දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, June 28, 2015

සුදු කිඹුල්වැන්න [Sudu Kibulwenna] (Persicaria attenuata)

මෙය බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි දිගැටි පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගට වර්ධනය වේ. බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් සුදු පැහැති මල් සහිත පුෂ්පමංජරියක් හට ගනී. එයින් ඇතිවන ඉතා කුඩා ඵලයන් තුල ඇති බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. මෙහි ළපටි දළු පළාවක් ලෙස ආහාරයට ගත හැකිය. සුදු කිඹුල්වැන්න Polygonaceae කුලයට අයත් ශාකයකි. 

අමාශයික රෝග, සිපිලීස් නැමැති සමාජ රෝගය, පිලිස්සුම් තුවාල, උණ, අතීසාරය ආදී රෝග සඳහා මෙහි කොළ භාවිතා කරන බව සඳහන් වේ. රුධිරය පිරිසිදු කරන සහ විෂබීජ නාශක ගුණ සහිතයි. 
Share:

Thursday, June 25, 2015

සාරණ / පිටසුදු සාරණ [Sarana] (Boerhavia diffusa)


මෙය පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික වැල් ශාකයකි. පැතුරුණු මූල පද්ධතියක් සහිතව බෙහෝ සේ අතුබෙදෙමින් වර්ධනය වේ. ඔවලාකාර හෝ මඳක් වටකුරු සරල සම්මුඛ පත්‍ර පිහිටා ඇත. පුෂ්ප ද්වීලිංගිකය. මල් දීප්තිමත් දම් පැහැයට හුරු රෝස පැහැයකින් යුක්තය. වසර පුරාම මල් හටගනී. ඵලය සෙ.මි. 0.3 පමණ වන අතර පටලමය වේ. මෙම පැළෑටිය ඖෂධයකට වඩා ආහාරයක් ලෙස ප්‍රකටය. සුදු හා රතු යනුවෙන් ප්‍රභේද දෙකකි. සාරණ Nyctaginaceae කුලයට අයත්ය.

මුත්‍ර අඩස්සිය, මුත්‍රා ගල්, උණ, ඉදිමුම්, අක්ෂි රෝග, කුෂ්ට, නින්ද නොයාම, මී විෂ, ගෝනුසු විෂ, සෙංගමාලය, උදරාබාධ, පාණ්ඩුව, අක්මා‍වේ රෝග, අර්ශස්, අතීසාරය, පණු රෝග, ලාඳුරු ආදී රෝගාබාධ බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් සාරණ මුල් හා ඇතැම්ව්ට සම්පූර්ණ ශාකයමත් ඔසු සෑදීම සඳහා භාවිතා කරයි. සාරණ විෂ නාශක, සෙම් නාශක, වේදනා නාශක, කුසගිනි වඩවන, මුත්‍රකාරක, විරේචක, ලේ වඩවන, වාජීකරණ ආදී ගුණයන්ගෙන් සමන්විතයි.


Share:

Monday, June 22, 2015

බිංතල් [Bintal] (Curculigo orchioides)

බිංතල් භුගත කඳක් (අලයක් / ආකන්දයක්) සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. මාංසල වූ පාර්ශවික මුල් දරන කෙටි හෝ දික් වූ අලටියක් දරයි. නිර්වෘන්ත හෝ කෙටි වෘන්තයක් සහිත සරල පත්‍ර පිහිටා ඇත. පත්‍ර රේඛීය හෝ රේඛීය-ලන්සාකාරය. මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තයි. ඵලය ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල බීජ හතරක් පිහිටා ඇත. ඉන්දියානු උප මහද්වීපය පුරා ව්‍යාප්තව ඇති බිංතල් ශාකය Hydrocharitaceae නම් උද්භිද කුලයට අයත්ය. 

මුෂලි යනුවෙන්ද හඳුන්වන බිංතල් ප්‍රබල වාජීකරණ ගුණයෙන් යුක්ත ඖෂධයක් හා ශක්තිජනක ආහාරයක් බව මෙරට ජනයා බොහෝ කලක සිට හඳුනාගෙන සිට ඇත. මුත්‍ර පද්ධතියේ රෝග, අක්ෂි රෝග, ලිංගික දුබලතාවය, වාත රෝග, පාණ්ඩුව, අජීර්ණය, චර්ම රෝග, ක්ෂය රෝගය, සෙංගමාලය, වමනය, අර්ශස් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී බිංතල් අල සහ මුල් යොදා ගනී. බිංතල් වේදනා නාශක, මුත්‍රකාරක, උෂ්ණ පහකරන, කාමෝද්දීපක, රුධිරය පිරිසිදුකරන, ධාතු වඩවන ආදී ගුණයන්ගෙන් සමන්විතයි. 

ආක්ෂේප හෙවත් වලිප්පුව, හෘද වේදනා, මූලරෝග, කිලාස (සම තුලින් මතුවන ගෙඩි), ප්‍රමේහ, වණ ආදියට බිංතල් අල චූර්ණය සීනි සමඟ කෑමට දෙයි. බිංතල් අල චූර්ණය කෑමට ගැනීමෙන් අනතුරු කිරි පානය කිරීමෙන් ධාතු වර්ධනය වේ. අස්ථි ක්ෂය වීම, කලක් පවතින වාත රෝග, ප්‍රමේහ, ලිංගික දුබලතාවය ආදී රෝග සඳහා බිංතල් අල චූර්ණය, රසකිඳ පිටි, හාතාවාරිය අල පිටි සමව ගෙන සීනි මිශ්‍රකොට එළකිරි හෝ ගිතෙල් සමඟ දිය යුතුය. මුහුණේ පෙනුම වැඩි කර ගැනීම සඳහා බිංතල් අල එළු කිරෙන් අඹරා ගෑම පැරණි ගැමි ලියන් මෙන්ම පුරුෂයන්ද සිදුකර ඇති බව ජවප්‍රවාදවල සඳහන්ව ඇත. පැරැන්නන් විසින් බිංතල් අල දූන්තෙලින් අඹරා දින 7 ක් වී ගොඩක් යට තබා රැගෙන කන්පෙත්තේ ගෑවේ කන්පෙති වණ වූ විටය. කන් ඇසීම අඩුකමට සන්නියානම් සමඟ බිංතල් අල අඹරා බීමට දී ඇත. පෙර කල ප්‍රජනන පද්ධතියේ දුර්වලතා සඳහාත් මුත්‍ර මාර්ගය සම්බන්ධ රෝගාබාධ සඳහාත් බිංතල් විශේෂයෙන් භාවිතා කර ඇත. 

පැරණි නිගණ්ඩුවල සුදු බිංතල් සහ කළු බිංතල් යනුවෙන් ප්‍රභේද දෙකක් ගැන සඳහන්ව ඇත. මීට අමතරව හීං බිංතල් හා මහ බිංතල් යනුවෙන්ද වර්ගීකරණයකි. කළු බිංතල් Curculigo විශේෂයක් නොව හාතාවාරිය අයත්වන Asparagus ගණයට අයත් Asparagus adscendens නම් ශාකයක් බව හඳුනාගෙන ඇත. එය මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග සඳහා විශේෂයෙන් ගුණදායක බව සඳහන් වේ.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Friday, June 19, 2015

හීං නිදිකුම්බා [Heen Nidikumba] (Biophytum reinwardtii)


පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති  හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප කහ පැහැතිය. ඵලය ඉතා කුඩා වටකුරු ඔවලාකාර ස්ඵෝටිකාවකි. මෙම ශාකය සඳහා සුලභව ව්‍යවහාර කළ තවත් නමක් වන්නේ "ගස් නිදිකුම්බා" යන්නයි. එහෙත් වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව ගස් නිදිකුම්බා යනු මෙම උද්භිද ගණයටම අයත් වෙනත් ශාක විශේෂයකි. එහි විශේෂත්වය වන්නේ අතු බෙදී පැවතීමයි. මෙම ශාකය ද අතුළුව මේ හා සමාන ලක්ෂණ සහිත මෙම උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 5 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. Biophytum විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය. 

උදරාබාධ, අතීසාර, අර්ශස්, ග්‍රහණි, දියවැඩියාව, ඇඳුම,පීනස, මෟත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, සැරව ගෙඩි, තුවාල, නාග විෂ, සමේ රෝග, මුත්‍ර ගල්, නින්ද නොයාම, ගොනෝරියාව, පුයාමේහ, ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය පැළෑටිය භාවිතා කරන බව සඳහන්. හීං නිදිකුම්බා කඵ සමනය කරන, ආමපාචක, ශ්ලේෂ්මලහර, වෙදනා නසන, වණ ශෝධනය කරන, වාතය නසන ගුණ සහිතයි. 

පීනසට මෙම ශාකය කැපූ විට ගලන ස්‍රාවය නස්‍ය කරයි. හීංනිදිකුම්බා ශාකය සහමුලින් ගෙන තැම්බූ වතුරින් සේදීමෙන් කුෂ්ඨ, කරප්පන් ආදී සමේ රෝග සුව වෙයි. සම්පූර්ණ ශාකය වියළා කෂාය කර බීම අධික රුධිර පීඩනයට ප්‍රතිකාරයකි. මෙම ශාක කොටස් යෙදූ කෂාය ළදරු අතීසාරයට බොහෝසේ ගුණදායක බව කියැවේ. ලේ අතීසාරයට සහ මුත්‍ර පිටකිරීම පහසුකිරීමට ද හීං නිදිකුම්බා යොදා ගනී. හීං නිදිකුම්බා දළු රසවත් ගුණවත් ව්‍යංජනයක් ලෙස පිසගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
පහල සේයාරුව_ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන් 
ගස් නිදිකුම්බා 
Share:

Wednesday, June 17, 2015

කටුපිල [Katupila] (Flueggea leucopyrus)

කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති වන අතර ගෙඩි ඉඳුන විට සුදු පැහැයක් ගනී. කටුපිල ශාකය Euphorbiaceae කුලයට අයත් ය.

කටුපිල බඩවැලේ සෑදෙන රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. පිළිකා සඳහා කටුපිල කොළවලින් සාදා ගන්නා කැඳ ගුණදායකය. ස්ත්‍රින්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිලවල ඇති බව සඳහන් වේ. එමෙන්ම දත්කැක්කුම, යටිපතුලේ හට ගන්නා කටුපිළිකා, කුඩා දරුවන්ගේ රතගාය, පිලීහාවේ සහ අක්මාවේ හට ගන්නා රෝග, මී විෂ, සර්ප විෂ, කැස්ස, ඇදුම, අණ්ඩ වෘද්ධිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කටුපිල යොදා ගනී. කටුපිල ශාකයේ කොළ, පොතු, මුල් සහ පංචාගයම එකවරත් ඔසු සඳහා භාවිතා කරයි. 

කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිමෙන්නට හැර මී පැණි අනුපාන වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. කටුපිල කොළ මෙන් අඩක් කංසා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය දීම රක්ත අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. යටිපතුලේ් හට ගන්නා පිළිකාවන්ට කටුපිල ගසේ පංචාංගය කහ සහ ලුණු සමග කොට මලවා බැඳීම සිදු කරයි. කටුපිල කොළ පොතු, දිවුල් ලාටු, කුකුරුමාන් කොළ පොතු සහ ලණු දමා කොටා බැඳීමෙන් කටුපිලිකය සුව වෙයි. කටුපිල විශබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන් යුක්තයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය 




Share:

Friday, June 12, 2015

දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)


තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු අක්ෂ මත අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. කුඩා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ළා දුඹුරු පැහැති බීජ රාශියකි. මුගටියකු සහ නාගයකු අතර ඇතිවන සටනකදී නාගයා පැරදුණු පසු, මුගටියා තම ශරීරයට ඇතුල්වූ නාග විෂ මර්ධනය කර ගැනීම සඳහා දත්කෑටිය ගස් සොයමින් ඒවායෙහි මුල් සපමින් යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. දත්කැටිය Rubiaceae උද්භිද කුලයට අයත් ශාකයකි.  

සර්ප දෂ්ට කිරීම්, පාචනය, පිස්සු බලු විෂ, අතීසාර, කුසගිනි මදිකම, ගෙඩි, වණ, පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, පොතු සහ එකවර සම්පුර්ණ පැළෑටියමත් භාවිතා කරයි. සියළු සර්ප විෂ සඳහා ශාකය සහමුලින් ගෙන කොටා යුෂ ගෙන හීනටි හාලෙන් කැඳ පිස එළඟිතෙල් දමා බොන්නට දෙයි. මෙහි මුලෙහි පිළිකා මර්ධනය කළ හැකි රසායනික සංඝටක අඩංගු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇති බව සඳහන්. ජීවරත්ත මහ අඳුන, බ්‍රහ්ම ලෝක තෛලය අත්කැටිය යොදා නිපදවන ඖෂධයන් ය. දත්කැටිය පණුවන් නසන, කුසගිනි වඩවන, මෘදු විරේචක, බලකාරක, පිත්ත නිස්සාරක ගුණ සහිතයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Monday, June 8, 2015

රත් කෑලිය [Rath Keliya] (Litsea longifolia)


රත් කෑලිය ලංකාවට ආවේනික ශාකයක් වන අතර බොහෝ විට මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි පමණක් දැකගත හැකිය. මීටර් 5 පමණ උසට වැඩෙන ශාකයක් වන මෙහි ශාකය පුරාම සියුම් බූවක් ඇත. මෙහි දලු සහ ළපටි අතු රත් පැහැයකින් දක්නට ලැබේ. කොළ පැහැති ඵලය සෙ.මි. 0.5 පමණ විශ්කම්භයකින් යුක්ත වන අතර ඉඳුණු විට කළු පාටට හුරු තද රතු පැහැයකට හැරේ. එක් ඵලයක් තුල එක් බීජයක් පමණක් දක්නට ලැබේ. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. රත් කෑලිය Lauraceae කුලයට අයත් ශාකයකි. 

ස්නායු රෝග, ගඩු, විසප්පු ආදියට ප්‍රතිකාර කිීරීම සදහා මෙම ශාකයේ පොතු භාවිතා කරන බව සඳහන් වේ. ස්නායු උත්තේජනය කිරීමේ සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී වීමේ ගුණයන් සහිතයි.

Share:

Friday, June 5, 2015

සාදික්කා [Sadikka] (Myristica fragrans)


සාදික්කා 19 වන සියවසේදී පමණ අප රටට හඳුන්වාදුන්, ඉන්දුනීසියාව මව්බිම කරගත් ශාකයකි. ලංකාවේදී එය බොහෝ විට මධ්‍යම පළාත තුල පමණක් දක්නට ලැබේ. සාදික්කා ශාකයක් මීටර් 10 -18 පමණ උසකට වර්ධනය වන අතර ඇතැම් විට මීටර් 20 ද ඉක්මවා වර්ධය වන අවස්ථාද ඇත. මෙහි සරල පත්‍ර අඳුරු කොළ පැහැයෙන් යුක්ත වන අතර දිළිසෙන සුලුය. ඔවලාකාර හැඬයෙන් යුත් ඵලයක විශ්කම්භය සෙ.මි. 6 පමණ වේ. මාංසල බවකින් යුතු සාදික්කා ගෙඩියක් තුල  2.5 සෙ.මි. පමණ විශ්කම්භයක් සහිත ඒක් බීජයක් තිබේ. බීජය වටා, එයට තදින් බැඳුන දැලක් ආකාරයෙන් යුත් රතු පැහැති ව්‍යුහය වසාවාසිය යනුවෙන් හඳුන්වයි. සාදික්කා Myristicaceae කුලයට අයත් ශාකයකි.

සාදික්කා මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන සුළුඅපනයන භෝගයකි. මෙහි වසාවාසිය සහ බීජය තුල පිහිටා ඇති මදය ආර්ථික වටිනාකමකින් යුක්ත ය. විශේෂයෙන් විවිධ රසකාරක වර්ග සෑදීම සඳහා මේවා භාවිතයට ගනී. එමෙන්ම  විලවුන් වර්ග, සබන් වර්ග, ආලේපන ආදිය නිශ්පාදනයේදී‍ වසාවාසි සහ සාදික්කා මදය මගින් නිස්සාරණය කර ගන්නා තෙල් භාවිතා කරයි. සාදික්කා ලෙලිවලින් ජෑම් සහ බීම වර්ග නිශ්පාදනය කළ හැකිය.

උදරයෙහි වාතය එකතු වීම, ඔක්කාරය, වමනය, පාචනය, කුසගිනි මදිකම, අජීර්ණය, මුඛ රෝග, පීනස, ඉක්කා, ඇදුම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සාදික්කා මදය භාවිතා කරයි. එමෙන්ම පිලිකා, වකුගඩු රෝග, නින්ද නොයාම, ඔසප් දෝෂ, වේදනාව සමනය කිරීම ආදිය සදහා ද විවිධ රටවල ජනයා සාදික්කා භාවිතා කර ඇත. අජීර්ණය සෑදී මල බුරුලෙන් පිටවන විට සාදික්කා මදයක සුළු ප්‍රමාණයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරින් උරච්චිකර පානය කිරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එය වමනය, බඩේරුජා, පණු රෝග ආදියටද ගුණදායකය. සාදික්කා විෂබීජයන්ට  සහ පිලිකා සෛලවලට ප්‍රතිවිරොධී ගුණ දක්වයි. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. සාදික්කා අධි මාත්‍රාව විෂ සහිතය. එයින් මරණය පවා සිදු විය හැකිය. 

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන් 

Share:

Monday, June 1, 2015

අමුක්කරා / අස්ගොඳු [Amukkara] (Withania somnifera)

ඔසු ගුණයෙන් සපිරි මෙම ශාකයේ මුල අශ්වයින්ගේ මුත්‍රවල ගඳට සමාන ගඳකින් යුක්ත හෙයින් අශ්වගන්ධ යනුවෙන්ද හඳුන්වයි. අමුක්කරා යන්න ද්‍රවිඩ ව්‍යයවහාරයක් වන අතර මෙහි සිංහල නම අස්ගොඳු ය. මීටරයක් පමණ උසට වැඩෙන අමුක්කරා ශාකය අර්ධ කාෂ්ඨමය පඳුරක් ලෙස වර්නධය වේ. කඳ සහ අතු සුදු පැහැති දැඩි බූවකින් යුක්තයි. අණ්ඩාකාර හැඩයකින් යුත් සරල පත්‍රද බූව සහිත වන අතර පත්‍රවල යටි පැත්තෙහි තාරකාකාර බූවක් පිහිටයි. මල් කොළ පාටට හුරු කහ පාටය. ඵලය රතු පැහැති ගොලාකාර බදරියකි. ඒ තුල පැතලි හැඩයකින් යුක්ත කහ පැහැති බීජ රාශියක් පිහිටා ඇත. ඇතැම් මූලාශ්‍රවලට අනුව වන්‍ය (වනගත) හා ග්‍රාම්‍ය (ගැමි) යනුවෙන් අමුක්කරා ප්‍රභේද දෙකක් ඇත. දෙවර්ගයම ඔසු පිණිස ගන්නා බවත් වන්‍ය වර්ගය විශේෂයෙන් බාහිර ආලේපන සඳහාත් ග්‍රාම්‍ය වර්ගය අභ්‍යයන්තර යෙදීම් සඳහාත් සුදුසු බවත් සඳහන් කර ඇත. ඉන්දියාවට දේශීය  වන අප රටට හඳුන්වාදී වගාකර ඇති අමුක්කරා ශාකය Solanaceae කුලයට අයත් ය. 

ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, ක්ෂය රෝගය, ඇදුම, පාන්ඩු, උන්මාද, අපස්මාර, නාඩි දුර්වලතා, මූර්ජා, අනිද්‍රා, වාත රෝග, රක්තවාතය, ඔඩු සහිත වණ, පිළිකා,  ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස, ස්ත්‍රීන්ගේ වඳ බව, ඉදිමුම් ආදී රෝග තත්වයන් රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අමුක්කරා අලත් අමතරව මුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අල නොමැති අවස්ථාවල මුල් භාවිතා කිරීම සුදුසු බව දක්වා ඇත. අමුක්කරා ස්නායු උත්තේජනය හා ශක්තිමත් කරයි. ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. මලබද්ධය නසයි. කෘෂ වූ ශරීරය පෘෂ්ටිමත් කරයි. ලේ පිරිසිදු කරයි. අකලට මහළු වීම හා ජරාවට පත්වීම වළක්වන රසායන සහ වාජීකරණ ගුණයන්ගෙන් යුක්තයි. ශුක්‍ර ධාතුව වර්ධනය කරයි. ශරීර වීර්යය හා බලය ශක්තිය වඩවයි. නිද්‍රාජනක හා මදනකාරී වුවද හෘදයට බල නොපාන බව මෙහි ඇති විශේෂත්වයක් ලෙස සඳහන් කර ඇත. 

අමුක්කරා කෂාය සෘතු කාලයේදී එළඟි තෙලෙන් පෙවීම මගින් ගැබ නිසි ලෙස ස්ථාපනය වීම සිදු වේ. එමෙන්ම කුඩු කර ගත් අමුක්කරා අල ග්‍රෑම් 6 බැගින් එළකිරි සමඟ සෘතුවීමෙන් පසු දින 5 – 6 තුළ දී බීමට දීමෙන් ස්ත්‍රීන්ගේ වඳ භාවය නැති කළ හැකි බව සදහන් වේ.   අමුක්කරා කෂාය එළඟිතෙල් මී පැණි සමඟ ලේහ කිරීම ඇදුම රෝගයට ප්‍රතිකාරයකි. අමුක්කරා චූර්ණය සීනි, ගිතෙල් සමඟ වැළඳීමෙන් නිසි ලෙස නින්ද යාම සිදු වෙයි. අමුක්කරා අල චූර්ණය උණු වතුරට දමා බීමෙන් ද නින්ද ඇතිකරයි. සීනි තිප්පිලි අමුක්කරා චුර්ණය ගිතෙල් මීපැණි සමග ලේහ කිරීමෙන් සිරුර පෘෂ්ටිමත් වේ. කුඩු කර ගත් අල ග්‍රෑම් 3 ක් බැගින් දීම ප්‍රතිශ්‍යාව හා කැස්සට ගුණදායකය. ගෙඩි සහ ඇටවල ද කැස්ස නැසීමේ ගුණයක් පවතී. අමුක්කරා අල කුඩු කර ගෙන, වරකට ග්‍රෑම් 3 බැගින් ගැනීම සන්ධි ඉදිමුම් හා වේදනා සඳහා යෝග්‍යයයි. අමුක්කරා අල චූර්ණය ග්‍රෑම් 2 බැගින් දිනපතා එළකිරි සමඟ ගැනීමෙන් ලිංගික දුර්වලතා මඟහරවා ගත හැකිය. එමෙන්ම නොයෙක් රෝග අවස්ථා සඳහා භාවිතා කිරීමට නිපදවූ අශ්වගන්ධා නාමය සහිත සංස්රිකාක ඖෂධ වර්ග ද රැසකි. මෙවැනි ඖෂධීය වටිනාකම් සහ භාවිතාවන් රැසක් සහිත අමුක්කරා ශාකයක් ගෙවත්තෙහි වවා ගැනීම ද එතරම් අපහසු නොවේ.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
අමුක්කරා අල 
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support