දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, June 22, 2015

බිංතල් [Bintal] (Curculigo orchioides)

බිංතල් භුගත කඳක් (අලයක් / ආකන්දයක්) සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. මාංසල වූ පාර්ශවික මුල් දරන කෙටි හෝ දික් වූ අලටියක් දරයි. නිර්වෘන්ත හෝ කෙටි වෘන්තයක් සහිත සරල පත්‍ර පිහිටා ඇත. පත්‍ර රේඛීය හෝ රේඛීය-ලන්සාකාරය. මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තයි. ඵලය ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල බීජ හතරක් පිහිටා ඇත. ඉන්දියානු උප මහද්වීපය පුරා ව්‍යාප්තව ඇති බිංතල් ශාකය Hydrocharitaceae නම් උද්භිද කුලයට අයත්ය. 

මුෂලි යනුවෙන්ද හඳුන්වන බිංතල් ප්‍රබල වාජීකරණ ගුණයෙන් යුක්ත ඖෂධයක් හා ශක්තිජනක ආහාරයක් බව මෙරට ජනයා බොහෝ කලක සිට හඳුනාගෙන සිට ඇත. මුත්‍ර පද්ධතියේ රෝග, අක්ෂි රෝග, ලිංගික දුබලතාවය, වාත රෝග, පාණ්ඩුව, අජීර්ණය, චර්ම රෝග, ක්ෂය රෝගය, සෙංගමාලය, වමනය, අර්ශස් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී බිංතල් අල සහ මුල් යොදා ගනී. බිංතල් වේදනා නාශක, මුත්‍රකාරක, උෂ්ණ පහකරන, කාමෝද්දීපක, රුධිරය පිරිසිදුකරන, ධාතු වඩවන ආදී ගුණයන්ගෙන් සමන්විතයි. 

ආක්ෂේප හෙවත් වලිප්පුව, හෘද වේදනා, මූලරෝග, කිලාස (සම තුලින් මතුවන ගෙඩි), ප්‍රමේහ, වණ ආදියට බිංතල් අල චූර්ණය සීනි සමඟ කෑමට දෙයි. බිංතල් අල චූර්ණය කෑමට ගැනීමෙන් අනතුරු කිරි පානය කිරීමෙන් ධාතු වර්ධනය වේ. අස්ථි ක්ෂය වීම, කලක් පවතින වාත රෝග, ප්‍රමේහ, ලිංගික දුබලතාවය ආදී රෝග සඳහා බිංතල් අල චූර්ණය, රසකිඳ පිටි, හාතාවාරිය අල පිටි සමව ගෙන සීනි මිශ්‍රකොට එළකිරි හෝ ගිතෙල් සමඟ දිය යුතුය. මුහුණේ පෙනුම වැඩි කර ගැනීම සඳහා බිංතල් අල එළු කිරෙන් අඹරා ගෑම පැරණි ගැමි ලියන් මෙන්ම පුරුෂයන්ද සිදුකර ඇති බව ජවප්‍රවාදවල සඳහන්ව ඇත. පැරැන්නන් විසින් බිංතල් අල දූන්තෙලින් අඹරා දින 7 ක් වී ගොඩක් යට තබා රැගෙන කන්පෙත්තේ ගෑවේ කන්පෙති වණ වූ විටය. කන් ඇසීම අඩුකමට සන්නියානම් සමඟ බිංතල් අල අඹරා බීමට දී ඇත. පෙර කල ප්‍රජනන පද්ධතියේ දුර්වලතා සඳහාත් මුත්‍ර මාර්ගය සම්බන්ධ රෝගාබාධ සඳහාත් බිංතල් විශේෂයෙන් භාවිතා කර ඇත. 

පැරණි නිගණ්ඩුවල සුදු බිංතල් සහ කළු බිංතල් යනුවෙන් ප්‍රභේද දෙකක් ගැන සඳහන්ව ඇත. මීට අමතරව හීං බිංතල් හා මහ බිංතල් යනුවෙන්ද වර්ගීකරණයකි. කළු බිංතල් Curculigo විශේෂයක් නොව හාතාවාරිය අයත්වන Asparagus ගණයට අයත් Asparagus adscendens නම් ශාකයක් බව හඳුනාගෙන ඇත. එය මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග සඳහා විශේෂයෙන් ගුණදායක බව සඳහන් වේ.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

3 comments:

Manoj said...

naga meru ala kiyanneth mewatada???

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

නඟා මැරූ අල කියන්නේ Ipsea speciosa යන උද්භිද නාමයෙන් හඳුන්වන අප රටට ආවේනික ශාකයට. මේ ගැන දීර්ඝ ලිපියක් අපගේ "ඔසුපැල හඳුනා ගනිමු" ෆේස්බුක් සමූහයේ පල කර ඇත.

Unknown said...

mema bimthal shakyaya hariyatama baawitha karanne kohomada....mema shakaye ala da kemata ganne...wistara karannakoo...pls..

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support