කහ අඬනහිරිය මීටර් 1 - 3 අතර උසකට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. පොදුවේ දිවයින පුරාමත් පහතරට වියළි කලාපයේ සුලබවත් දැක ගත හැකිය. බොහෝ විට සෘජු කඳක් දරන අතර කලාතුරකින් බිම දිගේ වැඩෙන අවස්ථා දැක ගත හැකිය. ශාකය පුරා බූවක් පිහිටයි. සරල පත්‍ර ප්‍රතිලන්සාකාර සිට ප්‍රත්‍යණ්ඩකාර-ආයත ය. පත්‍රයක් සෙ.මි 10 දක්වා දිගකට වර්ධනය වේ. පත්‍ර අග්‍රය මොට හෝ නතාග්‍ර ය. පත්‍රයෙහි උඩුපස සිනිඳු වන අතට යටිපස බූව සහිතය. පුෂ්ප මංජරිය අග්‍රස්ථ ඒකාක්ෂයකි. දිප්තිමත් කහ පැහැයෙන් යුත් පුෂ්ප රාශියක් හට ගනී. ඵලය කරලකි. එක් කරලක් තුල බීජ 15-20 සංඛාවක් පිහිටයි. කහ අඬනහිරිය Fabaceae කුලයට අයත් ශාක විශේෂකි.
පිත්තජ ශෝත, කුෂ්ඨ, මුඛ රෝග, කක්කල්කැස්ස, මාන්දම නිසා ජනිත රෝග, අස්ථි භග්න, ඉදිමුම්, ලේ ගෙඩි ආදියට ප්‍රතිකාර කිරීමට කහ අඬනහිරිය කොළ සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අඬනහිරිය පිත සමනය කරන, කුෂ්ඨ නසන, රුධිරය පිරිසිදු කරන ගුණ සහිතයි. මෙහි මල් විශේෂයෙන් වමනකාරක හා හෘදයේ රුධිරය පිරිසිදු කරන ගුණ සහිත බව සඳහන්. අඬනහිරිය ආසවය, මාන්දම් තෛලය අඬනහිරිය යොදා නිපදවන ඖෂධයන් ය.
කණ් කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස අඬනහිරිය කොළ යුෂ රත් කර කණට වත් කරයි. අඬනහිරිය කොළ, පෙති තොර කොළ සමව ගෙන කොටා මරිකා දෙහි ඇඹුලින් කකාරා ගෑමෙන් ඉදිමුම් සමනය වේ. ලේ ගෙඩිවලට අඬනහිරිය කොළ, අහු දලු සමව ගෙන අමු කහ දමා කොටා හාල්පානු දියෙන් තම්බා ආලේප කළ යුතුය. අඬනහිරිය මුලක් දෙහි ඇඹුලින් ගලගා ඊටම දිය කර හිසට දැමීමෙන් වමනය නවතී. කලක් පවතින කැස්සට අඬනහිරිය කොළ ඉස්ම, බාඳුරා ගොටුවෙහි වතුර සහ මී පැණි සමව ගෙන උදෑසන පානය කළ යුතුය. ගෙඩි ඉහිරීමට අඬනහිරිය අමු කහ පොල් සමඟ කොටා මලවා ගෙඩිය වැසෙන සේ බඳියි.
අඬනහිරිය යොදා කක්කල්කැස්සට ඖෂධ පිළියෙල කිරීමේදී කථා නොකර සිටීමේ නියමයක් ඇති බවත් "කටහඬ ඇති දෙන්නා එක පමණට ගන්න යන" යන පැරණි වෙද ගැටයෙහි අරුත කහ සහ නිල් අඬනහිරිය දෙවර්ගය බවට ඔප්පුවන සාධක ඇති බවත් සඳහන්. අඬනහිරිය විශේෂවල හට ගන්නා මූල ගැටිති තුල නයිට්‍රිජන් තිර කරන බැවින් පස සාරවත් කීරීමට දායක වෙයි. එමෙන්ම අඬනහිරිය ඇතැම් සමනල් විශේෂ තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට යොදා ගන්නා, ඔවුන් ප්‍රිය කරන ශාකයක් බව ප්‍රකට කරුණකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment