දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, September 28, 2015

කිරි අඟුණ [Kiri Aguna] (Tylophora pauciflora)

කිරි අඟුණ අධාරක ශාකයක් මත හෝ පොළවට සමාන්තරව වර්ධනය වන බහු වාර්ෂික වැල් ශාකයකි. එතරම් ශක්තිමත් නොවූ මෙහි කඳ කොළ පැහැතිය. බිම දිගේ වර්ධනය වන ශාඛාවලින් පොළවට මුල් ඇදේ. හරිත පැහැ සරල සම්මුඛ පත්‍ර දිළිසෙන සුලුය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු මිශ්‍ර කහ හෝ කොළ පැහැයක් ගනී. ඵලය වරාවකි. එය පිපිරී යෑමෙන් කෙඳි සහිත බීජ සුළඟේ පාවී ගොස් ව්‍යාප්ති සිදුවේ. කිරිඅඟුණ කොළ, මැල්ලුමක් ලෙස සහ සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය. කිරි අඟුණ Asclepiadaceae කුලයට අයත් ශාකයකි.

සෙම් රෝග, සුදු කබර, අර්ශස්, ගෙඩි, වණ, ස්වාසනාළිකා ප්‍රදාහය, අජීර්ණ, ඉදිමුම්, අක්ෂි රෝග, සර්ප විෂ, පිස්සු බලු විෂ, පණු රෝග, පක්ෂඝාතය, මානසික ආතතිය ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී කිරිඅඟුණ ශාකයේ කොළ, දළු, මුල්, දඬු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කිරිඅඟුණ කොළ කිරි දෙන මව්වරුන්ගේ ක්ෂීරය වර්ධනය කරන පළාවක් ලෙස ඉතා ප්‍රකටය. එමෙන්ම එය ගර්භණී මව්වරුන්ගේ මලබද්ධය නැති කිරීමටද උපකාරී වේ. සතියකට වරක් කිරිඅඟුණ කොළ මැල්ලුම් ලෙස ආහාරයට ගැනීම ඇදුම සහ දියවැඩියා රෝගීන්ට ගුණදායකය. විශේෂයෙන් විෂනාශක ගුණයෙන් යුක්තය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
Share:

Thursday, September 24, 2015

කෝවක්කා [Kowakka] (Coccinia grandis)


කෝවක්කා ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන දේශීය බහුවාර්ෂික වැල් ශාකයකි. මේරූ කඳ සුදු පැහැති වන අතර ලපටි ශාඛා කොළ පැහැතිය. පහුරු ආධාරයෙන් ඉහලට වර්ධනය වේ. සරල පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොළු සහිත බවකින් යුක්ත ය. මල් සුදු පැහැතිය. අණ්ඩාකාර හැඬයෙන් යුක්ත කොළ පැහැති ඵලය සෙ.මි. 8 පමණ දිගට වැඩෙන අතර මෝරන විට දීප්තිමත් රතු පැහැයකට හැරේ. කෙන් ගෙඩි යනුවෙන්ද හඳුන්වන කෝවක්කා පැසුණු ගෙඩි ව්‍යංජනයක් ලෙසත්, කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙසත් සකසා ආහාරයට ගත හැකිය. එමෙන්ම කෝවක්කා ගෙඩි පෙති ගසා ගැඹුරු තෙලේ බැද ආහාරයට ගැනීමටත්, ළපටි ගෙඩි සලාදයක් ලෙස සාදා ගන්නටත් හැකි ය. ආහාරමය සහ ඖෂධීය වටිනාකම් රැසක් සහිත කෝවක්කා Cucurbitaceae කුලයට අයත් ශාකයකි. 

වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල ග්‍රාම්‍ය හෙවත් ගම්වල වැවෙන සහ වන්‍ය හෙවත් කැලැබදව වැවෙන වශයෙන් කෝවක්කා ප්‍රභේදය දෙකක් ගැන සඳහන් වේ. ග්‍රාම්‍ය වර්ගය අහාර සඳහා භාවිතා කරන බවත්, ඖෂධ සඳහා සුදුසු වනයේ වැවෙන වර්ගය බවත්, එහි පංචාගයම තිත්ත රසින් යුක්ත බවත් දක්වා ඇත.

කෝවක්කා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයේදී බෙහෙවින් ප්‍රචලිත වූ ශාකයකි. එමෙන්ම වණ, තුවාල, ඉදිමුම්, උණ, සෙංගමාලය, අක්මාවේ ආබාධ, කැස්ස, ඇදුම, ලය පීනස, මුඛ රෝග, රක්තහීනතාවය, පෝෂණ ඌණතා, ලාඳුරු ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, ගෙඩි ඇතුළු සම්පූර්ණ ශාකයමත් යොදා ගනී. කෝවක්කා වේදනා නාශක, කුසගිනි වඩවන ආදී ගුණ සහිතයි. 

දියවැඩියා රෝගීන්ට කෝවක්කා කොළ යුෂ දිනපතා පානය කිරීමෙන් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනිමේ හැකියාව පවතී. වර්තමානයේ විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස සනාථ කර ඇත් දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. කෝවක්කා ගෙඩි ව්‍යංජනය සහ කොළ මැල්ලුම මලබද්ධයට සහ අර්ශස් රෝගයට බෙහෙවින් ගුණදායක ය. මෙම ශාකයේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කෝවක්කා ආහාරයට ගැනීමෙන් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමටත්, පැහැපත් සමක් සහ දිගු කෙස් කලඹක් ලබා ගැනීමටත් හැකියි. කෝවක්කා සමෙහි ඇති වන රෝගවලටද ගුණදායක ය. කැසීම්වලට, හොරි, දද, කුෂ්ඨ, පලු වැනි අවස්ථාවලදී කෝවක්කා ගෙඩි යුෂ හෝ පත්‍ර යුෂ දිනකට දෙවතාවක් බැගින් සතියක් පමණ එම ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය ලැබේ. කෝවක්කා කොළ යුෂ ආලේපනය සමෙහි හටගන්නා පොතු කබර රෝගයට ද සහනය ගෙනෙයි. කෝවක්කා මුල් සහ වැලේ දඬුව තුළ පවතින ඔෟෂධීය රසායනික සංඝටක ශරීරයේ හට ගන්නා වේදනා නාශනය කිරීමට සමත්. හන්දිපත් වේදනාවලදී අමු කෝවක්කා මුල් සහ දඬුව තළා ගත් යුෂ වේදනාව ඇති තැන්වල ආලේප කළ යුතුය. තුනටිය වේදනාවෙන් පෙළෙන රෝගීන්ටත් මෙය අගනා ඔෟෂධයක්. අක්මාව ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ශරීරය කහ පැහැ ගැන්වී ඇති රෝගීන්ට කෝවක්කා වෑංජන සහ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් එයින් මිදිය හැකි ය.

කෝවක්කා කොළ යුෂ ආලේප කිරීමත් කොළ හා ගෙඩි ආහාරයට ගැනීමත් පරණ හෝ අළුත් තුවාල ඉක්මනින් සුව වීමට හේතු වෙයි. මුඛයේ තුවාල, සෙම් ගෙඩි ආදිය නිසා ඇති වන මුඛ දුර්ගන්ධය ඇති විට කෝවක්කා කොළ යුෂවලින් කට සේදීමෙන් තුවාල සුව වී දුර්ගන්ධය පහව යයි. අමු ගෙඩි සැපීමෙන්ද මුඛ රෝග සුවකර ගත හැකිය. මුත්‍රගල් නිසා උදර වේදනා ඇති වන විට කෝවක්කා කොළ අඹරා එයට වෙඩිලුණු ස්වල්පයක් මිශ්‍ර කර අදාල ස්තානයේ පැලැස්තරයක් දැමීමෙන් ගල් දියවී මුත්‍රමාර්ගය දිගේ ශරීරයෙන් බැහැරව යයි. ශරීරයේ හටගන්නා දදවලට කෝවක්කා කොළ මිටක් ගෙන අඹරා පසුව තල තෙල් හා ළිපේ රත් කර දදයේ ආලේප කිරීමෙන් එය නිට්ටාවට සුව වෙයි. කල්ගතවූ කැස්සට කෝවක්කා කොළ බඳුනකට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකක් වන තුරු සිඳ උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දිනපතා මී පැණි සමඟ එම කෂාය දින කීපයක් පානය කිරීමෙන් කැස්ස සුව වේ. ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය. එසේම කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද, නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද, කාන්තාවන්ගේ සුදයාමේ රෝගයට ද, අක්මාව ඉදිමිම සදහා ද, කැස්ස, වැඩිපුර මූත්‍රා පිටවීම, ඇදුම රෝගය, උණ, සම ආශ්‍රිත විවිද කුෂ්ඨ වර්ග, ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට ද කෝවක්කා ඉතා සුදුසු ඖෂධයක් බව සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු , ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ.හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්


Share:

Monday, September 21, 2015

තෙබු [Tebu] (Cheilocostus speciosus)

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. තෙබු ශාකයේ හරිත පැහැයෙන් යුතු පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. තෙබු ශාකයට සමාන Costus afer නම් කඳ සුදු පැහැති විදේශීය වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. එමෙන්ම Costus dubious නම් තවත් මෙවැනිම විදේශීය ශාකයක් ලංකාවෙන් හමුවන අතර එහි මල් (පුෂ්ප මංජරිය) ශාකයේ මුල හට ගනී. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැක ගත හැකිය. තෙබු Zingiberaceae කුලයට අයත් ශාකයකි.

තෙබු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයෙදී වඩාත් කතාබහට ලක්වූ ශාකයකි. එමෙන්ම පණු රෝග, ඇස් රෝග, දැවිල්ල, අර්ශස්, අම්ලපිත්තය, මලබද්ධය, සෙංගමාලය, අධි රුධිර පීඩනය, සුදු කබර ආදී රෝගයන්ට ගුණදායකය. තෙබු අක්මාවේ දෝෂ නැසීමට ද උපකාරී වෙයි. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදි කඩක අතුරා පෙකණිය මත පැලැස්තර දැමු විට මුත්‍රා පිටවන බව සඳහන්. ඉඟුරු නොමැති අවස්ථාවලදී ඒ වෙනුවට මෙම ශාකයේ අල ඖෂධ සඳහා භාවිතා කළ හැකි බව ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා තිබේ.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්


Share:

Friday, September 18, 2015

කෝන් [Koon] (Schleichera oleosa)

කෝන් මීටර් 25 දක්වා ඉහලට වර්ධය වන හොඳින් අතු පැතීරී වැඩෙන විශාල ගසකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවේ. වැඩුණු ගසක අළු දුඹුරු පැහැති ඝණකම් පොත්ත ඉරිතැළුණු ස්වභාවයකින් යුක්තය. සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ස්වභාවයකින් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කොළ පැහැතිය. වෙරළු ගෙඩියකින් අඩක් තරම් වන ගෝලාකාර ඵලය ඉදුණු පසු පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එක් ඵලයක් තුල බීජ එකක් හෝ දෙකක් පිහිටා තිබේ. කෝන් Sapindaceae කුලයට අයත් ශාකයකි.

අතීසාරය, කොළරාව, කුෂ්ඨ රෝග, වාත වේදනා, හිසරදය, ආමවාතය, උණ, සෙංගමාලය ආදී රෝග සඳහා කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බව සඳහන් වේ. කෝන් ඇටවලින් සිඳ ගන්නා තෙල් කේෂවර්ධන ආලේපයක් ලෙස යොදා ගන්නා අතර ම මෙම තෙල් සමග කෝන් ශාකයේ පොත්ත මිශ්‍ර කොට කුෂ්ඨ රෝග සදහා ආලේපයක් ලෙස භාවිතා කරයි. කෝන් කොළ කැඳ සෙංගමාල රෝගය සඳහා ගුණදායකය. කෝන් කාමෝද්දීපක ගුණ සහිතයි.


මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Monday, September 14, 2015

කදුරු / දිවිකදුරු [Kaduru / Divikaduru] (Pagiantha dichotoma)


දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන මෙය මීටර් 6 පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. සම්මුඛව පිහිටා ඇති පත්‍ර සෙ.මි. 8-21 දක්වා දිගය. දිගු නටුවක් සහිත වතුසුදු මලට සමාන සුදු පැහැති මල් සුවඳවත් ය . පොකුරක මල් 5-6 පමණ පිහිටයි. දිග නටුවකින් එල්ලෙමින් පවතින කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගනී. එය තිරස් අතට පෘෂ්ඨය හා උදරීය දාර දිගට ද දෙකට ද බෙදී ඇත. රතු පැහැති පල්පයක් තුල බීජ පිහිටා තිබේ. මෙම බීජ මගින් ව්‍යප්ති සිදුවේ. දිවිකදුරු Apocynaceae කුලයට අයත් ශාකයකි.

දිවිකදුරු ශාක කොටස් විෂ සහිත හෙයින් ඖෂධ සඳහා අභ්‍යන්තරව භාවිතා නොකරයි. තුවාල, සර්ප දශ්ඨන, දිවිමකුළු විෂ, පත්තෑ විෂ, බල්ලන් සපා කෑ තුවාල, ඔඩු සහිත වණ, දත් කැක්කුම, ඇස් රෝග, සන්ධිගත රෝග, ඇතැම් ස්නායු රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු , මුල් ආදිය බාහිරව භාවිතා කරන බව සඳහන් වේ. මෙම කොළ පොල්තෙල් පහනකින් රත්කර තැවීමෙන් සන්ධිගත රෝගවලට සහනය ලැබේ. කකුලෙහි කටුවක් ඇණුන පසු දිවිකදුරු කොළයක් කඩා එයින් වෑස්සෙන කිරි දැමූවිට කටුව පිටතට ඇදී එයි. මෙහි බීජ මිනිසාට විෂ සහිතය වන අතර ඒවා මත්වන ස්වභාවයෙන් සහ විරේචක ගුණයෙන් යුක්තයි. 

තවද ශාන්කි කර්ම, විෂ කැපිලි ආදියට දිවිකදුරු අතු භාවිතා කරයි. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ආදී ගුරුකම් කටයුතු හඳහා ද මෙම ශාකයේ කොටස් යොදා ගනී. දිවිකදුරු ගස් යටින් යකුන්, සර්පයින් ගමන් නොකරන බව ගැමියන් විශ්වාස කරයි. දිවිකදුරු ලීය උඩරට නැටුම් ශීල්පීන්ගේ වෙස් පළඳනා සෑදීමේදී යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 



Share:

Friday, September 11, 2015

කැබැල්ල [Kebella] (Aporosa cardiosperma)

Aporosa නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ කීපයක් පොදුවේ කැබැල්ල ලෙස හඳුන්වයි.  Aporosa cardiosperma මාපත් කැබැල්ල ලෙසත්, Aporosa lindleyana කැබැල්ල ලෙසත් මීට පෙර හඳුන්වා තිබුණු අතර නූතන උද්භිද විද්‍යා වර්ගීකරණවලට අනුව එම විශේෂ දෙකම එකක් ලෙස සලකා  Aporosa cardiosperma ලෙස නම් කර ඇත. මීට අතරව Aporosa lanceolata නම් අප රටට ආවේනික ශාකය හීං කැබැල්ල නම් වේ. එය ඖෂධ සඳහා භාවිතා නොකරන බව සඳහන්.

කැබැල්ල විශේෂ මීටර් 15 දක්වා වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයන් වන අතර සිහින් අතු රැසක් සහිතය. ඇතැම් විට පඳුරු වශයෙන් දක්නට ලැබේ. මෙහි පොත්ත දුඹුරු පැහැතිය. සිනිඳුය. පත්‍ර පටලමය වන අතර අණ්ඩාකාර සිට ඔවලාකාර දක්වා හැඩයන්ගෙන් පිහිටයි. පත්‍ර වියළීයාමේදී ළා කහ කොළ පාට වේ. මල් 1 සිට 4 දක්වා පොකුරු වශයෙන් පිහිටයි. ඩිම්බකෝෂය කොටස් දෙකකි. රතු දුඹුරු පැහැති ඵලය ගෝලාකාර සිට අණ්ඩාභය ය. බීජ තනි තනිව පිහිටා ඇත. ඵලය මේරීමත් සමඟ ඵලාවරණය පුපුරා බීජ පිටතට විවෘත වන අතර බීජ වටා කහ පැහැති ද්‍රව්‍යයක් පිහිටයි. මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගනී. එමෙන්ම කැබැල්ල දළු ඇඹුලක් ලෙස, තෙල් දැමීමෙන් හෝ පළාවක් ලෙස ආහාරයට සකස්කර ගත හැකිය. කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ඇස් රෝග සඳහා භාවිතා කරන දේශීය බෙහෙත් වට්ටෝරු රැසක කැබැල්ල ශාක කොටස් ඇතුලත්ව ඇත. ඇස් රතු වීම, ඇසෙහි ඇති වන සුද, ඉදිමුම්, කඳුලු ඒම, දැවිල්ල, ඇස් පෙනීම අඩුකම, ඇසෙහි ඇණුනු යමක් ඉවත් කිරීමට, ඇසේ තැල්ම, නගන ආදී ඇස සම්බන්ධ රෝග අයස්ථා රැසකට කැබැල්ල යොදා ගනී. එමෙන්ම කුෂ්ට රෝග, ගඬු, අජීර්ණය, පාණ්ඩු රෝග, අතීසාරය, නියඟලා විෂ නැති කිරීමට, කැපුම් තුවාලවල ලේ නැවැත්වීමට,  ගවයින්ගේ රෝග ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී ද කැබැල්ල ශාකයේ කොළ, දළු, පොතු ආදිය භවිතා කරයි. කැබැල්ල දළු අැඹුලට උයා බත් සමග වැළඳීමෙන් අජීර්ණය සුව වේ. එමෙන්ම එය දියවැඩියාව සහ රුධිරයේ මේදය වැඩි අයටද ගුණදායක ය. 

පිහියක් වැනි ආයුධයකින් කැපුණු පසු ලේ නැවැත්වීමට කැබැල්ල දළු තලා තුවාලය මත තැබීම සරල ප්‍රතිකාරයකි. ගඩුවලට කැබැල්ල පොතු, කැටකෑල පොතු කොටා පැණි සිඳ ආලේප කරයි. ඇස්රතට කැබැල්ල දළු උණු අළුවෙන් තම්බා කුරුම්බා ලෙලි යුෂින් අඹරා ඇස වටා ආලේප කරයි. මෙවැනි ඖෂධීය භාවිතාවන් රැසක් සහිත කැබැල්ල මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදුකරන ගුණයන්ගෙන් යුක්ත ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
සේයාරූ _ Surangi Madumali සොයුරියගෙන් 
Share:

Monday, September 7, 2015

ගිරිතිල්ල [Giritilla] (Argyreia populifolia)


මෙරටට ආවේනික ශාකයක් වන ගිරිතිල්ල ආධාරක ශාකයක් මත එතී වර්ධනය වන කාෂ්ඨීය වැලකි. තද කොළ පැහැති පත්‍ර 7-15 සෙ.මි. දක්වා වර්ධනය වේ. පුෂ්පමංජරියක හට ගන්නා පුනීලාකාර මල් දම් පැහැතිය. ගෙඩි කොළ පැහැති වන අතර ඉඳුණු විට කහ තැඹිලි පැහැයක් ගනී.  ළපටි ගිරිතිල්ල කොළ පලාවක් ලෙස ලෙස ආහාරයට ගත හැකිය. ළපටි දඬු සහ ගෙඩිවල බීජ ඉවත්කර ගත් පසු ඉතිරි වන ලෙල්ල ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකිය. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. ගිරිතිල්ල Convolvulaceae කුලයට අයත් ශාකයකි. 

ආහාර අරුචිය, කුසගිනි මදිකම, අර්ශස්, රක්තවාතය, හෘද රෝග, කැස්ස, ඇදුම, දියවැඩියාව, ස්නායු ආබාධ,සන්ධි ගත වාත රෝග, ශ්වේත ප්‍රදර, ගර්භාෂයේ රෝග, බල්ලන් සපාකෑම්, විදුරුමසෙහි ඇති වන තුවාල  ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම වැලේ කොළ, මුල්, කිරි ආදිය භාවිතා කරයි. ගිරිතිල්ල දළු තම්බා දියකර පිළියෙල කර ගත් ව්‍යංජනය ආහාරයට ගැනීම හෘද රෝගීන්ට ගුණදායක ය. මහා සර්ව විෂදී තෛලය සඳහා ගිරිතිල්ල යොදා ගනී. ගිරිතිල්ල, ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support