දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, December 26, 2016

විළඳවැන්න [Viladawenna] (Leucas biflora)

දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මෙම ශාකය විළඳවැන්න ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යා මූලාශ්‍රවල Leucas zeylanica ශාකය මෙන්ම මෙයද හඳුන්වා ඇත්තේ ගැටතුඹ නමිනි. ගැටතුඹ සහ මෙය එකම ගණයේ ශාක විශේෂ වුවද විළදවැන්න බිම දිගේ වර්ධනය වන වැලක් වන අතර ගැටතුඹ පොළවෙන් ඉහලට වර්ධනය වන කුඩා පැළෑටියකි. කුඩා හතරැස් කඳක් සහිත විළදවැන්න වැලක් මීටරයක් පමණ දුරකට වර්ධනය වෙයි. සම්මුඛව පිහිටන ඩෙල්ටාකර හැඩයකින් යුක්ත පත්‍රවල දෙපැත්තෙහිම සියුම් බූවක් පිහිටයි. සෙ.මි 3-4 දිගට වර්ධනය වන පත්‍රයක පත්‍ර දාරය කඩතොළු සහිතය. පත්‍ර පිහිටන ගැටය අසලින් අලංකාරවත් සුදු පැහැති මල් හට ගනී. පිපුණු මල් විළද (පොරි) මෙන් දර්ශනව වන හෙයින් විළදවැන්න නාමය යෙදී ඇත. දේශීය වෙදකමට අනන්‍ය ඖෂධීය ශාකයක් වන විළදවැන්න Lamiaceae උද්භිද කුලයට අයත් ය. 

විළඳවැන්න ශාකයේ ප්‍රකට ඖෂධීය භාවිතාව වන්නේ දේශීය වෙදකමේදී ළයවිරේක හෙවත් වමනකර්ම සඳහා යොදා ගැනීමයි. මීට අමතරව විළදවැන්න, පනම් පෙති, කොක් මොට, කරල්හැබ, මොණරකුඩුම්බිය, ඉරමුසු, හාතාවාරිය, ගිතෙල් තේ හැදි එකක් සහ සහිඳ ලුණු එක්කර සාදා ගත් කැඳ මාන්දම රෝගයට ප්‍රතිකාර ලෙස ලබා දෙන බව වෛද්‍යාචාරිණී අමා සේනානි මහත්මියගේ ලිපියක සඳහන්ව ඇත.  
Share:

Monday, December 19, 2016

දේවදාර [Dewadara] (Cedrus deodara)

දේවදාර දේශීය ඖෂධ ශාකයක් නොවුනද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රකට ඖෂධයක් මෙන්ම ඉන්දියානුවන් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි. ඉන්දීයාවට දේශීය වන දේවදාර "දෙවිවරුන්ගේ ලී" යනුවෙන් අරුත් ගැන්වෙයි. මෙය මල් හට නොගන්නා විවෘත බීජක (Gymnosperms) නම් උද්භිද වර්ගීකරණය යටතේ ඇති Pinaceae කුලයට අයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 2000 වඩා උස්වූ ඉන්දියාවේ හිමාලය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි වැවෙන මීටර් 50 පමණ උස විශාල කේතුධර ශාකකි. ඉදිකටු වන් සිහින් කොළ වලයාකාරව ගොනු වශයෙන් පිහිටයි. මෙම ශාකවල ස්ත්‍රී සහ පුරුෂ බීජාණු අඩංගු ව්‍යුහ කේතු නම් වේ. ස්ත්‍රි කේතුවෙහි හට ගන්නා බීජ මගින් ශාකයේ ව්‍යාප්ති සිදු වේ. දේවදාර ශාක ලංකාවේ නොවැවෙන අතර පට්ටිපොල ඔසු උයනෙහි වගා කරන්නට උත්සහ ගෙන ඇතත් අවශ්‍ය දේශගුණික සාධක නොමැති හෙයින් එය සාර්ථක වී නොමැත. මීට වසර ගණනාවකට පෙර සිටවූ දේවදාර ගස් කීපයක් අදටත් කුඩා පැල ලෙස එහි තිබෙනු දැක ගත හැකිය.  

ඉහත විස්තර කරන ලද දේවදාර ශාකය ඉන්දියාවේ හිමාලය සහ ඒ අවට උස් බිම්වල පමණක් වැව්න ද ලංකාවෙහි දේවදාර නමින් හඳුන්වන ශාක කිහිපයක් හමුවන නිසා ඖෂධ සඳහා භාවිතා කළ යුතු නිවැරදි දේවදාර ශාකය කුමක්ද යන්න පිළිබඳව යම් ව්‍යාකූල බවක් දක්නට ලැබේ. අප රටෙහි නිවෙස් අසල සහ වීදි අලංකරණය සඳහා වවන Annonaceae කුලයට අයත් දේශීය ශාකයක් වන ඕවිල / ඊ පෙත්ත / ඕමාර යන නම්වලින් හඳුන්වන Polyalthia longifolia ශාකයද ඇතැම් විට දේවදාර යනුවෙන් හඳුන්වා ඇතත් එහි ඖෂධීය භාවිතාවක් ගැන තොරතුරු දැන ගන්නට නැත. එමෙන්ම Erythroxylaceae කුලයට අයත් රට කිරිල්ල / ලංකා අගිල් යන නම්වලින් හඳුන්වන Erythroxylum monogynum නම් දේශීය ශාකයටද දේවදාර නම භාවිතා කරන අතර එය සුවඳ දුම් කුඩු වර්ග සෑදීමට භාවිතා කරයි.

මීට අමතරව පැළ අලෙවිකරුවන් විසින් මෑතදී හඳුන්වාදී ඇති විදේශීය විසිතුරු ශාක කීපයක්ද දේවදාර නමින් හැඳින්වීමට පටන් ගෙන ඇත. ඒ අතර Callistemon ගණයට අයත් Bottle brush යනුවෙන් ඉංශ්‍රිසි බසින් හඳුන්වන විදේශීය විසිතුරු ශාක කීපයක්, Melaleuca bracteata නම් කහ පැහැති කුඩා කොළ සහිත ශාකයක් හා Eugenia sprengelii නම් පැළෑටියක් ද වෙයි. දේවදාර යැයි සඳහන් ඖෂධ වට්ටොරුවක් සඳහා ඉන්දියානු දේවදාර ශාකය (Cedrus deodara) හැරුණු විට ඉහත සඳහන් කවර හෝ ශාකයක කොටස් භාවිතා කිරීම සපුරාම වැරදි  බව අවධාරණය කළ යුතුය. 

උණ, පාචනය, අතීසාරය, චර්ම රෝග, ක්ෂත, උදරාබාධ, ඉක්කා, ඇදුම, කැස්ස, හිසරුදා, ආතරයිටීස්, ඉදිමීම්, දැවිල්ල, වණ, ආසාදිත තුවාල, මුත්‍ර ආබාධ, තරබාරු බව, කම්බුල් ගාය ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් ඉන්දියානු දේවදාර ශාකයේ අරටුව සහ තෙල්ද, අමතරව පොත්තද භාවිතා කරයි. ආයුර්වේද වෙදකමෙහි එන ක්වාථ, චූර්ණ, ලේහ, තෛල, අරිෂ්ඨ, ආසව බොහෝමයක ප්‍රධාන ද්‍රව්‍යක් ලෙස දේවදාර ඇතුලත්ව ඇත. ඇදුම සහ ඉක්කා සඳහා දේවදාර කසාය යොදයි. එකීය ඖෂධයක් ලෙස ක්ෂත හා චර්ම රෝගයන්හි යෙදේ. දේවදාර කැබැල්ලක් ඇල් ජලයෙන් උරච්චි කර අලේප කිරීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. උදෑසන කාලයේ දේවදාර ගසක් යට වාඩිවී සිටීමෙන් ස්වසන රෝගවලින් සුවය ලැබීමට හැකි බව ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්ත වාසීන් විශ්වාස කරයි. දේවදාර ලීය සුගන්ඳ කුඩු වර්ග නිපදවීමටත්, දිලීර සඳහා හොඳින් ඔරොත්තු දෙන දැවයක් ලෙසත් ප්‍රකටය. ලීයෙන් ලබා ගන්නා රෙසින පොලිෂ් වර්ග, සබන්, සුවඳ විලවුන්, විෂබීජ නාශක ආදිය නිපදවීමටත් දැව ආරක්ෂකයක් ලෙසත් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන්

Share:

Monday, December 12, 2016

පනම් පෙති [Panam Peti] (Pyrrosia heterophylla)

පැරණි දේශීය ව්‍යවහාරික මුදල්වල පනමේ කාසිය මෙම ශාකයේ කොළවල ප්‍රමාණයට සමානව තිබූ හෙයින් පනම් පෙති සහ කාසි පෙති යනුවෙන් හැඳින්වූ මෙය වැලක් ආකාරයට වර්ධනය වන දේශීය මීවන විශේෂයකි. බොහෝ විට කුඩා ගස් සහ පඳුරු මත අපි ශාකයක් ලෙස වර්ධනය වන මෙහි පත්‍ර මාංසල ස්වභාවයක් ගනී. පර්නාංග විශේෂයක් හෙයින් මල් හට නොගන්නා අතර කඳෙන් පැන නගින සොරස නම් තරමක් දිගැටි ව්‍යුහයක පිහිටන බීජණුධානී තුල ඇති බීජාණු විසිරී යෑමෙන් ශාකයේ ව්‍යාප්තිය සිදු වේ. මෙම සොරස කිඹුලකුගෙ හැඩයක් ගන්නා නිසා පනම් පෙති ශාකය කිඹුල්වැන්න යනුවෙන්ද හඳුන්වයි. කිඹුල්වැන්න යන ව්‍යවහාරය පනම් පෙති යන හැඳින්වීමට වඩා පැරණි බවයි විද්වත් මතය. Persicaria ගණයට අයත් කිඹුල්වැන්න යනුවෙන් හඳුන්වන ඖෂධ පිණිස භාවිතා කරන දේශීය ශාක දෙකක් ද ඇති අතර දක්ෂ වෙදැදුරෙකුට යම් රෝගයකට අදාලව යෙදිය යුත්තේ කුමන ශාකය දැයි තීර්ණය කිරීම අපහසු කාර්යයක් නොවේ. පනම් පෙති Polypodiaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

අතීසාරය, පාචනය, මාන්දම, ගුද භ්‍රංසය, අක්ෂි රෝග, කැඩුම් බිඳුම් ඇතුළු අස්ථි ආබාධ, දැවුම් පිලිස්සුම්, අධික පිපාසය, වණ, තුවාල, ළදරු රෝග, විෂ ශරීරගත වීම ආදියට ප්‍රතිකාර කිරීමට පනම් පෙති ශාකයේ මංසල පත්‍ර යොදා ගනී. පනම් පෙති තුන් දොස් සමනය කරන ගුණ සහිතයි.

දැවුම් පිලිස්සුම් වෙදකමේදී භාවිතා වන තෙල් වර්ග සිඳීමේදී පනම් පෙති එකතු කරයි. අතීසාර රෝගවලදී ඇති වන අධික පිපාසයට පනම් පෙති තම්බාගත් ජලය බීමට දීම යෝග්‍යය. මාන්දම රෝගයේදී පනම් පෙති සහ අමු ඉඟුරු යොදා සෑදූ කැඳ ගිතෙල් දමා බීමට දෙයි. එයටම පනම් පෙති, කොක් මොට, කරල්හැබ, මොණරකුඩුම්බිය, විළදවැන්න, ඉරමුසු, හාතාවාරිය, ගිතෙල් තේ හැදි එකක් සහ සහිඳ ලුණු එක්කර කැඳක් සාදා ගත යුතු ය. මෙම කැඳට පොල්කිරි සහ ලුණු දැමීම නුසුදුසු බව සඳහන් කර ඇත. තිමිර නම් අක්ෂි රෝගයට පනම් පෙති ව්‍යංජනය ගිතෙල් දමා කෑමට දෙයි. කුඩා දරුවන්ගේ උදරාබාධ වලදී අරළු-පනම් පෙති කෂාය ගුණදායක ය. වණවල කොස්ස ඇදෙන්නට පනම් පෙති, හීරැස්ස, නවහන්දි, කැකුළුහාල්, අමුකහ, පොල්කිරෙන් තම්බා අඹරා ගෑ යුතුය. කැඩුම් බිඳුම්වලදී පනම් පෙති, පෝටා වැල්, මොණරකුඩම්බිය, හාතාවාරිය අල, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බැඳීම තිස් පැයේ හන්දි බෙහෙත නම් වේ. කුසපිළිකා, සන්නි ආදී රෝග සඳහා යොදන ජංසිංහ කායම නම් ඖෂධය, වාත විදුරංග තෛලය, සහ හෙනරාජ තෛලය ආදියේ පනම් පෙති අඩංගුය.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ වෛද්‍ය Wathsala Wijesinghe වනස්පති ෆෙස්බුක් සමූහයේ පලකර තිබුනකි

Share:

Monday, December 5, 2016

මයිල [Maila] (Bauhinia racemosa)

ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ සුලබව දක්නට ලැබෙන මයිල මීටර් 7 ක් පමණ උසට වැවෙන කුඩා දේශීය ශාකයකි. නොමේරූ කඳ මඳ බූවක් සහිත වේ. පත්‍රය කෙළවරින් ඛන්ඩිකා දෙකකට බෙදී පවතින අතර ඛන්ඩිකා අග්‍රස්ථයෙන් වටකුරු ය. පත්‍ර පාදය තරමක් හෘදයාකාර වේ. ශඛාවන්ගේ අග්‍රස්ථයෙන් ඒකාක්ෂ පුෂ්ප මංජරියක් හට ගනී. කහ පැහැයට හුරු සුදු පැහැති මල් දිගින් සෙ.මි 1.5-2 පමණ වේ. මල් රාශියක් එකවර හට ගන්නා නිසා මල් පිපෙන කාලයේදී ගස් ඉතා අලංකාරවත්ව දිස්වේ. ඵලය සෙ.මි. 12-25 අතර දිගින් යුත් නොපැලෙන කරලකි. ආයත හැඩයක් ගන්නා කළු පැහැති බීජ මි.මි 7-8 පමණ දිගය. කිරි රසින් යුත්ත ළපටි මයිල ඇට ළමුන් කෑමට ප්‍රිය කරයි. මයිල කොළ අලින්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස සැලකේ. උද්‍යාන අලංකරණයට සහ ගෘහ අලංකරණයට යොදා ගත හැකි සෙවණ සහිත ශාකයක් වන මයිල Fabaceae කුලයට අයත් ය. 

මයිල හැරුණුවිට මෙම Bauhinia උද්භිද ගණයට අයත් කහ පැහැති මල් හට ගන්නා තවත් එක් දේශීයක් ශාකයක් හමුවන අතර එය කහ පෙතන් නම් වේ. එමෙන්ම මෙම ගණයට අයත් වර්ණ කීපයකින් මල් හට ගන්නා කොබෝලීල නම් ශාක කීපයක්ද මෙරට දක්නට ලැබෙන අතර  ඖෂධ පිණිස ද භාවිතා කරන එම ශාක මෙරටට හඳුන්වා දෙන ලද විශේෂ වේ. කොබෝලීල ශාකවල ඖෂධීය භාවිතාවන් ගැන ලිපියක් මෙහි පලකර ඇත. 

රත්පිත්, සිහි මුර්ජා වීම, මැලේරියාව නිසා ඇතිවන හිසෙහි වේදනා, අතීසාරය, පාචනය, අභ්‍යන්තර ලේ ගැලීම්, ගබ්සාවීම්, ගර්භස්‍රාව, ලේ පිටවන අර්ශස්, උගුරේ ආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මයිල ශාකයේ මල්, කොළ, පොතු, මැලියම් ආදිය භාවිතා කරයි. අරිෂ්ට ආසව ආදී ඖෂධ නිශ්පාදනයේදී පැසවීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා මලිත මල් භාවිතා කරන ආකාරයෙන් මයිල මල්ද භාවිතා කල හැකි වුවත් ඒ සඳහා මලිත මල් වඩත් සුදුසු බව දක්වා ඇත. එහෙත් මයිල මල් ද අරිෂ්ට ආසව නරක් නොවී කල් තබා ගැනීමට අවශ්‍ය මද්‍යසාර නිපදවන බව සඳහන්. 

මැලේරියා උණ වැලඳීම නිසා හට ගත් හිසෙහි වේදනාවට මයිල කොළ තැම්බූ කෂාය බොන්නට දෙයි. අතීසාරය, පාචනය, අභ්‍යන්තර ලේ ගැලීම්, ගබ්සාවීම්, රක්ත අර්ශස් ආදියට වියළි මල් සහ කඳෙහි පොතු කෂාය ගුණය. මයිල කොළ සහ කාමරංගා පොතු පොට්ටනි බැඳ තැවීමෙන් උගුරේ ආබාධ සුව වෙයි. ප්‍රමේහයේදී මයිල මල් සහ පොතු තම්බා බොන්නට දෙයි. රත්පිතට මයිල මල් තැම්බූ වතුර පානය ගුණදායකය. මයිල මල් කෂාය කරාබු නැටි චූර්ණය සමඟ දීමෙන් අතීසාරයේදී ඇති වන වේදනාවන් පහව යයි. 

මූලාශ්‍ර _ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත් 


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support