දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, June 24, 2018

ගැටකොළ [Getakola] (Exallage auricularia)

ගැටකොළ පර්වවලින් මුල් අදිමින් බිම දිගේ වර්ධනය වන කුඩා වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳ දම් පැහැතිය. පර්වවල රෝම පිහිටා තිබේ. සෙ.මි. 2.5-5 පමණ දිගු වන සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍ර හැඩය ඕවලාකාර, ලන්සාකාර හෝ රේඛීය-ලන්සාකාර ය. පත්‍ර දාරයේ ඉතා සියුම් කටු වැනි ව්‍යුහ පිහිටා තිබේ. පත්‍රවල ඉහල පෘෂ්ඨය මඳ බූව සහිත වන අතර යටි පෘෂ්ඨයේ දැඩි බූවක් දක්නට ලැබේ. කෙටි බහු අක්ෂ පුෂ්ප මංජරි කක්ෂීයව පිහිටයි. ක්‍රමවත්ව පිහිටන කුඩා ද්වී ලිංගික මල් සුදු පැහැති ය. ඵලය තරමක් ගොලාකාර හැඩැති, ඉතා කුඩා නොපැලෙන ස්ඵෝටිකාවකි. ගැටකොළ ශාකයේ උප විශේෂ සහ ප්‍රභේද ගණනාවක් ලෝකයේ වෙනත් රටවලදී දක්නට ලැබෙන අතර ලංකාවේදී හමුවන්නේ Exallage auricularia subsp. auricularia නම් උප විශේෂයට අයත් ප්‍රභේද දෙකකි. එයින් එක් ප්‍රභේදයක් අප රටට ආවේණික වේ. ගැටකොළ Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

උෂ්ණ අතීසාර, පාචනය, විසූචිකා, දාහ, රාත්‍රී අන්ධතාවය, මාන්දම, විද්‍රධි (ගෙඩි), අර්ශස්, කණ් කැක්කුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගැටකොළ ශාකයේ කොළ, මුල්, ඇට සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. ගැටකොළ කෂායකර, අභ්‍යන්තර වේදනාවන් සමනය කරන, ශක්තිජනක, මව්කිරි වඩවන ආදී ගුණ සහිත බවත් විශේෂයෙන් මෙම ඇටවල කාමෝද්දීපක ගුණ ඇති බවත් සඳහන්. ගැටකොළ තෛලය, ගැටකොළ සෘතය, ගැටකොළ අවලේහය ගැටකොළ යොදා නිපදවන ඖෂධයන් ය. 

විද්‍රධි සඳහා ගැටකොළ අඹරා ගෑමෙන් ගෙඩි පැසවා පුපුරා යයි. අතීසාරයට කොළ කල්කය යොදා ප්‍රතිකාර කරයි. ශරීර ශක්තිය වර්ධනය වීමට සහ ශුක්‍ර වර්ධනයට බීජ හෝ කොළ චූර්ණය එළකිරි සමඟ බීමට දෙයි. ගැටකොළ ශාකයේ යුෂ බඩවැල් ආශ්‍රිත ආශ්‍රිත රෝග සඳහා සහ කොලරාවට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බවත්, කොළ ප්‍රලේපය තුවාල වලට යෙදිය හැකි බවත්, කොළ යුෂ ඇස් රෝග සඳහා යෙදිය හැකි බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

ගම්බද ජනයා ගැටකොළ මැල්ලුම් සහ ව්‍යංජන ලෙස සකසා ආහාරයට එකතු කර ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
Share:

Monday, June 18, 2018

මැඩහඟු [Medahagu] (Pergularia daemia)

දෙමළ භාෂාවෙන් වේලිපරිත්ති යනුවෙන් හඳුන්වන මැඩහඟු පඳුරුමය ශාක මත පැතිරී වැඩෙන කිරි සහිත කුඩා බහු වාර්ෂික වැල් ශාකයකි. කඳහි සුදු පැහැති බූවක් පිහිටයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර පුළුල් ලෙස අණ්ඩාකාර, හෘදයාකාර හෝ තරමක් වටකුරු හැඩයක් ගනී. පත්‍ර තලයේ උඩු පෘෂ්ටය සිනිඳු වන අතර යට පෘෂ්ටය විල්ලුද ආකාරයේ බූවක් දරයි. පත්‍රයක් දිගින් සෙ.මි. 10 සහ පළලින් සෙ.මි. 8 පමණ වේ. පත්‍ර නටුව සෙ.මි 2-9 දක්වා දිගු විය හැකිය. කක්ෂීයව හට ගන්නා ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි කොළ පැහැයට හුරු සුදු පැහැති මල් රැසක් හට ගනී. ඵලය කිරි සහිත වරාවකි. බොහෝ විට යුගල වශයෙන් දැක ගත හැකිය. එලාවරණය පුරා කටු වැනි ව්‍යුහ පිහිටා තිබේ. ඵලයක් තුල දුඹුරු පැහැයට හුරු සුදු පැහැති, ප්‍රත්‍යණ්ඩාකාර හැඩැති බීජ රාශියක් පිහිටා තිබේ. මැඩහඟු   Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. මෙම උද්භිද කුලයටම අයත් හීං මැඩහඟු යනුවෙන් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය  Oxystelma esculentum යන උද්භිද නාමයෙන් හඳුන්වා ඇත. 

චර්ම රෝග, පණුරෝග, වණ, අර්ශස්, භගන්දර, කැස්ස, ඇදුම, මුත්‍රඅඩස්සිය, මුත්‍රගල්, සර්ප විෂ, අක්ෂි රෝග, ඉදිමුම්, කුසගිනි මදිකම, ළදරු කෘමි රෝග, වමන, ප්‍රතිශ්‍යා, මාන්දම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මැඩහඟු ශාකයේ කොළ, මුල්, මල් ඇතුළු ශාකයේ සියලූම කොටස් භාවිතයට ගනී. මහා නාරායන තෛලය, අර්ශස් තෛලය, අගුර්වාදී තෛලය, සුකුමාර රසායනය, බුද්ධරාජ බස්නය අැතුළු මැඩහඟු යොදා නිපදවන ඖෂධ රැසක්ද ඇත.

කුඩා දරුවන්ගේ කෘමි රෝග සඳහා මැඩහඟු කොළ කෂාය යොදා ප්‍රතිකාර කරයි. මෙම කොළ හුණු සමඟ අඹරා ගෑමෙන් වාත වේදනා සමනය වෙයි. පත්‍ර ස්වරසය අමු ඉඟුරු සමඟ යෙදීමෙන්ද වාත වේදනා සමනය වේ. වණ සඳහා පත්‍ර ප්‍රලේපය යොදා ගනී. ආර්තවය සිදු නොවීම සහ ආර්තව වේදනාවන්ට මැඩහඟු මුලේ පොතු චූර්ණය මදටිය ඇටයක ප්‍රමාණ 2 ක් එළකිරි සමඟ වැළඳිය යුතුය. වාතව්‍යාධි, මුත්‍ර ගල් සහ මුත්‍ර අඩස්සිය සඳහා මැඩහඟු, ගල්කූර, අරත්ත අල, පාවට්ටා, පොල්පලා, නෙරෙංචි, කුරුඳු පොත්, රන්වන් කටුකරඬු, වැලුක්, රසකිඳ, සුවඳහොට, තොටිල, මුරුවා, කෙසෙල් අල, කුඹුක් පොතු කෂාය කර පානය කළ යුතුය. මැඩහගු මුල් අඹරා මැටි බඳුනක ඇතුලත ආලේප කර, එයට දීකිරි හෝ මෝරු වත්කර තබා බීමට ගත යුතුය. ගුල්ම, භගන්දර, අර්ශස් සහ අක්මා රෝග නැසීමටත්, කුසගිනි වැඩි වීමටත් මැඩහඟු, ඇඹුල්ඇඹිලිය, රත්නිටුල් සහ වල් කිඩාරම යන මේවායේ චූර්ණය භාවිතා කළ යුතුය. සියළු සර්ප විෂට  මැඩහඟු මුල්, මුරුංගා කොළ, අත්තන පොතු සමව ගෙන කොටා ධූම දීය යුතුය. මැඩහඟු කොළ සහ මදුරුතලා කොළ එක්ව යොදා ගෙන වමන කර්ම කළ හැකි බව සඳහන්. මැඩහඟු යුෂයෙන් අඹරා සකසන වෙල්ලෙයි වෙන්ගායම් ගුලි උණ, ආමවාත, රුධිරයේ මේදය අධික වීම ආදී රෝග සඳහා සිද්ධ වෙෙද්‍යවරු අතර ඉතා ජනප්‍රිය ඖෂධයකි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Sunday, June 10, 2018

සේර [Sera] (Cymbopogon citratus)

සේර භූගත කඳක් සහ තන්තු මුල් රාශියක් සහිත බහු වාර්ෂික පෑළෑටියකි. රෛසෝමයෙන් ඇති වන ශාඛා රාශිය ගොනු වී පඳුරක ස්වරූපයකින් දර්ශනය වේ. දිගැටි සිහින් පත්‍ර රේඛීය හැඩයක් ගන්නා අතර පත්‍රයක් දිගින් සෙ.මි. 90 හා පළලින් සෙ.මි. 1.8 පමණ වේ. පත්‍රවල දෙපසම බූව සහිතය. සිලින්ඩරාකාර පත්‍ර කොපු එනතු වී ව්‍යාජ කඳක් නිර්මාණය කරයි. පුෂ්ප මංජරිය සෙ.මි. 30-60 පමණ උස සංයුක්ත බහු අක්ෂයකි. මල් සහිත කොලපු කොළ පැහැයට හුරු කහ පැහැති වන අතර මල් දම් පැහැතිය. ඵලය ආයත හැඩැති ධාන්‍යයකි. ඉන්දියානු සම්භවයක් සහිත, මෙරටට හඳුන්වා දී වගා කර ඇති සේර Poaceae හෙවත් තෘණ කුලයට අයත් ශාක විශේෂයකි. 

උදරාධ්මාන, අජීර්ණ, උදර වේදනා, පණු රෝග, වමනය, පාචන, උණ, වේදනා සහිත ආර්තවය, සන්ධි ඉදිමුම්, ආතරයිට්ස්, අස්ථි ආබාධ, පීනස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සේර සම්පූර්ණ ශාකයම සහ එයින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් භාවිතා කරයි. සේර දහදිය ඇති කරවන, අජීර්ණ සහ ඉදිමුම් නසන, උද්දීපන, ආක්ෂේප නිවාරක, ආර්තවය ජනනය කරන, ඉදිමුම් නසන, බල වර්ධක, ශුක්‍ර නාශක ආදී ගුණ සහිතය. සේර අර්කය, සේර තෙල් සේර යොදා නිපදවන ඖෂධයන් ය.  

ආර්තවයේදී ඇතිවන වේදනාකාරී පීඩාවන්ට සේර කෂායට ගම්මිරිස් කුඩු දමා බොන්නට දෙයි. සන්ධි ඉදිමුම් සහ උලුක්කුවලදී අදාල ස්නථාය සේර තැම්බූ වතුරින් තැවීම සිදු කරයි. කොලරා රෝගයේදී ඇතිවන තද වමනයට සේර තෙල් බිංදු 3-6 දක්වා සීනි සමඟ මිශ්‍රකර බොන්ට දෙයි. ප්‍රදාහ සහිත ඉදිමුම්වලට සේර තෙල්, පැඟිරි තෙල් සමඟ මිශ්‍රකර ආලේප  කළ යුතුය. පීනස, උණ සහ උදර වේදනාවන්ට සේර කොළ යුෂට මිංචි, ගම්මිරිස්, වියළි ඉඟුරු, සූකිරි දමා බොන්නට දෙයි.

ප්‍රමිතියකට අනුව වියලා ගත් හෝ අමු සේර කොළ උණු වතුරෙන් තම්බා හෝ තේ සකසක ආකාරයට උණු වතුරට මෙම කොළ එකතු කර පානය කළ හැකිය. එය සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පිරිසිදු කිරීමට උපකාරීවන රසවත් මෙන්ම සුවඳවත් ඖෂධීය පානයකි. එමඟින් ඇදුම සහ ස්වාසනාළිකා ප්‍රදාහය වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් සමනය වන බවත්, අජීණ සහ ආහාර ජීර්ණ ගැටළු සඳහා පිලියමක් බවත් සඳහන්. සේර රුධිරයේ මේදය (කොලෙස්ට්‍රෝල්) පාලනය සඳහා ද යොදා ගත හැකි ඵලදායී ඔසුවකි. ප්‍රතිඹක්සිකාරක ගුණ සපිරි සේර පිළිකා ඇතිවීම වැලැක්වීමට දායක වෙයි. සේරවලින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් දිලීර සහ බැක්ටීරියා නාශක ගුණ සහිත ඖෂධයකි. මෙම තෙල් හොරි, පණුකැවිලි වැනි සමේ රෝග සඳහාත්, ආතරයිට්ස් වේදනාවන් සමනය කිරීම සඳහාත් බාහිර ආලේපනයක් ලෙස යොදා  ගත හැකිය. 

ඖෂධීය භාවිතාවන්ට අමතරව සේර අහාර සැකසීමේදී යොදා ගන්නා ප්‍රධාන රස සහ සුවඳ කාරකයකි. බත්, සුප් වර්ග, මස් මාළු වැනි ව්‍යංජන ඒ අතර ප්‍රධාන වේ. පැණි බීම කර්මාන්තයේදී රස සහ සුවඳ එකතු කිරීමට ද සේර යොදා ගනී. සේරවලින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් සුවඳ විලවුන්, සුවඳ සබන්, හිස ගල්වන ආලේපන, වෙනත් රූපළාවන්‍ය නිශ්පාදන සහ කෘමි විකර්ෂක ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, June 3, 2018

වැල් බැබිල [Wel Bebila] (Sida cordata)

වැල් බැබිල සිහින් දුර්වල කඳක් සහිත, සෙ.මි. 50 පමණ දුරට බිම දිගේ වැඩෙන කුඩා පැළෑටියකි. පුරුක්වලින් මුල් ඇදෙමින්, කඳෙන් අතු බෙදෙමින් වැලක් ආකාරයෙන් පොළව වසාගෙන පැතිරී වැඩෙයි. ඇතැම් විට පොළවෙන් උඩට ඉස්සී වැලක්  ලෙස වැඩෙන අවස්ථා ද දැකගත හැකිය. එ්කාන්තරව පිහිටන සරල පත්‍රවල දෙපසම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර හැඩය වෘත්තාකාර සිට අණ්ඩාකාර වන අතර පත්‍ර පාදය හෘදයාකාර වේ. පත්‍ර දාරයේ දැති ආකාර කඩතොළු පිහිටයි. කක්ෂීයව තනි තනිව පිහිටන මල් කහ පැහැති ය. මලක විශ්කම්භය මි.මි. 8-10 පමණ වේ. ඵලය ඵලිකා (Mericarp) 5 කින් පමණ සමන්විත විදාරකයකි (Schizocarp). මි.මි. 2 පමණ වන අණ්ඩාකාර හැඩැති බීජ දුඹුරු පැහැයට හුරු කළු පැහැති ය. වැල් බැබිල Malvaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

සර්ප විෂ, උන්මාද, සන්නි, පිලිස්සුම්, ගෙඩි, වණ, තුවාල, කුරුලෑ ආදියට ප්‍රතිකාර කිරීමට බැල් බැබිල ශාකයේ කොළ, මුල්, දඬු ආදිය භාවිතයට ගනී. වැල් බැබිල ලිංගික ශක්තිය වඩවන, ශුක්‍රධාතුව වර්ධනය කරන, හිසට සහ කෙස් කළඹට හිතකර ගුණ සහිතයි. 

කුණකටු විෂ නිසා හටගත් පාද ඉදිමුමට වැල් බැබිල දෙහි ඇඹුලින් අඹරා ආලේප කරයි. කරවැල් විෂට වැල් බැබිල, කරවිල, එළබටු යන වර්ග තුනෙහි කොළ යුෂ තල තෙලින් කකාරා දෂ්ට මුඛයේ ආලේප කළ යුතුය. උන්මාද රෝගීන්ට හිස ගැල්ලුම් දැමීමට වැල් බැබිල කොළ යොදා ගනී. ඒ සඳහා වැල් බැබිල කොළ, සැවැන්දරා මුල් , සුදු හඳුන් සහ දෙහි සමව ගෙන එළකිරෙන් තම්බා හොඳින් අඹරා ගත යුතුය. මෙම කොළ අඹරාගත් ප්‍රලේපය යෙදීමෙන් පරණ තුවාල පිරිසිදු වී ඉක්මනින් සුව වෙයි. වැල් බැබිල කොළ කීපයක් අතේ පොඩි කර ආලේප කිරීමෙන් සුළු පිලිස්සුම් තුවාලවල දැවිල්ල පහව යයි. වැල් බැබිල දඬු කොටා දියේ දමා පැය 4 කින් පමණ පසු පෙරා සීනි දමා බීමෙන් ශරීර ශක්තිය වර්ධනය වන බව කියනු ලැබේ. වැල් බැබිල කොළ හා දඬු සිහින්ව අඹරා, පල්පයක් මෙන් සකසා හිස ගල්වා මිනිත්තු 15-20 පමණ සොදා හැරීම  කෙස් කළඹ සෞක්‍යසම්පන්නව පවත්වාගෙන යෑම සඳහා  අගනා යෙදිය හැකි ප්‍රතිකාරයකි. 

වැල් බැබිල සම්පූර්ණ ශාකයේ යුෂ ගෙඩි, කුරුලෑ ආදීයට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මෙම මුල්වල යුෂ අජීර්ණයට ප්‍රතිකාර කිරීමටත්, මුල් ප්‍රලේපය ගෙඩි සහ තුවාලවල සැරව ඉවත් කිරීමටත් යොදා ගත හැකිය. එමෙන්ම මුල් ගොනෝරියා ඇතුළු ලිංගික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බවත්, කොළ යුෂ කැපුම් සහ වෙනත් තුවාල සඳහා භාවිතා කළ හැකි බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්, තල්පතේ පිලියම් සහ අන්තර්ජාලයෙන්. විශේෂ ස්තුතියිය සංවාදයට අදහස් දැක්වූ විද්වතුන් ඇතුළු සැමට. අදාල සංවාදය මෙතැනින් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support