දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, July 1, 2018

ලුණුවරණ [Lunuwarana] (Crateva adansonii)

ලුණුවරණ මීටර් 3-12 පමණ උසට වැඩෙන කුඩා පතනශීලී ශාකයකි. කලාතුරකින් මීටර් 20 පමණ උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. පිට පොත්ත අළු පැහැතිය. දිගු නටුවක් සහිත ත්‍රිපත්‍රී සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. අග්‍රස්ථ පත්‍රිකාව දිගින් සෙ.මි. 5-12 දක්වා සහ පළලින් 2-6 දක්වා වර්ධනය වේ. පත්‍රිකාවල හැඩය ඉලිප්සීය සිට ලංසාකාර වේ. පාර්ශවික පත්‍රිකාවන්  දිගින් සෙ.මි.  3.5-7  පළලින් 1-10 දක්වා වැඩනෙ අතර පත්‍රිකා හැඩය අසමමිතික ස්වරූපයකි. තරමක් විශාල මල් සුදු හෝ ක්‍රීම් පැහැයට හුරු කහ පැහැති වන අතර අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඵලය සෙ.මි. 2.5 පමණ වන ගෝලාකාර බදරියකි. මි.මි. 5 පමණ වන වෘක්කාකාර හෝ අශ්ව ලාඩම් හැඩැති කුඩා බීජ ඵලයේ මැදි පිහිටි තරලයේ ගිලී පවතී. ලුණුවරණ  Capparaceae උද්භිද කුලය අයත් දේශීය ශාක විශේෂයකි. 

මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, ගුදමාර්ගයේ වේදනාවන්, ජලෝදර, අක්මා රෝග, ගුල්ම රෝග, ගණ්ඩමාලා, ව්‍යංග රෝග, වණ නිසා හටගත් ඉදිමුම්, පණු රෝග, ගෙඩි, අර්ශස්, වාත වේදනා, කැඩුම්බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ලුණුවරණ ශාකයේ පොතු, මුල්, මුලේ පොතු, කොළ , මල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. ලුණුවරණ රක්ත උත්ක්ලේශක, දීපන, අනුලෝමන, පිත්තසාරක, පණුවන් නසන, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, මුත්‍රගල් දියකර හරින ආදී ගුණ සහිතයි. ලුණුවරණ යොදා වරුණාදී නාමය යටතේ තෛල, ක්වාත, කල්ක, ලේප, චූර්ණ, සෘත ආදී ඖෂධ රැසක් නිපදවයි.

ලුණුවරණ මුත්‍ර ගල් සඳහා යොදන ප්‍රකට ඖෂධයකි. මුත්‍රගල් සැදී ඇති විට ලුණුවරණ මුල් හා පොතු කෂාය යොදා ප්‍රතිකාර කරයි. එහෙන්ම එ් සඳහා  ලුණුවරණ පොතු, ගොකටු ඇට සහ ඉඟුරු යෙදූ කෂායට යවකාර ලුණු දමා බොන්නට දෙයි. ජලෝදරයට ලුණුවරණ මුල් කෂාය යොදයි. විද්‍රධි සඳහා සුදු සාරණ මුල් සහ ලුණුවරණ මුල් කෂාය කර දෙයි. ගණ්ඩමාලයට ලුණුවරණ මුල් කෂාය මී පැණියෙන් දෙයි. අර්ශස් සඳහා ලුණුවරන මුල් කෂායට කලතෙල් මිශ්‍රකර අවගාහනය කරයි. වාත වේදනාවන්ට ලුණුවරණ පොතු, මුරුංගා පොතු විනාකිරෙන් අඹරා ආලේප කළ යුතුය. කික්කිස රෝගයේදී මාංස විධාරණයට ලුණුවරණ කොළ ජලයෙන් අඹරා ගිතෙල් සහිතව ආලේප කරයි. උණට ලුණුවරණ පත්‍ර ස්වරසය දෙයි. වරුණාදී සෘතය මුත්‍ර ගල් සහ දියවැඩියාව නිසා හටගත් මුත්‍ර අඩස්සිය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. වරුණාදී තෛලය මුත්‍ර ගල් සහ මුත්‍ර අඩස්සිය නසයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

5 comments:

travelnadeera said...

සඳරාජ,ඉරුරාජ,වනරාජ වල හරියටම වෙනස්ව හඳුනාගන්න ලිපියක් ලියන්න පුලුවන්ඳ

දියබේරිය,දිය බෙරලිය,දිය හබරල,ජපන් ජබර වෙන්කරලා හඳුනාගන්න ලිපියක් ලියන්න පුලුවන්ඳ

Unknown said...

Lunuvarana

Unknown said...

ලංකාවේ මොන පැතිවල වගෙද ලුනුවරණ ශාකය තියෙන්නෙ.
කියන්න පුලුවන්නම් කරන ලොකු උදව්වක්

Unknown said...

මාතලේ,අනුරාධපුර පොලොන්නරැව තියෙනව.රිටිගල පැත්තෙ

Unknown said...

ලැනටානා පත්‍රය/ශාකය කියන්නේ මෙම ශාකයටද?

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support