කඵපිත්ත රෝග. අධිමාන, අර්ශස්, කෘමි අපහණය, සෙංගමාලය, උදර රෝග, ආමවාත, වාතරක්ත, උදාවර්තවාත, තිවෘ මලබද්යධ සහිත උණ, කල්ගිය මලබද්ධය, බරවා, පිත්ත පාණ්ඩුව, විසර්ප, ගුල්ම, සර්ප විෂ, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී තිරස්තවාලු ශාකයේ මුලේ පොතු, දඬු , කොළ ආදිය භාවිතා කරයි. තිරස්තවාලු පිත සමනය කරන, කඵ නසන, වාතය වඩන, රේචන, ශෝතහර ආදී ගුණ සහිතයි. ත්‍රිවෘත් චූර්ණය, මණිභද්‍ර මෝදකය තිරස්තවාලු අඩංගු නිශ්පාදිත ඖෂධ වේ.
කාමලාවට ත්‍රිවෘත් චූර්ණය, ගෝක්ෂුර චූර්ණය සමඟ යොදයි. අර්ශස්වලදී ත්‍රිඵලා කෂාය සමඟ භාවිතා කරයි. උණට තිරස්තවාලු චූර්ණය සීනි මී පැණි සමඟ දෙයි. බරවා සහ වාතරක්තවලදී ත්‍රිවෘත් ත්‍රිපල් සහ ඉඟුරුපියලි චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. පිත්තෝදරයට එළකිරි සමඟ ත්‍රිවෘත් චූර්ණය ද පිත්ත පාණ්ඩුවට සීනි සමඟ ද භාවිතා කරයි. ඇස් රෝගවලදී තිරස්තවාලු මී පැණි සමඟ බාහිරින් ආලේප කරයි.
තිරස්තවාලු මුල් ගලවාගත යුත්තේ චන්ද්‍රයා පුර පක්ෂයේ පවතින කාලවලදී බව පැරණි පොතපතෙහි සඳහන් වේ. මෙම මුල් සේදීමෙන් ගුණ හානිවන බව පැරණි වෛද්‍යවරු දැනසිටි නිසා ඔවුන් මෙම මුල් ගලවා රෙදිවලින් පිසදමා මැද නාරටිය ඉවත් කර හොඳින් වියළා භාජනවල බහා තබා ගනිමින් ප්‍රයෝජනයට ගත්හ. තිරස්තවාලු මුල් චූර්ණය සෑදීමේදී මුලෙහි මැද නාරටිය ඉවත් කොට කැබලි කර කිරෙහි බහා තම්බා වියළා ලත යුතුය. අළුත් අවස්ථාවේ භාවිතා කිරීම වඩාත් ප්‍රතිඵලදායක බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය