දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, January 25, 2016

කිරිහැන්ද [Kirihenda] (Celosia argentea)

මෙය මීටර්යක් පමණ ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. එතරම් ශක්තිමත් නොවන කඳ තරමක මාංසල ස්වභාවයක් ගනී. සෙ.මි 1 පමණ පළල පත්‍රයක් සෙ.මි. 5 -10 පමණ දිගට වර්ධනය වේ. ඇතැම් විට බොහෝ සෙයින් අතු බෙදෙමින් පඳුරක් ආකාරයට වර්ධනය වන අවස්ථාද දැක ගත හැකිය. මෙලෙස බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් රෝස පැහැති මල් සහිත පුෂ්ප මංජරියක් හට ගනී. එය සුදු අාදී වෙනත් වර්ණයන්ගෙන්ද දැක ගත හැකිය. බීජ මගින් මෙහි ව්‍යාප්තිය සිදු වේ. මෙම ශාකයේ පත්‍ර පලාවක් ලෙසත්, පත්‍ර සහ ලපටි දඬු ව්‍යංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. කිරිහැන්ද ශාකය Amaranthaceae කුලයට අයත් ය.

ඉරුවාරදය, ආසාදිත තුවාල, සමේ රෝග, ආහාර මාර්ගයේ රෝග, අතීසාරය, භ්‍රාන්තිය වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ බීජ භාවිත කරන බව සඳහන් වේ. මෙහි කොළ මව්කිරි වඩවන බැවින් කිරි දෙන මව්වරුන්ට ගුණදායක බව ගැමියෝ කියති. කිරිහැන්ද විෂබීජ නාශක හා සිසිල ගුණයෙන් යුක්ත බව සඳහන් වේ.

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන් සහ වෙනත්

Share:

Monday, January 18, 2016

කතුරුපිල [Kturupila] (Tephrosia purpurea)

කතුරුපිල මීටරයක් දක්වා උසට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කුඩා ශාකයකි. බොහෝ සෙයින් අතු බෙදෙමින් වර්ධනය වන මෙහි නොමේරු කඳ කොළ පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සිනිඳුය. ශාඛාවන්ගේ අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. රෝස දම් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය කරලකි. කරලක බීජ 5-6 පිහිටයි. මේරූ බීජ තද දුඹුරු පැහැතිය. හොඳ කොළ පොහොරක්ද වන කතුරුපිල ශාකය Fabaceae කුලයට අයත් ය.

කෘමි රෝග, සෙංගමාලය, ගුල්ම රෝග, අජීර්ණය, කුසගිනි මදිකම, අතීසාරය, හෘද රෝග, ක්ෂය රෝගය, ඇදුම, පීනස, චර්ම රෝග, අක්මාවේ ප්ලීහාවේ සහ වකුගඩුවල රෝග, දත් කැක්කුම, දත්මුල් දියවීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කතුරුපිල ශාකයේ කොළ, මුල්, පොතු, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.

කතුරුපිල කෘමි රෝග සඳහා විශිෂ්ඨ ඖෂධයක් ලෙස සලකනු ලබයි. සෙංගමාල රෝගය සඳහා කතුරු පිල කොළ කැඳ බොහෝ සේ ගුණදායකය. කතුරු පිල මුල් චූර්ණය මී පැණි සමග යෙදීමෙන් ගුල්ම රෝග, අජීර්ණ, අතීසාර ආදියයෙන් සුවය ලැබෙයි. මෙම ඇටවලින් ලබා ගන්නා තෙල් සියළු චර්ම රෝග සඳහා ගුණදායක බව සඳහන් වේ. මුල් චූර්ණයෙන් දත් මැදීමෙන් දත්මුල් දියවීම සුවවන අතර දණ්ඩ සහ මුල් දැහැටි කූරු ලෙස භාවිතා කිරීමද ඒ සඳහා යෝග්‍යය බව සඳහන්. කතුරුපිල මුත්‍රකාරක, රුධිරය පිරිසිදු කරන, කෘමි නාශක, වේදනානාශක, විරේචක ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරුව_ අන්තර්ජාලයෙන්


Share:

Monday, January 11, 2016

බෝමි / සෙවෙල බෝමි [Boomi] (Litsea glutinosa)

බෝමි මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පොත්ත තුනීය. අළු හෝ අඳුරු ළා දුඹුරු පාටය. පොත්ත සෙවල සහිත බැවින් සෙවල බෝමී ලෙසද හඳුන්වයි. පත්‍ර සෙ.මි 15 දක්වා වරධනය වන අතර මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී. පත්‍ර, ආයත-අණ්ඩාකාර හෝ ඉලිප්සාකාර හැඬයන්ගෙන් යුක්තය. ළපටි පත්‍රවල ඉතාමත් සියුම් බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ කහ පැහැතිය. මි.මි 6 පමණ විශ්කම්භයකින් යුත් කොළ පැහැති ඵලය ඉදුණු විට තද දම් පැහැයක් ගනී. ගුණ අතින් සමාන වන ලොකු බෝමි නම් වර්ගයක්ද ඇති බව සඳහන් වේ. හඳුන්කූරු නිශ්පාදනය සඳහා මෙම ශාකයේ පොතුවලින් ලබාගන්නා සෙවල භාවිත කරන නිසා එය මෙහි පැවැත්මට තර්ජනයක් වී ඇත. බෝමි ශාකය Lauraceae කුලයට අයත්ය.

අභිඝාත (වැටීම්, පහර දීම් ආදියේදී ශරීරයට සිදුවන තැලීම්, මස්පිඩු ඉරීම් වැනි හානි), විෂ ශරීරගත වීම, ශරීර දාහය, ශරීරය ක්ෂය වීම, අතීසාරය, හිසේ රුදා, සන්ධි රුදා, උගුරේ සහ ආහාර මාර්ගයේ ඇතිවන ආබාධ අාදියට ප්‍රතිකාර කිරීමේදී බෝමි ශාකයේ කඳෙහි පොතු, මුලෙහි පොතු සහ කොළ භාවිතා කරයි. උළුක්කුවට, තැල්මට, මස්පිඩු ඉරීම ආදී අවස්ථාවකදී බොමි පොතු ලුණු වතුරින් උරගා කකාරවා මද උණුසුම් ලෙස පැලස්තරයක් යෙදීම ඒකීය ප්‍රතිකාරයකි.

බොමි ගසේ පොතු දේශීය වෙදකමේ බිඳුණු ඇට පෑස්සීමට ගන්නා ප්‍රධාන ඖෂධයක් බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" සදහන් වේ. මෙම පොතු අමු කහ සමග අඹරා ගෑමෙන් සීරීම් සහ තුවාල සුව වන බවත් අතීසාරයට සහ ස්නායු දුර්වලත්වයට දෙන ඖෂධ සංයෝග වලටද බොමි පොතු ඇතුළත්ව ඇති බවත් එහි සඳහන්. බොමි කාමොද්දීපක, ශුක්‍ර වර්ධක, වේදනා නාශක ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය කෘති



Share:

Monday, January 4, 2016

කංකුං [Kankun] (Ipomoea aquatica)

කංකුං තෙතමනය ප්‍රිය කරන, පොළවට සමාන්තරව වැවෙන වැල් ශාකයකි. සරල පත්‍ර ආයත හැඬයක් ගනී. කඳ කුහරමය වේ. පත්‍ර කඳට සම්බන්ධවන ස්ථානවලින් පොළවට මුල් ඇදේ. මල් දම් පැහැතිය. සුදු පැහැති මල් හට ගන්නා වර්ගයක්ද කලාතුරකින් හමු වේ. මෙහි කොළ, දලු ආදිය ආහාරයට ගත හැකිය. මෙරට ගෘහණියන් කංකුං ඇඹුල, තෙම්පාදුව, මැල්ලුම, ව්‍යංජනය ආදී ලෙස නොයෙක් ආකාරයෙන් පිස ගනී. රසැති ගැණැති පලාවක් වන කංකු Convolvulaceae කුලයට අයත් ශාකයකි.

ඇමයිනෝ අම්ල, කැල්සියම්, යකඩ, විටමින් B සහ C බහුල කංකුං ආහාරයට ගැනීමෙන් ලේ වඩන යකඩ ධාතුව ශරීරයට ලැබෙන අතර ස්නායු දුබලකම් මඟ හැරී යයි. ශරීරය පෘෂ්ටිමත් වෙයි. කිරිදෙන මවුවරුන්ට බෙහෙවින් ගුණදාකය. අතපය දැවිල්ල, හිරිගතිය, වේදනා වැනි රෝගවලටද කංකුං ආහරයට ගැනීමෙන් සහනය ගෙනෙයි. මත් ගතියක් ඇතවූ පසු කංකුං තලා යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් එය මගහැරී යයි. එමෙන්ම දියවැඩියාව, මල බද්ධය, උණ, පණු රෝග, අක්මා රෝග, සමේ රෝග, සෙංගමාලය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමටද කංකුං කොළ, දලු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. කංකුං වේදනා නාශක, වමනකාරක, විරේචක ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන්


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support