දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, March 24, 2019

සල්වැන්න [Salwenna] (Pleurolobus gangeticus)


සංස්කෘත වෛද්‍ය ග්‍ර‍න්ථවල ශාලපර්ණී යනුවෙන් හඳුන්වන සල්වැන්න මීටර් 2 ක් දක්වා උසට වැවෙන පඳුරු ආකාර කුඩා පැළෑටියකි. නමුත් නිතර දක්නට ලැබෙන ශාක මෙම ප්‍ර‍මාණයට වඩා කුඩා ය.  මෙහි සිලින්ඩරාකාර අතුවල සියුම් බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර පුළුල් ඉලිප්සීය හෝ අණ්ඩාකාර හැඩැති ය. පත්‍ර පාදමෙහි දී රවුම් හෝ හෘදායාකාර වන අතර අග්‍ර‍ස්ථයේදී  මොට, තීව්‍ර හෝ අති තීව්‍ර විය හැකි ය. පත්‍ර‍ උඩු තලය තරමක් සිනිඳුයි. යටිතලය තරමක බූවක් සහිතයි. අග්‍ර‍ස්ථ පුෂ්ප මංජරිය සෙ.මී. 25ක් දක්වා දිගට වැඩෙන අතර එහි මල් පොකුරු  2-5 දක්වා සංඛාවක් දැක ගත හැකිය. දිග සහ පළල මි.මී. 3ක් පමණ වන කුඩා පුෂ්ප සුදු හෝ ළා රෝස පැහැති ය. කුඩා කෙඳි සහිත පැතලි කරලෙහි වෘක්කාකාර බීජ කීපයක් හටගනී. මෑතක්වන තුරු Desmodium gangeticum යන උද්භිද නාමයෙන් හැඳින්වූ සල්වැන්න  Fabaceae උද්භිද කුලයට අයත් දුර්ලභ දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍ර‍මයෙහි ප්‍ර‍කට කෂායන් වන සුලු පස්මුල, දශමුල ආදී කෂායන්හි සල්වැන්න යෙදෙන නමුත් දේශීය භාවිතයේදී බොහෝ විට ඒ වෙනුවට අස්වැන්න ශාකය යොදා ඉහත කෂායන් පිළියෙල කරයි. සල්වැන්න දේශීයව දුර්ලභ ශාකයක් වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් සල්වැන්න වෙනුවට අස්වැන්න යෙදීමන් ද අවශ්‍ය ගුණාත්මක ප්‍ර‍තිඵල ලැබෙන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ දක්වා ඇත. සල්වැන්න උණ, හෘද රෝග, මුත්‍ර‍ගල්, වකුගඩු රෝග, ආහාර අරුචිය, අජීර්ණ, ඔක්කාරය, වමනය,  පිළිකා, දියවැඩියාව, අතීසාරය, හිසරදය, උදරයේ වාතය එකතු වීම, ඉදිමුම්, මස්පිඩු පෙරලීම, අර්ශස්, සර්ප විෂ, ගෝනුසු විෂ ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව සඳහන්. සල්වැන්න උණ නසන, වේදනාවන් සමනය කරන, මුත්‍ර‍කාරක, කුසගිනි වඩවන ආදී ගුණ රැසකින් සමන්විතයි. 

සල්වැන්න පත්‍ර ක්වාථය පිත්තාශ ගල්, මුත්‍රාශ ගල් සහ වකුගඩුවල ඇති වන ගල් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා යොදා ගනී. පත්‍ර‍ ප්‍රලේපය නළලෙහි එලීමෙන් හිස කැක්කුම සුවපත් වෙයි. වකුගඩු ආශ්‍රිතව ඇති වන විවිධ රෝග, ඉදිමුම්, කල්ගත වූ උණ, අතීසාරය, පාචනය ආදී රෝග අවස්ථාවලදී මුල් ක්වාථය යෙදෙන අතර විශේෂයෙන් එය වේදනා නාශක ගුණ පෙන්වයි.

මූලාශ්‍ර‍_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, March 17, 2019

ප්‍ර‍සාරණී [Prasarani] (Paederia foetida)

ප්‍ර‍සාරණී මීටර් 9 ක් පමණ දිගට වැඩෙන සිහින් කඳක් සහිත වැල් ශාකයකි. මෙම වැල්වලින් දුඟඳක් හමන නිසා ගන්ධ ප්‍ර‍සාරණී යනුවෙන් ද හඳුන්වයි. සම්මුඛව පිහි‍ටන සරල පත්‍ර‍ ආයත හෝ ලන්සාකාර වේ. පත්‍ර වෘන්ත තරමක් දිගු වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිවෘ ස්වභාවයකි. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 5-7.5 පමණ වන අතර පළලින් සෙ.මි. 2.5-3.5 පමණ වේ. බහු අක්ෂ පුෂ්ප මංජරිවල රෝස හෝ රතු පැහැති ද්වීලිංගික මල් රාශියක් එකවර හට ගනී. ගෝලාකාර හැඩැති කුඩා ඵලය තුල මි.මි. 5.5 පමණ දිගැටි බීජ 1 ක් හෝ 2 ක් පිහිටයි. ප්‍ර‍සාරණී Rubiaceae උද්භිද කුලයට අයත් මෙරටට හඳුන්වාදී ස්වභාවිකකරණයට ලක් වී ඇති විදේශීය ශාක විශේෂයකි. 

ප්‍ර‍සාරණී මෙරටදී තරමක් මතභේදාත්මක ශාකයක් වී ඇත්තේ ඇතැම්හු මෙම ශාකය ආපසුමදු නමින් හඳුන්වන බැවින් සහ එනමින් ඖෂධ පිණිස යොදා ගන්නා බැවිනි. දේශීයව ආපසුමදු නමින් හඳුවන්නේ Xenostegia tridentata නම් උද්භිද නාමයෙන් හඳුන්වන කහ පැහැති මල් හට ගන්නා වැල් වර්ගය වන අතර එය එනමින් සඳහන් දේශීයව වට්ටොරුවලදී ප්‍ර‍තිකාර සඳහා යෙදේ. මෙම වැරදි හැඳින්වීම අනුව යමින් ඇතැමුන්  ප්‍ර‍සාරණී යෙදිය යුතු තැන්වල මෙම දේශීය ආපසුමදු ශාකය යොදා ගැනීමට පෙළඹී ඇති නිසා ප්‍ර‍තිකාරවල ගුණාත්මක භාවය පිරීමට ලක්ව ඇති බව වෘද්ධ වෛද්‍ය මතයයි. 

වාත රෝග, සන්ධිවාත, ආමවාතය නිසා හටගත් සන්ධි ඉදිමීම, සෙම නිසා හටගත් රෝග, මූල රෝග, ශරීරදුබලතා, අන්ත්‍ර‍ශූල, රක්තවාත, සූතිකා රෝග, උණ, අක්ෂි රෝග, අතීසාර, ප්‍ර‍වාහිකා ආදි රෝග අවස්ථා රැසකට ප්‍ර‍තිකාර කිරීම සඳහා ප්‍ර‍සාරණී සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. ප්‍ර‍සාරණී ඉදිමුම් නසන, ශක්තිජනක, මුත්‍ර‍කාරක, වණ රෝපණය කරන, වේදනා සමනය කරන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි. 

විරේකය, ප්‍ර‍වාහිකා, බෙලහීනතාවය ආදියට ප්‍ර‍සාරණී කොළ තම්බා පෙරාගත් ජලය බොන්නට දෙයි. වාත රෝග සඳහා මුල් කෂාය යොදා ප්‍ර‍තිකාර කරයි. අර්ශස් රෝගීන්ට ප්‍ර‍සාරණී දලු සහ කොළ මැල්ලුම් හා ව්‍යංජන ලෙස සකසා කෑමට දෙයි. 

උදර ආබාධ, ආම ශූල, බඩ පිපුම ආදී ආන්ත්‍රික ආබාධ සඳහා ප්‍ර‍සාරණී කොළ කොටා වතුර ස්වල්පයක් එකතු කොට මිරිකා පෙරාගත් යුෂ දිනපතා භාවිතයෙන් එම තත්වය ක්‍ර‍මයෙන් පහ වන බව සඳහන්. වාත වේදනා සඳහා ස්නානයට කොළ තැම්බූ ජලය යොදාගන්නා අතර උදරය ඉදිරියට නෙරා ඒම, විසර්ප, පණු කැවිලි ආදී අවස්ථාවන්ට පත්‍ර‍ ප්‍රලේපය යෙදේ. කුඩා දරුවන්ගේ අතීසාරය වැළැක්වීමට පත්‍ර සාරය භාවිතා වෙයි. මුලෙහි සාරය අජීර්ණ, අර්ශස්, ප්ලීහා රෝග, අක්මා රෝග ආදිය සඳහා නිර්දේශ කෙරේ. මෙහි ඵලය අවර්ණ වූ දත්වල පැහැය නැවත ඇති කිරීමට සහ දත්වල වේදනා සමනයට යොදා ගනී. වාත රෝග සඳහා භාවිතාවන කෂාය වල, විශේෂයෙන් සූතිකාවන්ගේ බොහෝ රෝග නසන සූතිකා දශමුල කෂායෙහි යෝගයක් ලෙස ප්‍ර‍සාරණී යෙදේ. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, March 11, 2019

ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ අණ්ඩාකාර හැඩැති ය. ළපටි පත්‍ර‍ ළා කහ පැහැයට හුරු කොළ පැහැති වන අතර මේරූ පත්‍ර‍ තද කොළ පැහැයක් ගනී. කක්ෂීය පුෂ්ප මංජරිවල මල් සීමිත සංඛාවක් හටගනී. තරමක් විශාල සුදු පැහැති මල් සුවඳවත් ය. ගෝලාකාර හැඩැති බදරියක් වන ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු කහ තැඹිලි පැහැයක් ගනී.  ඵලාවරණයේ වාෂ්පශීලී සුගන්ධ තෙල් අඩංගු ය. ඵලය ඇතුලත මාංශල ආශයිකා රාශියක් සහිත ඛණ්ඩ (බික්) 10-12 සංඛාවකට බෙදී පවතී. යුෂ අතිශ්‍යය ඇඹුල් රසැති ය. ඵලයේ මධ්‍යයට බරව සුදු පැහැති බීජ පිහිටයි. ඇඹුල් දොඬම් Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

සංස්කෘත භාෂාවෙන් ජම්බීර යනුවෙන් ද හඳුන්වන ඇඹුල් දොඩම්වලට අමතරව තවත් දොඩම් වර්ග කීපයක් ඖෂධ සඳහා බාවිතා කරන බව වෙදකමට සම්බන්ධ මූලාශ්‍ර‍වල දක්වා තිබේ. ඒ අතර මධු ජම්බීර හෙවත් පැණි දොඩම්, නාරංග හෙවත්  හීං නාරං, බීජපුර හෙවත් මාතුලංග හෙවත් නස්නාරං, මධුකර්කටිකා හෙවත් ලප්නාරං, වනබීජපුර හෙවත් දෙහි, ජම්බීරද්වය හෙවත් ජම්බෝල සහ සීදරන් ද වේ. 

විශේෂයෙන් ඇඹුල් දොඩම් යුෂ දේශීය චිකිත්සාවේදී සුලභව භාවිතා කරන ඔසුවකි.  පිපාස, ආම දෝෂ, කුසගිනි මදිකම, මුඛ රෝග, හෘද රෝග, පණු රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇඹුල්දොඩම් යුෂ සුලභව භාවිතා වේ. ඊට අමතරව ඇඹුල් දොඩම් මුල්, මල්, ගෙඩි, ඇට, ඇටතෙල්, දළු, කොළ, ගෙඩියෙහි පිට පොත්තේ ඇති දොඩම් පැඟිරි ආදිය ද ඔසු සඳහා භාවිතයට ගනී.  ජම්බීර කල්කය, ජම්බීර ලවන වටී, ජම්බීරාදී පානකය ආදීය ඇඹුල් දොඩම් යොදා නිපදවන ඖෂධයන් ය. එමෙන්ම මහා කෝල දවුණ්ඩය, දියතාරාමය ආදී ගුලි ඇඹරීමේදී මාත්තුවක් ලෙස ඇඹුල් දොඩම් යුෂ යෙදේ. සීතාරාම, බුද්ධරාජ, මාත්තු පහ ,චන්ද්‍ර කල්කය,‍ ශර්කරාදි කල්කය, යෂ්ඨි කල්කය ආදී ගුලි කල්කවල අනුපාන ලෙස ඇඹුල් දොඩම් යුෂ මෙන්ම දලු භාවිතා වෙයි. 

දේශීය ගුලි කල්ක බොහොමයක අනුපාන ලෙස ඇඹුල් දොඩම් යෙදන අතර එයින් බුද්ධරාජ කල්කයෙහි මකරන්දන් අනුපානය ඉතා ප්‍ර‍කටය. එනම් ඇඹුල් දොඩම් යුෂ, අමු ඉඟුරු යුෂ හා මී පැණි යන ත්‍රිත්වයේ එකතුවයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, හතිය ආදී සෙම් කෝප රෝග අවස්ථාවල දී මෙන්ම අජීර්ණ ආදී උදර රෝගයන්ට ද මෙය ගුණදායක ය. සෙම් රෝග මෙන්ම වමනය ආදී රෝග අවස්ථාවලදී නවරත්න කල්කය ඇඹුල් දොඩම් යුෂයෙන් පානයට දීම දේශීය වෛද්‍යවරුන් සුලබව භාවිතා කරන ප්‍ර‍තිකාරයකි. දොඩම් ගැට පුලුස්සා ගත් අළු, පරණ ගොරකා සමඟ දොඩම් ඇඹුලින් අඹරා, රත් කර ගෑමෙන් බිඳුණු සන්ධි සවිවන බව සඳහන්. පොළොං විෂට දෙහි හා දොඩම් කොළ සහ පොතු, ඉඟුරු අල සමග සම සමව ගෙන දුම් අල්ලනු ලබයි. අබ ඇට පතක් පමණ දොඩම් ගෙඩියක් තුලට ලා, උණ අළුවෙන් තම්බා  එම ඇඹුලෙන් ඇස වටා ගෑම නුවන් පිළිකාවලට ප්‍ර‍තිකාරයකි. දොඩම් ඇට මද, තෝර ඇට, දිවුල් මද සමව ගෙන එළකිරෙන් අඹරා ඇස වටා ගෑමෙන් ඇස්වල රත සුවවන බව සඳහන්. එමෙන්ම රස ශාස්ත්‍රයේදී චපල, ස්වර්ණ මාක්ෂික, අඤ්ජන කැට, සංඛ ආදී රස ඖෂධ ශෝධනයට ප්‍ර‍ධාන වශයෙන්ම ගැනෙනුයේ ඇඹුල් දොඩම් යුෂ ය.



මූලාශ්‍ර‍_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, තල්පතේ පිලියම්, වටිකප්‍ර‍කරණය සහ ද්‍රව්‍ය ගුණ විඥාණය පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර
Share:

Monday, March 4, 2019

ගොයිවැල් [Goiwel] (Flagellaria indica)

ගොයිවැල් පඳුරුමය කුඩා බහුවාර්ෂික ශාකයකි. ආධාරක ශාකයක් ඇති විට පත්‍ර අග ඇති පහුරු ආධාරයෙන් ඉහළ නගින අතර එසේ නොමැති විට ගොමුවක් ලෙස වැඩේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍රවල පාදම කොපුවකින් වැසී පවතින අතර පත්‍ර තලය දිගින් සෙ.මි. 10-16 දක්වා ද, පළලින් සෙ.මි. 1.4-1.6 දක්වා ද වැඩේ. සෙ.මි. 6-10  පමණ දිගු  සංයුක්ත ඒකාක්ෂ පුෂ්ප මංජරිය පහළට එල්ලා වැටෙන ස්වරූපයකි. නිර්වෘන්ත කුඩා මල් සුදු පැහැයට හුරු ළා කහ පැහැති ය. ගෝලාකාර ඵලය මි.මි. 7 තරම් කුඩා වන අතර ඉඳුණු විට රෝස පැහැයක් ගනී. එක් ඵලයක් තුල කුඩා රතු පැහැ බීජ 1-3 අතර සංඛාවක් පිහිටා තිබේ. ගොයිවැල් Flagellariaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

දේශීය මූලාශ්‍ර‍වලට අනුව කැඩුම් බිඳුම්, ගඩු ආදිය සඳහා ප්‍ර‍තිකාර කිරීමට ගොයිවැල් කොළ යොදා ගනී. අන්තර්ජාල මූලාශ්‍ර‍වලට අනුව නොයෙක් රටවල තුවාල, ඇස්වල තුවාල, දත් කැක්කුම ඇතුළු මුඛ රෝග, සන්ධිප්‍ර‍දාහය, රූමැටික් වේදනා, උගුරේ ආබාධ, වමනය, අතීසාරය, පාචනය, ප්‍ර‍තිශ්‍යා රෝග, ලිංගික රෝග, ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ගොයිවැල් ශාකයේ දණ්ඩ, කොළ අල ආදිය යොදා ගන්නා බව සඳහන්. ගොයිවැල් ගැබ් ගැනීම වලක්වන, මුත්‍ර‍කාරක ආදී ගුණ සහිත බව දක්වා ඇත. 

ගොයිවැල් කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, අංකෙන්ද පොතු, කහ, ලුණු සමග කොටා, මලවා බැඳීමෙන් බිඳුණු අස්ථි සවිවන බව සඳහන්. මේ සඳහා ගොයි වැල් දළු, පෝටා කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, කහ, ලුණු ලා කොටා මලවා බැඳීම ද සුදුසු ය. නොඑසේ නම් ගොයි වැල් දළු, පෝටා කොළ, දිවුල් කොළ, අට්ටික්කා පොතු, පොල් සමඟ කොටා මලවා බැඳිය යුතුය. ගොයිවැල් කොළ, බැලතණ, අග මුල නැති වැල්, කෑලිය කොළ සහ පොතු, කහ, ලුණු ලා කොටා මලවා බැඳීමෙන් ශරීරයෙහි ඇතිවන ගඩු සුවපත් වන බව සඳහන්.

මැලේසියානු ජාතිකයින් සෞක්‍යාරක්ෂිත පානයක් ලෙස මෙම මුල් තම්බා ගත් වතුර මි.ලි. 150 ක් බැගින් දිනකට තුන් වතාවක් පානය කරයි. මෙය එක දිගට දින තුනක් පානය කිරීම යෝග්‍ය බව දක්වා ඇත. ඇතැම් රටවල ළපටි ගොයිවැල් කොළ එළවලුවක් ලෙසත්, ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් ආහාරයට ගනී. මැඩගස්කර් වැසියන් මෙම කොළ තේ මෙන් සාදා පානය කරයි. ගොයිවැල් කඳෙහි උක් ශාකයේ මෙන් පැණි රසැති රසායණිකයක් අංගුව ඇත. 

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ "ඔසුපැළ හඳුනා ගනිමු" සමූහයෙන්
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support