ඇතමුන් තවත් මෙවැනිම පෙනුම සහිත දේශීය ශාකයක් වන මුවකීරිය සමඟ නවහන්දි පටලවා ගනී. Sarcostemma viminale යන උද්භිද නාමයෙන් හඳුන්වන මුවකීරිය පොලවෙහි සිට ඉහලට වර්ධනයවන පඳුරක් හෝ වැලක් වන අතර නවහන්දි ඉහල සිට පහලට එල්ලා වැටෙන අපි ශාකයක් වීම මෙම දෙවර්ගය වෙන් කර හඳුනා ගැනීමට පහසුම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. නවහන්දි ගැන කතාකරන විට පැන නඟින තවත් ගැටළුවක් වන්නේ දේශීය උද්භිද විද්‍යා මූලාශ්‍රවල Euphorbia tirucalli නම් උද්භිද නාමයෙන් හඳුන්වන කිරි බහුල විදේශීය ශාකයක් නවහන්දි ලෙස හඳුන්වා තිබීමයි. ඉතා කුඩා අප්‍රකට පත්‍ර දරන, කොළ පැහැති කඳ ප්‍රකටව පෙනෙන මෙම ශාකය ඇතැම් විට ගස් නවහන්දි , රට නවහන්දි සහ කිරිහන්දි යන නම්වලින් හඳුන්වනු දක්නට ලැබේ. දේශීය ඖෂධ වට්ටෝරුවල නවහන්දි ලෙස සඳහන්ව ඇති විට දේශීය අපි ශාකය මිස මෙම විදේශීය ශාකය භාවිතා කිරීම වැරදි බව අවධාරණය කළ යුතුය.
වාපිත් රෝග, සංක්‍රමණික රෝග, ජලභීතිකා, ශාරීරික දුර්වලතාවයන්, මානසික රෝග, කැඩුම් බිඳුම්, අස්ථිප්‍රදාහ, කැස්ස, ඇදුම, අහාර අරුචිය, අජීර්ණය, හෘදරෝග, අක්මාරෝග, අර්ශස්, මානසික අවසාදතාව වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නවහන්දි සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. නවහන්දි රසායන, බලකාරක, නිද්‍රාකාරක, වමනකාරක, මෘදුවිරේචක, මුත්‍රකාරක, උත්තේජක, ක්ෂීරය වර්ධනයකරන ආදී ගුණ සහිතයි.
දේශීය කැඩුම් බිඳුම් වට්ටෝරු රැසක නවහන්දි ඇතුලත්ව ඇත. අස්භථිග්න හා ප්‍රදාහිත අවස්ථාවලට නවහන්දි සම්පූර්ණ ශාකය, අමුකහ , ලුණු දමා කොටා මලවා බඳී. කුඩා දරුවන්ගේ අස්භථිභග්නවලට හාතාවාරිය කොල, නවහන්දි, බැල තණ, අමුකහ, ලූණු, පොල් දමා කොටා මලවා බඳී. හැටපෑ හන්දියට නවහන්දි, හාතාවාරිය කොළ, එලබිංතඹුරු කොළ, ඔලිඳ කොළ, කොබ්බෑ කොළ යන මේවා ගෙන පොල්, කහ, ලූනු දමා කොටා මලවා බඳී. වාතරෝග සඳහා නවහන්දි ශාකය භාවිතාකර වේදු පෑම ගුණදායකය. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම් සහ තෙල් වර්ග සෑදීමටත්, විශේෂයෙන් මෙහි දන්ඩ හන්දි තෙල් සෑදීමටත් යොදා ගනී. නවහන්දි තැල්මට ඉතා ගුණ බව සඳහන් වේ.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ සිංහල කැඩුම් බිඳුම් වෙද පොත