දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, May 28, 2017

තොටිල [Totila] (Oroxylum indicum)

ඇතැම් ප්‍රදේශවල තොටිල්ල යනුවෙන්ද හඳුන්වන තොටිල මීටර් 8 පමණ උසට වැඩෙන දේශීය ශාකයකි. අළු පැහැති ගණ පොත්තන් දරයි. පොත්ත ඇතුලත කහ පැහැතිය. මීටරයක් පමණ දිග විශාල සංයුක්ත පත්‍ර ත්‍රිපක්ෂවත් ය. පත්‍රිකා ඩෙල්ටාකාර හෝ අණ්ඩාකාර ය. ශාඛාවන්ගේ කෙලවරින් ඉහලට තරමක් විශාල පුෂ්ප මජරියක් හට ගනී. ගණකම් මණිපත්‍ර සහිත මල්වල පිටත කළු පැහැයට හුරු දම් පැහැති වන අතර ඇතුලත කහ පැහැති ය. ඵලය දිග සෙ.මි. 75 සහ පළල සෙ.මි. 9 දක්වා දිගු විය හැකි විශාල කරලකි. පියාපත් සහිත බීජ සුලඟ මඟින් ව්‍යාප්ත වේ. තොටිල Bignoniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

තොටිල මුල් දශමූලයට අයත් මහා පස්මුලේ එක් මුල් වර්ගයකි. වාත රෝග, උණ, සෙම නිසා හටගත් පීනස, ඇදුම, කැස්ස, කුෂ්ඨ, සන්ධි වාත, මුඛ රෝග, අතීසාර, විසූචිකා, ස්නායු රෝග, විෂවායු නිසා හටගත් රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මුල්, මල්, පොතු, ඇට, කොළ, මල් පොහොට්ටු ආදී තොටිල ශාකයේ සෑම කොටසක්ම පාහේ යොදා ගනී. තොටිල ශක්තිජනක, කුසගිනි වඩවන, වේදනාවන් සමනය කරන, ඉදිමුම් නසන, කාමෝද්දීපක, කෘමිනාශක, මුත්‍රකාරක ආදී ගුණයන් සහිතයි. දශමූලාරිෂ්ටය තොටිල මුල් යොදා නිපදව ප්‍රකට ඖෂධයකි. ගර්භණී මව්වරුන්ට තොටිල යොදා නිපදවන කෂාය නොදෙන්නේ එය ගර්භයට අහිතකර විය හැකි බැවිනි.  

දරු ප්‍රසූතියෙන් පසු ගට ගන්නා උණට තොටිල මුලේ පොතු, අමු ඉඟුරු, සුදුලූණු, කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා බීමට දෙයි. විසූචිකාවට තොටිල මුලේ පොතු හා කලාඳුරු අල උණු අළු පල්ලේ දමා තම්බා මිරිකා මී පැණි දමා බීමට දෙයි. ආමවාතයට තොටිල ගසේ පොතු හෝ මුලේ පොතු වියළා කුඩුකර පත 8-4 ට සිඳවා පැය 12ක් වසා තම්බා මිරිකාගත් පාණ්ඨය (යුෂ) බීමට නියම කර ඇත. තොටිල පොතු තම්බාගත් වතුර නෑමද ආමවාතයට ගුණදායක ය. තොටිල මුලේ සුඹුලු කෂාය  වාත උපද්‍රව නිසා හටගත් වේදනාවන්ට සහනය ගෙනෙයි. අතීසාරයට තොටිල පොතු පුටපාක කර බීමට දීම හෝ තනිකර පොතු කෂාය යොදයි. කණේ වේදනාවට තොටිල පොතු යුෂ සහ රාබු අල යුෂ මඳක් රත්කර කණට වත් කරයි. තොටිල මුලේ පොතු සහ කොළ තැම්බූ වතුර නෑම සහ එයින් හුමාලය ඇල්ලීම ඉදිමුම් සහ වේදනාවන් සමනය කිරීමට උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

Sunday, May 21, 2017

වදකහ [Wadakaha] (Acorus calamus)

වදකහ වගුරු බිම් හෝ කුඹුරු වැනි තෙතමනය සහිත ස්ථානවල වැවෙන භූගත කඳක් සහිත කුඩා පැළෑටියකි. මෙම ශාකයෙන්, විශේෂයෙන්ම අලයෙන් සැර සුවඳක් වහනය වෙයි. රේඛීය සරල පත්‍රයක් සෙ.මි. 180 දක්වා දිගු විය හැකිය. පළල සෙ.මි.1.6-3.7 පමණ වේ. පත්‍ර මධ්‍ය ඝණ වී ඇති අතර පත්‍ර දාරය තරංගීමය ස්වරූපයක් ගනී. පුෂ්ප මංජරිය ඡදශුකියකි. ද්වීලිංගික පුෂ්ප කහ කොළ පැහැතිය. ඵලය බීජ 3 ක් හෝ ඊට මදක් වැඩි සංඛාවක් දරන බදරියකි. වදකහ Acoraceae උද්භිද කුලයට අයත් ශාකයකි. එම කුලයට අයත් මෙරටින් හමුවන එකම ශාකය ද වදකහ ය. 

මස්තිෂ්ක දුර්වලතා, අපස්මාරය, පණු රෝග, ගුල්ම, අධ්මාන, අන්ත්‍රගත වේදනා, අජීර්ණ, කල්ගතවූ ආමවාත, හික්කා, අරුචි, උගුර බැරැන්ඩිය, ගණ්ඩමාලා, ගලගණ්ඩ, කැස්ස, ඇදුම, ශ්වාසනාළිකා ප්‍රදාහය, පක්ෂඝාත, ජලෝදර, පාචන, කොළරා, සර්ප විෂ, ජාපාල විෂ, මුත්‍ර ගල් ඇතුළු මුත්‍ර රෝග, බෝවන රෝග, ස්ථානීය වේදනා වැනි රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් වදකහ අල ද අවශේෂව සම්පූර්ණ ශාකය ද භාවිතා කරයි. විශේෂයෙන් මස්තිෂ්කය උත්තේජනය කරන ගුණ සහිත වදකහ බුද්ධිය, මතකය හා මානසික හැකියාවන් වර්ධනය කරන අතර හිත සන්සුන් කරන හා මනස පැහැදිලි කරන ඔසුවක් ලෙසද ප්‍රකටය. එමෙන්ම වාජීකරණ, ඇසට හිතකර, විෂ නසන, හෘදය උත්තෙජනය කරන, ආම දෝෂ නසන, වමනකාරක, සම හැපත් කරන අහාර රුචිය වඩවන ආදී ගුණයන් රැසක්ද සහිතයි. 

අපස්මාරය, මස්තිෂ්ක රෝග සහ ස්වරභේද අවස්ථාවලදී වදකහ අල චූර්ණය ගිතෙල් හෝ තලතෙල් ලේහ කොට එළකිරි සමඟ පානය කිරීමට නියම කර ඇත. දරුවන්ගෙ උගුර කැසීම, දැවිල්ල සමඟ ඇතිවන කැස්සට පිරිසිදු වදකහ මුල් ස්වල්පයක් සපා ගිලීමෙන් සුවය ලැබෙයි. සර්ප විෂ හෝ ජාපාල විෂ සඳහා වදකහ චූර්ණය භාවිතා කරයි. පණු වමනයට උණු අළු පල්ලේ තම්බාගත් වදකහ අලයක් දෙහි ඇඹුල් සහ මී පැණි සමඟ ගලගා වරකට බිංදු 10-15 බැගින් බොන්නට දිය යුතුය. කුඩා දරුවන්ගේ පාචන, බඩ පිපුම, උදර වේදනා අවස්ථාවලදී අමු වදකහ අලයක් ගලගා පෙකනිය වටේ ආලේප කළ යුතුය. එමෙන්ම ඒ සඳහා අමු වදකහ අලයක් උණු අළු පල්ලේ තම්බා දෙහි ඇඹුල් හෝ තනකිරි සමඟ ගලගා බිදු කීපයක් පෙවිමද කළ හැකිය. ළදරු අතීසාර, ප්‍රවාහිකා (හීඳන් අතීසාරය) සහ ජලසන්නියට වදකහ අලයක් පිළිස්සූ අළු මී පැණියෙන් දියකර පෙවිය යුතුය. එමෙන්ම ළදරු අතීසාරය සඳහා වියළි වදකහ, වෙනිවැල් ගැට, කටුවැල්බටු, කෙලිද හාල්, වැල්මී සමව ගෙන කෂාය කර දිය යුතුය. ගල ගුණ්ධික හෙවත් සෙම්ගෙඩි ප්‍රදාහ වීමේදී වදකහ අලයක් ලුණුවතුරෙන් ගලගා ඇඹුල් දොඬම් යුෂින් අනා උගුරේ ආලේප කරයි.

ආසාත්මිකතාවයක් හේතුවෙන් වමනය, හිසරදය, ඇඟේ පලු මතුවීම, කැසීම, ඇස් රතුවීම, උණ හටගැනීම, හුස්ම ගැනීම අපහසු වීම ඇතිවූ විට වදකහ දෙහි ඇඹුලින් ගලගා බීමට දෙයි. වදකහ අල විනාකිරෙන් අඹරා ආලේප කිරීමෙන් වාත රෝග නිසා ඇතිවන වේදනාවන් සමනය වෙයි. හිසරදයට වදකහ සහ හීං අරත්ත අල උණුවතුරෙන් අඹරා නළලේ පැලැස්තර දමයි. වියළි වදකහ කුඩුකර වරකට මදටිය ඇටයක ප්‍රමාණයක් දිනපතා උදයට එළකිරි සමඟ බීමට දීම  බුද්ධි වර්ධනයට උපකාරී වෙයි. මෙය කුඩා දරුවන්ට නම් 125 mg පමණ විය යුතුය. 

අලුත උපන් දරුවන්ට වදකහ ඉස්ම ස්වල්පයක් මව්කිරි සමඟ දීම ගැමියන් අතර පවතින පුරුද්දකි. එය අජීර්ණ සහ පණු රෝගවලින් ආරක්ෂා වීමටත් දරුවාගේ බුද්ධිය සහ සමෘතිය වර්ධනයටත් ශරීරය පැහැපත් වීමටත් උපකාරී වෙයි. එමෙන්ම ගම්වල මව්වරු අලුත උපන් දරුවා විෂබීජවලින් ආරක්ෂාකර ගැනීමේ අරමුණින් කුඩාවට කපන ලද වදකහ අල කැබලි නූලක අමුනා අතේ හෝ ඉනේ බැඳීම සිදුකරයි. 

වදකහ සුවඳවිලවුන් සහ දන්ත චිකිත්සා ඖෂධ නිශ්පාදනයටත්, මිනිස් සිරුරට අහිතකර නොවන කෘමිනාශක නිපදවීමටත් යොදා ගනී. ගෘහස්ථ කෘමීන් පාලනය සඳහා වියළි වදකහ කුඩු කපු පුලුන් සමඟ මිශ්‍රකර බෝල සාදා භාවිතා කළ හැකිය. චර්ම රෝග හා රුධිර ගමනාගමනය සඳහා හොඳින් ක්‍රියාකරන බැවින් ජපන් වැසියක් නෑමේදී වදකහ තෙල් ඇඟ ගැල්වීමට යොදා ගනී. මෙවන් වටිනාකම් රැසක් සහිත ඖෂධ පැළෑටියක් වන වදකහ බඳුනක හෝ වවා ගැනීම ඉතා ප්‍රයෝජනවත් බව හැඟී යා යුතුය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 
පහල සේයාරුව_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, May 14, 2017

ගෙඳ [Genda] (Portulaca oleracea)

ගෙඳපළා යනුවෙන්ද හඳුන්වන ගෙඳ රතු පැහැයට හුරු දුර්වල කඳක් සහිත, බිම දිගේ වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. තෙතමනය ප්‍රිය කරන ශාකයක් වන මෙය මුලෙහි සිට සෙ.මි. 50 දක්වා වපසරියක බෙහෙවින් අතු බෙදෙමින් වර්ධනය වේ. දිලිසෙන සුලු මාංසල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ප්‍රත්‍යණ්ඩාකාර පත්‍රයක් සෙ.මි. 3 දක්වා දිගු විය හැකිය. පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් දීප්තිමත් කහ පැහැතිය. ඵලය පැලෙන කරලකි. මි.මි. 0.7 පමණ වන කුඩා බීජ වකුගඩු හැඩැතිය. මෙම උද්භිද ගණයටම අයත් හීං ගෙඳ (Portulaca quadrifida) නමින් තවත් මෙවැනිම දේශීය ශාකයක් ඇති අතර එහි කොළ සහ කඳ මීට වඩා කුඩා වන අතර පෙති 4 ක් සහිත මලක් හට ගනී. ගෙඳ ශාක Portulacaceae උද්භිද කුලයට අයත් වේ. 

කුසගිනි මදිකම, අර්ශස්, අහාර අරුචිය, මලබද්ධය, වාතරක්ත, රත්පිත්, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, වකුගඩු රෝග, මුත්‍රාශ ප්‍රදාහය, පූයමේහ, මූත්‍ර සමඟ ලේ පිටවීම ආදියට ප්‍රතිකාර කිරීමේදී ගෙඳ සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. අභ්‍යන්තර වශයෙන් පිත් සෙම් සමනය කරයි. අක්මාව උත්තේජය කරන අතර අහාර රුචිය වඩවයි. ඇස් ඉදිමුමට ගෙද කොළ සියඹලා දළු, අරළු එළකිරෙන් තම්බා අඹරා ගෑම සිදු කරයි. ගෙඳ කොළ එළ මෝරුවලින් අඹරා ගෑමත්, ගෙඳ කොළ, රසකිඳ කොළ එළ වෙඬරුවලින් අඹරා ගෑමත් පිලිස්සුම් සඳහා ප්‍රතිකාරයන් ය. 

ගෙඳ ලෝකය පුරාම ව්‍යාප්තව ඇති පැළෑටියකි. පරිප්පු සමඟ පිසූ ගෙඳ ව්‍යංජනය මෙරට ජනයා අතර ඉතා ප්‍රකට ය. එමෙන්ම මෙය බොහෝ රටවල දීර්ඝ කාලයක සිට එළවලුවක් ලෙසත්, සුප් වර්ග සෑදීමටත්, සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල සරල ප්‍රතිකාර සඳහා ඖෂධයක් ලෙසත් භාවිතා කර ඇත. එම රටවල ජනයා උගුරේ ආබාධ, ඇස් රෝග, සමේ රෝග, දැවිල්ල, හිසරදය, බඩේ කැක්කුම, අතීසාරය, පාචනය, අජීර්ණය, පණු රෝග, මුත්‍ර ආබාධ, අභ්‍යන්තර රුධිර වහනය, රක්තවාතය, මී මැසි බඹර අාදී කෘමි විෂ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත. එමෙන්ම ගෙඳ ඉතා හොඳ විටමින් ප්‍රභවයක් ලෙසත් තන්තු, ඔමෙගා-3 මේද අම්ල, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් සහ යකඩ බහුල ඉහල ප්‍රතිඔක්සිකාරයක ගුණ සපිරි  අහාරයක් ලෙසත් හඳුනාගෙන ඇත. ගෙඳ හෘද රෝග, අංශභාගය, අධි රුධිර පීඩනය, රුධිර කැටි අැති වීම, ඔටිසම් දරුවන් බිහිවීම ආදිය වැලැක්වීමට සමත් ගුණ සහිත බවත් පෙනහළු සහ මුඛ පිළිකාවන්ට ප්‍රතිරෝධී බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්‍
හීං ගෙඳ
Share:

Sunday, May 7, 2017

පළොල් [Palol] (Stereospermum chelonoides)

වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල පාටලී යනුවෙන් හඳුන්වා ඇත්තේ පළොල් ය. ඒවායෙහි පළොල් වර්ග කීපයක් ගැන සඳහන්ව ඇති අතර එක් වර්ගීකරණයකට අනුව රක්ත පාටලා සහ ශ්වේත පාටලා නම් වර්ග දෙකක් දක්වා ඇත. එයින් රක්ත පාටලා නම් මෙහිදී විස්තර වන ලංකාවේදී පළොල් / රත් පළොල් ලෙස හඳුන්වන දේශීය ශාකය වන අතර ශ්වේත පාටලා නම් එම උද්භිද ගණයටම අයත් දේශීය ශාකයක් වන දුනුමඩලා (Stereospermum tetragonum) ය. දුනුමඩලා මෙරටදී එළ පළොල් යනුවෙන්ද හඳුන්වයි. 

කලකට පෙර Stereospermum suaveolens යන උද්භිද නාමයෙන් හඳුන්වා තිබූ පළොල් මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි පත්‍රිකා යුගල 3-4 සහිත අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි. 30-60 පමණ දිගින් යුක්ත. ඉලිප්සාකාර හැඩැති පත්‍රකාවක දිග සෙ.මි 15 සහ පළල සෙ.මි. 7.5 පමණ දිගු විය හැකිය. පත්‍ර සහ ළපටි කොටස්වල සියුම් බූවක් සහිතයි. පුෂ්ප මංජරියක හට ගන්නා සුවඳවත් මල් රෝස පාටට හුරු දම් පැහැයක් ගනී. ඵලය සෙ.මි 30-60 පමණ දිගු, හීනි කරලකි. පටලමය පියාපත් සහිත බීජයක් සෙ.මි. 3 පමණ දිගින් යුක්ත වේ. පලොල් Bignoniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. (පළොල් උද්භිද විද්‍යා මූලාශ්‍රවල දේශීය ශාකයක් ලෙස හඳුනාගෙන තිබුන ද ලංකාවේ ජනාවාස ආශ්‍රිතව මිස ස්වභාවික වනාන්තර තුල හමු නොවන හෙයින් විදේශීය ශාකයක් දැයි උද්භිද විද්‍යාඥයින් සැල පල කර ඇත) 

ලංකාවේදී පළොල් ශාකය සොයා ගැනීමට අපහසු විට එ් වෙනුවට භාවිතා කිරීමට කිරීමට සුදුසුම ශාකය එම උද්භිද ගණයටම අයත් දුනුමඩලා බවයි විද්වතුන්ගේ අදහස. එය ඉන්දියාවේ පවා පළොල් වෙනුවට භාවිතා කරන ශාකයකි. එහෙත් මෙරට දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ද ඇතුළුව වෙදකමට සම්බන්ධ බොහෝ පිරිසක් Fernandoa adenophylla නම් විදේශීය ශාකයක් පළොල් ලෙස භාවිතා කිරීම කණගාටුදායක කරුණකි. තොටිල ශාකයට පෙනුමෙන් සමාන, කහ පැහැති මල් සහ විශාල කරල් හැදෙන මෙය විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එය කිසිදු පිලිගත් මූලාශ්‍රයක පළොල් වෙනුවට භාවිතා කිරීමට සුදුසු යැයි නිර්දේශ කර නැත. ආදේශක ලෙස භාවිත කළ හැකි දේශීය ශාක තිබියදී දසමූල අරිෂ්ටය, දසමූල ක්වාතය වැනි ප්‍රකට ඖෂධවල පවා ප්‍රමුඛ උපාදානයක් වන පළොල් සඳහා මෙවැනි වැරදි ශාකයක් භාවිතා කිරීම දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල ගුණාත්මක භාවය අඩු වීමට ප්‍රබල ලෙස බලපානු ඇත. මෙම වැරදි භාවිතය කෙතරම් දුර දිග ගොස් ඇත්දැයි කිවහොත් විහාරස්ථානවල අටවිසි බෝධීන්වහන්සේලා රෝපණය කිරීමේදී පවා මෙම විදේශීය ශාකය යොදා ගෙන තිබෙනු දැක ගත හැකිය. 

ශුක්‍ර දුර්වලතා, මධුමේහ, වාත රෝග, ප්‍රමේහ, කරප්පන්, ඇස් දැවිල්ල, වණ, පිලිකා, ආගන්තුක මූල රෝග, කිලාස, උන්මාද, අම්ලපිත්ත, උදර වේදනා, පිලිස්සුම්. කැස්ස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී පළොල් ශාකයේ කොල, දලු, පොතු, මුල්, මල්, සුඹුලු ආදිය යොදා නිපදවූ ඖෂධ භාවිතා කරයි. පළොල් වෙදනාස්ථාපන, ශක්තිජනක, කුසගිනි වඩවන, වණ රෝපණය කරන, අක්මාව උත්තේජනය කරන, වාජීකරණ, මුත්‍රකාරක, හෘදයට හිතකර ආදී ගුණයන් රැසක් සහිතයි. දසමූල අරිෂ්ටය වැනි දසමූල යෙදෙන ඖෂධ, පාටලී තෛලය ආදිය පළොල් යොදා නිපදවයි.

අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිට්ස් රෝගයට පළොල් පොතු කෂාය බොන්නට දෙයි. ශුක්‍ර දුර්වලතාවයට සහ ඉක්කාවට මල් කල්කය සේවනය කළ යුතුය. පිළිස්සුම්වලට පලොල් දලු යුෂ ආලේප කරයි. මධුමේහයට පළොල් කොළ සුවඳැල් හාල් සමඟ කොටාගත් පිටි තම්බා උදය හවස තෙ දිනක් කෑමට ගත යුතුය. උදර වේදනාවට මුල් කෂාය දෙයි. තදබල කැස්සට පළොල්මල් යුෂට මී පැණි දමා බීමට දෙයි. පළොල් මුල් එළකිරෙන් අඹරා එම කිරෙන්ම දියකොට සීනි දමා දිනපතා බීමට දීම හා උතුරට වැඩුනු මුලක් ගෙන දෙහි ඇඹුලින් අඹරා එළකිරි දමා බීම මව්කිරි වර්ඩවන ප්‍රතිකාරයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වනස්පති ෆේස්බුක් සමූහයේ ඇතිවූ සංවාදයක් ඇසුරින්
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support