නාගදරණ වැලි මිශ්‍ර පසට ප්‍රිය කරන මීටරයක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. මේරූ කඳ කාෂ්ඨීය වේ. ශාකය පුරාම ඇලෙන සුලු බූවක් දක්නට ලැබේ. තරමක් හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15-23 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර දාරය තරමක් තරංගීමය වන අතර සම්පූර්ණ ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා සුදු පාටට හුරු දම්පාට මල් අලංකාරවත් ය. සෙ.මි. 2 පමණ දිග කෙලවරික් වක්වූ ඵලය වකුගඩු හැඩැති ය. එය කොළ පාට සිට කහ තැඹිලි පාටට හැරේ. වියළි ඵලය කළු පැහැති ය. එහි තියුණු නඛර දෙකක් පිහිටා තිබේ. එය ශාකයේ ප්‍රචාරණය සඳහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ. නාගදරණ Martyniaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
ආයුර්වේදයේ කකනශික ලෙස හැඳින්වෙන නාගදරන පැළෑටිය අපස්මාරය, ඉදිමුම්, ක්ෂය රෝගය, උගුරේ ආසාදන සහ තුවාල වලට ප්‍රතිකාර කිරීමේ දී යොදා ගැනේ. ඉදිමුම් සහ පිළිස්සුම් සඳහා මෙහි ඵලය ඉතා ප්‍රශස්ත ඔසුවකි. ඇට වලින් ලබා ගන්නා තෙල් සමේ කැසිලි ඇති කරන ආසාදන සහ සම මතුපිට වෙනත් රෝග වලට ප්‍රතිකාර පිණිස ගනී. නාගදරණ ඵලය නිදි වර්ධනය කරන ඔසුවක් ලෙස භාවිත කරනු ද බහුලව දක්නට ලැබේ. වේදනා නාශක සහ ජ්වර නාශක (උණ අඩු කරන) ගුණ දරන නාග දරණ ඉතා ප්‍රකටව එම ගුණ පළ කරයි. එනම් අත්දුටු ප්‍රතිකාරයකි. තුවාල සුව කරන ගුණ සහිත නාගදරණ ස්වරසය බීමට මෙන්ම ආලේපනයට ද සුදුසු ය. එය බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණ පෙන්වයි. නිස්සාරණය කරන ලද ස්වරසය බීමෙන් තුවාල වහා සමනය වේ. එය ක්ෂුද්‍ර පණුවන් වැනි පරපෝෂිතයන් නසයි. කොකුපණු රෝගය සඳහා නොවරදින ඔසුවකි. වලිප්පුවට සුව ගෙනෙන මෙම ඔසුව කුඩා දරුවන්ගේ පානයට ඇතුළත් කිරීමට පවා සුදුසුය. වෛද්‍ය උපදෙස් ඇතිව දීම යෝග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත එය කාන්තාවන්ගේ සාඵල්‍යතාව වඩවන අතර පුරුෂයන්ට ද ගුණදායකය. එයින් ශුක්‍රතරලයේ අන්තර්ගත වැඩි කරයි. දියවැඩියාව පාලනය සඳහා ද යොදා ගත හැකි ඔසුවකි.
කල් පවතින තුනටියේ වේදනාවට නාගදරණ ගෙඩි එකට අමුණා ඉනේ බැඳීම පැරණි ප්‍රතිකාරයකි. මෙරට ගැමියන් කෘමී සහ මඳ විෂ සර්ප දෂ්ඨන ආදී සුලු විෂ සඳහා නාගදරණ ගෙඩියක් ගලගා දෂ්ඨ සථානයේ ආලේප කිරීමට පුරුදුව ඇත. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් වැඩ සඳහා ද, නිවාස ආරක්ෂා කිරීම් ආදියටද නාගදරණ ගෙඩි භාවිතා කරයි. පැරැන්නන් වියලි නාගදරණ ගෙඩි ගෙමිදුලේ කලාමකව අතුරා තබනුයේ එමඟින් නිවසට සර්පයින් පැමිණීම වලකාලන බවට පවතින විශ්වාසය හේතුවෙනි.
මූලාශ්‍ර_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාගේ ලිපියක් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්