දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, November 28, 2016

අනිත්ත [Anitta] (Rhinacanthus nasutus)

Rhinacanthus නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 3ක් අප රටින් හමුවන අතර එයින් විශේෂ දෙකක් මෙරටට ආවේනික වේ. අවේනික විශේෂ දෙනෙක් Rhinacanthus polonnaruwensis නම් ශාකය හීං අනිත්ත ලෙස හඳුන්වා ඇත. එය විශේෂ තුන අතරින් පත්‍රවල පළල අඩුම ශාකයයි. Rhinacanthus flavovirens නම් අනෙත් විශේෂය හඳුන්වන සිංහල නමක් ගැන සඳහන් නොවේ. මෙම ලිපියෙන් විස්තර කරනුයේ අනිත්ත නමින් හඳුන්වන Rhinacanthus nasutus නම් දේශීය ශාකයේ ඖෂධීය භාවිතාවන් ගැනය. 

නයි විෂ නසන හෙයින් නාගමුල්ලී යනුවෙන්ද හඳුන්වන අනිත්ත මීටර් 1.25 දක්වා උසට වැඩෙන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. තරංගී දාරයක් සහිත සරල පත්‍ර රේඛීය - ලංසාකාර ය. සම්මුඛව පිහිටන පත්‍රවල දෙපසෙහිම සියුම් බූවක් දක්නට ලැබේ. සරල පුෂ්ප මංජරි කක්ෂීයව සහ අග්‍රස්ථීයව පිහිටයි. ද්වීලිංගික සුදු පැහැති මල් අලංකාරවත්ය. ඵලය සෙ.මි 2 පමණ දිග ස්ඵෝටිකාවකි. ලංකාවේ පහතරට වියළි කලාපීය වනාන්තර හා සෙවණ සහිත ජලාශ්‍රිත ප්‍රදේශවල හමු වෙයි. ගෙවත්තේ අලංකාරය සඳහා ද වවාගත හැකි අනිත්ත පැළෑටිය Acanthaceae කුලයට අයත් ය. 

පණුකැවිලි, පණුලප, දද, හොරි, කඩුවේගන්, පොතුකබර හෙවත් කිටීහ රෝගය, ඉකිලි කැසීම, ගජ චර්ම, සර්ප විෂ ආදියට ප්‍රතිකාර කිරීමේදී අනිත්ත ශාකයේ කොළ, මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. 

කුෂ්ඨ රෝගවලදී මුල් සහ පත්‍ර ලේපකිරීම සිදුකරයි. එයටම මුල් ක්වාතය දෙයි. අනිත්ත මුල් සහ පත්‍ර අඹරාගත් කල්කය පණු රෝග සඳහා යොදයි. අනිත්ත මුල් සර්ප විෂ නැසීමට උපයෝගී කර ගැනේ. විවිධාකාරවූ චර්ම රෝග සඳහා අනිත්ත කොළ තම්බාගත් වතුරෙන් සේදීම, කොළ අඹරා ආලේප කිරීම හෝ යුෂ ආලේප කිරීම ගුණදායක ය. අමුකහ සමඟ යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය. චර්ම රෝග සඳහා අභ්‍යන්තරව අනිත මුල් කෂාය සහ මුල් සහ පත්‍ර අඹරා සාදාගත් කල්කය කුඩා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් උදේ සවස ගත යුතුය. සර්ප විෂට හා පත්තෑ විෂට අනිත්ත කොළ කොටා ලබා ගත් යුෂින් එම මුල් ගලගා දියකර කකාරා ගෑම හෝ අනිත් කොළ කහ, ලුණු දමා මලව බැඳීම සිදු කරයි. අනිත්ත මුල් යෙදූ කිරි කෂාය සේවනය කාමයන් උද්දීපනය කරයි. 

අනිත්ත යුනානි වෛද්‍ය ශස්ත්‍රයේද චර්ම රෝග, උඳුගොව්වන් කෑම පණු කැවිලි ආදියට ප්‍රශස්ත ඔසුවක් සේ දක්වයි. ඉන්දියාවේ වෛද්‍යවරු එය රතිජනන ඖෂධයක් සේත්, මැඩගස්කර් වාසීහු සන්ධිපත් ඉදිමුමට ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘති
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
හීං අනිත්ත (Rhinacanthus polonnaruwensis)
Share:

Monday, November 21, 2016

හීරැස්ස [Heeressa] (Cissus Quadrangularis)

චතුරස්‍ර හෙවත් සිව්රැස් යන අර්ථයෙන් හීරැස්ස යනුවෙන් හඳුන්වනු ලබන මෙම ශාකයට හීරැස්සපලු යනුවෙන්ද ව්‍යවහාර කරයි. හතරැස් කඳෙහි පැහැදිළි පුරුක් දක්නට ලැබේ. ඒ අනුව චතුරස්‍රාකාර පුරුක් පවතින හෙයින් සිව්රැස් පලුව යැයි නම් වී පසුව හීරැස්සපලු බවට පත්වී ඇතැයි අනුමාන කරයි. හීරැස්ස මාංසල ඝන සිනිදු මතුපිටක් සහිත මීටර් 8 ක්පමණ දිග පතනශීලී කාෂ්ඨීය වැලකි. කොළ පැහැති කඳෙහි ගැටවලින් කුඩා අණ්කාඩාකාර පත්‍ර සහ පහුරු හට ගනී. පත්‍රවලට වඩා වැල (කඳ) ප්‍රකටව දිස් වේ. කක්ෂිය පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුවඳවත් ය. උපගොලාකාර ඵලයෙහි එක් බීජයක් දරයි. හීරැස්ස Vitaceae කුලයට අයත් ශාකයකි. 

හීරුස්ස ශාකයේ ප්‍රධාන ඖෂධීය ගුණය භග්න සන්ධානය (අස්ථි සන්ධි කිරීම) යි. එබැවින් කැඩුම් බිඳුම් වෙදකමෙහි යොදා ගන්නා විශිෂ්ඨ ඖෂධයක් ලෙස සැලකේ. එමෙන්ම කඵ වාතික රෝගය, කර්ණ රෝග, අජීර්ණ, අන්ත්‍ර රෝග, ඉදිමුම්, කුසගිනි මදිකම, අර්ශස්, කෘමි රෝග, නාසාරක්ත හෙවත් නාසයෙන් ලේ ගැලීම, අතීසාර, ඇදුම, වාතරක්ත, ඵීරංග (පරංගි), උපදංශ, රක්තස්‍රාව, පාණ්ඩු, අක්ෂි රෝග, ප්‍රදර, වාතවේදනා ආදී රෝගාබාධ රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට හීරැස්ස ශාකයේ දළු, ළපටි දඬු, මුල් සහ සම්පූර්ණ ශාකය එකවරමත් භාවිතා කරයි. 

හීරැස්ස එළකිරෙන් තම්බා අඹරා ගිතෙල් මිශ්‍ර කර ඝනට සිටින සේ ආලේප කර ඔතා තැබිම සහ හීනටි හාල් හීරැස්ස යුෂින් පෙඟෙන්නට තබා (දින 1 1/2 ක්) ඒ යුෂින් පාප්ප මෙන් අඹරා ඝනට සිටින සේ ආලේප කර ඔතා තැබීම බිඳුණු අස්ථි සවි වීමට ප්‍රතිකාරයකි. උළුක්කු, අස්ථිභග්න සහ වණ ආදියට හීරැස්ස ස්වරස කකාරාගත් ලේපය ආලේප කරයි. අස්ථිභග්නයට මුල් අඹරා ආලේප කරයි. අජීර්ණ සහ අන්ත්‍රගත රෝගයනට හීරැස්ස චූර්ණය යොදයි. නාසයෙන් ලේ ගැලීමේදී හීරැස්ස යුෂ නස්‍ය කරයි. කණෙන් ස්‍රාව පිටවීමට හීරැස්ස පල්ලෙහි ලා රත් කරගත් තලතෙල් රෙදි කැබැල්ලකින් පෙරා යුෂ බිංදු කීපයක් යොදයි. හීරැස්ස ක්වාතය හෝ පැණිය අර්ශස් රොගයට ගුණය. ඇදුම රෝගයට හීරැස්ස පලු සහ කොළ වියළාගත් චූර්ණය මී පැණි සමඟ දිය යුතුය. අවිධිමත් ආර්ථවය සඳහා හීරැස්ස යුෂ, වෙනිවැල්ගැට චූර්ණය, සූකිරි ගිතෙල් සමඟ යොදයි. හීරැස්ස කොළ සහ ළපටි දඬු යුෂ ශරීර ශක්තිය වර්ධනය කරයි. හීරැස්ස දඬු යුෂ පානය කිරීමෙන් දත්මුල් දියවීම නවතී. හෘද දුර්වලතාවයන්ට සහ පණු රෝගවලට හීරැස්ස අංගු කෂාය ගුණදායකය. හීරැස්ස අඹරා ආලේප කිරීමෙන් මස්පිඩු වේදනාවන් සමනය වේ. හීරැස්ස යුෂ හෝ කෂාය දීමෙන් නරකවූ මාළු කෑම නිසා ඇතිවූ විෂ සමනය වේ. හීරැස්සපලු රත්කර තලතෙලින් අඹරා පෙකනි ප්‍රද්ශයේ ආලේප කිරීමෙන් මුත්‍ර අඩස්සිය සුව වේ. මෙම දළු ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් දිරවීවේ අපහසුතාවයක් මග හැරී කුසගිනි වර්ධනය වෙයි. මෙය අර්ශස් සහ කෘමි රෝග සඳහා ද ගුණදාක ය. 

පැරණි ගොවීහු ගොයම් පෑගීමේදී කමත වටා යෙදූ ආරක්ෂක වලල්ලට හීරැස්ස භාවිතා කලහ. එමෙන්ම කොලමඬින විට හීරැස්ස කොළ ගොයම් කොළයේ මැදට දැමීමද පැරණි චාරිත්‍රයකි. ගුප්ත විද්‍යා කටයුතුවලදී හීරැස්ස භාවිතා කරන අතර සූනියම් ශාන්තිකර්මයේදී භාවිත වැල් වළලු අතර හීරැස්ස වැලද එකකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ ඔසුපැල හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයෙන්  

Share:

Monday, November 14, 2016

ගොඩමානෙල් [Godamanel] (Crinum latifolium)

මෙය බල්බය ලෙස හඳුන්වන භූගත කඳක් සහිත කුඩා දේශීය බහු වාර්ෂික ශාකයකි. බල්බයේ මුලින් හට ගන්නා තරමක් මාංසල වූ රේඛීය පත්‍රයක් සෙ.මි 50 පමණ දිගකට වර්ධනය වේ. සෙ.මි. 50 පමණ හෝ ඊට තරමක් උසකට වර්ධනය වන දඬුවක් සහිත ඡත්‍රීය පුෂ්ප මංජරියක හට ගන්නා මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. සුදු, රෝස සිට විවිධ වර්ණයන්ගෙන් යුත් මල් හමු වේ. අද වන විට විසිතුරු ශාක ලෙස නවීකරණය කරන ලද ගොඩ මානෙල් ප්‍රභේද රාශියක්ද දැක ගත හැකිය. ඖෂධයක් ලෙස මෙන්ම ගෙවත්තට අලංකාරයක් එක්කර ගැනීම සඳහා ද වැවිය හැකි ගොඩමානෙල් ශාකය Amaryllidaceae කුලයට අයත් ය. 

ඉදිමුම්, අර්බුද, සමේ රෝග, අර්ශස්, අස්ථි සන්ධි ප්‍රදාහය (Osteoarthritis), උණ, ශ්‍රවණ ආබාධ, ආර්තවයේදී ඇතිවන සංකූලතාවයන්, පුරස්ථි ග්‍රන්ථියේ සහ ගර්භාෂයේ රෝග, ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම පැළෑටියේ පත්‍ර සහ (බල්බය) අලය භාවිතා කරයි. ගොඩමානෙල් විෂබීජ නාශක සහ පිලිකා නාශක ගුණ සහිතයි. 

ගොඩ මානෙල් පත්‍ර ස්වරසය කණ් කැක්කුම සහ කණෙක් ස්‍රාව පිටවීමට ගුණය. ඉදිමුම් වේදනා, සන්ධිවාත ආදියේදී මෙම කොළ තැම්බූ හුමාලය ඇල්ලීමද, කොළ අඹරා රත් කර ගෑමද, එඬරු තෙල් ගා මෙම කොළ පොට්ටනියකින් තැවීමද සහනයට හේතු වෙයි. ගොඩ මානෙල් අල අඹරා රත් කර ගෑමෙන් ගුදඅංකුර පීඩාව සංසිඳේ. ගෙඩිවල ගෑ විට ඒවා පිපිරී සැරව ඉවත්ව යයි. කොළ යුෂ යොදා සදාගත් තෙල හොරි, දද, කුෂ්ඨ සුවපත් කරයි. පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ප්‍රතිපලදායී බව විදේශීය පර්යේෂණවලින් හෙලිවී ඇත. වියළි කොළ පුලුස්සා දුම් ඇල්ලීම මදුරු කරදරයට විසඳුමකි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Monday, November 7, 2016

රදලිය [Radaliya] (Connarus monocarpus)

දේශීයව එකම උද්භිද ගණයට අයත් රදලිය නමින් හඳුන්වන ශාක විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. එයින් Connarus championii නම් ශාකය අප රටට ආවේනික වන අතර එය රතු දත්ත පොතහි වඳවීයෑමේ තර්ජනයට ලක්විය හැකි ශාක යටතේ වර්ගීකරණය කර ඇත. ඖෂධ සඳහා භාවිතා කරන බවට තොරතුරු සඳහන් වන Connarus monocarpus නම් අනෙක් රදලිය විශේෂය රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇති අතර ඉදිරියේදී කරුණු දක්වනුයේ එම ශාකය ගැනයි. රදලිය කාෂ්ඨීය බහු වාර්ෂික වැල් ශාකයකි. කඳෙහි විල්ලුද ආකාරයේ සියුම් බූවක් පිහිටයි. පත්‍රිකා 3-7 අතර සංඛාවකින් යුත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. ශාඛාවන්ගේ අශ්‍රස්ථයන්ගෙන් හට ගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති කුඩා මල් රාශියකි. කහ පැහැයට හුරු කොළ පැහැයකින් යුත් කරලෙහි දිළිසෙන සුලු කළු දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. මෙම කරල් මේරීමත් සමඟ දීප්තිමත් රතු පැහැයකට හැරෙයි. රදලිය Connaraceae කුලයට අයත් ශාක විශේෂකි.

රදලිය පොතු සහ මුල් සාරයේ අඩංගු ප්‍රධාන රසායන ද්‍රව්‍ය හතරක් පිළිකා සෛල නසන ගුණ දරයි. දේශීය වෙදකමේ දී එම සාරය විසප්පු සහ අර්ශස් ගෙඩි සුව කිරීමට භාවිත වේ. මුලෙන් නිස්සාරණය කරන තෙල් ඉදිමුම් අවස්ථාවල දී ප්‍රතිකාර ලෙස යොදා ගැනේ. මුල් හා පොතු කෂාය සිපිලිස් නම් සමාජ රෝගය මර්දනය සඳහා භාවිත කෙරේ. එම කෂාය මැලේරියාව සඳහා ද හොඳ ඔසුවකි. අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය පාලනය කිරීමට මුල්, පොතු හා කොළ කෂාය යොදා ගනී. දත් සෙලවීම සහ මුඛ දුර්ගන්ධයට ප්‍රතිකාර කිරීමට හොඳින් මේරූ රදලිය මුල් භාවිතා කරයි. කුඩා පිරිමි දරුවන්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒම වැලැක්වීමට දරලිය ගෙඩිය කැඩූ පසු වෑස්සෙන කිරි යොදා ගනී. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා රදලිය පොතු සුලබව යොදා ගනී. රදලිය යන්නෙහි තේරුම රාජකීය කාන්තාව යන්නයි. එහෙත් ඇතැම් පොතක එය රදාලිය යනුවෙන් හැඳින්වේ. එවිට එයින් වෙනත් තේරුමක් හැඟෙන බැවින් ඒ යෙදුම දෝෂ සහගතය. 

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support