දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, March 22, 2016

තරණ [Tarana] (Tarenna asiatica)

තරණ දේශීය වෛද්‍ය ක්‍රමයට අනන්‍යවූ ඖෂධීය ශාකයකි. පඳුරක් හෝ මීටර් 10 දක්වා උසට වැඩෙන කුඩා ශාකයක් ලෙස දැක ගත හැකිය. පොත්ත ඇලි සහිත හෝ පතුරු ගැලවෙන ස්වභාවයක් ගනී. පත්‍ර ඉලිප්සාකාර සිට ඉලිප්සීය-ආයත හෝ ප්‍රතිලංසාකාර වේ. දිළිසෙනසුළු පත්‍රයක් සෙ.මි. 15 ක් දක්වා වර්ධනය වේ. සෙ.මි. 6 ක් පමණ දිග පුෂ්ප මංජරිය සියුම් බූවක් සහිතය. මල් ළා කහ හෝ සුදු පැහැතිය. මල් හටගන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හා සැප්තැම්බර් මාසවලදී බව මූලාශ්‍රවල සඳහන් වූවත් මහනුවර ප්‍රදේශයේ ජනවාරි මස මුල සිට මල් දැක ගත හැකි විය. තරණ Rubiaceae  කුලයට අයත් ශාකයකි.

ඉදිමුම්, ගෙඩි, වණ, පිළිකා, සන්ධි ආබාධ, කැඩුම් බිඳුම්, උදරාබාධ, කැපුම් තුවාල, චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී තරණ ශාකයේ කොළ, දළු, පොතු, මුලේ පොතු, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.

ඉදිමුම් සඳහා තරණ කොළ කැඳ පිස දීම හා කොළ තම්බා ඉදිමුණු ස්ථාන තැවීම සිදු කරයි. අවහන්ධියට, වේදනාවට හා තැල්මට තරණ කොළ පොතු කොටා එයට ජලය වත්කර තබා පසුවදා මිරිකා පෙරා ලණු පතක් දමා කකාරා ආලේප කිරීම ප්‍රතිකාරයකි. මස් හිරවීමට තරණ කොළ, පොතු මඩතිය කොළ, පොතු කරඳ කොළ, පොතු අට්ටික්කා කොළ, පොතු කොටා මිරිකා යුෂය සහිඳ ලුණු දමා පත්තු සිඳ ආලේප කරයි. කැපුණුවිට තරණ පොතු, පොල් කිරෙන් පස් කුළුබඩු යොදා තෙල් සිඳ ආලේප කිරීම ආදී ලෙස තරණ ශාකය භාවිතාකරන ප්‍රතිකාර රැසකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Thursday, March 10, 2016

වැල් කහඹිලියා [Wel Kahabiliya] (Tragia involucrata)

මෙය ශාකය පුරාම බූවක් සහිත බහුවාර්ෂික ලතාවකි. මෙම වැල ගස්වල එතෙමින් අඩි 3-4 පමණ දිගකට වර්ධනය වේ. මෙහි ඇති බූව මිනිස් සිරුරට ආසාත්මික වන අතර වේදනාකරී කැසීම් ඇති කරයි. කහඹිලියා යන නම යෙදෙන්නටද එය හේතුවකි. සරල ඒකාන්තර පත්‍රයක් සෙ.මි. 7.5 පමණ දිගු වන අතර පත්‍ර අග්‍රය තිවෘ වේ. පුෂ්ප මංජරිය ඒකාක්ෂයකි. මල් කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. පුල්ලි සහිත බීජ අළු පාටට හුරු දුඹුරු පාටය. ගැමියන් ධාන්‍ය වර්ග කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කොළ භාවිතා කරයි. වැල් කහඹිලියා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.

ඇදුම, ක්ෂය රෝගය, ස්වාසනාලිකා ප්‍රදාහය, කුෂ්ඨ රෝග, වණ, ගෙඩි, හිසේ රුදා, ලේ ගෙඩි, ස්වරතන්ත්‍ර ප්‍රදාහය, සන්නිපාත උණ, උපදංශය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වැල් කහඹිලියා මුල්, ඇට, කොළ ආදිය භාවිතා කරයි. සුලභව ඖෂධ සඳහා භාවිතා කරනුයේ මෙහි මුලයි. වැල් කහඹිලියා මුල් අඹරා සකස්කර ගත් ප්‍රලේපය කුෂ්ඨ රෝගයට ප්‍රතිකාරයකි. හිසරදයට වැල් කහඹිලියා මුල් අමු ඉඟුරු සමග අඹරා හිසෙහි ආලේප කරයි. වැල් කහඹිලියා ගෙඩි ඇල් දියෙන් අඹරා ආලේප කිරීමෙන් ලේ ගෙඩි පැසවා පිපිරී යාම සිදුවේ. එමෙන්ම එය උඳුගොව්වා කෑමටද ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support