අඩි 8-12 අතර උසැති මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහි පොත්ත තද දුඹුරු පාටය. ළපටි රිකිලි දම් පාටය, සිනිඳුය, එහි කුඩා කටු ඇත. පත්‍රය සංයුක්තය. එක් එක් පත්‍රයේ පත්‍රිකා 40-60 දක්වා සංඛාවක් දක්නට ලැබේ. එම පත්‍රිකාවක් අඟල් 1/2 පමණ දිගය. ළං ළංව පිහිටා ඇත. සැප්තැම්බර් මාසයේ මෙම ශාකයේ මල් හට ගනී. එම මල් ළා කහ පාට හෝ රෝස පාටය. පුෂ්ප මංජරිය අඟල් 4 ක් පමණ දිගය. පුෂ්පය ද්වීලිංගිකය. එහි මණිය පුනීලාකාරය. ඵලය අඟල් 4 ක් පමණ දිග රනිලයකි. වේලුන විට එය පැළේ. රනිලයක බීජ 4-6 දක්වා ඇත. ඒවා ගෝලාකාරය. කොළ පාටට හුරු දුඹුරු පාටය.
ලංකාවේ කිහිරි දක්නට ලැබෙන්නේ වියළි කලාපයේය. බලංගොඩට පහළින් තිබෙන බිම් තැන්න, උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව අතර ප්‍රදේශය යනාදියෙහි කිහිරි දක්නට ලැබේ. ඉන්දියාව, පාකිස්ථානය, බුරුමය හා නිවර්තනික අප්‍රිකාව යනාදී රටවල කිහිරි වැවේ. කිහිරි අරටුව රතු පාටය, ඉතා තදය, බරය, තිත්තය. කිහිරි Fabaceae කුලයට අයත් ශාකයකි.
ඖෂධීය වටිනාකම
සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කිහිරි හැඳින්වෙන්නේ “ඛදිර“ යනුවෙනි. මෙම ශාකයේ ප්‍ර භේද 5 ක් ඇත. ඛදිර, සෝමවල්ක, තාමූකන්ටක, විටිඛදිර, හා අරී ඒවාය. ඛදිර තිත්තය, ශීත වීර්ය ඇත්තේය. වා, පිත්, සෙම් සමනය කරයි. කුෂ්ට, ආම හෙවත් ආහාර නොදිරවීම නිසා හටගන්නා වාත රෝග, ඉදිමුම්, වණ හා කෘමි දෝෂ නසයි. සෙම් වියළවයි. මල බුරුල් කරයි. සෝමවල්ක ප්‍රභේදය ශ්වේත වර්ණයෙන් යුතුය. තිත්තය, කටුකය, කසටය, ඌෂ්ණ වීර්ය ඇත්තේය. ශීතපිත්ත, කඵ, වාත, වණ, රක්ත දෝෂ හා කුෂ්ට නසයි.
තාමූකන්ටක ප්‍රභේදයේ ලීය රතු පාටය. කටුකය, කසටය, තිත්තය, ඌෂ්ණය. ආමවාත, රුධිර දෝෂ, වාත, වණ හා උණ නසයි. විටිඛදිර ලංකාවේ ඇතැම් පළාත්වල “ගුරුන්ද“ නමින් හැඳින්වේ. එය දුගඳින් යුතුය, කටුකය, ඌෂ්ණය, තිත්තය, ලේ දෝෂ, වණ විසප්පු, උණ, කුෂ්ට, උන්මාද සමනය කරයි. දත් රෝග නසයි. අරි ප්‍රභේදය තිත්තය, කසටය, රුධිර දෝෂ හා පිත් නසයි.
ඛදිර ප්‍රභේදයෙන් ලබාගන්නා ද්‍රව්‍යයකට ලංකාවේ ජනයා “කයිප්පු“ යැයි ව්‍යවහාර කරති. කයිප්පු කටුකය, තිත්තය, ඌෂ්ණ වීර්ය ඇත්තේය, ආහාර ප්‍රිය කරයි, කුසගිනි වර්ධනය කරයි. වා සෙම් නසයි. ගෙල ආශ්‍රිත පීඩා (කණ්ඨ රෝග) හා වණ සුව කරයි. මේ ද්‍රව්‍ය බුලත් විට සමග කෑමට පැරණියෝ පුරුදු වී උන්හ. ඒ එහි ඇති යට කී ගුණ නිසාය.
මූලාශ්‍ර_ "ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘතිය
සේයාරූ_ අන්තර්ජාලයෙන්