බෝඹු මීටර් 12 ක් දක්වා උසට වැඩෙන, ඇතැම් විට පඳුරක් ලෙස ද වර්ධනය වන දේශීය ශාක විශේෂයකි. ඇතැම් අවස්ථාවල නොමේරූ කොටස්වල සියුම් බූවක් දැකගත හැකිය. පත්‍ර පුළුල් සිට පටු දක්වා වන ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත ය. පත්‍ර දාරය දැති සහිත, තරංගීමය හෝ කඩතොළු සහිත වේ. පත්‍රයක් සෙ.මි 6 සිට 17 දක්වා දිගින් යුක්ත විය හැකිය. පුෂ්ප මංජරිය බොහෝ විට සංයුක්ත ශුකියකි. එහි හට ගන්නා සුදු පැහැති මල් අලංකාරවත්ය. කොළ පැහැති ගොලාකාර ඵලය ඉඳුණු විට කළු පැහැයක් ගනී. මෙම විශේෂයේම ප්‍රභේදයක් ලෙස සලකන, ඖෂධ සඳහා භාවිතා කරන තවත් ශාකයක් ඇති අතර එය වල් බෝඹු නමින් හඳුන්වා ඇත. බෝඹු Symplocaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි
බෝඹු ආයුර්වේදයේ ප්‍රකට ඖෂධයක් වන "ලෝඹු" නැමැති ශාකයේ සහෝදර විශේෂයක් ලෙස සලකන අතර එය ලෝඹු සඳහා සුදුසුම ප්‍රතිනිධිය ලෙස භාවිතා කළ හැකි බව වෘද්ධ වෛද්‍ය මතයකි. කේරලයේ වෛද්‍යවරු ලෝඹු ලෙස භාවිතා කරනුයේ දේශීය බෝඹු ශාකය බැවින් ඒ අනුව ලාංකේය ව්‍යවහාරයද නිවැරදිය. තැළුම්, ගෙඩි වණ, විද්‍රධි, ඇස් රෝග, සන්ධිගත රෝග, කැඩුම් බිඳුම්, අතීසාරය, පේශි දාහය, මස්කුණුවීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් බෝඹු ශාකයේ කොළ සහ සුඹුලු භාවිතා කරයි.
මස් තැළුනු කල බෝඹු ශාකයේ සුඹුලු අඹරා උපනාහයක් ලෙස යෙදීමෙන් වේදනාව පහ වේ. ඇස් තැළුමට සුඹුලු කොටා පොට්ටනි බැඳ ඇස තැවීම සිදු කරයි. සන්ධිගත රෝග සඳහා බෝඹු කොළ, කොදිඹුලා කොළ, දිය මිදෙල්ල කොළ, කහ ලුණු දමා කොටා එඬරු තෙලෙන් මලවා බඳී. වල් බෝඹු ශාකයේ අමු කොළ, සුඹුලු අඹරා බැඳීම සන්ධිභග්නවලට ප්‍රතිකාරයකි. වල් බොඹු කොළ කෂාය කර පානය කිරීමෙන් මුත්‍ර ගල් පහව යයි. මීට පෙර පරම්පරාවේ ගැමියන් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා දත් පිරිසිදු කිරීමට දැහැටි කූරු ලෙස භාවිතා කළේ බෝඹු කොටුය. එම පුරුද්ද අද ද ගම්බඳව විරලව දැකගත හැකිය.
දේශීය බෝඹු ශාකය ලෝධ්‍ර ගණයට අයත් බැවින් ලොත් හෙවත් ලෝධ්‍ර පොතු සොයා ගැනීමට නොහැකි අවස්ථාවල ඒ වෙනුවට බෝඹු පොතු භාවිතා කිරීමට නිර්දේශ කර ඇත. මෙරට පැරණි දේශීය වෛද්‍යවරුන් ලෝධ්‍ර පොතු වෙනුවට ලුණුවරණ පොතු ද භාවිතා කර ඇති බව පැරණි වට්ටොරුවලින් පෙනීයන බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
0 comments:
Post a Comment