දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, December 28, 2015

ඒකාවේරිය / සර්පගන්ධ [Ekaweriya] (Rauvolfia serpentina)

දේශීය ශාකයක් වන ඒකාවේරිය ඖෂධයක් වශයෙන් පමණක් නොව දේශීයව රත්‍රං නිස්සාරණය සඳහා යොදාගත් රසායන ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කර ඇති බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" දැක්වේ. ඒකාවේරිය ශාකය මීටයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ලන්සාකාර පත්‍රයක් සෙ.මි. 7-13 පමණ වැඩෙන අතර ළා කොළ පැහැයෙන් යුක්තය. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය ඉදුණු විට දම් පැහැයක් ගනී. ඒකාවේරිය Apocynaceae කුලයට අයත් ශාකයකි.

මෑතක සිට Rauvolfia tetraphylla යන උද්භිද නාමයෙන් හඳුන්වන නිවර්තන ඇමරිකාව ජන්ම භූමිය කරගත් විදේශීය ශාකයක් වල් ඒකාවේරිය නමින් හඳුන්වමින්, ඒකාවේරිය වෙනුවට ඖෂධ සඳහා යොදා ගන්නා මුත් එය කිසිසේත්ම සුදුසු භාවිතයක් නොවේ. එවැනි නුසුදුසු ආදේශක ශාක භාවිතා කිරීම දේශීය වෛද්‍ය ක්‍රමවල ගුණාත්මක භාවයට හානිකර බව අවධාරණය කළ යුතුය. 

බටහිර ජාතීන් ඒකාවේරිය ශාකය අධි රුධිර පීඩනය සඳහා ප්‍රශස්ථ ඖෂධයක් බවට හඳුනා ගන්නේ 17 වැනි සියවසේදී පමණ වුවද අනාදිමත් කාලයක සිට පෙරදිග ජනයා මෙය ඖෂධ හඳහා භාවිතා කර ඇත. ළදරු අතීසාරය, කොළරාව, කුසගිනි මදිකම, ආර්තව වේදනා, ප්‍රසව ‍වේදනා, අධි රුධිර පීඩනය, සර්ප විෂ, මී විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ, උණ, චර්ම රෝග, මානසික රෝග, මැලේරියාව ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඒකාවේරිය ශාකයේ මුල් සහ කොළ යෙදූ ඖෂධ භාවිතා කරයි. මකුළු, සර්ප, ගෝනුසු, මීයන්ගේ විෂ ආදියට ඒකාවේරිය මුල් දෙහි ඇඹුලින් හෝ ඇල් දියෙන් උරච්චි කර ගෑම, සෙම්ගෙඩිවලට ඒකාවේරිය මුල්, එළබටු ගෙඩි දොඩම් ඇඹුලින් අඹරා ගෑම පහසුවෙන් කළ හැකි ප්‍රතිකාරයන් ය. ඒකාවේරිය පණුවන් නසයි. උණ නසයි. ගර්භාෂය උත්තේජනය කරයි. වේදනාව සමනය කරයි. නිද්‍රාජනකයි. රුධිරවාහිනී ප්‍රසාරණය කරයි. කුසගිනි වඩවයි. මේ ආදී ගුණ රාශියකින් සමන්විත වන ඒකාවේරිය ශාකය යොදාගෙන නිපදවන සර්පගන්ධා නාමය සහිත ඖෂධ වර්ග රාශියකි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරුව_ වනස්පති ෆේස්බුක් සමූහයෙන්
Share:

Tuesday, December 22, 2015

මහ උඳුපියලි [Maha Udupiyali] (Desmodium heterophyllum)

මෙය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික ශාකයකි. ශාකය පුරාම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර ත්‍රිපත්‍රි ය. පත්‍ර හට ගන්නා ස්ථාන හෙවත් ගැටවලින් පොළවට මුල් ඇදේ. මල දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. තරමක් විශාල පත්‍ර සහ අලංකාර පුෂ්ප මංජරියක් සහිත ඇත් උඳුපියලි (Desmodium heterocarpon) නමින් තවත් ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. මෙයට අමතරව හැමෝම දන්නා හීං උඳුපියලි ශාකය ගැන වෙනම ලිපියක් මෙහි පලකර ඇත. උඳුපියලි විශේෂ Fabaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.

අතීසාරය, උදරාබාධ, වණ, තුවාල ආදි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ කොළ සහ මුල් යොදා ගන්නා බව සඳහන් වේ. හීං උඳුපියලිය අභාවයේදී මෙම ශාකය භාවිතා කළ හැකි බවත්, ප්‍රතිකාර සඳහා භාවිතා කිරීමේදී මෙම ශාකය ද හීං උඳුපියලියවලට සමාන ගුණයෙන් යුක්ත බව හැඟී යන බවත් "ඔසුතුරු විසිතුරු" කෘතීන්හි දක්වා ඇත.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Thursday, December 17, 2015

බිංපොල් [Bimpol] (Trichopus zeylanicus)


බිංපොල් භූගත කඳක් සහිත කුඩා පැළෑටියකි. කඳ ළංව ඇහිරුණු පතනශීලී පත්‍රවලින් වැසී ඇත. පත්‍රවල හැඬය රේඛීය, ලන්සාකාර සිට ඩෙල්ටාකාර දක්වා පුළුල් පරාසයක දැකගත හැකිය. මල තදදම් පැහැතිය. දුඹුරු පැහැති මාංසල ඵලය ඉලිප්සීය, ත්‍රි කෝණික ආදී විවිධ හැඬයන්ගෙන් හමු වේ. මෙම ඵලය ආහාරයට ගත හැකි අතර එය කිරි රසින් යුක්තය බිංපොල් Trichopodaceae කුලයට  අයත් ශාකයකි.

දේශීයව සර්ප විෂට සහ කැඩුම් බිඳුම් වෙදකමේදී මෙම සම්පූර්ණ ශාකයම යොදා ගනී. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී අමුවෙන් යෙදීම සුදුසු බව සඳහන් වේ. සර්ප විෂට බිංපොල්, කහ, ලුණු දමා කොට බැඳීම සහ අස්ථි භග්නයකදී පොල් මැල්ලුමක් වශයෙන් යෙදීම සරල ප්‍රතිකාරයන් ය.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගොත්‍රික ජන කෙටසක් ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහාත්, කය වෙහෙසීමට ඇති හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහාත් බොහෝ කලක සිට බිංපොල් ශාකය භාවිතාකර ඇත. පසුව සොයා බැලීමේදී මෙම ශාකයේ මුල්වල ඇති රසායනික සංඝටකයක ක්‍රියාකාරීත්වය ඒ සඳහා හේතුවන බව තහවුරු කර ගන්නා ලද අතර එය එරටට මුදල් උපයන මාර්ගයක් බවටද පත්වී ඇත. එමෙන්ම ඉන්දියොවේදී අක්මා රෝග, තුවාල, උදරාබාධ, ලිංගික ක්‍රියාකාරිත්වය වර්ධනයට, සිරුරේ බර අඩු කිරීමට, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම ආදිය සඳහා ද බිංපොල් ශාකය භාවිතා කරයි. බිංපොල් විශබීජ නාශක ගුණ ද සහිතයි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු , ඖෂධීය ශාක සංග්‍රහය කෘති සහ අන්තර්ජාලයෙන්

සේයාරූ_ අන්තර්ජාලයෙන් 

Share:

Monday, December 7, 2015

යකිනාරං [Yakinaran] (Atalantia ceylanica)

යකිනාරං බොහෝ සෙයින් අතු බෙදෙමින් මීටර් 2 දක්වා උසට වර්ධනය වන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන් දැක ගත හැකිය. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය මංසල බදරියකි. ඵලය තුල බීජ රැසක් පිහිටා ඇත. ඵලාවරණය පැඟිරි සහිත ග්‍රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි.

ප්‍රතිශ්‍යා, ඇදුම, අජීර්ණය, ආමාතිසාර, උණ, ආහාර අරුචිය, පක්ෂඝාත, සන්ධි ඉදිමුම්, චර්ම රෝග, සන්නි රෝග, සර්ප විෂ, අර්දිත (මුහුණේ කොටසක් අකර්මන්‍ය වීම වැනි) රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී යකිනාරං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි ආදිය භාවිතා කරයි. යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රතිශ්‍යාවට සහනය ගෙනෙයි. මෙම කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්‍රතිශ්‍යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. අර්දිත රෝගයට ප්‍රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි. යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්‍රතිකාරයකි. මෙලෙස ප්‍රතිකාර සඳහා යකිනාරං ඒකියව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි.

යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය. මෙම ගෙඩි යාග හෝමවලදී පැඟිරි පස්පංගුව සඳහා ගනී. ගම්බදව බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සඳහා ද යොදා ගනී. යකිනාරං ගෙඩි විනාකිරි යොදා සකස්කරන ලද රසකාරක ව්‍යංජන රසවත් කිරීමට භාවිතා කරයි. එය උණ නිසා ඇතිවන අරුචියට යෙදීමද යොග්‍ය වේ.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 




Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support