දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, December 31, 2017

වල් ඇඹරැල්ලා [Wal Ebarella] (Spondias pinnata)

වල් ඇඹරැල්ලා මීටර් 25 ක් දක්වා උසට සහ සෙ.මි. 60 දක්වා විශ්කම්භයක් සහිතව වැඩෙන විශාල පතනශීලී වෘක්ෂයකි. ඝණකම් පොත්ත සිනිඳුය. පොත්ත පළුදු කළ විට උකු මැලියම් ද්‍රාවණයක් ස්‍රාවය වෙයි. ළපටි අතු සහ කොළ කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 40 දක්වා දිගු විය හැකිය. එක් පත්‍රිකාවකින් අවසන් වන සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 5-11 අතර සංඛාවක් පිහිටයි. සෙ.මි. 10 පමණ දිග පත්‍රිකාවන්ගේ හැඩය අණ්ඩාකාර අායත සිට ඉලිප්සාකාර ආයත වේ. අග්‍රස්ථ පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා නිර්වෘන්ත පුෂ්ප සුදු පැහැතිය. ඉලිප්සාකාර ඵලය අෂ්ටිලයකි. ළපටි ඵලය කොල පැහැතිවන අතර ඉදුණු පසු කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී. ඵලය මධ්‍යයේ පිහිටි ගණ තන්තුමය ආවරණයකින් වටවුනු බීජ 2 හෝ 3 පිහිටයි. Wild Mango යනුවෙන්ද හඳුන්වන වල් ඇඹරැල්ලා Anacardiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

විශේෂයෙන් දේශීය වෙදකමේ කොඳුඇට පෙල ආබාධ සහ කැඩුම් බිඳුම් සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා ශාකයේ පොතු භාවිතා කරයි. එමෙන්ම මෙම ගෙඩි පිත අධික බව සහ කුසගිනි මදිකමට ප්‍රතිකාර කිරීමටත්, ගෙඩිවල යුෂ කණ් කැක්කුමට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. එමෙන්ම උදරාබාධ, අතීසාරයට, ආතරයිට්ස්, හන්දි ඉදිමීම ආදී රෝග සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා පොතු භාවිතයට ගනී. මෙම මුල් කාන්තාවන්ගේ ඔස්ප් චක්‍රය ක්‍රමවත් කිරීමට භාවිතා කළ හැකි බව සඳහන්. එමෙන්ම අතීසාරය, පාචනය, වණ, තුවාල, පිලිස්සුම්, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වල් ඇඹරැල්ලා ශාක කොටස් භාවිතා කළ හැකිය. වල් ඇඹරැල්ලා ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. 

වල් ඇඹරැල්ලා කොළ සලාද ලෙසත්, අමු ගෙඩි ව්‍යංජන ලෙස සකසා අහාරයට ගත හැකිය. අමු ගෙඩි කාමවර්ධණ ගුණයෙන් යුක්තය. ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඒවායෙහි සමේ රෝග සුව කිරීමේ ගුණ සහිත බව සඳහන්. ගිණි කූරු, තාවකාලික ඇසුරුම් ආදිය නිපදවීමට මෙම ශාකයේ දැව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන් සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 24, 2017

ඇඹරැල්ලා [Ebarella] (Spondias dulcis)

ඇඹරැල්ලා ශක්තිමත් නොවන කඳක් සහිත පතනශීලී හෝ පතනශීලී නොවන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ සහ අතු සිනිඳු වන අතර පොත්තෙන් මැලියම් ස්‍රාවය වෙයි. ඒකාන්තරව පිහිටන අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සෙ.මි. 45 දක්වා දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 3-7 දක්වා පිහිටන අතර එක් පත්‍රිකාවකින් අවසන් වේ. අග්‍රස්ථීය පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. කුඩා ද්වීලිංගික පුෂ්ප කොළ පාටට හුරු කහ පාටය. ඵලය සෙ.මි. 7 පමණ දිග අණ්ඩාභ හැඩැති මාංසල අෂ්ටිලයකි. සොලමන් දූපත්, ක්‍රිස්මස් දූපත්, මලුකු වැනි ඔස්ටේලියානු අර්ධද්වීපය අවට දූපත් රාජ්‍යයන් කීපයකට පමණක් දේශීය වන ඇඹරැල්ලා ශාකය මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයකට ව්‍යාප්තව ඇත. මෙකල ගෙවතුවල වගා කරන මිටි ඇඹරැල්ලා නම් කුඩා ශාකය මෙම විශේෂයේම ප්‍රභේදක් ලෙස සැලකේ. එමෙන්ම මෙම උද්භිද ගණයටම අයත් වල් ඇඹරැල්ලා (Spondias pinnata) නම් දේශීය ශාකයක් ඇති අතර එය මෙරට සහ වෙනත් රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල ඖෂධ සඳහා භාවිතා කරයි. ඇඹරැල්ලා  වර්ග Anacardiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ගණ්ඩමාලය, මුත්‍ර මාර්ගයේ ඉදිමුම්, ග්‍රහණි, අතීසාර, අර්ශස්, අහාර අරුචිය, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම, දරු ප්‍රසූතියෙන් පසු ලේ වහනය, අම්ලපිත්තය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කල්ගතවූ කුෂ්ට, කැස්ස, කක්කල් කැස්ස, උදරාබාධ, ශ්වේත ප්‍රදර, පූය මේහ, රක්තඅතීසාරය, ප්‍රවාහිකා, තුවාල, පිලිස්සුම්, අක්ෂි රෝග, උගුරේ තුවාල සහ මුඛයේ ආසාදන ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා ශාකයේ පොතු, කොළ, ගෙඩි ආදිය භාවිතා කරයි. 

සෙම ඉවත් කිරීමට ඇඹරැල්ලා ගසේ පොත්ත පිට කුරුට්ට ඉවත්කර එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගෑ යුතුය. බෙල්ල ඉදිමීමට ඇඹරැල්ලා පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බලේලේ ගෑමට නියම කර ඇත.  ඇඹරැල්ලා පොතු, අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ගෑම ගණ්ඩමාල රෝගයට ප්‍රතිකාරයකි. තැල්මට ඇඹරැල්ලා පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගායි. කල්ගතවූ කුෂ්ට හා කක්කල් කැස්සට හොඳියෙන් පැසී ඉදුණු ගෙඩි පොතු හැර, ගෑරොප්පුවකින් සිදුරු කර මී පැණියේ බහා තබා දිනපතා ගෙඩිය බැගින් කෑමට ගත යුතුය. ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම. මුත්‍ර මාර්ගය ආශ්‍රිත ඉදිමීම්, දියවැඩියාව, ශ්වේත ප්‍රදර, පූය මේහ, ප්‍රවාහිකා, රක්ත අතීසාර ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා පොතු කෂාය යොදා ගනී. 

අමු ඇඹරැල්ලා ගෙඩි ව්‍යංජනයක් ලෙසත්,  ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් කෑමට ගත හැකිය. ඇඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකසා අහාරට එකතු කර ගැනීමට පුලුවන. එමෙන්ම ඇඹරැල්ලා යොදා ගෙන ජෑම්, චට්නි, අච්චාරු ආදිය සාදා ගත හැකිය. අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයටත්, හෘද රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ටත් එළවළුවක් ලෙස මෙන්ම පළතුරක් ලෙස ද ඇඹරැල්ලා ආහාරයට ගැනීම ගුණදායක ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 17, 2017

විෂ්ණුක්‍රාන්ති [Vishnukranthi] (Evolvulus alsinoides)

විෂ්ණුක්‍රාන්ති පොළව මත වැතරී වැඩෙන හෝ ඇතැම් විට ඉහලට වැලක් ආකාරයෙන් වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම සේදවන් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර හැඩයෙන් ඉලිප්සාකාර සිට රේඛීය ආයත වේ. පත්‍රයක දිග සෙ.මි. 0.8 සිට 2.6 දක්වා විය හැකිය. පුෂ්ප මංජරිවල මල් 1-5 සංඛාවක් පිහිටයි. නිල් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය ගෝලාකාර ස්ඵෝටිකාවකි. ඵලයක් තුල අණ්ඩාභ හැඩැති බීජ 4 පිහිටයි. විෂ්ණුක්‍රාන්ති ශාකයට තරමක් සමාන මෙම  උද්භිද ගණයටම අයත් Evolvulus glomeratus නම් විදේශීය විසිතුරු ශාකයක් ඇති අතර බොහෝ දෙනෙක් එය විෂ්ණුක්‍රාන්ති යැයි වරදවා ඖෂධ සඳහා භාවිතා කරන බව දැන ගන්නට ඇත. පඳුරක් ආකාරයට වැඩෙන එම ශාකයේ විෂ්ණුක්‍රාන්ති ශාකයේ තරම් බූවක් නොපිහිටන අතර මල සාපෙක්ෂව කිහිප ගුණයකින් විශාලය. මෙම ශාක දෙකේ සංසංදනාත්මක ඡායාරූපයක් පහත පලකර ඇත. දේශීය ශාකයක් වන විෂ්ණුක්‍රාන්ති  Connvolvulaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

භාරතීය මූල් ආයුර්වේද ග්‍රන්වථල ශංඛපුෂ්පී නමින් හඳුන්වන ඖෂධීය ශාකය වෙනුවට දේශීය විෂ්ණුක්‍රාන්ති පැළෑටිය භාවිතා කරයි. ශංඛපුෂ්පී හෙවත් සක්මල් සහ  විෂ්ණුක්‍රාන්ති යන ශාක ද්විත්වය ගුණ වශයෙන් බලන කල්හි සමානතා ඇති බව විද්වත් මතයයි.

කෝලවාත, ඉලප්පුව, ඇම්ම, සන්නිපාත උණ, අහාර අරුචිය, කැස්ස, ඇදුම, ස්වාස නාළිකා ප්‍රදාහය, අපස්මාරය, රුධිර දෝෂ, ගලගණ්ඩය, කුෂ්ඨ, ළාඳුරු ඇතුළු චර්ම රෝග, උපදංශය, පැපොල, කොලරාව, අතීසාරය, කම්බුල්ගාය, අධිරුධිර පීඩනය, මඳසරු බව, ඔසප් දෝෂ, මුත්‍ර ආබාධ, ස්නායු රෝග, නින්ද නොයාම, ළදරුවන්ට වැලඳෙන කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්ස යනාදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විෂ්ණුක්‍රාන්ති සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. විෂ්ණුක්‍රාන්ති මේධ්‍ය, ශුක්‍ර වර්ධක, රසායන, බලකාරක, මතකය සහ නුවණ වඩන, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, විරේචක ආදී ගුණයන් සහිතයි. 

ඇදුම සහ ස්වාස නාළිකා ප්‍රදාහයට විෂ්ණුක්‍රාන්ති දුම්වැටිය භාවිතා කිරීම ගුණය. වාත උන්මාදයේදී විෂ්ණුක්‍රාන්ති කෂාය යොදා ප්‍රතිකාර කරයි. එය මතකය සහ නුවණ වැඩීමටද ඉවහල් වන ප්‍රතිකාරයකි. කෝලවාත, ඉලප්පුව, ඇම්ම, නොබසිනා උණ, අරුචි, කැස්ස, ඇදුම ආදියට දියතාරාම ගුළියේ අනුපාන මිශ්‍රව යොදයි. උණට සම්පූර්ණ ශාකයෙන් සෑදූ ඵාණ්ඨය හෝ ක්වාතය භාවිතා කරයි. නාඩි දුර්වලත්වයට හා ජීර්ණජවරයට  විෂ්ණුක්‍රාන්ති, සූදුරු ක්ෂීර පානය බීමට දෙයි. ළදරුවන්ගේ කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්සට ප්‍රතිකාර කිරීමට කප්පරවල්ලිය,  විෂ්ණුක්‍රාන්ති, පාවට්ටා කෂාය හෝ පැණිය යොදා ගනී. විෂ්ණුක්‍රාන්ති පැළෑටියම ගෙන ඇල් ජලයෙන් අඹරාගත් පල්පය ආලේප කිරීම තුවාල සඳහා ප්‍රතිකාරයකි. එමෙන්ම ඒ සඳහා මෙම ශාකයේ චූර්ණය ද භාවිතා කළ හැකිය. විෂ්ණුක්‍රාන්ති යොදා සිඳගත් තෙල් හිස ගැල්වීම හිස කෙස් මනාව වැඩීමට උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 10, 2017

අතිවිඩයම් [Athividayam] (Aconitum heterophyllum)

අතිවිෂා යනුවෙන්ද ප්‍රකට අතිවිඩයම් සෘජු කඳක් සහිතව මීටරයක් දක්වා උසට වැඩෙන බහු වාර්ෂික පැළෑටියකි. භූගත අලයක් සහිත මෙහි නොමේරූ කඳ කොළ පැහැතිය. කෙඳි මුල් රාශියක් සහිත අලය බාහිරින් අළු දුඹුරු පැහැති වන අතර ඇතුලත සුදු පැහැයක් ගනී. ඛණ්ඩිකා පහකට පමණ බෙදුණු  සරල පත්‍ර විවිධ හැඩයන්ගෙන් යුක්ත වන අතර පත්‍ර දාරය කඩතොළු සහිතයි. පහලින් පිහිටි පත්‍රවල දිග පත්‍රනටු පිහිටා තිබේ. ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි හට ගන්නා මල් අක්‍රමවත්ව පිහිටා තිබේ. මල් දම්පාටට හුරු නිල් පාට හෝ කහ පාටට හුරු කොළ පාටය. ඵලය වරාවකි. අක්‍රමවත් ලෙස කෝණික හැඩයක් ගන්නා දිළිසෙන සුලු බීජ දුඹුරු පැහැතිය. ලංකාවේදී හමු නොවන, ඉන්දියාවේ හිමාලය සහ කාශ්මීරය අවට ප්‍රදේශවල වැවෙන  අතිවිඩයම් ශාකය Ranunculaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අතිවිඩයම් සම්බන්ධව කතා කරන විට ඈඳෙන තවත් නාමයක් වන්නේ අතිඋඩයන් යන්නයි.  Cryptocoryne නම් උද්භිද ගණයට අයත් ජලාශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාක විශේෂ 11 ක් පමණ අතිඋඩයන් හෝ ඇතැම් විට අතිඋදයන් නමින් හඳුන්වා ඇත. මෙරට ඇතැම් වෛද්‍යවරු අතිවිඩයම් වෙනුවට මෙම අතිඋඩයන් විශේෂ භාවිතයට ගැනීම සුදුසු යැයි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. "අතිවිඩයම් සඳහා ප්‍රතිනිධියක් ලෙස අතිඋදයන් (Cryptocoryne sp.) විශේෂ භාවිතයට ගැනේ" යනුවෙන් ඖෂධීය ශාක සංග්‍රහයෙහි සඳහන් වන සටහන ඊට අනුබල දෙන සුලුය.  එහෙත් මෙරට ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව අවිඩයම් වෙනුවට අතිඋදයන් භාවිතා කිරීම කිසිසේත් නොගැලපෙන වැරදි ව්‍යවහාරයක් වන අතර ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා ඇත්තේ එලෙස භාවිතා කිරීම සුදුසු බව නොව වරදවා භාවිතා කරන බව සඳහන් කිරීමක් පමණක් බවයි. ඔවුන්ට අනුව අතිවිඩයම් සහ අතිඋදයන් අසමාන ගුණ කර්ම සහිත ශාක විශේෂයන් ය. කෙසේ වෙතත් අතිවිඩයම් වෙනුවට නොව, දේශීය වෙදකමේ ඊට අනන්‍ය භාවිතාවන් සඳහා අතිඋදයන් යොදා ගන්නා බවට තොරතුරු දේශීය වෛද්‍යවරුන් සතුව පවතින බව දැන ගන්නට ඇත. 

කුසගිනි මදිකම, නිසිලෙස මව්කිරි ස්‍රාවය නොවීම, වමනය, අජීර්ණ, ආහාර දිරවීමේ දෝෂ, අතීසාරය, උණ අතීසාරය, පාචනය, අර්ශස්, පණු රෝග, රත්පිත්, රක්ත ස්‍රාව, ඉදිමුම් සහිත දැවිල්ල,මලබද්ධය, ප්‍රතිශ්‍යා, ඇදුම, මුත්‍ර ආබාධ, ලිංගික දුබලතාව, උමතුබව, රක්තවාතය, කෘමි සහ සර්ප දෂ්ඨන ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් අතිවිඩයම් අල සහ මුලුත් අමතරව කොල බීජත් භාවිතා කරයි. අතිවිඩයම් සෙම සහ පිත නසන, වා පිත් සෙම් සමනය කරන ගුණ සහිත බව සඳහන්. අතිවිඩයන් මුල් සහ අල විෂ සහිත බැවින් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ශෝධනය කර ඖෂධ සඳහා භාවිතා කළ යුතුය.  අතිවිඩයම් ශෝධනය පිණිස ගොම දියකර ගත් ජලයෙන් දෝලා යන්ත්‍රයෙන් ස්වේද දී සෝදා වියළා ගත යුතුය. 

කල්ගිය අතීසාරයට අතිවිඩයම්, කෙළිඳ පොතු සමව ගෙන චූර්ණ කර දෙයි. ළදරු වටපණු රෝගයට අතිවිඩයම්, වලඟසාල් සමව ගෙන චූර්ණ කොට වරකට ග්‍රෑම් 1 ක් මී පැණියෙන් දිය යුතුය. ඇදුම රෝගයට අතිවිඩයම් සුවඳ කොට්ටම් චූර්ණය වරකට ග්‍රෑම් 2 ක් මෑ පැණියෙන් දීමට නියම කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, අන්තර්ජාලයෙන් සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් (සංවාදය) 
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, December 3, 2017

බබ්බුල [Babbula] (Acacia nilotica)

බබ්බුල මීටර් 8 පමණ උසට සහ සෙ.මි. 80 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන ලංකාවට හඳුන්වා දෙන ලද ශාක විශේෂයකි. පිටත පොත්ත තද දුඹුරු පැහැතිය. සෙ.මි. 1 පමණ ගණකම් ඇතුල පොත්ත තැඹිලි පාටට හුරු කහ පාටය. ළපටි අතුවල සියුම් බූවත් දක්නට ලැබේ. පත්‍ර නටුව අසල සෙ.මි. 5 දක්වා දිගුවිය හැකි උපපත්‍ර ආකාරයේ තියුණු කටු පිහිටා තිබේ. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍රවල ප්‍රාක්ෂය සෙ.මි. 3-10 අතර දිගුය. ප්‍රාක්ෂයක සෙ.මි. 2-5 අතර දිග අන්‍රප්‍රාක්ෂ යුගල් 3-6 පමණ පිහිටා තිබේ. අනු ප්‍රාක්ෂයක පත්‍රිකා යුගල් 10-15 අතර සංඛාවක් පිහිටයි. කක්ෂීයව හට ගන්නා දිගු නටුවක් සහිත තද කහ පැහැති මල් ගෝලාකාර හැඩයක් ගනී. ඵලය සෙ.මි. 5-15 අතර දිග දුඹුරු පැහැති කරලකි. සෘජු හෝ තරමක් වක්‍ර, දැඩි බවින් යුත් කරල මේරීමේදී කළු පැහැයට හැරේ. එක් කරලක් තුල කළු පැහැති පැතලි බීජ 8-12 සංඛාවක් පිහිටයි. බබ්බුල Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

පාචනය, අතීසාරය, දියවැඩියාව, ගෙඩි, වණ, තුවාල, ලේ ස්‍රාව සහිත ක්ෂත, දත් කැක්කුම ඇතුලු දන්ත රෝග, ලේ අඩුකම, පිලිස්සුම්, ක්ෂණික මෝචනය, ලිංගික දුර්වලතාවය ඇතුළු ලිංගික රෝග, අක්මා රෝග, ගර්භාෂගත රෝග, කැස්ස, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, ඉක්කා, අධිරුධිර පීඩනය, තුවාල, අර්ශස්, මුත්‍ර ආබාධ,  ඇතුළු රෝග ගනනාවක් සඳහා ප්‍රතිකාර කිරීමට බබ්බුල ශාකයේ කොළ, පොතු, මුල්, ඇට සහ මැලියම් භාවිතා කරයි. බබ්බුල යොදා නිපදවන කල්ක, චූර්ණ, ක්වාත ආදී ඖෂධ රැසකි. බබ්බුල සෙම් හා පිත් සමනය කරන බව සඳහන්. 

බබ්බුල දළු කල්කය කෂාය විධියෙන් සංස්කරණය කර අතීසාර සහ ලේ ස්‍රාවය සහිත ක්ෂතවලදී යෙදේ. බබ්බුල මැලියම් සූකිරි ලේහය ගලප්‍රදාහ නිසා හටගත් කැස්සට සූප්පු කිරීම (චූෂණය) පිණිස යෙදේ. 

මුත්‍ර අබාධ සඳහා බබ්බුල කොළ කෂාය බෙහෙවින් ප්‍රතිඵලදායක ය. බබ්බුල ඇට චූර්ණය යෙදීමෙන් තුවාල, කැපුම් සහ තැලුම් ඉක්මනින් සුව වෙයි. අධික ගර්භස්‍රාවයන්, ගර්භාෂයේ වේදනාව සහ ඉදිමුම් ඇති විට බබ්බුල මල් සහ කොළ කෂාය දිනකට දෙවරක් පානය කිරීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි.  බබ්බුල කොළ චූර්ණය කිරි හෝ ජලය සමඟ උදෑසන පානය කිරීම ගර්භනීන්ගේ සුව තාවයට හේතු වෙයි.  බබ්බුල අක්මාව උත්තේජනය කරන ගුණ සහිත වන අතර අක්මා රෝග සුවයට ඇට චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. පාචනය හෝ බඩ බුරුලෙන් යන විට බබ්බුල කොළ චූර්ණය කිරි සහ උක් හකුරු සමඟ ගැනීමෙන් එයින් සුවය ලැබිය හැකිය.  බබ්බුල පොතු චූර්ණය හා සම ප්‍රමාණයක් උක් හකුරු මිශ්‍රකර එයින් ග්‍රෑම් 10 ක් දිනකට 3 වරක් ගැනීම සෙංගමාලයට ගුණය. උගුරේ ආබාධවලට බබ්බුල කොළ, පොතු සහ අරටුව යන ත්‍රිත්වයේ චූර්ණයෙන් සුලු ප්‍රමාණයකට ජලය මිශ්‍රකර එයින් උගුර සේදීය යුතුය. අතීතයේදී බබ්බුල දඬු දත්මැදීමට භාවිතා කර ඇත. එමඟින් දත් සහ විදුරුමස් ශාක්තිමත් වන අතර මුවට නැවුම් බවක් ලබා දෙයි. අජීර්ණය සහ  බඩේ කැක්කුම ඇති විට බබ්බුල මල් චූර්ණය දෙයි. හකුරු සමඟ ගැනීමෙන් එහි කටුක රස මඟහරවා ගත හැකිය. බබ්බුල කොළ සහ පොතු යොදා නිපදවන ඖෂධ කුෂ්ඨ සහ සම වියළීමට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඇස් රතුපැහැවීම සහ ඉදිමුම් වැනි අක්ෂි රෝග සඳහා බබ්බුල කොළ කෂායකර නිවෙන්නට තබා පොරා ඇස් සේදීමට ගනී. බබ්බුල ශාක කොටස් කාම උත්තෙජක ගුණ සහිත වන අතර ශුක්‍රමඳ බව ඇතුළු ලිංගික දුර්වලතා සඳහා ප්‍රතිකාර කීරීමට යොදා ගත හැකිය. යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන සඳහා කොල සහ පොතු යොදා ගනී. බබ්බුල ශාක කොටස් වර්ණක ලබා ගැනීමටත්, සබන් වර්ග නිපදවීමටත් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support