දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, January 26, 2020

කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

Aponogeton  නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි. එයින් විශේෂ හතරක් ලංකාවට ආවේණික මෙන්ම දුර්ලභ ද වේ. මෙහිදී විස්තර කරන විශේෂය දේශීය වන අතර එය ද තර්ජනයට ලක්විය හැකි අවධියක පසුවන බව උද්භිද විද්‍යා මූලාශ්‍රවල සඳහන්ව ඇත. කශේරු යනුවෙන් ද හඳුන්වන කෙකටිය සෙ.මි. 5 පමණ විශ්කම්භයක් සහිත පත්‍යණ්ඩාභ අලයකියන් යුත් නිමග්න ජලජ පැලෑටියකි. අනෙක් විශේෂ තුනට වඩා මෙහි විස්තර කරන විශේෂයේ අලය විශාලවට වැඩීම අනෙක් වර්ගවලින් වෙන්කර ගැනීම පහසු කරවයි. සෙ.මි. 50 දක්වා දිගට සහ සෙ.මි. 4.5 පළල පත්‍රවල හැඩය බොහෝ විට පටු ලංසාකාර හෝ පටු අණ්ඩභ වේ. පත්‍ර දාරය තරංගී හෝ රැලි සහිත ආකාරයකි. පත්‍ර බොහෝමයක් ජලය තුල ගිලී පවතී.  කුඩා මල් සහිත අලංකාරවත් පුෂ්ප මංජරිය සෙ.මි. 13 පමණ වන දිගු වන අතර අක්ෂය සෙ.මි. 75 පමණ දිගට වැඩේ. සුවඳැති මල් සුදු, රෝස හෝ ළා දම් පැහැති ය. Aponogeton natans නම් දේශීය කෙකටිය විශේෂයේ පත්‍ර ජලය මත වැඩෙන අතර පත්‍රවල ප්‍රමාණය කුඩා මෙන්ම හැඩය ද තරමක් වෙනස් ආකාරයක් ගනී. කෙකටිය  Aponogetonaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයන් ය.

අක්ෂි රෝග, ජර්දි, අතීසාර, ග්‍රහණි, විසූචිකා, රක්ත අතීසාර, රක්ත අර්ශස්, ප්‍රදර රෝග, සෝම රෝග, ප්‍රමේහ, වමනය, ශරීර දුර්වලතා, විසර්ප ආදියට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කෙකටිය ශාකයේ අල සහ මල් භාවිතා කරයි. කෙකටිය ඇසට හිතකර, වණවල ඉදිමුම් සමනය කරන, දාහය සංසිඳුවන, වමනය වලක්වන, ශුක්‍ර වඩවන, ආහාර රුචිය ඇති කරවන, හෘදය බලගන්වන, මව්කිරි ජනනය කරන ආදී ගුණයන් රැසකින් සමන්විතයි.  

විසර්පවලට කෙකටිය අල ගිතෙලින් අඹරා ආලේප කරයි. අතීසාරයට අල තැම්බූ ජලය හෝ කෂාය බොන්නට දෙයි. ඇස් රෝගවලට වැල්මී සමඟ අඹරා පුරවලියන් යොදයි. කහ උණ සඳහා කෙකටිය මල්වලින් කැඳ සාදා බොන්නට දෙයි. කෙකටිය අල තම්බාගත් ජලය, මී පැණි සහ වී පොරි සමඟ කලවම් කොට බීමෙන් වමනයට සහනය ලැබේ. තෘෂ්ණ හෙවත් පිපාසයට මල් හෝ අල තැම්බූ වතුර පානය කිරීම ගුණ ය. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින අයට කැඳ පිණිස පානයට දීම හෝ සම්පූර්ණ පැළයම තම්බා පානයට දීම හිතය. ගර්භනී මව්වරුන්ට ගර්භය නිසිලෙස ස්ථාපනය වීමට කෙකටිය අල බැද තම්බා කෑමට දෙයි. ප්‍රමේහ රෝගීන්ට ආහාරයක් ලෙස අල හෝ මල් කුමන ආකාරයකින් හෝ සකසා දීමත්, කෂය ලෙස සකසා දීමත් සිදු කරයි. දරුවන් ලැබූ මව්වරුන්ට ලේ වහනය වැලැක්වීමටත්, කිරිදෙන මව්වරුන්ට මව්කිරි වැඩීමටත් අල සහ මල් කැඳ සහ ව්‍යංජන ලෙස සකසා දීම ගුණදායක ය. 

කෙකටිය අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගනී. එමෙන්ම අල තම්බා පොල් සමඟ ආහාරයට එක්කර ගත හැකිය. එය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස සැලකේ. කෙකටිය මල් ද (මල් සහ මල් නටුව) කිරට සහ තෙල් දමා ප්‍රනීත ව්‍යංජනයක් ලෙස පිස ගත හැකිය. කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හට ගන්නා ඇඟපත දැවිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල, මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී අවස්ථාවන් මඟ හරවා සහනයක් සලසා ගැනීමට හැකි වේ.



මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ අනුග්‍රහය_ වෛද්‍ය සංජීව රූපසිංහ (මෙහි ඉහල ඡායාරූපයේ දක්වා ඇත්තේ Aponogeton natans නම් දේශීය කෙකටිය විශේෂයයි)
කෙකටිය මල්
Share:

Monday, January 20, 2020

බිංතඹුරු [Bintamburu] (Ipomoea pes-caprae)

බිංතඹුරු මුහුදු වෙරළ අසබඩ සුලබව හමුවන, බිම දිගේ වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. ඝන වූ මුදුන් මුලක් දරන අතර බොහෝ විට පර්වයන්ගෙන් මුල් හට ගනී. මාංසල සරල පත්‍ර ඒකාංශ, අණ්ඩාකාර, ප්‍රත්‍යණ්ඩකාර, ඉලිප්සාකාර, වක්‍රාකාර ආදී විවිධ හැඩන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-10 පමණ වේ. පත්‍ර පාදය කීලාකාර හෝ ලූප්ත වේ. පත්‍ර අග්‍රය බොහෝ විට නතාග්‍ර වන අතර ඇතැම් විට ලූප්ත විය හැකිය. පුෂ්ප මංජරියේ බොහෝ විට තනි පුෂ්පයක් දරන අතර ඇතැම් විට බහු අක්ෂයකි. තරමක් විශාල පුනීලාකාර මල් රෝස පාටට හුරු දම් පාට ය. කලාතුරකින් සුදු පැහැති මල් හට ගන්නා ප්‍රභේදයක් හමුවන අතර එය එළ බිංතඹුරු යනුවෙන් හඳුන්වයි. ඵලය කොටස් හතරකට බෙදුණු ස්ඵෝටිකාවකි. ඒ තුල මි.මි. 6-10 පමණ වන දුඹුරු හෝ කළු පැහැති බීජ පිහිටා තිබේ. මෙවැනිම බිංතඹුරු නමින් හඳුන්වන  Ipomoea asarifolia නම් විශේෂයක් ද ලංකාවෙන් හමුවන අතර එය මෙරටට ආගන්තුකව පැමිණි ශාකයක් ලෙස සැලකේ. බිංතඹුරු Connvolvulaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයකි. 

ආමවාත, වාතරක්ත, රක්තවාත, පූයමේහ, අන්ත්‍රශූල, සන්ධිශූල, කුෂ්ඨ, විෂ, කාස, ගුල්ම, උදරරෝග, වණ, වණ සහිත ඉදිමුම්, රක්තප්‍රදර, අර්ශස්, උදරාධ්මාන, අජීර්ණ, ශරීර දාහය, රක්තහීනතාවය, සුප්තවාත, ස්නායු දුර්වලතා, අස්ථි භග්න ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කීමට බිංතඹුරු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බිංතඹුරු වමනකාරක, විරෙචක, රක්ත‍ශෝධක, මුත්‍රකාරක, ඉදිමුම් සමනය කරන, ශක්තිජනක, විෂනාශක ආදී ගුණ සහිතයි. බිංතඹුරු ක්වාතය, බිංතඹුරු ස්වරසය බිංතඹුරු යොදා නිපදවන ඖෂයන් ය.

වළලුකර ඉදිමීමට බිංතඹුරු කොළ, අමුකහ, ලුණු සමඟ කොට මලවා බඳී. ආමවාත, වාතරක්ත, පූයමේහ, ජලෝදර, සන්ධි ඉදිමුම් ආදියට බිම්තඹුරු කොළ සහ මුල් තැම්බූ කෂාය බොන්නට දෙයි. ජලෝදර රෝගය සඳහා මුත්‍රකාරකයක් ලෙස බිංතඹුරු යුෂ යෙදීම හා තලාගත් පත්‍ර ප්‍රලේපය උදරයේ ආලේප කිරීම සිදු කරයි. විසර්ප, ආමවාත, ඉදිමුම්, කෙණ්ඩාපෙරලීම්, දියවැඩියාව නිසා හට ගන්නා තුවාල ආදියට බිංතඹුරු කොළ අඹරාගත් ප්‍රලේපය ආලේප කරයි. චර්ම රෝගවලට බිංතඹුරු යුෂත්, වාතරක්ත සහ සන්ධි ඉදිමුම් ආදියට පත්‍ර යුෂත් යොදා ප්‍රතිකාර කරයි. ගුදභ්‍රංස සහ පාද ආසාදනවලට අදාල ස්ථාන බිංතඹුරු කොළ තැම්බූ ජලයේ බහා තබයි. කැඩුම් බිඳුම්වලදී බිංතඹුරු කොළ එළඟිතෙලින් මලවා බඳී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, January 5, 2020

දිවිපහුරු [Divipahuru] (Ipomoea pes-tigridis)

දිවිඅඩිය වැල් යනුවෙන් ද හඳුන්වන දිවිපහුරු රළු බූවක් සහිත වැල් ශාකයකි. පත්‍රය අතක ඇඟිලි මෙන් පත්‍රිකා 7-9 අතර ප්‍රමාණයකට බෙදී පවතී. පත්‍රයක් දිගින් සෙ.මී.10.5 ක් සහ පළලින් සෙ.මී. 13ක් පමණ වේ. පත්‍රිකා ප්‍රත්‍යණ්ඩාකාර හෝ ඕවලාකාර වන අතර පත්‍රිකාවල අග සහ මුල පටුය. උඩු හා යටි පෘෂ්ඨ දෙකේම දැඩි බූවක් පිහිටා තිබේ. පුෂ්ප මංජරිය සුදු,රෝස හෝ දම් පැහැ පුනීලාකාර මල් කීපයකින් සමන්විතයි. කුඩා අණ්ඩාකාර ස්පෝටිකාවක් වන ඵලය තුළ කළු පැහැති සියුම් බූවක් සහිත කුඩා බීජ පිහිටා තිබේ.  දිවිපහුරු  Connvolvulaceae උද්භිද කුලයට අයත් දේශීය ශාකයකි.

දිවිපහුරු විශේෂයෙන් විෂ වෙදකමේදී භාවිතා කරන ප්‍රකට ඔසු ශාකයකි.  දිවි මකුළු විෂට දිවිපහුරු කොළ දියසෙවෙල සමඟ අඹරා ගෑම ද, ඊටම දිවිපහුරු කොළ ,මකුළුවැන්න කොළ, මුඩමහණ කොළ, තල් කොළ, තල් පොතු, එරබදු පොතු, කිතුල් පොතු, කිතුල් මුල් සමව ගෙන පොල් සමඟ කොටා තෙල් සිඳ ආලේපය ද, බීමට දීමද, එම රොඩු වලින් දුම් ඇල්ලීම ද යහපත් බව සඳහන්. එමෙන්ම දිවි මකුළු විෂට  දිවිපහුරු කොළ යුෂ දෙහි ඇඹුලෙන් පෙවීම ද සුදුසු බව දක්වා ඇත. නාග විෂට හා මාපිල් විෂට දිවිපහුරු කොළ අඹරා කෑ මුඛයේ බඳිනු ලැබේ. පිස්සු බලු විෂට වැල සහමුලින් ගෙන කොට මිරිකා ගත් යුෂ බොන්ට දීම, නස්‍ය කිරීම හා කෑ මුඛයේ ගෑමත් යෝග්‍ය බව සඳහන්. 

ඇස් වෙදකමේදී ඇසේ සුද කැපීමට දිවිපහුරු කොළ දිවිතෙලෙන් මළවා බැඳීම ද, දිවිපහුරු කොළ, පුපුල දළු, එඬරු දළු දොඩම් පැඟිරෙන් හා ගිතෙලින් අඹරා බැඳීම ද සිදු කරයි. නිලීකා නම් චර්ම රෝගයට දිවිපහුරු ඇට, පුහුල් කොළ යුෂයෙන් අඹරා ගෑම සුදුසු බව දක්වා ඇත. මීට අමතරව උණ, උදර රෝග, පිළිකා ආදී රෝග අවස්ථා වලදී ද විවිධාකාරයෙන් දිවිපහුරු යොදා ගනී. එමෙන්ම රස වෙදකමේ දී රසදිය ශෝධනය ට ද දිවිපහුරු භාවිතා කළ බව දක්වා ඇත. පිළිස්සුම්වලදී හට ගන්නා දිය බබුලුවල මෙම යුෂ ගෑමෙන් සුවය ලැබේ. පිළිස්සුම් තුවලවල දිවිපහුරු කොළ අමුකහ සමඟ අඹරා ගෑ යුතුය. තවද ඉන්දියාවේ දී, තුවාලය සුව කිරීම සඳහාත්, හිසරදය, ඉදිමීම්, බඹර විෂ, සර්ප දෂ්ට කිරීම්, කුරුළෑ ආදිය සඳහා ප්‍රතිකාර කිරීම සඳහාත් දිවිපහුරු භාවිතා කරයි. මෙම සම්පූර්ණ ශාකයම ඔසු පිණිස ගනී. විෂනාශක ගුණ සහිතයි.

මූලාශ්‍ර_ තල්පතේ පිලියම්, ඔසුතුරු විසිතුරු සහ වෛද්‍ය තෙරිපැහැ ආරියවංශ මහතාගේ කෘති ඇසුරින් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support