දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, November 13, 2018

සුළුනයි [Sulunai] (Rungia repens)

සුළුනයි පොළවේ වැතිරී හෝ සෙ.මී. 20ක් පමණ උසට වැඩෙන දුර්වල සිහින් කඳක් සහිත කුඩා පැළෑටියකි. පත්‍රවල හැඩය ඕවලාකාර හෝ ආයත ඕවලාකාර ය. පත්‍රයක් දිගින් සෙ.මී. 1.2-2 දක්වා ද පළලින් සෙ.මී. 0.5-0.8 දක්වා ද විය හැකි අතර මද තීව්‍ර අග්‍ර‍ස්ථයක් සහිතය. සෙ.මී. 2.5 ක් පමණ දිග නටුවක හටගන්නා ශුකියෙහි ළා දම් පැහැ හෝ ළා නිල් පැහැ කුඩා පුෂ්ප හටගනී. ඕවලාකාර ආයත හැඩැති කුඩා බීජකෝෂවල චක්‍රාකාර බීජ ඒක කේන්ද්‍රීය ව පිහිට‍ා තිබේ. සුළු නයි Acanthaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

තුවාල, සර්ප විෂ, අක්ෂි රෝග, ඇසේ යමක් ඇණුන විට එය එය ඉවත් වී තුවාලය සුව වීමට ආදීය අවස්ථා සඳහා ප්‍ර‍තිකාර කිරීමට සුළුනයි සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. 

සුළු නයි කොළ අඹරා තැබීමෙන් තුවාලවල ලේ ගලා යාම නවතී. සුදුළූණු, වදකහ, තුන් බෝ අත්තන මුල්,  සුළු නයි මුල් සමව ගෙන සුණු කොට සාදාගන්නා දුම් පන්දුව සියලු සර්ප විෂට වේදු ඇල්ලීම පිණිස යොදා ගනී. විෂ වෛද්‍යවරු මුඛයෙන් නාග විෂ ඉරීමට ප්‍ර‍ථම සුළු නයි, මහ නයි දෙවර්ගයේ මුල් සැපීම සිදුකරන බව සඳහන්. එසේම සර්ප විෂ සඳහා සාදන ගුලි වර්ගවල යෝගයක් ලෙස ද සුළු නයි යොදා ගනී. ඇසේ යමක් ඇනී තුවාල වූ විට අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට,කොහොඹ කොළ, කූර කොළ, කරල් සැබෝ කොළ, ඔලිඳ කොළ, බුත්සරණ මුල්, තැල් කොළ, සුළු නයි කසාය කර ඇසට වත් කරන අතර සුළු නයි, මහ නයි, මොණරකුඩුම්බිය, තැල් කොළ, බූ මෑ කොළ, ගොටුකොළ, කරල්සැබෝ කොළ ආදියෙන් ලද පමණක් තලා වත් කිරීම ද සිදු කරන බව දක්වා ඇත. ඇසේ සුද නැති වීමට සුළු නයි, මොණරකුඩුම්බිය, පොල්පලා තලා ඇසට වත් කරන බව ද කියැවේ.

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් කෘති
සේයාරූ_  Illustrated field guide to the flowers of Sri Lanka - Volume 1 සහ වෛද්‍ය සංජීව රූපසිංහ 
Share:

Tuesday, November 6, 2018

දියහබරල [Diyahabarala] (Monochoria hastata)

ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිතව වැවෙන කුඩා පැළෑටියකි. බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්‍ර‍ කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්‍ර‍ දිගින් සෙ.මි. 15-18 සහ පළලින් සෙ.මි. 5-15 දක්වා වැඩේ. පත්‍ර‍ තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පැහැති වන අතර යටි පෘෂ්ඨය ළා පැහැති ය. සෘජු නටුවක් සහිත පුෂ්ප මංජරියෙහි හට ගන්නා  නිල් පැහැති මල් අලංකාරවත් ය. ඵලය ඉලිප්සීය හැඩැති, සෙ.මි. 1 පමණ දිග ස්ඵෝටිකාවකි. ඒ තුල මි.මි. 8 පමණ දිග දුඹුරු පැහැති බීජ පිහිටයි. මෙම උද්භිද ගණයටම අයත් Monochoria vaginalis නම් දේශීය ශාකයක් ඇති අතර එය ද දියහබරල සහ ජබර යනුවෙන් හඳුන්වයි. දේශීය වෙදකමේදී දියබෙරලිය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම විශේෂ බවයි බොහෝ පිරිසකගේ පිළිගැනීම. පෙනුමෙන් මෙම විශේෂවලට තරමක් සමාන ජපන් ජබර (Eichhornia crassipes) නමින් හඳුන්වන විදේශීය ආක්‍රමණික ශාකය මෙම වර්ග සමඟ පටලවා නොගත යුතු ය. මේවා Pontederiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

පිත නිසා හටගත් රෝග, මව්කිරි මදිකම, වාත මේහ, ප්‍ර‍දර රෝග, මුත්‍ර‍ දැවිල්ල, මුත්‍ර‍ අඩස්සිය, මුත්‍ර‍ පිටනොවීම, මලබද්ධය, ගුද භ්‍ර‍ංශ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා දියහබරල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. දියහබරල පිත සමනය කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍ර‍කාරක, කාම වර්ධක, වේදනා නාශක ආදී  ගුණ සහිතයි. නීල්‍යාදී තෛලය දියහබරල යොදා නිපදවන ප්‍ර‍කට ඖෂධයකි. 

මව්කිරී එරීමට, වාත මේහයට, මුත්‍ර‍ අඩස්සිය සහ මුත්‍ර‍ පිට නොවීමට දියහබරල දෙහි ගෙඩියක් පමණ ප්‍ර‍මාණයක් අඹරාගෙන මොරු සමඟ දවසට දෙවරක් බැගින් දින 40 ක් භාවිතා කළ යුතුය. ගුද භ්‍ර‍ංශයට දියහබරල කැඳ දෙයි.  අක්ෂි රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමේදී දියහබරල යුෂ භාවිතා කරයි. කැක්කුම සහ දැවිල්ල සහිත වණවලට දියහබරල කොළ, කැකුළු හාල්, පොල්කිරෙන් තම්බා අඹරා බැඳිය යුතු ය. ගඩු සඳහා දියහබරල කොළ දොඬම් ඇඹුලෙන් අඹරා දීකිරි එක්කොට ගඩුවේ ගෑ යුතු ය. බාහිර ලේ වහනය වැලැක්වීමට කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරයි. දියහබරලවලට ශරීරගත විෂ ඉතා කෙටි කාලයකින් උරා ගෙන මල සමඟ පිටකිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා විෂ වෙදකමේදී භාවිතා කර ඇති බව සඳහන්.  දියහබරල ශාක කොටස් උදරාබාධ, දත්කැක්කුම, ඇදුම, ඇල්ශයිමර් රෝගය ආදියට ප්‍ර‍තිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍ර‍වල දක්වා ඇත. 

දියහබරල කොළ, අල සහ පුෂ්ප මංජරිය මැල්ලුම්, ව්‍යංජන සහ කැඳ ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය.  දියහබරල කොළ හා දඬු, ගාගත් පොල් සමග කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කරගත් කොළ කැඳ හිස් බඩ පානය කිරීමෙන් ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල පහ වේ. එමෙන්ම එය මුත්‍ර ගල් දියවීමටත්, ශුක්‍ර මේහයටත්, සෙංගමාලයටත් අගනා ඔසුවකි. මේවා ශීත ගුණයෙන් යුත් ආහාර නිසා රත්පිත් රෝගීන්ට ද වඩාත් ගුණදාක ය. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයරූ අනුග්‍ර‍හය_ වෛද්‍ය සංජීව රූපසිංහ

Share:

Sunday, October 28, 2018

වල්ලූණු [Wallunu] (Pancratium zeylanicum)

වල්ලූණු බල්බය නමින් හඳුන්වන ව්‍යාජ භූගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. බල්බයේ හැඩය ගෝලාකාර හෝ උපගෝලාකාර වේ. මාංසල බවින් යුත් පත්‍රයක දිග සෙ.මී. 15-30 දක්වා විය හැකි අතර පළල සෙ.මී. 1.5-2 දක්වා වේ. පත්‍ර හැඩය පටු ලන්සාකාර හෝ ප්‍රතිලන්සාකාරයි. උඩ පෘෂ්ඨය ඔප සහිත කොළ පැහැ වන අතර යට පෘෂ්ඨය අළු පැහැයට හුරු කොළ පැහැතිය. පත්‍ර ගොනුවෙන් පැන නගින සෙ.මී.  8.5-25 පමණ දිග සිලින්ඩරාකාර නටුවක් සහිත මල් තනි තනිව හට ගනී. මල්  සුදු පැහැති වන අතර අලංකාරවත් ය. තල 3ක් සහිත බීජ කෝෂය සෙ.මී.2ක් පමණ දිග වන අතර සෙ.මී.1.5ක් පමණ පළලයි. ඒ තුල උප ගෝලාකාර හැඩැති බීජ විශාල ප්‍රමාණයක් පිහිටයි.  විසිතුරු ශාකයක් ලෙස ද වැවිය හැකි වල්ලූණු Amaryllidaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

ඇතමුන් මෙම ශාකයට තරමක් සමාන සුදු මල් හට ගන්න Hymenocallis littoralis සහ  Hymenocallis littoralis නම් විදේශීය විසිතුරු දෙකක් සහ රතු හෝ තුඹිලි පැහැති මල් හට ගන්නා Hippeastrum puniceum නම් විදේශීය විසිතුරු ශාකයක් වල්ලූණු ලෙස සලකා ඖෂධ සඳහා භාවිතා කරනු දැකගත හැකිය. විද්වත් මතයට අනුව එය ඵලදායී නොවන වැරදි භාවිතයකි.  

ගෙඩි, අර්ශස්, කැඩුම් බිඳුම් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ප්‍ර‍ධාන වශයෙන් වල්ලූණු ශාකයේ බල්බය හෙවත් අලය භාවිතා කරයි. අස්ථි භග්නයකදී කැඩී ඇති සියුම් ඇට කැබලි එලියට ගැනීම සඳහා වල් ලූණු අල, මුං ඇට සමග පොල් කිරෙන් අඹරා බඳියි. 

මූලාශ්‍ර‍_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්
සේයාරූ_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන්
‍ෙ
Share:

Sunday, October 21, 2018

පඹ [Pamba] (Lygodium flexuosum)

ලෙහා ගැනීමට අපහසු ගැටළු රාශියකට මැදි වූ විට පඹ ගාලක පැටළුනා වැනිය යන කියමනෙන් ගැමියන් අතර ප්‍ර‍කට පඹ වැල් අධාරක ශාකයක් මත ඉහල නඟින වැල් පර්නාංගයකි. මෙම වැල් රාශියක් එකට එතෙමින් සාදන ගොනුව පඹ ගාලක් යනුවෙන් හඳුන්වයි. පඹ වැල්වල ළපටි කඳ කොළ පැහැති වන අතර මේරු කඳ දම් මිශ්‍ර‍ කළු පැහැති ය. සංයුක්ත පත්‍ර‍වල ප්‍රාක්ෂය සුමට හෝ මඳ බූවක් සහිතයි. පත්‍රිකා විවිධ හැඩයන් ගනී. පත්‍ර‍ දාරයෙන් බීජණුධානී පොකුරු හෙවත් සොරස පිටතට නෙරා ඇත. එවායින් නික්මෙන් බීජාණු මඟින් ශාකයේ ව්‍යාප්තිය සිදු වේ. මෙම උද්භිද ගණයටම අයත් තවත් ශාක දෙකක් මෙරටදී හමු වන අතර එවායින්  Lygodium circinnatum ශාකය මහ පඹ ලෙසත්, Lygodium microphyllum ශාකය පඹ වැල් ලෙසත් හඳුන්වා ඇත. දේශීය ශාක වන පඹ විශේෂ  Lygodiaceae උද්භිද කුලයට අයත් පර්නාංශ විශේෂයන් ය. මෙම විශේෂ තුනට අමතරව සිංහලෙන් පඹ නමින් හඳුන්වන තවත් ශාකයක් අැති අතර එය Ipomoea quamoclit යන උද්භිද නාමයෙන් හඳුන්වන සපුෂ්ප ශාකයකි. රතු පැහැති අලංකාරවත් මල් හට ගන්නා වැලක් වන එය මෙරට තුල ස්වභාවිකකරණයට ලක්වී ඇති විදේශීය ශාකයකි. රට පඹ යනුවෙන්ද හඳුන්වන එම ශාකය ඉහත විස්තර කරන ලද දේශීය පඹ විශේෂ සමඟ පටලවා නොගත යුතු ය. එම ශාකය මෙරටදී ඖෂධ සඳහා භාවිතා කරන බවට තොරතුරු ද හමු වී නොමැත.

අක්ෂි රෝග, වණ, තුවාල, ඉදිමුම්, ක්ෂත, වෙඩි වැදුණු තුවාල ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා පඹ ශාකයේ මුල්, කොළ සහ වැල් භාවිතා කරයි. චන්ද්‍ර‍ාකාන්ති තෛලය, කේතකී තෛලය, අග්‍ර‍රාජ තෛලය, දිව්‍යරාජ තෛලය, නව පටල තෛලය පඹ වැල් යොදා නිපදවන ඖෂධයන් ය. 

වෙඩි වැදුණු තුවලවලට පඹ කොළ ස්වරසය යොදා සකස් කරගත් තුවාල තෙල් යොදා ප්‍ර‍තිකාර කරයි. ඉදිමුමට පඹ දළු, සියඹලා දළු, මිල්ල දළු යන මේවා දෙහි ඇඹුලෙන් සිහින්ව අඹරා ආලේප කළ යුතුය‍. අක්ෂි රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමේදී පඹ දළු, බෝඹු දළු සහ දෙලුම් කොළ තම්බා තැවීමට ගනී. පඹ දළු මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිය. ගැමියන් පඹ දළු යොදා කැඳ සාදා ගන්නා අතර එලෙස පිසගත් කැඳ කැස්සට සහ පිතට ගුණදායක බව සඳහන්. පඹ මුල්  රුමැටික් ආතරයිට්ස්, උලුක්කු, පණුහොරි සහ කඩුවේගන් වැනි චර්ම රෝග, කැපුම් තුවාල, ගඩු ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා භාවිතා කරන බව අන්තර්ජාල මූලාශ්‍ර‍වල දක්වා ඇත.

පඹ වැල් තලා වක්කඩේ බැඳීමෙන් එම වැල්වල ඇති රසායනික ද්‍ර‍ව්‍ය ජලයට එකතු වී ගොයමට හානි කරන පණුවන් මර්දනය වන බව සඳහන්. ගැමියන් එළවලු වර්ග තැලීමෙන් හානි නොවී ප්‍ර‍වාහය කිරීම සඳහා එළවලු අතරට මෙම වැල් එකතු කරයි. එමෙන්ම පඹ වැල් සැරසිලි කටයුතු සඳහා යොදා ගනීමට මෙන්ම විසිතුරු ශාක ලෙස ද වැවිය හැකියි.

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
රට පඹ (Ipomoea quamoclit)
Share:

Monday, October 15, 2018

හරංකහ [Harankaha] (Curcuma zedoaria)



හරංකහ භූගත කඳක් හෙවත් රෛයිසෝමයක් සහිත මීටර් 1ක් දක්වා උසට වැඩෙන කුඩා පඳුරුමය පැළෑටියකි. කපුරු සුවඳැති රෛසෝමය ළා කහ පැහැයට හුරු සුදු පැහැති ය. එක් ශාකයක මීටරයක් දක්වා දිගට වැඩෙන පත්‍ර 4-6 සංඛාවක් පිහිටයි. පත්‍ර‍ තලය දිගින් සහ පළලින් සෙ.මි. 20–60  x  8–10 පමණ විය හැකිය. පත්‍ර‍ හැඩය ආයත හෝ පටු ආයත ලන්සාකාර ය. පත්‍ර‍වල දෙපසම සුමට වන අතර පත්‍රයේ උඩුපස මධ්‍ය නාරටිය සමීපයේ දුඹුරු පැහැයට හුරු දම් පැහැති පැල්ලමක් දැකගත හැකි වීම විශේෂත්වයකි. ශුකියක් වන පුෂ්ප මංජරිය පොළවෙන් ඉහලට සෙ.මි. 18 දක්වා වර්ධනය වේ.  පුෂ්ප මංජරිය වටා ඇති නිපත්‍ර‍ පළමුව සුදු පැහයෙනුත් කෙටි කලකින් දීප්තිමත් රෝස රතු හෝ රතු-දම් පැහැයෙනුත් දැක ගත හැකිය. ඵලය අක්‍ර‍මවත්ව පැලෙන සිනිඳු, ඕවලාකාර ස්ඵෝටිකාවකි. හරංකහ Zingiberaceae උද්භිද කුලයට අයත් මෙරටට හඳුන්වාදී වගා කර ඇති ශාක විශේෂයකි. 

අතීසාර, මුත්‍ර‍අඩස්සිය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිත නිසා හටගත් උණ, ශ්වේත ප්‍ර‍දර, අර්ශස්, අජීර්ණ, අරුචි, කුසගිනි මදිකම, අධ්මාන, ගුල්ම, පණු රෝග, කැස්ස, ඇදුම ආදී රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමට හරංකහ ශාකයේ අල සහ කොළ භාවිතා කරයි. හරංකහ වාජීකරණ, වේදනාවන් සමනය කරන, පණුවන් නසන, උණ නසන, රුධිය පිරිසිදු කරන, මුත්‍ර‍ජනනය කරන ආදී ගුණ සහිතයි. 

මුත්‍ර‍ රෝග සඳහා හරංකහ අල යුෂ බොන්නට දෙයි. චර්ම රෝගවලට අල ගලගා ආලේප කරයි. උලුක්කුවට හරංකහ අල සීනක්කාරන් සමඟ අඹරා ආලේප කරයි. ග්‍ර‍න්ථි සහ අර්බුදවලට හරංකහ කොළ අඹරා ආලේප කරයි. බෙංගාල වැසියන් හරංකහ අල කොටා යුෂ මිදෙන්නට තබා, වියළා අරළුප්පිටි මෙන් සකස් කර ගන්නා ඖෂධය ශට්පාලෝ නමින් හඳුන්වන අතර එය අතීසාර, ග්‍ර‍හණි ආදී රෝග සුවපත් කිරීමට යොදා ගනී. අතීසාරයට එම පිටිවලින් කැඳ සකසා බොන්නට දෙයි. මුඛයේ සහ උගුරේ සෙම බැඳීමට හරංකහ අල කැබලි මුඛයේ තබා චූෂණය (සූප්පු) කළ යුතුය. එමෙන්ම එය ස්වරභේදය හෙවත් උගුර බැරැන්ඩි වීමට ද ප්‍ර‍තිකාරයකි. ළමයින්ගේ පණු රෝගවලට හරංකහ අල යුෂ බොන්නට දෙයි. ප්‍ර‍තිශ්‍යා කැස්ස සහ සිරුරේ වේදනා සහිත උණට හරංකහ අල කෂායට තිප්පිලි කුඩු, කුරුඳු පොතු කුඩු මිශ්‍ර‍කර වැල්මී, මී පැණි හෝ සූකිරි සමඟ ගැනීමට නියම කර ඇත. සීරීම් ආදියට කුඩු කරන ලද හරංකහ මුල සීනක්කාරම් සමඟ මිශ්‍රකර ආලේප කළ යුතුය. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 1, 2
Share:

Sunday, October 7, 2018

සමදරා [Samadara] (Quassia indica)

තිත්ත සමදරා යනුවෙන්ද හඳුන්වන සමදරා මීටර් 5-12 දක්වා උසට වැඩෙන ගසක් හෝ පඳුරක් ආකාරව වැඩෙන සදාහරිත ශාකයකි. කඳේ තීර්යක් පැලීම් දක්නට ලැබේ. එ්කාන්තරව පිහිටන සරල පත්‍ර‍ දිගින් සෙ.මි. 12-28 දක්වා හා පළලින් සෙ.මි. 4-14 දක්වා වැඩේ. පත්‍ර හැඩය ආයත ඉලිප්සාකාර සිට ලන්සාකාර වේ. පත්‍රයේ පෘෂ්ඨ දෙකම සිනිඳු සහ දිලිසෙන සුළු වන අතර පත්‍ර අග්‍රය තීව්‍ර හෝ අති තීව්‍ර විය හැකි ය. සෙ.මි. 18 දක්වා දිග නටුවක්‍ සහිත ඡත්‍රාකාර පුෂ්ප මංජරිය පහලට එල්ලා වැටෙන ස්වරූපයකි. මල් කොළ පැහැයට හුරු ක්‍රීම් පැහැ, ළා දම්, සුදු, හෝ අළු පැහැයට හුරු කහ පැහැති විය හැකිය. ඵලය සෙ.මි  2-5 × 4 පමණ වන අර්ධ කවාකාර හැඩති කරලකි. සමදරා  Simaroubacea උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

සමදරා හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන් කුඩා දරුවන්ගේ උෂ්ණ බිබිලි ආදි සමේ රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස සැලකේ. එමෙන්ම උණ, හිසේ රෝග, කැඩුම් බිඳුම්, වණ, තුවාල, අක්ෂි රෝග ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සමදරා ශාකයේ කොළ, පොතු, මුල්, ඇට ආදිය භාවිතා කරයි. 

පණුවන් සහිත වණවලට සමදරා ඇට, දලුක් කිරි, දිවිකදුරු කිරි, ගොළුබෙලි සාරු, පුස් ඇට, අංකෙන්ද පොතු, ලුණු යොදා අඹරාගත් යුෂයෙන් පිරිසිදු කපු රෙදි කැබැල්ලක් තෙමා වණයේ තැවරීම කලයුතු ය. මෙය සතියක් සිදුකර බෝවිටියා සහ තැල් කොළ කොටා කොහොඹ තෙලින් මලවා බැඳීමෙන් වණය සුවපත්වන බව සඳහන්. සර්ප විෂ නිසා ඇතිවන අතුරැ ආබාද සඳහා ප්‍ර‍තිකාර කිරීමට යොදන කෂාය සඳහා පොතු, මුල් යොදා ගනී. මීට අමතරව ශරීරයේ හටගන්නා ගඩු සඳහා යොදන කෂාය වර්ගවල ද, තිමිර, ඇස්වලින් කඳුලු ගැලීම ආදී අක්ෂි රෝගවලදී යෙදෙන ඖෂධ සඳහා යෝගයක් ලෙස සමදරා මුල් ඇතුලත් වේ. 

මූලාශ්‍ර‍_ තල්පතේ පිලියම් කෘති සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින් 
සේයරූ_ අන්තර්ජාලයෙන් 1 2 
Share:

Tuesday, October 2, 2018

උල්වැරණිය [Ulweraniya] (Hedyotis neesiana)


උල්වැරණිය බිම දිගේ වැලක් ආකාරයෙන් වැවෙන කුඩා වාර්ෂික පැලෑටියකි. කඳ ඇතැම් විටක දෘඩරෝමීය වේ. වැලේ ආරම්භක කොටස කාෂ්ඨීය යි. ද්වීකාන්තරික සම්මුඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකාර සිට මඳ වශයෙන් ඕවලාකාර හෝ රේඛීය ලන්සාකාර විය හැකි ය. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 3-5.5 සහ පළලින් සෙ.මි. 0.5-2 දක්වා වේ. පත්‍ර‍වල පැහැදිළි මධ්‍ය නාරටියක් පිහිටන අතර පාර්ශ්වික නාරටි අපැහැදිළි ය. කක්ෂීයව හට ගන්නා පුෂ්ප මංජරිවල කුඩා සුදු පැහැති මල් 8-15 දක්වා පිහිටයි. මල් නිර්වෘන්තව හෝ කෙටි වෘන්ත දරයි. ඵලය ගෝලාකාර හෝ අණ්ඩාකාර හැඩැති කරලකි. එක් බීජ කෝෂයක ළා දුඹුරු පැහැති කුඩා බීජ 8-15 දක්වා ප්‍රමාණයක් පිහිටයි. උල්වැරණිය Rubiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

උල්වැරණිය විශේෂයෙන් ඇස් රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමට භාවිතා කරන බව ප්‍ර‍කට ය. ඇසේ ඇතිවන තුවාල, තැල්ම, ඇසට යමක් වැටුනු විට එය ඉවතට ගැනීම ආදියට උල්වැරණිය ශාක කොටස් යොදා ගනී.  ඇස ඇතුලේ සිදුවන තුවාල හා තැල්මටත්, ඇසට වැටුන යමක් ඉවත්කර ගැනිමටත්, ඇසේ යමක් ඇනුන විටත්, උල්වැරණිය කොල, අමුකහ සමඟ සියුම්ව තලා පිරිසිදු රෙදි කැබැල්ලක දමා බින්දු කිහිපයක් ඇසට දැමිය යුතුය. ගසකින් වැටුණු විට ඇතිවන තැල්මට උල්වැරනිය කොළ පැසුණු පොල් සමඟ කොටා මලවා බඳියි. 

විශේෂ ස්තුතිය _ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ එම්. පි. විජේරත්න මහතාට. 
Share:

Sunday, September 23, 2018

ගොඩකිරිල්ල [Godakirilla] (Holoptelea integrifolia)

ගොඩකිරිල්ල මීටර් 25 දක්වා උසට වැඩෙන තරමක් විශාල ශාකයකි. පොත්ත අළු දුඹුරු පැහැති හෝ සුදු පාටට හුරු කොළ පාට වන අතර අප්‍ර‍සන්න ගන්ධයකින් යුක්ත ය. ළපටි කොටස්වල බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සීය-ආයත සිට ඉලිප්සීය-අණ්ඩාකාර වේ. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7.5-13 සහ පළලින් සෙ.මි. 4-8.5 දක්වා වර්ධනය විය හැකිය. පත්‍ර‍ දාරය සම්පූර්ණ වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිවෘ හෝ එසේ නොවිය හැකිය. පුෂ්ප මංජරියෙහි පිරිමි මල් සහ ද්වීලිංගික මල් මිශ්‍ර‍ව පිහිටා තිබේ. ඵලය පටලමය පියාපත් සහිත, පුලුල් අණ්ඩාකාර හැඩැති කරලකි. ඵලයක් තුල පැතලි එක් බීජයක් පමණක් පිහිටයි. ගොඩ කිරිල්ල ශාකය Ulmaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද මූලාශ්‍ර‍වල මෙම ශාකයේ භාවිතාවන් ගැන ප්‍ර‍කට තොරුතුරු හමු නොවුන ද දේශීය වෙදකමේදී කැඩුම් බිඳුම්, උලුක්කු, බාහිර රුධිර වහනය, ගඩු, දිවි මකුළු දෂ්ඨන, කණ්ඩමාල ආදී රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමට ගොඩකිරිල්ල ශාකයේ පොතු, කොළ සහ මුල් භාවිතා කරයි. 

උලුක්කුවට, කල් ගත වූ තැලුම්වලට සහ බිඳුණු අස්ථි සන්ධානය වීමට ගොඩකිරිල්ල පොතු කහ, ලුණු සමඟ කොටා මළවා බඳියි. කැඩුම් බිඳුම් අවස්ථාවකදී රුධිර වහනයක් සිදුවූ විට මුරුංගා, වරා සහ ගොඩකිරිල්ල යන ශාකවල මුල් කොටා යුෂ ගෙන තුවාලයට වත් කිරීමෙන් රුධිරය ගලායාම නැවතී තුවාලය පෑහෙයි. දිවි මකුළු දෂ්ඨනයකට ලක්වූ රෝගීන් ස්නානය කරවීමට ගොඩකිරිල්ල කොළ තැම්බූ ජලය යොදා ගනියි. ගඩුවලට ගොඩකිරිල්ල පොතු, රුක්අත්තන පොතු සහ හීනටි හාල් එකට කොටා, රොටියක් ලෙස සකසා කබලේ තබා රත් කර ගඩුවට තබා බැඳීමෙන් ගඩුව සුව වෙයි. කණ්ඩමාල රෝගය සඳහා තෙල් සිඳීමේදී ගොඩකිරිල්ල පොතු යොදා ගනී. 

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් සහ වෛද්‍යාචාර්ය දේශබන්දු තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතාගේ කෘති ඇසුරෙන් 
සේයාරූ _ 1 අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 16, 2018

සෙනෙහෙකොළ [Senehekola] (Senna alexandrina)


සෙනෙහෙකොළ මීටර් 3 ක් පමණ උසට වැඩෙන පඳුරු අාකාර කුඩා බහු වාර්ෂික ශාකයකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර‍ ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍ර‍ක් දිගින් සෙ.මි. 5-16 පමණ විය හැකිය. සංයුක්ත පත්‍ර‍යක පත්‍රිකා යුගල් 9 දක්වා පිහිටයි. පත්‍රිකාවක් දිගින් සෙ.මි. 5 දක්වා සහ පළලින් සෙ.මි. 1 දක්වා වර්ධනය වන අතර පත්‍ර‍ හැඩය ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර වේ. ඒකාක්ෂ පුෂ්ප මංජරිය අග්‍ර‍ස්ථීය හෝ කක්ෂීය විය හැකිය. මල් පොකුරක දීප්තිමත් කහ පැහැති මල් 10-30 අතර සංඛාවක් පිහිටයි. නොපැලෙන කරලක් වන ඵලය තුල පැතලි හැඩැති බීජ 4-10 සංඛාවක් පිහිටා තිබේ. සෙනෙහෙ කොළ Fabaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

වටපණු රෝග, චර්ම රෝග, ළදරුවන්ගේ මලබද්ධය, අර්ශස්, අක්ෂි රෝග, හිස් හොරි ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සෙනෙහෙ ශාකයේ වියළි කොළ සහ කරල් භාවිතා කරයි. සෙනෙහෙකොළ ලේඛනීය, විරේචක, පිත සහ රුධිරය පිරිසිදු කරන, අනුලෝමන, වාත අනුලෝමන, පණුවන් බැහැර කරන, සමට හිතකර ආදී ගුණයන් සහිතයි. ධාත්‍රී චූර්ණය  සෙනෙහෙකොළ යොදා නිපදවන ඖෂධයකි. 

වටපණු රෝගයට සෙනෙහෙ ඇට සහ ඇසළ ඇට අඹරාගත් ප්‍රලේපය යොදා ප්‍ර‍තිකාර කරයි. චර්ම රෝග සඳහා සෙනෙහෙ කොළ පොල් විනාකිරෙන් අඹරා ආලේප කළ යුතුය. ළදරු විරේචනයට සෙනෙහෙ කොළ පාණ්ඨය කිරි දෙන මවට පානය කිරීමට දිය යුතුය. රළු කෝෂ්ඨයක් සහිත අයකුගේ මලබද්ධය සඳහා පත්‍ර චූර්ණය හෝ පාණ්ඨය අල්ප මාත්‍රාවෙන් යොදයි. තීක්ෂණ විරේකයට අති මාත්‍රාවෙන් පත්‍ර චූර්ණය හෝ පාණ්ඨය යොදා ගනී. සුඛ විරේචනයට සෙනෙහෙ කොළ පාණ්ඨය සීනි හෝ සූකිරි සමඟ බොන්නට දෙයි. ගැමියන් බඩ විරේක වීමට සෙනෙහෙ කොළ අරළු සමඟ තම්බා පානය කරයි. සෙනෙහෙ කොළ තම්බා ගත් වතුරෙන් හිස සේදීමෙන් හිස් හොරි මදර්ධනය වන අතර හිස කෙස් වර්ධනය වේ. සෙනෙහෙකොළ අධි මාත්‍රාවෙන් යෙදීමෙන් අන්ත්‍රවල ශ්ලේෂම පටලවලට හානි විය හැකි බැවින් අභ්‍යන්තරව යෙදීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව භාවිතා කළ යුතුය. සෙනෙහෙ කොළ භාවිතා කිරීමෙන් පසු ඇතැම් විට උදර වේදනා ඇති විය හැකි බවත්, එහිදී එනසාල්, කොත්තමල්ලි, කරාබු වැනි ඔසුවක් අල්ප මාත්‍රාවෙන් දිය යුතු බවත් සඳහන් කර ඇත. 

මූලාශ්‍ර‍ _ ඖෂධීය ශාක සංග්‍රහය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය
සේයාරූ _ අන්තර්ජාලයෙන් 
Share:

Tuesday, September 11, 2018

බිංනුග [Binnuga] (Tylophora indica)

බිංනුග වෙනත් ශාක මත ඉහල නඟින හෝ බිම වැතිරී වැඩෙන වැල් ශාකයකි. සම්මුඛව පිහිටන සරල පත්‍ර‍ පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර-ආයත වේ. පත්‍රයේ ඉහල පෘෂ්ඨය බූව සහිත හෝ සිනිඳු වන අතර යටි පෘෂ්ඨය බූවකින් වැසී හෝ සම්පූර්ණයෙන්ම සිනිඳු විය හැකිය. පත්‍ර‍ පාදය හෘදයාකාර ය. පත්‍ර අග්‍ර‍ තිවෘ හෝ මොට වන අතර තරමක් මාංසල ය. පුෂ්ප මංජරිය ඡත්‍රාකාර බහු අක්ෂයකි. මල් රෝස පාටට හුරු කොළ පාට ය. බිංනුග Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

අජීර්ණ, අර්ශස්, වාතරක්ත, අර්බුද, හෘද රෝග, අක්මා රෝග, පෙනහැල්ලේ ආසාදන, අතීසාර, ප්‍ර‍වාහිකා, වණ, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය‍, පොළොන් විෂ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා බිං නුග ශාකයේ කොළ, පොතු සහ මුල් භාවිතා කරයි. බිංනුග වමනකාරක, මුත්‍ර‍වර්ධක, දහදිය ඇති කරවන, පණුවන් නසන, සෙම ඉවත් කරන ආදී ගුණ සහිතයි. 

අතීසාර, කැස්ස, ඇදුම, හා ක්ෂය රෝගය ආදියට ප්‍ර‍තිකාර කිරීමේදී භාවිතා කරන කෂාය සඳහා වෙනත් ඖෂධ සමඟ යොදා ගනී. වමනය කරවීමට හෙවත් ළය විරේකයට බිංනුග මුල් චූර්ණය හෝ පත්‍ර‍ යුෂ එළකිරි සමඟ බොන්නට දෙයි. හිසේ වේදනාවට බිංනුග මුල් ඇල් දියෙන් අඹරා නලලේ ආලේප කරයි. පත්‍ර‍ සහ කඳේ නිර්යාස උසස් පිළිකා නාශක ගුණ පෙන්වන බව සඳහන්. 

මෙම වැල් සිංහල අවුරුදු චාරිත්‍ර‍වල හිස තෙල් ගෑමේදී  භාවිතා කරයි.  ගැමියන් යන්ත්‍ර‍ මන්ත්‍ර‍, යාග හෝම, තොවිල් කටයුතු ආදියේ දී භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය 
සේයාරූ _ අන්තර්ජාලයෙන්
Share:

Monday, September 3, 2018

ගොඩපර [Godapara] (Dillenia retusa)



ගොඩපර මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය සදාහරිත ශාකයකි. මඳ බූවක් සහිත සරල පත්‍ර‍ ඒකාන්තරව පිහිටයි. දිගින් සෙ.මි. 8-21 සහ පළලින් සෙ.මි. 5-12 දක්වා වැඩෙන පත්‍ර‍ ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍ දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. පත්‍ර‍ තලය දිළිසෙන සුලු ය. අග්‍ර‍්ථීයව හට ගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති අලංකාරවත් මල් හට ගනී. ව්‍යාජ ඵලය රතු තැඹිලි පැහැති ය. ව්‍යාජ ඵලය මධ්‍යයේ පිහිටි නානුමය පල්පය තුල අණ්ඩාභ හැඩැති කුඩා බීජ රාශියක් පිහිටයි. ගොඩපර Dilleniaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. පර විශේෂවල ඵලය ගැන සහ මෙරටට වැවෙන පර වර්ග ගැන කෙටි හැඳින්වීමක්  හොඬපර ගැන පලවූ ලිපියට අතුලත් කර ඇත. 

ආයුර්වේදයට අනුව පක්ව ගොඩපර හා අපක්ව ගොඩපර යනුවෙන් වර්ග දෙකක් ගැන සඳහන් වේ. පිපාසය, දැවිල්ල, ඇදුම, උණ, අතීසාර, මුඛ රෝග, හිස කෙස් ගැලවී යාම, හිස් හොරි, කැඩුම් බිඳුම් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ගොඩපර ශාකයේ කොළ, පොතු හා ගෙඩි භාවිතා කරයි. ගොඩපර වාතය සමනය කරන්න, සෙම සහ පිත වර්ධනය කරන, හෘදයට හිතකර, කෘමිනාශක ආදී ගුණ සහිතයි. 

අතීසාරයට ගොඩපර කොළ සහ පොතු කෂාය බොන්නට දෙයි. විදුරුමසින් ලේ යාමේදී පොතු කෂායෙන් කට සේදිය යුතුය. ඇදුමට ගොඩපර කොළ යුෂ මී පැණි සමඟ දෙයි. උණට, විශේෂයෙන් පිත් කෝපයෙන් හට ගත් උණට සහ ඇදුමට ගොඩපර ගෙඩි යුෂ බීමට දෙයි.  අස්ධි සන්ධි පැනීමේදී හා අස්ථි බිඳීමේදී ඇති වන අධික වේදනාව සමනය කිරීම සඳහා ගොඩපර ගෙඩි යුෂ ආලේප කරයි. හිසකෙස් ගැලවී යාම, හිස්හොරි සහ උකුණන් ආදියට ගොඩපරගෙඩි යුෂ හිස ගල්වා සොදා හැරිය යුතුය. ගොඩපර ගෙඩි, දෙහි, උළුහාල් සමඟ තම්බා හිස සේදීමෙන් උකුණන් බෝවීම මර්ධනය වේ. ගොඩපර ගෙඩි කීපයක් ගෙන හොඳින් කොටා සබන් මෙන් පෙණ නගින අයුරින් වතුර සමඟ කලවම් කර හිස කෙස්වල අතුල්ලා සේදීම කෙස් පිරිසිදු කර ගැනීමට භාවිතා කළ පැරණි ක්‍ර‍මයකි.

ගොඩපර ලීය නිවාස සෑදීම ආදියේදී දැව අවශ්‍යතා සඳහා යොදා ගනී. ළපටි ගොඩපර මල් ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, August 26, 2018

සන්නිනායම් [Sanninayam] (Vernonia anthelmintica)

සන්නිනායම් සෘජු කඳක් සහිතව මීටර් 0.5-1.5 පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. දාර සහිත කඳේ බූවක් පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සාකාර-ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7-13 සහ පළලින් සෙ.මි. 2-5 පමණ වේ. පත්‍ර‍ දාරය තියුණු දැති අකාර වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිව්‍ර‍හෝ අතිතීව්‍ර‍ වේ. පුෂ්ප මංජරිය සමතලීය ශීර්ෂකයකි. මල් නිල් දම් පැහැති ය. ඵලය චර්මලයකි. දිගැටි කුඩා බීජ කළු දුඹුරු පැහැති ය. සන්නිනායම් Asteraceae උද්භිද කුලයට අයත් අප රටට හඳුන්වාදී වගාකර ඇති ඖෂධීය වටිනාකම් රැසක් සහිත පැළෑටියකි.

සන්නිනායම් හැඳින්වීමට යොදන සෝමරාජි නම් පර්යාය නාමය බාකුචි (Cullen corylifolium) සඳහා ද යොදා ගන්නා බවත්, මෙම වර්ග දෙකේ ගුණවල සමානත්වයක් ඇතත් නිවැරදි ලෙස සෝමරාජි පර්යාය යෙදිය හැක්කේ සන්නිනායම් සඳහා බවත් විශේෂයෙන් සඳහන් කර ඇත.

පණු රෝග, කුසගිනි මදිකම, කුෂ්ඨ කණ්ඩු පාමා දද ඇතුළු චර්ම රෝග, රුධිර දෝෂ, මුත්‍ර‍ පිටනොවීම, කාන්තා රෝග, උණ, හික්කා, කැස්ස, ඇදුම, අක්ෂි රෝග, ගුල්ම රෝග, ඉදිමුම්, වාත රෝග, වණ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සන්නිනායම් ශාකයේ ඇට, කොළ සහ මුල් භාවිතා කරයි. සන්නිනායම් පණුවන් නසන, චර්ම රෝග සුව කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍ර‍කාරක, විෂ නසන, විරේචක ආදී ගුණයන් රැසක් සහිතයි. සෝමරාජ තෛලය, සෝමරාජ සෘතය, මකුළු ඇට ආදි ලේපය සන්නිනායම් යොදා නිපදවන ඖෂධයන් ය.

ඉදිමුම්, කැසීම්, ලප කැලැල් ආදියට සන්නිනායම් ඇට අඹරා ගෑම හෝ ඇට දෙහි ඇඹුලින් අඹරා පැලැස්තර එළීම සිදු කරයි. බඩ පිපීම, උණ, කැස්ස, හික්කා, ඇදුම, අක්මා රෝග, ශරීර දුර්වලතාවය ආදියට සන්නිනායම් ඇට තලා ලබා ගන්නා යුෂ බීමට දෙයි. නිතර නාසයෙන් දියර ගැලීමට මෙම කොළ ඉස්ම බීමට දෙයි. සුදු කබර රෝගයට හිරියල් ග්‍රෑම් 4 ක් සහ සන්නිනායම් ඇට එමෙන් හතර ගුණයක් (ග්‍රෑම් 16) ගෙන ගව මුත්‍ර‍වලින් අඹරා ආලේප කළ යුතුය. සන්ධි ඉදිමීමට සන්නිනායම් මුල් සහ කොළ අඹරා ආලේප කරයි. කුසගිනි මදිකමට, මුත්‍ර‍ පිටනොවීමට සහ ශරීර ශක්තිය වර්ධනයට සන්නිනායම් ඇට චූර්ණය ග්‍රෑම් 10-30 ප්‍ර‍මාණයක් ජලය සමඟ පානය කළ යුතුය. මුත්‍ර‍ දැවිල්ල, උදර වේදනාව, උණ සහ මව්කිරි සම්බන්ධ ගැටළු සඳහා  සන්නිනායම් ඇට චූර්ණය යොදා ප්‍ර‍තිකාර කරයි. පක්ෂඝාත, ඉදිමුම් සහිත වණ ආදියට ඇට චූර්ණය අඹරා පැලැස්තර දමයි. කුෂ්ඨ සහ කිටභ රෝගයට ඇට චූර්ණය, කළු තල චූර්ණය සමඟ ග්‍රෑම් 3-4 ක් මඳ උණුසුම් ජලයෙන් අඹරා ආලේප යුතුය. 

සන්නිනායම් පණු රෝග බොහොමයක් සඳහා භාවිතා කරන ඵලදායී ඔසුවකි. වටපණු රෝගයට සන්නිනායම් ඇට චූර්ණය ග්‍රෑම් 40-60 ක්, මී පැණි ග්‍රෑම් 80-120 ක් සමඟ අනා කෑමට දෙයි. කොකුපණුවන්ට ඇට චූර්ණය ග්‍රෑම් 80 පමණ එඬරු තෙල් ස්වල්පයක් සමඟ දෙයි. සූත්‍ර‍ ක්‍රිමි හෙවත් කිරිපණු රෝගය සඳහා සන්නිනායම් ඇටවලින් ලබාගන්නා තෙල් (රෙසිනය) ග්‍රෑම් 5-10 දෙයි. රවුම් පණු රෝගයට සන්නිනායම් ඇට චූර්ණය සහ ඇත්තෝර ඇට චූර්ණය සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කළ යුතුය. 

සන්නිනායම් ඇට සත්ව වෙදකම සඳහා සුලබව යොදා ගන්නා ඔසුවක් බවත්, සතුන්ගේ උදර වේදනා, අජීර්ණ රෝග, බඩ පිපුම, උදර ඉදිමුම් ආදියට ඉතාම ගුණදායක බවත් සඳහන්. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, August 19, 2018

සේරු [Seru] (Premna tomentosa)

රේරු සහ බූ සේරු යනුවෙන්ද හඳුන්වන සේරු පඳුරක සිට මීටර් 4-16 දක්වා උසට වැඩෙන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳෙහි විශ්කම්භය සෙ.මි. 25-40 දක්වා විය හැකිය. පොත්ත අළු හෝ කහ පාටට හුරු තද දුඹුරු පැහැති ය. ළපටි අතුවල දුඹුරු පැහැති ඝණ බූවක් දක්නට ලැබේ. පතනශීලි සරල පත්‍ර ද්වීකාන්තරික සම්මුඛව පිහිටයි. පත්‍ර නටුව කහ පාටට හුරු ඝණ බූවකින් වැසී පවතී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-35 දක්වාත් පළලින් සෙ.මි. 2.6-22 දක්වාත් වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර සිට අණ්ඩාකාර-අායත විය හැකිය. පත්‍ර තලය දෙපසම කහ පාටට හුරු බූවක් දක්නට ලැබේ. අග්‍ර‍ස්ථීයව හට ගන්නා පුෂ්පමංජරිවල කුඩා සුදු පැහැති මල් රාශියක් හට ගනී. ඵලය ඉදුණු පසු කළු දම් පැහැයක් ගන්නා බදරියකි. සේරු Verbenaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

කැඩුම් බිඳුම්, සර්ප විෂ, තුවාල, අක්ෂි රෝග, දියවැඩියාව, බාහිර ලේ වහනය ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සේරු ශාකයේ කොළ, මුල් පොතු ආදිය භාවිතා කරයි. මහ තුවාල තෙල, හෙනරාජ තෛලය සේරු යොදා නිපදවන ඖෂධයන් ය. 

සේරු කොළ අඹරා බැඳීමෙන් තුවාවලින් ලේ වහනය වීම නවතී. කැපුනු වණ සඳහා සේරු දළු, කුඩුමිරිස්ස කොළ සහ පොතු, වැල් කැප්පෙටියා කොළ සහ පොතු, පරණ ගොරකා, යකිනාරං කොළ යන මේවා පුළුස්සා අළු ගෙන කැපුනු වණයට ලෑම හෝ මෙම ඖෂධ වර්ග කොටා මලවා තුවාලයට තබා බැඳීම ප්‍ර‍ත්‍යක්ෂ ප්‍ර‍තිකාරයන් බව දක්වා ඇත. සේරු කොළ වියළා තේ මෙන් පානය කිරීම දියවැඩියාවට ගුණ බව සඳහන්. කැඩුම් බිඳුම් වෙදකමේදී කැඩුනු අස්ථි සවිවීමටත්, ඉදිමුම් බැසීමටත් සේරු දළු, කහ, ලුණු දමා කොටා මලවා බඳියි. ඕනෑම විෂකට සේරු, එරබදු, දියකිරිල්ල යන මේවායෙහි කොළ දෙහි ඇඹුලෙන් හෝ ලුණු දියෙන් අඹරා ආලේප කළ යුතුය. සේරු ලී කැඩුම් බිඳුම් වෙදකමේදී අස්ථි සකසා තබා බඳින පතුරු සෑදීමටත්, ඇතැම් කෂාය වර්ග සෑදීමේදී කෂාය කොටුව ලෙසත් භාවිතා කරයි. 

විදේශීයව දරු ප්‍ර‍සූතියෙන් පසු මවගේ සුවතාවය සඳහා සේරු මුල් සහ කොළ යෙදූ කෂාය භාවිතා කරන බවත්, කොළ තුවාල සඳහාත් පොතු පාචනය රෝගයටත් ප්‍ර‍තිකාර කිරීමට යොදා ගන්නා බවත්, වියළි සේරු ශාක කොටස් දළඹුවන් ගෑවීම නිසා ඇතිවන ආසාත්මිකතාවයන් සමනය කිරීමට යොදා ගන්නා බවත් සඳහන්. ගැමියන් කෙසෙල් කැන් ඉදවා ගැනීම සඳහාත්, හොද කොළ පොහොරක් ලෙසත් සේරු කොළ භාවිතා කරයි. සේරු ලී දැව සඳහා අවශ්‍යතා සඳහා යොදා ගත හැකි ය. 

මූලාශ්‍ර‍_ තල්පතෙ පිලියම්, ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන්
Share:

Monday, August 13, 2018

වැල්මදට [Welmadata] (Rubia cordifolia)

වැල්මදට සිහින් චතුරශ්‍රාකාර කඳකින් යුත් දිගු මූල පද්ධතියක් සහිත බහු වාර්ෂික වැල් ශාකයකි. මධ්‍යය රතු පැහැති, විගසින් කැඩී යන දුර්වල කඳ මීටර් 6 ක් පමණ දිගට වර්ධන වේ. කඳෙහි පැහැදිළි ගැට දැකගත හැකිය. ගැට අසලින් පත්‍ර සහ පර්ශු හට ගනී. පර්ශු මත කුඩා කටු වැනි ව්‍යුහ දැකගත හැකිය. අණ්ඩාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර හැඩයෙන් යුත් සරල පත්‍ර වලයාකාර ගොනු වශයෙන් පිහිටා තිබේ. බොහෝ විට එක් ගොනුවක පත්‍ර 4 ක් පිහිටන අතර ඇතැම් විට 6 හෝ 8 පමණ පිහිටන අවස්ථාද හමු වෙයි. පත්‍රයක් දිගින් සෙ.මි. 2-5 හෝ ඇතැම් විට 9 දක්වා වර්ධනය වන අතර පළල සෙ.මි. 1-1.25 හෝ ඇතැම් විට 4 දක්වා වර්ධනය විය හැකිය. පත්‍ර තලය මතුපිට සිනිඳු දැඩි බූවක් පිහිටයි. කෙටි ද්වීශාඛී බහු අක්ෂමය පුෂ්ප මංජරී අග්‍රස්ථීයව සහ කක්ෂීයව හට ගනී. පෙති 5 ක් සහිත කුඩා මල් කොළ පාටට හුරු කහපාට ය. කොළ පැහැති, මාංසල ඵලය මේරීමේදී දම් පැහැයටත්, හොඳින් ඉදුණු පසු කළු පැහැයට හුරු දම් පැහැයටත් හැරේ. සංස්කෘතෙන් මංජෂ්ටා යනුවෙන් ද හඳුන්වන වැල්මදට Rubiaceae උද්භිද කුලයට අයත් දුර්ලභ දේශීය ශාක විශේෂයකි. 

චර්ම රෝග, කුසගිනි මදිකම, ආහාර දිරවීමේ දෝෂ, අතීසාර, පණු රෝග, ප්‍රමේහ, රුධිරය දූෂණය වීම, රක්ත පිත්ත, වණ, පිලිකා, පිලිස්සුම් වණ, අංශභාග, පාණ්ඩුව, අභිඝාත ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැල්මදට ශාකයේ විශේෂයෙන් මුලුත්, මුල් සහිත සම්පූර්ණ වැලත් භාවිතයට ගනී. වැල් මදට කුෂ්ඨ නසන, දීපන, ස්තම්භන, පණුවන් නසන, මව්කිරි ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, ගර්භාෂය උත්තේජනය කරන, ආර්ථවය ඇති කරවන, ශරීර වර්ණය යහපත් කරවන, විෂ නසන, රසායන ආදී ගුණයන් සහිතයි. 

ලේ සමඟ මුත්‍ර පිටවීමට වැල්මදට සහ සුදුහඳුන් කෂාය බොන්නට දෙයි. පිළිස්සුම් තුවාල නිසා හටගත් වණවලට වැල්මදට, සුදුහඳුන්, මුරුවා මුල් යන මේවායෙන් පිසගත් ගිතෙල් ආලේප කළ යුතුය. සම මතුපිට ලප හා අසාමාන්‍ය වර්ණ ඇති වීමට වැල්මදට මුල් අඹරා සාදාගත් ප්‍රලේපය මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරයි. අස්ථි බිඳුම්වල දී ඇති වන වේදනාව සහ ඉදිමුම් සමනයට වැල්මදට සහ වැල්මී මුල් අඹරා කන්ජික සමඟ තලපයක් ලෙස ආලේප කළ යුතුය. වණ පිලිකා, පිළිස්සුම් ආදියට වැල්මදට, රත්හඳුන් සහ නියඳ මුල් සමව ගෙන ගිතෙල් සමඟ සාදා ගන්නා තලපය ආලේප කරයි. අභිඝාත සඳහා වැල්මදට මුල් විනාකිරෙන් අඹරා ආලේප කරයි. කුෂ්ඨවලට වැල්මදට මී පැණියෙන් අඹරා ආලේප කරයි. වැල් මදට චූර්ණය මී පැණියෙන් අනා ගෑමෙන් කුරුලෑ සමනය වේ. 

අප්‍රිකාවෙහි වැල්මදට කොළවල සහ මුලෙහි යුෂ පෙනහලු මතුපිට ඇති සියුම් චර්මාවරණයේ දැවිල්ල සහ පපුවේ වෙනත් දැවිලි ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. සියලූම ඖෂධීය තෙල් වර්ග භාවිතය සඳහා ප්‍රථමයෙන් පිළියෙල කිරීමේදී ඒවා වැල්මදට සමඟ තම්බා ගත යුතු බව සඳහන් කර ඇත. ගැමියන් වැල්මදට ගුප්ත බලපෑම්වලින් මිදීම සඳහා යොදා ගත හැකි බව විශ්වාස කරන අතර ඇස්වහ වැනි දෝෂවලින් මිදීමේ අරමුණෙන් කුඩා දරුවන්ගේ සහ සුරතල් සතුගේ ගෙලෙහි මෙම වැලක් බැඳ තබන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, August 5, 2018

මුරුවා [Muruwa] (Marsdenia tenacissima)

මුරුවාදූල් යනුවෙන්ද හඳුන්වන මුුරුවා මීටර් දෙකක් පමණ දිගට වැවෙන ඝන බූවක් සහිත ඉතා ශක්තිමත් බහු වාර්ෂික වැල් ශාකයකි. හෘදයාකාර හැඩැති තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර තලය දිගින් සෙ.මි. 7-18 සහ පළලින් සෙ.මි. 6-16 දක්වා වර්ධනය වේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨයේ සිනිඳු බූවක් ද, යටි පෘෂ්ඨයේ ඝන බූවක්ද පිහිටයි. බූව සහිත පත්‍ර නටුව සෙ.මි. 5-9 දක්වා දිගු වේ. කොළ පාටට හුරු කහ පාට ද්වීලිංගික මල් කක්ෂීයව හට ගනී. ඵලය සෙ.මි. 8 පමණ දිග දැඩි බූවක් සහිත සිලින්ඩරාකාර කරලකි. මුරුවා  Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන්, ගොනෝරියා අැතුළු චර්ම රෝග, මැලේරියාව, සෙංගමාලය, ආහාර අරුචිය, පණු රෝග, හෘද රෝග, දියවැඩියාව, සන්ධි ආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මුරුවා ශාකයේ කොළ, වැල සහ මුල් බාවිතා කරයි. මුරුවා කුෂ්ඨ සහ පණුවන් නසන, මව් කිරි ශෝධනය කරන, තුන් දොස් සමනය කරන ගුණ සහිතයි. 

හොරී ,දද,කුෂ්ඨ,කඩුවේගන් අාදී ශරීර ගත ලේ විශ වීමෙන් හා කෘමීන්ගෙන් බෝ වන රෝග වලට මේ දඩු තැම්බූ වතුරෙන් දිනපතා උදේ සවස තුවාල (බිබිලි) තුලට බෙහෙත් වතුර වදින සේ සේදිමෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකිය. මැලේරියා රෝගය සඳහා මුරුවා වැල් කලං 12 ගෙන පත අට එකට සිඳුවා උදෙ සවස දින කීපයක් පානය කිරීමෙන් එම රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකි බව සඳහන්. 

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ පලවූ සංවාදයක් ඇසුරින් (අදාල සංවාදය
ගෙඩි සහිත සේයාරුව_ වෛද්‍ය සංජීව රුපසිංහ මහතාගෙන්
Share:

Sunday, July 29, 2018

රුක්අත්න [Rukattana] (Alstonia scholaris)

රුක්අත්තන මීටර් 40 දක්වා උසට සෘජු කඳක් සහිතව වැඩෙන තරමක් විශාල වෘක්ෂයකි. අළු පැහැයට හුරු කඳෙහි මතුපිට පොත්ත සිනිඳු ය. ළපටි අතුවල වා සිදුරුවල සලකුණු දැක ගත හැකිය. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටයි. එක් ගොනුවක පත්‍ර 5-10 අතර සංඛාවක් දක්නට ලැබේ. පත්‍රයක දිග සෙ.මි. 5-28 සහ පළල 2.5-11 පමණ වේ. බහු අක්ෂ පුෂ්ප මංජරිය ඡත්‍රාකාර හැඩයක් ගනී. කුඩා මල් කහ පැහැයට හුරු සුදු පැහැතිය. ඵලය සෙ.මි. 30-45 පමණ දිග කරලකි. ගස් රුක්අත්තන යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය  Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. මෙම උද්භිද කුලයටම අයත් වැල් රුක්අත්තන නමින් ඔෟෂධ පිණිස ගන්නා වැල් වර්ගයක් ඇති අතර එම ශාකය පිළිබඳ වෙනම ලිපියක් මෙහි පලකර ඇත. 

වණ, කුෂ්ඨ රෝග, ඉක්කා, ප්‍රවාහිකා, කල්ගිය රක්ත අතීසාරය, මැලේරියාව, කැස්ස, ඇදුම, ස්තන්‍ය දෝෂ, දත්කැක්කුම, සර්ප විෂ, සන්ධි ඉදිමීම ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රුක්අත්තන ශාකයේ පොතු, කොළ, මල්, කිරි ආදිය භාවිතා කරයි. රුක්අත්තන දීපන, පාචන, කුෂ්ඨ නසන, පණු රෝග වලක්වන, වණ රෝපණය කරන, උණ නසන, රුධිරය සහ මව්කිරි  ශෝධනය කරන, සර්ප විෂ නසන ගුණ සහිතයි. තෛල, ක්වාත, ප්‍රලේප, වටී ආදී ලෙස රුක්අත්කන ශාක කොටස් යොදා නිපදවන ඖෂධ රැසක් ඇත.

කුෂ්ඨ රෝගයට රුක්අත්තන පොතු කෂාය බොන්නට දීම, රුක්අත්තන පොතු තැම්බූ වතුරින් ස්නානය කිරීම හා එයින් කුෂ්ඨ සේදීම ගුණය. දුෂ්ඨ වණයට රුක්අත්තන කිරි වියළා චූර්ණකොට වණවලට ඉසීයි. කැස්ස, ඇදුම සහ හිසේ රෝග සඳහා  රුක්අත්තන මල් ශිරෝ විරේචනයට යොදයි. හික්කා සහ ස්වාස රෝගයන්ට රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කරයි. මව්කිරි පිරිසිදු වීමට රුක්අත්තන පොතු චූර්ණය හා තිරිඟු පිටි සමව ගෙන උණුදියෙන් කළවම් කර ආලේප කරයි. සාන්ද්‍ර මේහයට රුක්අත්තන පොතු කෂාය යොදා ප්‍රතිකාර කරයි. 

උග්‍ර විෂ ඇති සර්පයින් දෂ්ඨ කළ පසු සිහි මූර්ජා වී දින ගණන් පසුවන බවත්, එවිට රෝගියා රුක්අත්තන ලී පෙට්ටියක දැමූ විට සිහිය එන බවටත් මතයක් පවතී. ඉතා සැහැල්ලු දැවයක් බවට ප්‍රකට රුක්අත්තන ලී පැන්සල්, ගල්ලෑලි, සංගීත භාන්ඩ, මීනී පෙට්ටි,  කරත්තවල වියගහ ආදිය නිපදවීමටත්, වෙස් මුහුණු කැපීමටත් යොදා ගනී. පැරණි ඉන්දීය ජන විශ්වාසයන්ට අනුව රුක්අත්තන ගස භූතාත්ම අරක්ගත් ස්ථානයක් ලෙස සලකයි. ඒ නිසා ඉන්දියාවේ ඇතැම් ජන කොටස් රුක්අත්තන  ගසක් අසලින් යෑමට පවා බියක් දක්වයි. රුක්අත්තන පරිසර දූෂණය අවම කිරීම සඳහා වැවීමට සුදුසු ගසක් ලෙස පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ _ අන්තර්ජාලයෙන්
Share:

Sunday, July 22, 2018

මලලබු [Malalabu] (Piper umbellatum)

මලලබු දියසීරාව සහිත පරිසර පද්ධති ආශ්‍රිතව මීටර් 1-2 පමණ උසට වැඩෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 3 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. කඳෙහි පැහැදිළිව පෙනෙන පර්ව දැකගත හැකි වන අතර පර්ව දෙකක් අතර දී කඳ තරමක් අක්වක් (zigzag) ආකාරයක් ගනී. හෘදයාකාර හැඩැති පත්‍රවල පත්‍ර තලය දිගින් සහ පළලින් සෙ.මි. 15 සිට 30 ක් දක්වා වැඩේ. පත්‍ර නටුව සෙ.මි. 14-32 පමණ විය හැකිය. ශුකියන් වන පුෂ්ප මංජරිය සෙ.මි. 5-10 පමණ දිගින් සහ සෙ.මි. 2.4-4  විශ්කම්භයකින් යුක්ත වේ. ඵලය ඉතා කුඩා මස්තකාකාර (top-shaped) බදරියකි. මලලබු Piperaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන් ඇතුළු චර්ම රෝග, කැඩුම් බිඳුම්, සන්ධි ගත රෝග, පිලිස්සුම්, සර්ප විෂ, වාත රෝග, ඉදිමුම්, බරවා රෝගය, ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග, මලබද්ධය ආදීයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මලලබු ශාකයේ කොළ භාවිතා කරයි. මල ලබු සන්ධි මෙලෙක් කරන, ඉදිමුම් නසන, විරෙචක, වමනකාරක ආදී ගුණ සහිතයි. 

කැඩුම් බිඳුම් වෙදකමේදී ඝන වූ සන්ධි මෙලෙක් කීරීමට මලලබු කොළ භාවිතා කරයි. මෙහිදී දියලබු මද හා මලලබු කොළ සමව ගෙන අමු කහ, ලුණු දමා කොටා අදාල ස්ථානයේ බැඳිය යුතුය. වාත රෝග සඳහා තෙල් සිඳීමට මල ලබු කොළ යොදා ගනී. දේශීය වෙදකමේ දී මලලබු කොළ පොල් සමඟ කොටා සිඳ ගනු ලබන මලලබු තෙල විරේක බෙහෙතක් ලෙස භාවිතා කරයි. මෙම තෙලින් පෙඟවූ පුළුන් කැබැල්ලක් නාභිය මත තැබූ පසු පහසුවෙන් බඩ විරේක වන බව සඳහන්. 

විදේශීයව අක්ෂි රෝග, පණු රෝග, උදරාබාධ, ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට, ගබ්සාවන් වැලැක්වීම ඇතුළු ගර්භාෂගත රෝග, සර්ප විෂ, පිලිස්සුම් නිසා හටගත් දියපට්ටා, ගුදමාර්ගය පහත්වීම, ගෙඩි, අධික රුධිර පීඩනය, කර්ණ රෝග, කැස්ස, දත් කැක්කුම, වකුගඩු රෝග, නීරක්තිය, ඉරුවාරදය, මුත්‍ර සහ වකුගඩු රෝග, සෙංගමාලය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මලලබු ශාක කොටස් යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. එමෙන්ම මෙම කොළ සහ පුෂ්ප මංජරිය ව්‍යංජනය ලෙස සකසා අහාරයට ගන්නා බවත්, ඉදුණු ගෙඩි රසවත් පළතුරක් බවත් ඒවායෙහි දක්වා ඇත.  

මූලාශ්‍ර_ "ඔසුපැළ හඳුනා ගනිමු" සමූහයේ පලවූ සංවාද ඇසුරෙන් (සංවාදය 1 සංවාදය 2) සහ අන්තර්ජාලයෙන්
විශේෂ ස්තුතිය_ සංවාදවලට අදහස් දැක්වූ විද්වතුන් ඇතුළු සැමට 
Share:

Sunday, July 15, 2018

රුක්අඟුණ [Rukaguna] (Alangium salviifolium)

අංකෝල යනුවෙන් ද හඳුන්වන රුක්අඟුණ පඳුරක්, කුඩා ශාකයක් හෝ මීටර් 20 දක්වා උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස වර්ධනය වේ. ඇතැම් විට රිකිලිවල අතු බවට විකරණය වන තියුණු නොවන කටු දැකගත හැකිය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය ආයත හෝ ආයත-ලංසාකාර වේ. පත්‍රයක දිග සෙ.මි. 6-15 දක්වා සහ පළල සෙ.මි. 2.2-4.8 දක්වා විය හැකිය. ඉහල පත්‍ර තලය සිනිඳු වන අතර පහල පෘෂ්ඨයේ සියුම් බූවක් පිහිටා තිබේ. විශාල ද්වීලිංගික මල් සුදු පැහැති ය. මල් 1-3 එකතුව පොකුරු ආකාරයෙන් කක්ෂීයව හට ගනී. ඵලය දම් පාටට හුරු රතුපාට, මාංසල හා තරමක් ගෝලාකාර අෂ්ටිලයකි. ඵලයේ මාංසල කොටස පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. රුක්අඟුණ  Cornaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

රුක්අඟුණ ශාකයේ උප විශේෂ 2 ක් ලංකාවෙන් හමුවන අතර දිවයිනේ වියළි සහ අතරමැදි කලාපවල හමුවන්නේ Alangium salviifolium ssp. salviifolium නම් උප විශේෂයයි. සුලබව දැක ගත හැක්කේ සහ බොහෝ විට ඖෂධ සඳහා භාවිතා කරනු ලබන්නේ එම වර්ගයයි. ඊට අමතරව  Alangium salviifolium ssp. hexapetalum නම් අනෙක් උප විශේෂය තෙත් කලාපයේ පමණක් හමුවෙයි. එය ඉහත විස්තරය තරමක් වෙනස්ව තියුණු නොවන කටු සහිත කාෂ්ඨීය වැලක් ආකරයට වැඩෙන අතර තරමක් විශාල, දිළිසෙන සුලු උඩු පෘෂ්ඨයකින් යුත් පත්‍ර දරයි. 

විෂ, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, තුවාල, ඉදිමුම්, ආමවාත, පූයමේහ, ක්ෂත, පණු රෝග, බලුවිෂ, මී විෂ, සර්ප විෂ, ගර විෂ, අධික රුධිර පීඩනය ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රුක් අඟුණ ශාකයේ මුල්, පොතු, මල්, ඇට ආදිය භාවිතා කරයි. රුක්අඟුණ වේදනා ස්ථාපන, විෂ නාශක, මුත්‍ර ප්‍රසාදන, ඉදිමම් නසන, වණ රෝපණය කරන, අක්මාව උත්තේජනය කරන, බලකාරක සහ රසායන ගුණ සහිතයි. 

බලුවිෂට රුක්අඟුණ පොතු ප්‍රලේපය හෝ තෛලය යොදා ප්‍රතිකාර කරයි. කුෂ්ඨ සහ තුවාලවලට තෙල් භාවිතා කරයි. ඉදිමුම් සඳහා පොතු ප්‍රලේපය හෝ කොළ පොතු මැල්ලුම  යොදයි. අධික රුධිර පීඩනයට පොතු කෂාය බොන්නට දෙයි. සන්ධි වාතයට පොතු කෂාය හෝ කොළ පොතු මැල්ලුම යොදා ප්‍රතිකාර කරයි. මී විෂට සහ සර්ප විෂට පොතු ප්‍රලේපය යෙදීමත්, ගර විෂට මුල් කෂාය සහ ගිතෙල් පෙවීමත් සිදු කරයි. රසායනයට සහ ස්‍රෝතස්ශෝධනයට රුක්අඟුණ තෙල් නස්න කරයි. සෙංගමාලයට  රුක්අඟුණ මුලේ පොතු චූර්ණය හාල්පානු වතුරින් අඹරා නස්‍ය කරයි. 

ගුප්ත කටයුතු සඳහා රුක්අඟුණ ගසේ ලීය සහ තෙල් බහුලව භාවිතා කරන බව පොතපතෙහි සඳහන් වේ. නිසි ලෙස සිඳගත් අංකෝල තෛලය හෙවත් රුක්අඟුණ ඇට තෛලය භාවිතා කර අදෘශ්‍යමානව යෑමට සහ සිටීමටත්, අහසින් යෑමටත්, නොයෙක් විශ්මිත දෑ කිරීමටත් හැකි බව ඒවායෙහි සඳහන් කර ඇත. මන්ත්‍ර යොදා නිසිලෙස බලගැන් වූ රුක්අඟුණ තෙල් යොදාගෙන දරුණු අලි අතුන් මෙල්ල කළ හැකි බවත්, යුද්ධයේදී සතුරන් මෙල්ල කිරීමට යොදා ගත හැකි බවත් ජනප්‍රවාදවල සඳහන් වේ.  රුක්අඟුණ ලීය සංගීත භාණ්ඩ සහ මෝල් ගස් සැදීමට යොදා ගනී. මෙම ගස් සහිත ඉඩම්වලට සර්පයින් නොපැමිණෙතැයි මතයක් පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය
Share:

Monday, July 9, 2018

ගම්මිරිස් [Gammiris] (Piper nigrum)

 ගම්මිරිස් පර්ව අසලින් ඇතිවන මුල් ආධාරයෙන් ශාකමත වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. කෙඳි සහිත කඳ අර්ධ කාෂ්ඨීමය ස්වභාවයක් ගනී. කඳ පර්ව අසලදී ඝන වී ශඛා ඇති කරයි. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි.8-18 සහ පළලින් සෙ.මි. 3.5-10 දක්වා වැඩේ. පත්‍ර හැඩය බොහෝ විට අණ්ඩාකාර වන අතර කලාතුරකින් ඉලිප්සාකාර විය හැකිය. පුෂ්ප මංජරිය සෙ.මි. 12 පමණ දිග පහලට එල්ලෙන ශුකියකි. මෙම පුෂ්ප මංජරිය වගා කිරීම සඳහා වැඩි දියණු කරන ලද ප්‍රභේදවල සෙ.මි. 20 ක් හෝ ඊට වැඩි විය හැකිය. මල් ඉතා කුඩාය. ඵලය මි.මි.4 වන ගෝලාකාර බදරියකි. අමු ඵල (ගම්මිරිස් ඇට) කොළ පැහැති වන අතර ඉදෙන විට තැඹිලි පැහැයටත්, පසුව රතු පැහැයටත් හැරේ. ඉන්දියාවට දේශීය වන ගම්මිරිස් බොහෝ කලකට පෙර අප රටට හඳුන්වාදී වගාකර ඇත. ලංකාවේ වනාන්තරවල ස්වභාවිකව හමුවන වල් ගම්මිරිස් (Piper sylvestre) නමින් හඳුන්වන දේශීය ගම්මිරිස් විශේෂයක් හමුවන අතර එහි ප්‍රකට ඖෂධීය භාවිතාවන් ගැන තොරතුරු හමු නොවෙයි. ගම්මිරිස් වර්ග Piperaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

සන්‍යාස, අපස්මාර, සුදුකබර, කිලාස, පාමා, ආම, ශුක්ල, දත් කැක්කුම, සෙම්ගෙඩි, ග්‍රන්ථිශෝථ, ස්නායු දුර්වලතා, කුසගිනි මදිකම, අජීර්ණ, අක්මා රෝග, අධ්මාන, කෘමි රෝග, ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම, පීනස, මුත්‍රඅඩස්සිය, පුරුෂයින්ගේ ලිංගික දුර්වලතාවයන්, රජෝරෝධ, කුෂ්ඨ, අපතානක, ප්‍රවාහිකා, රක්ත අර්ශස්, ප්‍රමේහ, බරවා, අංශභාග, සන්ධි ඉදිමුම්, උදර්ද, ගුල්ම, අරුචි ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ගම්මිරිස් ශාකයේ ඇට, මුල් සහ කොළ භාවිතා කරයි. ගම්මිරිස් උෂ්ණකාරක, ශ්ලේෂ්මලහර, ස්නායු සහ අක්මාව උත්තේජනය කරන, දීපන, පාචන, දහදියගන්නවන, කුෂ්ඨ නසන, විෂනාශක, ගර්භ ස්‍රාවයන් ජනනය කරන ආදී ගුණයන් රැසක් සහිතයි. චූර්ණ, වටිකා, ක්වාථ, අරිෂ්ට ආදී ඖෂධ රැසක් නිපදවීමට ගමිමිරිස් යොදා ගනී. 

භාවිතයේදී කළු ගම්මිරිස් සහ සුදු (එළ) ගම්මිරිස් යනුවෙන් වර්ග දෙකක් හමුවෙයි. වැල්වලින් නෙලා ගන්නා ගමිමිරිස් පිට පොත්ත සමඟ වියළා ගැනීමෙන් කළු ගම්මිරිස් සාදා ගනී. නෙලා ගන්නා පැසුණු හෝ ඉදුණු ගම්මිරිස් පිට පොත්ත ඉවත්කර වියළා ගැනීමෙන් සුදු ගම්මිරිස් සාදා ගත හැකිය. එහිදී ඉදුණු ගමිමිරිස් ජලයෙන් සොදා පොත්ත ඉවත්කර ගැනීමෙනුත්, පැසුණු අමු ගමිමිරිස් ජලයේ ගිල්වා පොත්ත මෙලෙක් වන්නට තබා හෝ යන්ත්‍රාණුසාරයෙන් ඉවත්කර ගැනීමෙනුත් සුදු ගම්මිරිස් සාදා ගත හැකිය. 

කැස්සට ගම්මිරිස් චූර්ණය ගිතෙල්, සීනි, මී පැණි සමඟ දෙයි. අපතානකයට ඇඹුල් දීකිරිවලට ගම්මිරිස්, වදකහ චූර්ණය ස්වල්පයක් දමා කෑමට ගත යුතුය. ප්‍රවාහිකාවට ගම්මිරිස් චූර්ණ උණුවතුරට දමා සාදාගත් පානය ටික ටික පෙවිය යුතුය. රසධාතු වර්ධනයට ගම්මිරිස් චූර්ණය දමා කකාළ එළකිරි රාත්‍රියට පානය කළ යුතුය. ගම්මිරිස් චූර්ණය කස්තුරි සමඟ බීමෙන් නින්ද ඇති වේ. ප්‍රතිශ්‍යාවට හටගත් අවස්ථාවේම ගම්මිරිස් චූර්ණය, උක් හකුරු, දීකිරි සමඟ කෑමෙන් සුවය ලැබෙයි. කුෂ්ඨවලට මනොසීල, හිරියල් සහ  ගම්මිරිස් යොදා පිළියෙල කළ තෛලය ආලේප කරයි. සෙම්ගෙඩිවලට ගම්මිරිස්, ඉඟුරු, සුදුලූණු තලා සාදාගත් කුඩා පොට්ටනියෙන් උගුර තැවිය යුතුය. හිසේ ඇතිවන පණු දද කැවිලිවලට  ගම්මිරිස් රතුලූණු සමඟ අඹරා ආලේප කරයි. කුසගිනි මදිකමට  ගම්මිරිස් රතුපැහැ වනතුරු බැද, චූර්ණකොට වරකට මදටිය ඇට ප්‍රමණයේ 5-6 දක්වා ගත යුතුය. ආහාර දිරවීමට ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි, කළුදුරු සමව ගෙන සහිඳලුණු සමඟ කොටා තේ හැඳි 1/2-1 දක්වා ප්‍රමාණයක් කෑමට පසු උණුවතුරින් ගත යුතුය. සෙංගමාලයට  ගම්මිරිස් සහ පැණිතෝර කොළ කොටා හොඳින් වතුර සමඟ මිශ්‍රකර දවසට දෙවරක් බීමට ගත යුතුය. උගුර බැරැන්ඩියට සහ දත් කැක්කුමට ගම්මිරිස් චූර්ණය ජලය සමඟ 1:8 අනුපාතයට දියකර කට සේදීය යුතුය. මුත්‍ර පිටනොවීමට හා මුත්‍රගල් සඳහා ගම්මිරිස් ඇට චූර්ණය හා පුස්කර කබලේ බැද තුඹිලිවතුරට මිශ්‍රකර පානය කළ යුතුය. හිසරදයට ගම්මිරිස් චූර්ණය රෝස වතුරෙන් අඹරා නලලේ ආලේප කරයි. ගම්මිරිස් බුලත් සමඟ සැපීමෙන් මුඛ දුර්ගන්ධය, මුඛයේ වණ, උගුරේ වණ, විදුරුමස් වේදනාව, උගුර බැරැන්ඩිය ආදිය සුව වෙයි. සුදු හෙවත් එළ ගම්මිරිස් යොදා Hubbai Sahfa නමින් බරවා රෝගයට ප්‍රතිඵලදායී ඔසුවක් නිපදවයි. මෙහිදී එළ ගම්මිරිස්, එළකිරිවල දින 3ක් පොඟවා (දිනපතා අලුත් එළකිරි මාරු කරමින්) පසුව ඉඟුරු ඉස්මෙන් අඹරා සාදාගත් ගුලි එක බැගින් දිනකට තුන් වරක් දෙනු ලැබේ. 

ගම්මිරිස් වටිනා ඖෂයක් මෙන්ම ලොව පුරා ආහාර පිසීමේදී ඒවාට සැර, සුවඳ සහ රස එකතු කිරීමට යොදන ප්‍රමුඛ පෙලේ පිසුම්කාරක ද්‍රව්‍යයක් ලෙස ඉතා ප්‍රකට ය. එමෙන්ම ගම්මිරිස් අපේ රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන සුළු අපනයන භොගයක්ද වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support