දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, January 30, 2017

මකුල්ල [Makulla] (Hydnocarpus venenata)

සිංහලෙන් මකුළු සහ මාකිටිය යනුවෙන්ද හඳුන්වන මකුල්ල තරමක් විශාලවට වැඩෙන අප රටට ආවේනික ශාක විශේෂයකි. ඇළ දොළවල් සහ කුඹුරු අද්දර සුලබව දැක ගත හැකි ය. සිනිඳු සුදු පැහැති පොත්තක් සහිත වන අතර ළපටි කඳ කොටස් බූවකින් යුක්ත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර ලංසාකාර, ආයත වැනි විවිධ හැඩයන් ගනී. සිනිඳු මතුපිටක් සහිත පත්‍රවල පත්‍ර දාරය කරපත්‍රික ය. මල් ඒක ලිංගික ද්වීගෘහීය. තනි තනිව හෝ මල් කීපයක් එකට පිහිටයි. ඵලය උප ගෝලාකාර හැඩයකින් යුක්ත බදරියකි. ඵලාවරණය තද දුඹුරු පැහැති බූවකින් වැසී පවතී. ඵලයක් තුල බීජ 6 ක් පමණ පිහිටයි. මකුල්ල Flacourtiaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ආයුර්වේදයේ සඳහන් මෙම උද්භිද ගණයටම අයත් තුවරක (Hydnocarpus wightianus) ශාකය වෙනුවට ලංකාවේ භාවිතා කරනුයේ මකුල්ල ශාක කොටස් ය. තුවරක තෙල් වෙනුවට මකුල්ල බීජ යොදා සිඳ ගත් තෙල් ලාඳුරු ආදී කුෂ්ඨ රෝගීන්ට හට යෙදීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබී ඇති බව සඳහන්. චර්ම රෝග, දුෂ්ඨ වණ, නාඩි වණ, අස්ථි වණ, රුධිර රෝග, ප්‍රමේහ රෝග, පීනස් රෝග, ආමවාත, රක්තවාත ආදී ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීමේදී මකුල්ල ශාකයේ කොළ, පොතු, ගෙඩියේ පොත්ත, ඇට ආදීය භාවිතා කරයි. මකුල්ල රුධිරය පිරිසිදු කරන, කුෂ්ඨ නසන, වණ ශෝධනය හා රෝපණය කරන ගුණ සහිතයි.

චර්ම රොගවලදී බීජ තෛලය, විශේෂයෙන් ලාඳුරු රෝගයේදී බාහිර ආලේපනයක් ලෙස භාවිතා කරයි. කැසීම සහිත වණ සඳහා මකුල්ල ඇට, කොහොඹ කොළ, සන්නිනායම්, ඇත්තෝර කොළ, පුපුල කොළ, අහැළ දළු ඇල්දියෙන් අඹරා ගෑමට නියම කර ඇත. මකුල්ල දැව ගෘහ භාන්ඩ නිපදවීමට යොදා ගනී.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 

     
Share:

Monday, January 23, 2017

කහ අඬනහිරිය [Kaha Adanahiriya] (Crotalaria retusa)

කහ අඬනහිරිය මීටර් 1 - 3 අතර උසකට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. පොදුවේ දිවයින පුරාමත් පහතරට වියළි කලාපයේ සුලබවත් දැක ගත හැකිය. බොහෝ විට සෘජු කඳක් දරන අතර කලාතුරකින් බිම දිගේ වැඩෙන අවස්ථා දැක ගත හැකිය. ශාකය පුරා බූවක් පිහිටයි. සරල පත්‍ර ප්‍රතිලන්සාකාර සිට ප්‍රත්‍යණ්ඩකාර-ආයත ය. පත්‍රයක් සෙ.මි 10 දක්වා දිගකට වර්ධනය වේ. පත්‍ර අග්‍රය මොට හෝ නතාග්‍ර ය. පත්‍රයෙහි උඩුපස සිනිඳු වන අතට යටිපස බූව සහිතය. පුෂ්ප මංජරිය අග්‍රස්ථ ඒකාක්ෂයකි. දිප්තිමත් කහ පැහැයෙන් යුත් පුෂ්ප රාශියක් හට ගනී. ඵලය කරලකි. එක් කරලක් තුල බීජ 15-20 සංඛාවක් පිහිටයි. කහ අඬනහිරිය Fabaceae කුලයට අයත් ශාක විශේෂකි. 

පිත්තජ ශෝත, කුෂ්ඨ, මුඛ රෝග, කක්කල්කැස්ස, මාන්දම නිසා ජනිත රෝග, අස්ථි භග්න, ඉදිමුම්, ලේ ගෙඩි ආදියට ප්‍රතිකාර කිරීමට කහ අඬනහිරිය කොළ සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අඬනහිරිය පිත සමනය කරන, කුෂ්ඨ නසන, රුධිරය පිරිසිදු කරන ගුණ සහිතයි. මෙහි මල් විශේෂයෙන් වමනකාරක හා හෘදයේ රුධිරය පිරිසිදු කරන ගුණ සහිත බව සඳහන්. අඬනහිරිය ආසවය, මාන්දම් තෛලය අඬනහිරිය යොදා නිපදවන ඖෂධයන් ය.

කණ් කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස අඬනහිරිය කොළ යුෂ රත් කර කණට වත් කරයි. අඬනහිරිය කොළ, පෙති තොර කොළ සමව ගෙන කොටා මරිකා දෙහි ඇඹුලින් කකාරා ගෑමෙන් ඉදිමුම් සමනය වේ. ලේ ගෙඩිවලට අඬනහිරිය කොළ, අහු දලු සමව ගෙන අමු කහ දමා කොටා හාල්පානු දියෙන් තම්බා ආලේප කළ යුතුය. අඬනහිරිය මුලක් දෙහි ඇඹුලින් ගලගා ඊටම දිය කර හිසට දැමීමෙන් වමනය නවතී. කලක් පවතින කැස්සට අඬනහිරිය කොළ ඉස්ම, බාඳුරා ගොටුවෙහි වතුර සහ මී පැණි සමව ගෙන උදෑසන පානය කළ යුතුය. ගෙඩි ඉහිරීමට අඬනහිරිය අමු කහ පොල් සමඟ කොටා මලවා ගෙඩිය වැසෙන සේ බඳියි. 

අඬනහිරිය යොදා කක්කල්කැස්සට ඖෂධ පිළියෙල කිරීමේදී කථා නොකර සිටීමේ නියමයක් ඇති බවත් "කටහඬ ඇති දෙන්නා එක පමණට ගන්න යන" යන පැරණි වෙද ගැටයෙහි අරුත කහ සහ නිල් අඬනහිරිය දෙවර්ගය බවට ඔප්පුවන සාධක ඇති බවත් සඳහන්. අඬනහිරිය විශේෂවල හට ගන්නා මූල ගැටිති තුල නයිට්‍රිජන් තිර කරන බැවින් පස සාරවත් කීරීමට දායක වෙයි. එමෙන්ම අඬනහිරිය ඇතැම් සමනල් විශේෂ තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට යොදා ගන්නා, ඔවුන් ප්‍රිය කරන ශාකයක් බව ප්‍රකට කරුණකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Monday, January 16, 2017

ගල්කූර [Galkura] (Melochia corchorifolia)

ගල්කූර මීටර් 2 ක් දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. සෙ.මිි. 10 ක් දක්වා දිගු විය හැකි සරල පත්‍ර පටු සිට පුලුල් දක්වා අණ්ඩාකාර හැඩයෙන් යුක්ත ය. පුෂ්ප මංජරියක තදින් ඇසිරුනු පෙති 5 ක් සහිත මල් සුදු හො දම් පැහැතිය. විශ්කම්භය මි.මි. 5 පමණ වන ඵලය කොටස් පහකට බෙදී ඇති ඇතර එක් කොටසක් තුල බීජයක් බැගින් පිහිටයි. ගල්කූර ශාකය Sterculiaceae උද්භිද කුලයට අයත් ය. 

දේශීය වෙදකමට අනන්‍ය (ආයුර්වේදයේ සඳහන් නොවන) ඖෂධයක් ලෙස සැලකෙන ගල්කූර රත්පිත්, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල්, ප්‍රමේහ, වාතරක්තයෙන් ජනිත රෝග ආදියට ප්‍රතිකාර කීමට යොදා ගනී. දියවැඩියාවට ගල්කූර ශාකයම කොටා වියළා මී පැනියෙන් අඹරා ඉටිපදමට ගෙන උදය සවස පුවක් ගෙඩියක් පමණ වළඳා ඇල් වතුර බීමට නියම කර ඇත. වැල් දෙහි චූර්ණය, ජීරක චූර්ණය, මහා වලිප්පුරාජ තෛලය ගල්කූර යොදා නිපදවන ඖෂධයන් ය.

ගල්කූර කොළ පළාවක් හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට එක් කර ගත හැකිය. ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෙදකමේදී උදරාබාධ, අතීසාරය, වමනය මුත්‍ර පද්තිධයේ රෝග, තුවාල, වණ, සර්ප දෂ්ඨන, හිසරුදා ආදී රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල් බීජ ආදිය භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Monday, January 9, 2017

බෝඹු [Bobu] (Symplocos cochinchinensis)

බෝඹු මීටර් 12 ක් දක්වා උසට වැඩෙන, ඇතැම් විට පඳුරක් ලෙස ද වර්ධනය වන දේශීය ශාක විශේෂයකි. ඇතැම් අවස්ථාවල නොමේරූ කොටස්වල සියුම් බූවක් දැකගත හැකිය. පත්‍ර පුළුල් සිට පටු දක්වා වන ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත ය. පත්‍ර දාරය දැති සහිත, තරංගීමය හෝ කඩතොළු සහිත වේ. පත්‍රයක් සෙ.මි 6 සිට 17 දක්වා දිගින් යුක්ත විය හැකිය. පුෂ්ප මංජරිය බොහෝ විට සංයුක්ත ශුකියකි. එහි හට ගන්නා සුදු පැහැති මල් අලංකාරවත්ය. කොළ පැහැති ගොලාකාර ඵලය ඉඳුණු විට කළු පැහැයක් ගනී. මෙම විශේෂයේම ප්‍රභේදයක් ලෙස සලකන, ඖෂධ සඳහා භාවිතා කරන තවත් ශාකයක් ඇති අතර එය වල් බෝඹු නමින් හඳුන්වා ඇත. බෝඹු Symplocaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි

බෝඹු ආයුර්වේදයේ ප්‍රකට ඖෂධයක් වන "ලෝඹු" නැමැති ශාකයේ සහෝදර විශේෂයක් ලෙස සලකන අතර එය ලෝඹු සඳහා සුදුසුම ප්‍රතිනිධිය ලෙස භාවිතා කළ හැකි බව වෘද්ධ වෛද්‍ය මතයකි. කේරලයේ වෛද්‍යවරු ලෝඹු ලෙස භාවිතා කරනුයේ දේශීය බෝඹු ශාකය බැවින් ඒ අනුව ලාංකේය ව්‍යවහාරයද නිවැරදිය. තැළුම්, ගෙඩි වණ, විද්‍රධි, ඇස් රෝග, සන්ධිගත රෝග, කැඩුම් බිඳුම්, අතීසාරය, පේශි දාහය, මස්කුණුවීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් බෝඹු ශාකයේ කොළ සහ සුඹුලු භාවිතා කරයි.

මස් තැළුනු කල බෝඹු ශාකයේ සුඹුලු අඹරා උපනාහයක් ලෙස යෙදීමෙන් වේදනාව පහ වේ. ඇස් තැළුමට සුඹුලු කොටා පොට්ටනි බැඳ ඇස තැවීම සිදු කරයි. සන්ධිගත රෝග සඳහා බෝඹු කොළ, කොදිඹුලා කොළ, දිය මිදෙල්ල කොළ, කහ ලුණු දමා කොටා එඬරු තෙලෙන් මලවා බඳී. වල් බෝඹු ශාකයේ අමු කොළ, සුඹුලු අඹරා බැඳීම සන්ධිභග්නවලට ප්‍රතිකාරයකි. වල් බොඹු කොළ කෂාය කර පානය කිරීමෙන් මුත්‍ර ගල් පහව යයි. මීට පෙර පරම්පරාවේ ගැමියන් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා දත් පිරිසිදු කිරීමට දැහැටි කූරු ලෙස භාවිතා කළේ බෝඹු කොටුය. එම පුරුද්ද අද ද ගම්බඳව විරලව දැකගත හැකිය. 

දේශීය බෝඹු ශාකය ලෝධ්‍ර ගණයට අයත් බැවින්  ලොත් හෙවත් ලෝධ්‍ර පොතු සොයා ගැනීමට නොහැකි අවස්ථාවල ඒ වෙනුවට බෝඹු පොතු භාවිතා කිරීමට නිර්දේශ කර ඇත. මෙරට පැරණි දේශීය වෛද්‍යවරුන් ලෝධ්‍ර පොතු වෙනුවට ලුණුවරණ පොතු ද භාවිතා කර ඇති බව පැරණි වට්ටොරුවලින් පෙනීයන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 


Share:

Monday, January 2, 2017

දියමිත්ත [Diyamitta] (Cissampelos pareira)

කිරිමුදුවන් නමින්ද සිංහලෙන් හඳුන්වන දියමිත්ත ආයුර්වේද වෙදකමෙහි ලඝු පාඨා යනුවෙන් හඳුන්වන ඖෂධය බව වෘද්ධ වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඖෂධීය භාවිතයේදී මෙම කුලයටම අයත් ලුණුකැටියා වැල් (Stephania japonica) නම් දේශීය වැල් විශේෂයද දියමිත්ත ප්‍රභේදයක් ලෙස සලකා ඇති බවත් ඒවා පාඨා නමින් හඳුන්වන බවත් වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල දක්වා ඇත. දියමිත්ත කොළවල යුෂ ජලය සමඟ මුසුකළ විට මිදෙන බැවින් දිය මිදීමේ ගුණයෙන් යුත්ත යන අරුතින් දියමිත්ත යනුවෙන් හඳුන්වා ඇත. දියමිත්ත බිම දිගේ හෝ ආධාරක ශාකයක් මත වැවෙන, සිහින් කඳක් සහිත දේශීය වැල් ශාකයකි. පත්‍ර සහ කඳ බූව සහිතව හෝ රහිතව හමු වෙයි. පත්‍ර තලය පුලුල් ලෙස අණ්ඩාකාර විය හෝ නොවිය හැකිය. පූමංගී සහ ජායාංගී පුෂ්ප මංජරි වෙන වෙනම පිහිටයි. මල් කහ කොළ පැහැතිය. ඵලය තැඹිලි හෝ රතු පැහැති අෂ්ඨිලයකි. දියමිත්ත Menispermaceae කුලයට අයත් ශාක විශේෂයකි.

කැහිපිත්තන් කොළ මෙන් දියමිත්ත කොළද හීනිවට ඉරා ජලය ස්වල්පයක් මුසුකර පොඩිකිරීමේදී සෑදෙන උකු ද්‍රවණය මිදෙන්නට තබා අතුරුපසක් ලෙස කෑමට ගත හැකිය. එය ශරීරය සිසිල් කරන ගුණයෙන් යුක්තය. උණ, අතීසාර, ග්‍රහණි, අර්ශස්, විද්‍රධි (ගෙඩි, පිළිකා වැනි), ප්‍රදර, මුත්‍රඅඩස්සිය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී දියමිත්ත ශාකයේ කොළ, මුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. දියමිත්ත මුත්‍රකාරක, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, කුසගිනි වඩවන, මව්කිරි ශෝධනය කරන ආදී ගුණයන් සහිතයි. පාඨා තෛලය දියමිත්ත යොදා නිපදවන ඖෂධයකි. 

ඉරුවාදරයට දියමිත්ත මුල් චූර්ණය නස්‍ය කරයි. බෙලි මුල් සමඟ දියමිත්ත කෂාය දීම, අසමෝදගම් සමඟ දියමිත්ත කෂාය දීම සහ වැල්කහඹිලියා සමඟ දියමිත්ත කෂාය දීම අර්ශස් රෝගය  සඳහා ප්‍රතිකාරයන්ය. අන්තර්විද්‍රධියට දියමිත්ත මුල් මී පැණියෙන් අඹරා හාල්පානු දියෙන් බොන්නට දෙයි. විෂ සහිත ඇතැම් ද්‍රව්‍ය ශරීරයේ තැවරුණු විට දියමිත්ත කොළ අඹරා ආලේප කිරීමෙන් විෂ නැසේ. ප්‍රදර අතීසාරයට දියමිත්ත කෂාය දීම, දියමිත්ත කොළ යුෂ මිදෙන්නට තබා කෑමට දීම, ගෙඳ පළා කොළ සහ දියමිත්ත කොළ කෑමට දීම ප්‍රතිකාරයන්ය. සහල් යොදා නිපදවන බීර (බියර්) වර්ග පැසීමට දියමිත්ත මුල් යොදා ගනී. මෙම කොළ පළාවක් ලෙස ද ආහාරයට එක් කර ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහ
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support