බාඳුරා මෙරට වැසි වනාන්තර සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල හමුවන පඳුරු හෝ අර්ධ පඳුරුමය මාංශභක්ෂක ශාකයකි. එ්කාන්තරව පිහිටන සරල පත්‍රවල කෙලවර විකරණය වීමෙන් සෑදෙන පහුර ආධාරයෙන් ශාක මත පැතිරී වැඩෙයි. මෙලෙස පහුරක් ලෙස වර්ධනය වන පත්‍ර අග්‍රයේ කෙලවර අලංකාර කෙන්ඩියක් හට ගනී. පියනක් සහිත උඩු අතට පිහිටන කෙන්ඩිය සෙ.මි. 2.5 සිට 20.5 දක්වා වර්ධනය විය හැකිය. මෙම කෙන්ඩිය ළා කොළ හෝ දම්-රතු මිශ්‍ර පැහැයෙන් යුක්ත වන අතර සිලින්ඩරාකාර හෝ තුම්බිකාකාර හැඩැති ය. දර්ශනීය බව, ග්‍රන්ථිමය ස්‍රාව හෝ කුතුහලය හේතුවෙන් කෙන්ඩිය දෙසට ඇදී එන කෘමින් ඒ තුලට ලිස්සා වැටී මරණයට පත් වේ. එලෙස ගොදුරු වන කෘමීන් ජීර්ණය කර ශාකයේ ඇතැම් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම මෙම ශාකවල විශේෂත්වයයි. බාඳුරා ද්වී ගෘහී හෙවත් ගැහැණු සහ පිරිමි මල් හට ගන්නා ශාක වෙන වෙනම පිහිටන ශාකයකි. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. පෙති 4 ක් සහිත මල් කහ කොළ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. අප රටට ආවේණික ශාකයක් වන බාඳුරා Nepenthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.
පාද ඉදිමීම, ගෙඩි වෙදකම, කක්කල් කැස්ස ආදියට ප්‍රතිකාර කිරීම සඳහා බාඳුරා ශාකයේ දලු, වැල් සහ කෙන්ඩිය තුල පිහිටි ජලය භාවිතා කරයි. පාද ඉදිමීමට බාඳුරා කොළ, සූදුරු, රත්නිටුල් මුල්, හාල්පානු දියෙන් අඹරා ගෑම සිදු කරයි. එයින් ටික වේලාවකට පසු එතැන දිය බුබුලු හට ගනී. ඉන් පසු පාදය සෝදා දිය බුබුලු සිදුරු කර වතුර ඉවත් කළ විට ඉදිමුම් බැස යයි. අනතුරුව තුවාලය මත නෙළුම්, ඕලු, මානෙල් වැනි කොළයක් ගින්නෙන් තවා ඇතිරිය යුතුය. බාඳුරා දළු විට කන හුණු සමඟ අඹරා ආලේප කිරීමෙන් ගෙඩි පුපුරා යයි. කක්කල් කැස්සට පියන නොඇරුණු බාඳුරා කෙන්ඩියේ වතුර කපුටා හඬලන්නට පෙර ගෙන උදේ හිස් බඩ දින 7 ක් පානය කළ යුතු බව සඳහන් කර ඇත.
කිතුල් මල් පදම් කිරීම සඳහා බාඳුරා දලු, වල් හබරල දලු, හිඟුරු වැල් දලු, ලිපේ අලු, කොල්ලන් කොළ සහ විටකන හුණු සමව ගෙන සිනිඳුවට අඹරා ගඩාදෙහි (කූඬලු දෙහි / ලීම) ඇඹුලෙන් අනා පැසවා ගත යුතුය. පසුව කිතුල් මලේ කොලපු ඉවත්කර කඳට ආසන්න ස්ථානයක සිදුරක් සාදා එම බෙහෙත් තබා බැඳ වරු තුනකින් ලිහා අව්වේ තැවෙන්නට හැර මල පදම් කර ගනී. කලකට ඉහත මෙරට ගැමියන් කුඹුරු වැඩ කිරීමේදී මෙම වැල්වලින් වියා ගන්නා ලද හිස්වැසුම් භාවිතා කර ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ තරිඳු ඩිල්ෂාන් රණසිංහ