවකයක් සහිත කුඩා පැළෑටියකි. තෙත් කලාපීය වවනාන්තරවල හමුවන දේශීය ශාකයක් වන මෙහි බොහෝ විට පත්‍ර දෙකක් පමණ පිහිටා තිබෙනු දැකගත හැකිය. පත්‍ර හැඩය ඕවලාකාර හෝ හෘදයාකාරය. මෙම පත්‍ර මීයකුගේ කනෙහි හැඩයට සමාන හෙයින් මීකන් පලා යනුවෙන් හඳුන්වා ඇත. පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් සුදු පැහැතිය. තැඹිලි පැහැති ගෝලාකාර ඵලය මාංසල ස්වභාවයක් ගනී. ඵලයක් තුල කහ පැහැති කුඩා බීජ කීපයක් පිහිටයි. ඒවා කෑමට ගත හැකිය. කොතුරුබැද්ද Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

කොතුරුබැද්ද පණු රෝග සඳහා ප්‍රකටව භාවිතා කරන ඖෂධයකි. එමෙන්ම ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, මාන්දම්, තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. වෙත් රටවල මෙම කොළ කෂාය කැස්ස සඳහාත්, ගෙඩි සමෙහි හට ගන්නා දිලීර රෝග සඳහාත්, මුහුණේ සුදු පැහැති ලප ආදිය සඳහාත් ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. දේශීය වෙදකමේදී මීකන්පලා, කොතරුබැද්ද, මකුණුවැන්න යන නම් ගොටුකොළ වැනි වෙනත් ශාක විශේෂ සඳහා ද භාවිතා කර ඇත. 

පණු රෝග සඳහා කොතුරුබැද්ද, කරාබුනැටි, ඉඟුරු තම්බාගත් වතුර සුරංවිදුර වටී හෝ ජීවානන්ද වටී වැනි ක්‍රිමි නාශක ඖෂධ සඳහා අනුපාන ලෙස යොදයි. කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගාමුල් කෂාය තිපිපිලි - වලඟසාල් චූර්ණය සමඟ දීමෙන් කලක් පැවති පණුවන් හා පණුවන්ගෙන් හට ගන්නා රෝග නැසෙන බව සඳහන්. ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, පණුරෝග ආදියට කොතුරුබැද්ද, කරබුනැටි, අරළු, මුරුංගා පොතු, කුඹුරු ඇට, සුදුලූණු, වළඟසාල් කෂාය දෙයි.  කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගා පොතු, කුකුරුමාන් ගෙඩියේ ලෙලි, පිලමුල්, වෙනිවැල් කෂාය දීම විශේෂයෙන් පණු රෝග සඳහාත්, උණ, මාන්දම් ආදියටත් ගුණදායක බව සඳහන්. 

මූලාශ්‍ර_ පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර මහතාගේ ද්‍රව්‍ය ගුණ විඥානය , ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 10, 2017

දළුක් [Daluk] (Euphorbia antiquorum)

දළුක් කටුක පරිසර ලක්ෂණ සහිත ගල් තලාවන් වැනි ස්ථාන ආශ්‍රිතව හමුවන මීටර් 6 ක් පමණ උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. සෘජු කඳ තරමක් කාෂ්ඨීය වන අතර ත්‍රිකෝණික හෝ හතරැස් අතු බෙහෙවික් මාංසල ස්වභාවයක් ගනී. අතුවල පිහාටු ආකාරයෙන් පිටතට නෙරූ මාංසල කොටස් දැක ගත හැකිය. ඒවා දැඩි කඩතොළු සහිතය වන අතර දාර මත කටු පිහිටා තිබේ. ප්‍රත්‍යණ්ඩාකාර-ආයත හැඩයෙන් යුත් නිර්වෘන්ත පත්‍ර දරයි. පත්‍ර ඉතා කුඩා වන අතර මාංසලය. අතුවල බහු අක්ෂ පුෂ්ප මංජරි රාශියක් හට ගනී.  කුඩා මල් ළා කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. එ් තුල සුදු පැහැති බීජ කීයක් පිහිටයි. දළුක් Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

වණ, කුෂ්ඨ, අර්ශස්, ඉදිමුම්, ගෙඩි, පැරණි තුවාල, යටි පතුල් පැලීම, ආදියට ප්‍රතිකාර කිරීමට දළුක් ශාකයේ කිරි, මුල් සහ ඇට භාවිතා කරයි. දළුක් වේදනාස්ථාපන, රේචන, විරේචක, ඉදිමුම් නසන ආදී ගුණ සහිත බව සඳහන්. අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ක්ෂාර සූත්‍ර නම් නූල් වර්ගය දළුක් කිරි යොදා නිපදවයි. පැරණි පොත්පත්වල "උක් කිරෙන් අඹරා" ගතයුතු ලෙස නියම කර ඇති අවස්ථාවල එහි සඳහන් වන්නේ දළුක් කිරෙන් අඹරා ගත යුතු බවයි. දළුක් කිරි ඖෂධ සඳහා භාවිතා කිරීමේදී සම්මත ක්‍රමයන්ට අනුව විෂ ඉවත්කර භාවිතා කළ යුතුය. පොල් ගෙඩියක ඇස්ස සිදුරු කර කිරි එ තුලින් බහා තැබීම දළුක් කිරි ශෝධනය කර ගන්නා එක් ආකාරයකි.

දළුක් කොළ තම්බා තැවීම සහ බැඳීම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයකි. ක්ෂය රෝගයට දළුක් ‍දඬු උණු අළුයෙන් තම්බා මිරිකාගෙන වරකට තේ හැඳි 1 ක් මී පැණි හා පුස්කර අනුපාන ලෙස දාමා බීමට දෙයි. අරශස් ගෙඩි, ගුද මාර්ගය ඉදිමීම සහ සූත්‍ර පණු ආදී රෝග සඳහා දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා මඳ උණුසුමින් ගුදමඟ පිටතින් තබා බැඳිය යුතුය. දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා බැඳීම පැරනි තුවාල සඳහා ද ප්‍රතිකාරයකි. ගෙඩි විදාරණයට කිරි සහිතව දළුක් දඬු-කොළ සහිඳ ලුනු ස්වල්පයක් සමඟ අඹරා රත්කර ගෙඩිය මත එළයි. සැරව සහිත කුෂ්ඨ සේදීමට දලුක් කොළ සහ දඬු තම්බා ගත් වතුර භාවිතා කරයි. අර්ශස් අංකුර හැකිලවීමට දළුක් කිරි ඒ මත ආලේප කරයි. දළුක් කිරි මිශ්‍ර හාල් පිටි වලින් කැවුම් තනා සත් දිනක් කැවීමෙන් ජලෝදර රෝගය සුව වන බව සඳහන් වේ. දළුක් කිරි හිස් මුඳුනේ ගෑම මුඩගර්භයට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා කෙමකි. 

දළුක් කිරි  ඇසට වැටුනහොත් ඇතිවන වේදනාව හා විෂ ස්වභාවය සමනය කිරීම සඳහා ළපටි දිවුල් ගෙඩියක මඳය තලාගත් යුෂ ඇසට යෙදිය යුතුය. එවිට දළුක් කිරි ඇසේ එක් පැත්තකට එක්රැස් වන බැවින් ඉවත් කිරීම පහසුවේ. දළුක් උද්‍යාන අලංකරණය සඳහා සුලබව යොදා ගන්නා ශාකයකි. ජවා රටේ වැසියන් ළපටි දළුක් අතු හොඳින් තම්බා ජලයේ පොඟවා සීනි තවරා පැණි රසැති ආහාරයක් ලෙස කෑමට ගන්නා බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 3, 2017

බිලිං [Bilin] (Averrhoa bilimbi)

බිලිං මීටර් 10 ක් දක්වා උසට වැඩෙන කුඩා ශාකයකි. ගසේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. තරමක් විශාල සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. ප්‍රාක්ෂය සෙ.මි. 40 පමණ දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා 11-35 අතර සංඛාවක් පිහිටා තිබේ. පහලින් පිහිටන පත්‍රිකා දිගින් සෙ.මි. 3 හා පළලින් 2.2 දක්වා වර්ධනය වේ. අණ්ඩාකාර හෝ පුළුල් අණ්ඩාකාර හැඩැති වන අතර පිහිටීම බොහෝ විට උප සම්මුඛය. ඉහලින් පිහිටන පත්‍රිකා මීට තරමක් විශාල වන අතර හැඩයෙන් අණ්ඩකාර සිට ආයතය. බොහෝ විට ඒකාන්තරව පිහිටයි. පත්‍රිකාවල යටි පෘෂ්ඨයේ බෙහෙවින් හෝ මඳ වශයෙන් ඇලුණු බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරි කක්ෂීයව හෝ ප්‍රධාන කඳේ හා මේරූ අතුවල හට ගනී. මල් රතු තද දම් පැහැතිය. ඵලය සෙ.මි 5 ක් පමණ දිග ආයත හැඩැති මාංසල බදරියකි. එය කොළ පැහැති වන අතර ඉදීමේදී කහ පාටට හැරේ. තද ඇඹුල් රසය හේතුවෙන් වඩාත් ප්‍රකට බිලිං Oxalidaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ඖෂධයකට වඩා අහාරමය වටිනාකම් අතින් ඉතා ප්‍රකට බිලිං අර්ශස්, උණ, සීතාද රෝගය ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. බිලිං කුසගිනි වඩවන, ආහාර රුචිය ඇතිකරවන, ආමාශයට හිතකර ගුණ සහිතයි. කටු ඇණුනු විට බිලිං ගෙඩි උණු අළුවේ තම්බා බැඳීම සරල ප්‍රතිකාරයකි. විවිධ රටවල උපදංශය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, උගුරේ ආසාදන, හොරි වැනි චර්ම රෝග, ගෙඩි, ගුද මාර්ගයේ රෝග, ආතරයිට්ස්, කම්බුල් ගාය, කැස්ස ආදී රෝග අවස්ථා සඳහා බිලිං කොළ සහ ගෙඩි භාවිතා කරන බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

බිලිං විටමින් සී බහුල පළතුරක් ලෙස මෙන්ම ව්‍යංජන, චට්නි, අච්චාරු, ජෑම් ලෙසද සකසා ආහාරයට ගත හැකිය. බිලිං ගෙඩි දෙකෙලවර කපා හුණු ස්වල්යක් දැමූ ජලයේ පැය 12 ක් පමණ ගිල්වා තබා රත්කර ගත් සීනි ද්‍රවණයක විටින් විට දින කීපයක් තැබීමෙන් වියළි මිදි වැනි ද්‍රව්‍යයක් සාදා ගත හැකිය. ඒවා රස කැවිලි සැදීමට වියළි මිදි වෙනුවට යොදා ගැනීමට පුලුවන. ව්‍යංජනවලට ඇඹුල් රස එකතු කිරීමටද බිලිං ගෙඩි භාවිතා කරයි. බිලිං යුෂ පානය පිපාසය සංසිඳුවයි. ළපටි බිලිං ගෙඩි ලුණු දමා තම්බා විටින් විට එකතුවන ජලය ඉවත්කර වේලා ගෙන එයට කෑලි මිරිස්, රතුළූණු, කරපිංචා ආදිය දමා තෙම්පරාදු කරගත් පසු කාලයක් තබාගෙන බත් සමඟ කෑමට ගත හැකිය. 

බිලිං ගෙඩියක් පොඩිකර දත් මැඳීමෙන් දත්වල අවපැහැය ඉවත්වී යයි. බිලිං ගෙඩිවල යුෂ පිත්තල භාන්ඩ ඔප දැමීමට, ඇදුම්වල පැල්ලම් ඉවත් කිරීම ආදියට භාවිතා කරයි. ගැමියන් කෙසෙල් කැන් ඉදවීම සඳහා බිලිං කොළ යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support