දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, October 31, 2016

වේලා [Wela] (Cleome gynandra) සහ රම්මානිස්ස [Rammanissa] (Cleome viscosa)

වේලා 
රම්මානිස්ස සහ වේලා ශාක මීටරයක් දක්වා උසට වැඩෙන දේශීය වාර්ෂික පැළෑටි වේ. මෙම විශේෂ දෙකම පෙනුමින් බොහෝදුරට සමාන වන නමුත් වේලා ශාකයේ මල් සුදු පැහැති වන අතර රම්මානිස්ස මල් කහ පැහැතිය. එමෙන්ම රම්මානිස්ස කොළ තරමක් කුඩාය. වෙදකමේදී මෙම දෙවර්ගයම බෙහෝ දුරට එක සමාන ගුණයන්ගෙන් සමන්විත බව සලකා ඇති බව පෙනේ. දේශීය වෙද පොත්වල "සූර්යකාක්ත මුල්" ලෙස හඳුන්වා ඇත්තේ මෙම ශාකවල මුල් ය. ඇතැම් මූලාශ්‍රවල රම්මානිස්ස ශාකය වල් අබ ලෙස හඳුන්වා ඇතත් එය වැරදි ව්‍යවහාරයක් බව සඳහන්. රම්මානිස්ස ශාකය ඇතැම් පළාත්වල රන්වන් වෙලා ලෙස හඳුන්වන බවත් ප්‍රාණජීව වැනි දේශීය වෙදකමේ තෙල් වර්ග සහ වෙනත් වාතහර ඖෂධ වර්ග පිළියෙල කිරීමේදී භාවිතා කරන බවත් දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත. රම්මානිස්ස සහ වේලා ශාක Capparaceae උද්භිද කුලයට අයත් ය. 

වෙලා සහ රම්මානිස්ස යන ශාක දෙකම බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඌෂ්ණ ගුණ සහිතය. බාහිර ආලේපනයෙන් දාහය ඇති කරයි. තුවාල, කුඩා ළමුන්ගේ වලිප්පුව, ඉරුවාරදය, කණ් කැක්කුම, කොටරක ප්‍රදාහ, ඇදුම ආදියට ප්‍රතිකාර කිරීමට මෙම ශාකවල කොළ, මල්, ඇට, මුල් සහ සම්පූර්ණ පැළෑටිය එකවරමත් භාවිතා කරයි. මේවායෙහි ඇති විශබීජනාශක ගුණය නිසා පැසවූ තුවල ඉක්මනින් සුව වේ. එම හේතුව නිසා දේශීය වෙදකමේ වණ සහ තුවාල සඳහා භාවිතා කරන තෙල් වර්ග සිඳීමේදී රම්මානිස්ස යොදා ගනී. මෙම ඇට එම කොළවල යුෂින් අඹරා නලලේ ගෑම ඉරුවාරදයට ප්‍රතිකාරයකි. මෙම ශාක සෙම නසන වාතය සමනය කරන ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය


Share:

Monday, October 24, 2016

කළුකැම්මේරිය [Kalukemmeriya] (Solanum americanum)

කළුකැම්මේරිය මීටරයක් දක්වා උසට වැඩෙන, මෙරටට හඳුන්වාදෙන ලද දේශීයකරණයවූ වාර්ෂික පැළෑටියකි. මෙහි කඳ සහ ශාඛා කොළ පැහැතිය. පත්‍ර ඒකාන්තර වන අතර ඒවායෙහි හැඩය අණ්ඩාකාර සිට ලන්සාකාර වේ. කක්ෂීය පුෂ්ප මංජරියෙහි මල් කීහිපයක් හට ගනී. පෙති පහක් සහිත මල සුදු පැහැති වන අතර රේණු කහ පැහැතිය. ඵලය කොළ පැහැති ගෝලාකාර බදරියකි. ඒ තුල බීජ රාශියක් පිහිටා තිබේ. ඉදුණු ඵලය තද දම් පැහැයක් ගනී. මෙහි කොළ රසවත් ගුණවත් පළාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. කළුකැම්මේරිය Solanaceae කුලයට අයත් ශාකයකි. 

ශුක්‍ර දෝෂ, හෘද රෝග, ඉදිමුම්, වාත රක්ත, නින්ද නොයෑම, මී විෂ, ආමවාත, මුත්‍ර අඩස්සිය, ඉක්කා, ඇදුම, කුෂ්ඨ, ගෙඩි, අර්ශස්, මී විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, දඬු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කළුකැම්මේරිය සිරුර සන්තර්පනය කරන රසායන ගුණයෙන් යුක්තය. ඇසට හිතකරයි. වාතය පිත හා සෙම යන තුන් දොස නසයි.කළුකැම්මෙරිය කොළ අඹරා ආලේප කිරීම ඇතැම් කුෂ්ඨ රෝග සඳහා ප්‍රතිකාරයකි. ක්ෂය රෝගය සඳහා කළුකැම්මෙරිය කොළ මැල්ලුම ගුණදායකය. මී විෂට කළුකැම්මෙරිය කොළ යුෂ බීමට දෙයි. ඉදිමුම් සඳහා කළුකැම්මේරිය කොළ සමග බත් කෑමට දීම ආදී ලෙස සරල ප්‍රතිකාර රැසකි. මීට අමතරව කළුකැම්මේරිය වෙනත් ශාක ඖෂධ සමග යොදා ගන්නා ප්‍රතිකාරද රාශියක් ඇත. කළුකැම්මේරිය ශුක්‍ර වඩවන, මුත්‍රකාරක, කුසගිනි වඩවන, නින්ද ඇති කරවන ආදී ගුණයන් රැසක් සහිතයි. 

අප රටේ දේශීය වෙදකමේදී හා ආයුර්වේද චික්ත්සාවේදී කළු කැම්මේරිය විශේෂයෙන් යොදන අවස්ථා හමුවේ. ඒ අනිද්‍රා හෙවත් නින්ද නොයාම පිළිබඳ රෝගාවස්ථාවේදීය. එහිදී මෙම ශාකය සහමුලින් ගෙන පිරිසිදු කර සිහින්ව කපා පවනේ වියලා තම්බා බීමෙන් හා එයම කලං 12 ක් (ග්රෑම් 60) ගෙන වතුර පත 8 දමා පතට සිඳ පෙරා බීමෙන් ඉතා සුවපත් නින්දක් ලබා ගත හැකිය. ඒ සඳහා මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්ම මෙම ගසේ මුල ගලවා නිදිනොලබන්නා හිසට තබන කොට්ටයට ඇතුළු කිරීමෙන් නිදි එළඹෙන බවට දේශීය විශ්වාසයේ පවතී.

කළුකැම්මේරිය විවිධ රටවල දේශීය වෛද්‍ය ක්‍රමවල විවිධ රෝගාබාධ සඳහා භාවිතා කරන බව සඳහන්. ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයෙහි වෛද්‍යවරු කළුකැම්මේරිය උණ, පාචනය හා ඇස් රෝග ආදියට ප්‍රතිකාර සඳහා බහුලව යොදාගන්නා බවත්, බොම්බායේ වෛද්‍යවරු කළුකැම්මේරිය යුෂ අක්මා රෝග සඳහා ඔසුවක් සේ භාවිතා කරන බවත්, ඉන්දියාවේ කොංකාන ප්‍රදේශයෙහි වෛද්‍යවරු පොතු කබර රෝගය ඇතුළු සමේ රෝගවලට ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බවත්, චීන වෛද්‍යවරු වකුගඩුවල සහ මුත්‍රාශයේ රෝගවලටත් ගොනෝරියා නම් සමාජ රෝගයටත් ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බවටත් තෙරතුරු සඳහන් වේ. 

කළුකැම්මෙරිය ඇට අධික මාත්‍රාවක් ශරීරගත වීමෙන් වමන, අතීසාර, පිපාස, උදර වේදනා, හිසෙහි වේදනා, කලන්තය ආදී සංකූලතා සහ ඇතැම් විට මරණය පවා ඇති විය හැකි බවත් අත්තන විෂට සමානව ප්‍රතිකාර කළ යුතු බවත් දැක්වේ.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 



Share:

Monday, October 17, 2016

බුරුල්ල / ගුරුල්ල [Burulla / Gurulla] (Leea indica)

ළපටි දලුව කොපුවක් වැනි උප පත්‍රයක් තුල පිහිටන හෙයින් හිරු සඳු නොදුටු දලු නමින් ද දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ ප්‍රකට බුරුල්ල ශාකය විශේෂයෙන්ම අග්නිදග්ධ හෙවත් පිළිස්සු තුවාල සුවපත් කීරීමට යොදා ගනී. බුරුල්ල මීටර් 5 දක්වා උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන දේශීය ශාකයකි. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍ර වරක්, දෙවරක් හෝ තුන්වරක් අසම පක්ෂවත් ය. දන්තූර පත්‍රිකා සම්මුඛව පිහිටයි. ළපටි දලු දුඹුරු පැහැතිය. බහුඅක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කහ පැහැතිය. කොළ පැහැති ගෙඩි ඉදුණු පසු තද දම් හෝ කළු පැහැයක් ගනී. ගෙඩියක් කොටස් 6 කට බෙදී ඇති අතර එක් කොටසක් තුල එක් බීජයක් බැගින් පිහිටයි. බීජාවරණ සහ ඵලාවරණය අතර සෙවල සහිත උකු ද්‍රවණයක් ඇත. බුරුල්ල Lemnaceae කුලයට අයත් ශාකයකි. 

පිළිස්සුම්, උණ, රක්තපිත්ත, කණේ රෝග, වණ, පණු රෝග, කුෂ්ඨ, අර්ශස්, ශ්වේත ප්‍රදර, ප්ලීහා රෝග, නින්ද නොයාම ආදී රෝග සඳහා ඖෂධ තැනීමේදී බුරුල්ල ශාකයේ කොළ, දලු, මුල් ඇතුළු පංචාංගයම භාවිතා කරයි. දේශීය වෛද්‍යවරු බොහෝ විට බුරුල්ල ශාක කොටස් අමුවෙන් යොදා ගැනීම විශේෂත්වයකි. බුරුල්ල මුත්‍රකාරක, වණ රෝපණය කරන, පිලිස්සුම් විෂ සමනය කරන, සර්ප විෂ නාශක ආදී ගුණ සහිතයි. 

ලේ යන අර්ශස් සඳහා බුරුල්ල පංචාංගයේ ස්වරසය හෝ කෂාය පානය කිරීමට දෙයි. බුරුල්ල මුල් සැපීම දන්ත ආසාදනවලට ප්‍රතිකාරයකි. ශ්වේත ප්‍රදරයට බුරුල්ල මුල් තණ්ඩුලොදකයෙන් (හාල්පානු දිය) යොදයි. ප්ලීහා රෝගයට බුරුල්ල පංචාගය කෂාය කර සහිඳලුණු, සියඹලා බොර ප්‍රක්ෂේප කොට දෙයි. පිලිස්සුම් සඳහා බුරුල්ල ගසේ පංචාංගය සහ බඩය තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගන්නා තෙල් ආලේප කිරීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. බුරුල්ල කොළ, දලු කොටා මිරිකා ගත් යුෂට තලතෙල් දමා සිඳ ගෑමෙන්ද පිළිස්සුම් තුවල සුව වෙයි. බුරුල්ල මද, කොමාරිකා මද, තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගත් තෙල පිළිස්සුම් නිසා ඇතිවූ වණ වලට යොදයි. 

දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම් වැනි රළු බොහෙත් වර්ග බැඳීමට ප්‍රථම බුරුල්ල මද අතුරා ඒ මත බෙහෙත් බැඳීම සිදු කරයි. කැඩුණු ඇට සන්ධි ගැන්වීමට බුරුල්ල පොතු, කොටදිඹුලා පොතු සමඟ කොටා පොල් කිරෙන් මලවා බඳී. බුරුල්ල මඳ පැසුණු පොල් සමඟ කොටා මිරිකා බොන්නට දීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. බුරුල්ල පොතු, පුස්වැලේ පොතු, බෝ පොතු, නුග පොතු, අමුකහ සමව ගෙන අඹරා සියලු සර්ප දෂ්ටයන්හි කෑ මුඛයෙහි තැබීමෙන් විෂ සමනය වේ. බුරුල්ල මුල්, විෂ්ණුක්‍රාන්ති, අත්තන මුල් ඇල් දියෙන් නස්‍යය සියළු සර්ප විෂට ගුණදායක බව දක්වා ඇත. අම්බාදී තෛලය, පිළිස්සුම් තෛලය, අග්නිදග්ධ තෛලය බුරුල්ල යොදා නිපදවන ඖෂධයන් ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු සහ වෙනත් 
Share:

Monday, October 10, 2016

හීං නෙරෙංචි / ගොකටු [Heen Nerenchi / Gokatu] (Tribulus terrestris)

සෙම්බු නෙරෙංචි යනුවෙන්ද හඳුන්වනු ලබන මෙය ලෝකයේ උණුසුම් රටවල් බොහෝමයක හමුවන බිම දිගේ වැවෙන වැල් ශාකයකි. වැලක් පොළවට සමාන්තරව සෙ.මි. 60 පමණ දිගට වර්ධනය වේ. කඳේ සහ පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන් සියුම් බූවක් සහිතය. පත්‍රයක් සෙ.මි 5.5 දක්වා වර්ධනය වන අතර පත්‍රිකාවක් මි.මි. 3.5 පමණ වේ. පෙති පහක් සහිත මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්ත ය. ගැටිති සහ දිගු රෝම සහිත ඵලයෙහි තියුණු සෘජු කටු පිහිටා තිබේ. මෙම කටු ගවයින්ගේ කුරවල ඇනෙන හෙයින් හීං නෙරෙංචි ශාකයට සංස්කෘතෙන් ගෝක්ෂුර නම් පර්යායක්ද වෙයි. ඖෂධීය භාවිතාවන් රැසක් සහිත  නෙරෙංචි Zygophyllaceae කුලයට අයත් වාර්ෂික පැළෑටියකි. 

කුසගිනි මදිකම, සංග්‍රහණී, අර්ශස්, පණු රෝග, හෘද රෝග, රක්ත පිත්ත, ඉදිමුම්, ඇදුම, ක්ෂය රෝගය, ගබ්සාවීම, මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, නාඩි දුර්වලතා, වාත රෝග, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, වේදනා ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට හීං නෙරෙංචි ශාකයේ ගෙඩි, ඇට සහ සම්පූර්ණ ශාකය එකවිටමත් භාවිතයට ගනී. හීං නෙරෙංචි මුත්‍රකාරක, කුසගිනි වඩවන, පණුවන් නසන, ඉදිමුම් නසන, ගැභ ආරක්ෂා කරන ආදී ගුණයන් බෝමයකින් සමන්විතයි.

හීං නෙරෙංචි ඇට කෂාය මුත්‍ර ගල්, කැස්ස, ක්ෂණික මෝචනය, ඇස් රුදාව සහ මවුකිරි වර්ධනයට ගුණදායක බව සඳහන්. හීං නෙරෙංචි ඇට හාල් සමඟ තම්බා සම්මත ක්‍රමයකට සකසා ගන්නා පානය බෙහෙවින් මුත්‍රකාරක ය. රක්තහීනතාවයට, පාචනයට, දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන රැධිර වහනයට සහ ශාක්තිජනක පානයක් ලෙස මෙම කොළ සහ ඇට තම්බා ගත් කෂාය භාවිතා කරයි. විදුරුමස් පිළිකා, මුඛය ඉදිමීම සහ දැවිල්ල, ස්‍රාව ගලන කුඩා සුදුපාට මුඛ පිළිකා සහ උගුරේ ආබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස නෙරෙංචි ඇට තැබූ වතුරින් මුඛය සේදීමට නියම කර ඇත. වකුගඩු ආබාධ, ක්ෂණික මෝචනය, මුත්‍ර සමඟ වැඩිපුර පොස්පෙට් පහවීම, ගොනෝරියා, කලක් පවතින මුත්‍රාශයේ දැවිල්ල, මුත්‍ර ගල්, අපිලිවෙලට මුත්‍ර පහවීම, මුත්‍ර අඩස්සිය, කුඩා සන්ධිවල ඇතිවන වේදනා, ලිංගික බෙලහීනතාවය, දරුප්‍රසූතියෙන් පසුව ඇති වන ගර්භාෂගත රෝග ආදියට හීං නෙරෙංචි පැළෑටිය සම්පූර්ණයෙන් තම්බා ගත් කෂාය දීම ගුණ වේ. වකුගඩු විශාල වීම (වෘක්ක වෘද්ධි) සඳහා නෙරෙංචි සහ නීරමුල්ලිය කෂාය යොදයි. ඵලය ඉවත් කරන ලද නෙරෙංචි පැළෑටියේ මැලියම් බඳු සාරය රසායන ඖෂධයක් ලෙස භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය


Share:

Monday, October 3, 2016

කුඩු මිරිස්ස [Kudu Mirissa] (Toddalia asiatica)

කුඩු මිරිස්ස වියළි කළාපයේ සුලභව හමුවන කුඩා කටු සහිත කාෂ්ඨීය වැලකි. ඇතැම් විට පඳුරක් ලෙසද දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 3ක් දරයි. ලංසාකාර හැඩයෙන් යුත් පත්‍රිකාවල යටි පැත්තෙහි සියුම් කටු පිහිටා තිබිය හැකිය. උස් බිම්වල සහ  සහ පහත් බිම්වල වැවෙන කුඩු මිරිස්ස ශාකවල පත්‍ර අතර පැහැදිළි වෙනස්කම් දක්නට ලැබේ. කක්ෂීය හෝ අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල කහ හෝ සුදු පාට මල් පොකුරු ලෙස හට ගනී. කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පැහැයක් ගනී. කුඩු මිරිස්ස Rutaceae කුලයට අයත් ශාකයකි. 

දේශීය වෙදකමේ මහඟු ඖෂධයක් වන මෙය මොළයේ ධමනි හා හෘදයේ කිරීටක ධමනි ගත ලේ කැටි හිරවීම්, තදවීම් හා පිපිරීම්, ලේ ගැලීම්, හෘද රෝග, සන්නි රෝග, කෝළ රෝග, මැලේරියා උණ, සන්නිපාත උණ, ආමවාත, බාලක පක්ෂාගාත, බිළිඳු රතගාය, තැල්ම, සර්ප විෂ, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී. ඖෂධ පිණිස ගැනීමේදී කුඩුමිරිස්ස ශාකයේ කොළ, දළු, පොතු, මල්, ගෙඩි ආදී සියලුම අංග භාවිතා කරයි. සූතිකා සන්නියට විශේෂයෙන් යොදා ගන්නා බව සඳහන් කර ඇත. සුලභව භාවිතයට ගනුයේ එවේලෙහිම නෙලා ගත් ශාක කොටස් වීම විශේෂත්වයකි. ඊට හේතුව කුඩු මිරිස්ස දේශීය චිකිත්සාවෙහි එන දළු අනුපාන හා අනුපාන වර්ග, ක්වාත සඳහා බහුලවම යොදා ගනු ලබන ශාකයක් වීමයි. මල්, ගෙඩි ආදිය පිරිසිදුව වියළා සුලං නොවදින බඳුන්වල අසුරා තැබිය හැකි වුවත් කල් නොයවා ප්‍රයෝජනයට ගත යුතුය. 

කුඩු මිරිස්ස වා, සෙම් නස යි. අග්නිය වඩයි. ආහාර රුචිය උපදවයි. අතීසාර, ඉදිමුම්, වණ, උණ සමනය කර යි. ලේ වහනය නවත්වයි.  තුන් දොස් සමනය කරන කුඩු මිරිස්ස දිව්‍යාංගනාදී තෛලයට, රත තෙලට, සන්නිරාජ තෛලයට සහ කුඩුමිරිස්ස තෙලට ගනු ලැබේ. මෙම මුලේ පොතු චූර්ණය, මැලේරියාව, වැනි උණ රෝගවලට ගුණදායකය. කුඩු මිරිස්ස ස්වරසය, මාත්තු පහ සීතාරාම ආදී ගුලි අනුපානයහි යෙදේ. මෙම දළු දේශීය ගුලි වට්ටෝරුවල මූලික ඖෂධයකි. කුඩු මිරිස්ස ස්වරසය උණ රෝගවලට යොදයි. අස්ථි භග්නයේ දී කුඩු මිරිස්ස කොළ, කහට කොළ හා‍ පොතු, කහ දමා කොටා මලවා බැඳීමෙන් ඇට පෑස්සෙන බව සඳහන්. කුමාර ගුලියට හා ජීවානන්ද ගුලියට ද යොදන අනුපානුවට කුඩු මිරිස්ස දළු, පාවට්ටා දළු, නික දළු, බට කිරිල්ල දළු කොටා කෙසෙල් කොළේ ඔතා උණු අළුයට තබා තම්බා මිරිකා යුෂට ගුලි ලා දිය කර දීම පැරණි ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන්


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support