දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Wednesday, April 20, 2016

පුස්වැන්න [Puswenna] (Uraria picta)


සංස්කෘත භාෂාවෙන් පෘෂ්ණපර්ණි යනුවෙන් හඳුන්වනු ලබන පුස්වැන්න ඉන්දියාවේ සහ ලංකාවේ වැවෙන කුඩා පැළෑටියක් වන අතර ලංකාවේ දුර්ලභය. මීටරයක් දක්වා ඉහලට වර්ධනය වන මෙහි සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන්ගේ මැද ඉරමුසු පත්‍රයට සමාන සුදු පැහැති පැල්ලමක් දැක ගත හැකිය. ශාකයේ අග්‍රස්ථයෙන් හට ගන්නා පුෂ්ප මංජරිය ඉතා අලංකාරවත් වන අතර මල් සුදු රෝස පැහැතිය. වියළි කළාපීය වනාන්තර තුල දුර්ලභව හමුවන පුස්වැන්න ශාකය Fabaceae කුලයට අයත්ය.

අතීසාරය, රක්ත අර්ශස්, ග්‍රහණි රෝග, හෘද රෝග, වාත රෝග, ක්ෂය රෝගය, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නිපදවීමේදී පුස්වැන්න ශාකයේ විශේෂයෙන් මල් ද අමතරව සම්පූර්ණ ශාකයමද භාවිතයට ගන්නා බව සඳහන් වේ. දේශීය වෛද්‍යවරු පුස්වැන්න ශාකය සොයා ගැනීමට නොමැති කල ඒ වෙනුවට පොල්පලා ශාකය භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති


Share:

Monday, April 11, 2016

බුත්සරණ [Butsarana] (Canna indica)


බුත්සරණ මීටර් දෙකක් දක්වා උසට වැඩෙන සිනිඳු සෘජු කඳක් සහිත බහුවාර්ෂික පැළෑටියකි. තිවෘ අග්‍රයක් සහිත පත්‍රයක් සෙ.මි 30-40 පමණ දික් වන අකර සෙ.මි 10 පමණ පළලය. සුලබව හමුවන වර්ගයේ පත්‍ර දම් පැහැයට හුරු වන අතර පත්‍ර කොළ පැහැති වර්ගයක්ද හුමුවේ. පුෂ්පමංජරියක හටගන්නා මල් දීප්තිමත් රතු පැහැයකින් යුක්තය. පත්‍ර කොළ පැහැති වර්ගයේ මල් කහ පැහැති ය. ඵලය දම් හෝ කොළ පැහැතිය. අමු බීජ සුදු පැහැති වන අතර වියළුණු පසු කළු පැහැයක් ගනී. මෙම අල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ගත් විට රසවත් ගුණවත් ආහාරයකි. අලවලින් ලබා ගන්නා පිටි කිරි හා සීනි සමඟ මිශ්‍ර කර රසවත් අතුරුපසක් වන තලප සාදා ගත හැකිය. ලංකාවට හඳුන්වාදෙන ලද සහ ඉන්දියාවට දේශීය වන බුත්සරණ ශාකය Cannaceae කුලයට අයත් ය.

බුත්සරණ අල ආහාරයට ගත් විට එහි ඇති කෙඳි නිසා ආහාර මාර්ගය පිරිසිදු වේ. එමෙන්ම මල බද්ධය නැති කිරීමට උපකාර වන අතර අලවල පිටි ශරීර ශක්තිය වර්ධනය කරයි. සෙංගමාලය, රතපිත් රෝගවලට බෙහෙවින් ගුණදායකය. සර්ප විෂ, සෙංගමාලය, බාහිර ලේ ගැලීම්, පිළිකා, සෙම්ගෙඩි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම ශාක කොටස් යොදා ගනී. බුත්සරණ ශාකයේ කොළ, මල් සහ අල ඖෂධ සඳහා භාවිතා කරයි. බුත්සරණ කොළ , පුපුල කොළ කොටා මිරිකා ඇඟ ගෑම හෝ කැඳ සාදා දීම නයි විෂට ප්‍රතිකාරයකි. ගවයින්ට විෂ සහිත කොළ වර්ග කැවුනු විට ඖෂධ සෑදිමට බුත්සරණ මුල් භාවිතා කරයි. බුත්සරණ ස්වේදකාරක, මුත්‍රකාරක ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්

Share:

Friday, April 1, 2016

පොල්පලා [Polpala] (Aerva lanata)

පොල්පලා සිංහලෙන් පොල්කුඩු පලා යනුවෙන්ද හඳුන්වයි. මෙය අඩි 2 දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ශාකය පුරා සුදු පැහැති සියුම් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටා ඇති පත්‍ර ගෝලාකාර සිට ලන්සාකාර ඉලිප්සීය හෝ අණ්ඩාකාර ඉලිප්සීය වේ. සෑම පත්‍ර නටුවක් අසලින්ම පාහේ හට ගන්නා පුෂ්ප මංජරිය ශුකියකි. ඉතා කුඩා සුදු පැහැති පුෂ්ප ද්වීලිංගිකය. ඵලය ආශයකි. පොල්පලා පළාවක් ලෙස මෙන්ම ඔසු කැඳ සෑදීම සඳහා ද භාවිතා කළ හැකිය. මෙය Amaranthaceae කුලයට අයත් ශාකයකි.

මෙරට ජනයා බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත් මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීමට පුරුදුව උන්හ. මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්‍රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණපොල්පලා ශාකයම භාවිතා කරයි.

මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි. වියළි පොල්පලා මල් හා කොළ ගිණිඅඟුරු මතට දමා එම දුම් ආග්‍රහණය කිරීම ඇදුම සඳහා ප්‍රතිකාරයකි. හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි. වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි. පොල්පලා මුත්‍රකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support