දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, October 3, 2016

කුඩු මිරිස්ස [Kudu Mirissa] (Toddalia asiatica)

කුඩු මිරිස්ස වියළි කළාපයේ සුලභව හමුවන කුඩා කටු සහිත කාෂ්ඨීය වැලකි. ඇතැම් විට පඳුරක් ලෙසද දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 3ක් දරයි. ලංසාකාර හැඩයෙන් යුත් පත්‍රිකාවල යටි පැත්තෙහි සියුම් කටු පිහිටා තිබිය හැකිය. උස් බිම්වල සහ  සහ පහත් බිම්වල වැවෙන කුඩු මිරිස්ස ශාකවල පත්‍ර අතර පැහැදිළි වෙනස්කම් දක්නට ලැබේ. කක්ෂීය හෝ අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල කහ හෝ සුදු පාට මල් පොකුරු ලෙස හට ගනී. කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පැහැයක් ගනී. කුඩු මිරිස්ස Rutaceae කුලයට අයත් ශාකයකි. 

දේශීය වෙදකමේ මහඟු ඖෂධයක් වන මෙය මොළයේ ධමනි හා හෘදයේ කිරීටක ධමනි ගත ලේ කැටි හිරවීම්, තදවීම් හා පිපිරීම්, ලේ ගැලීම්, හෘද රෝග, සන්නි රෝග, කෝළ රෝග, මැලේරියා උණ, සන්නිපාත උණ, ආමවාත, බාලක පක්ෂාගාත, බිළිඳු රතගාය, තැල්ම, සර්ප විෂ, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී. ඖෂධ පිණිස ගැනීමේදී කුඩුමිරිස්ස ශාකයේ කොළ, දළු, පොතු, මල්, ගෙඩි ආදී සියලුම අංග භාවිතා කරයි. සූතිකා සන්නියට විශේෂයෙන් යොදා ගන්නා බව සඳහන් කර ඇත. සුලභව භාවිතයට ගනුයේ එවේලෙහිම නෙලා ගත් ශාක කොටස් වීම විශේෂත්වයකි. ඊට හේතුව කුඩු මිරිස්ස දේශීය චිකිත්සාවෙහි එන දළු අනුපාන හා අනුපාන වර්ග, ක්වාත සඳහා බහුලවම යොදා ගනු ලබන ශාකයක් වීමයි. මල්, ගෙඩි ආදිය පිරිසිදුව වියළා සුලං නොවදින බඳුන්වල අසුරා තැබිය හැකි වුවත් කල් නොයවා ප්‍රයෝජනයට ගත යුතුය. 

කුඩු මිරිස්ස වා, සෙම් නස යි. අග්නිය වඩයි. ආහාර රුචිය උපදවයි. අතීසාර, ඉදිමුම්, වණ, උණ සමනය කර යි. ලේ වහනය නවත්වයි.  තුන් දොස් සමනය කරන කුඩු මිරිස්ස දිව්‍යාංගනාදී තෛලයට, රත තෙලට, සන්නිරාජ තෛලයට සහ කුඩුමිරිස්ස තෙලට ගනු ලැබේ. මෙම මුලේ පොතු චූර්ණය, මැලේරියාව, වැනි උණ රෝගවලට ගුණදායකය. කුඩු මිරිස්ස ස්වරසය, මාත්තු පහ සීතාරාම ආදී ගුලි අනුපානයහි යෙදේ. මෙම දළු දේශීය ගුලි වට්ටෝරුවල මූලික ඖෂධයකි. කුඩු මිරිස්ස ස්වරසය උණ රෝගවලට යොදයි. අස්ථි භග්නයේ දී කුඩු මිරිස්ස කොළ, කහට කොළ හා‍ පොතු, කහ දමා කොටා මලවා බැඳීමෙන් ඇට පෑස්සෙන බව සඳහන්. කුමාර ගුලියට හා ජීවානන්ද ගුලියට ද යොදන අනුපානුවට කුඩු මිරිස්ස දළු, පාවට්ටා දළු, නික දළු, බට කිරිල්ල දළු කොටා කෙසෙල් කොළේ ඔතා උණු අළුයට තබා තම්බා මිරිකා යුෂට ගුලි ලා දිය කර දීම පැරණි ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන්


Share:

13 comments:

Rasanga said...

මෙම කොළ බාවිතයෙන් රුදිරයේ සීනිමට්ටම අඩු වෙනවාද ?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

දන්න තරමින් එවැන්නක් වෙන්නේ නෑ. එවැනි භාවිතයක් ගැනත් දැනුවත් නෑ. තෙබු, කෝවක්කා වගේ ශාකවල කොළ අනුභව කිරීමෙන් නම් ලේවල සීනී මට්ටම පාලනය වීමක් වෙනවා.

Rasanga said...

Thank you

Unknown said...

"කුඩු මිරිස්ස ස්වරසය උණ රෝග වල ට යොදයි" යන්නෙන් අදහස් වන්නේ එහි පංචාංගය කොටා මිරිකා ලබා ගන්නා යුෂ කෙලින් ම පානය කරනවා යන්න ද තවත් දේ සමඟ මුසු කොට පානය කරනවා යන්න ද? එසේ මුසු කරන්නේ නම් ඒ කවරක් ද?
කලවම් පළාවක එක් ජාතියක් ලෙස එහි දළු ටිකක් (ශාකය පුරා ම කටු තිබෙන නාපිරිත්තා සේ) ගත හැකි ද?

Unknown said...

බල්ලන් වැනි සතුන් ගේ කටුවන් කෑම නම් සමේ රෝගය ට කුඩු මිරිස්ස පිළියමක් අැති බැව් කියති.එය සකස් කර ගන්නේ කෙසේ ද?

Unknown said...

රුධිරගත සීනි අඩු වැඩි වන මධුමේහ අාබාධය කෙරෙහි කුඩුමිරිස්ස වල බලපෑමක් නැති ද?

Unknown said...

මෙම T.asiatica ලියෙහි ඔසු ලෙස ගන්නා; ලඟ නෑ(ඥාති) තුරු ලිය වෙතොත් ඒ කවරෙක් ද?

Unknown said...

Me shakaya mona palath walada hadenne

Kamani kusum said...

කුඩු මිරිස්ස කොල පොහු මුල් ,පාවට්ටා කොල පොතු මුල්, නික කොල පොතු මුල් ,එලබටු කොල පොතු මුල් , කිරිඅගුන කොල ,කුප්පමේනියා කොල වංගෙඩියේ කොටා කෙසෙල් කොලයේ ඔතා කඩවැස්මක් බැඳි මුට්ටියක කෙසෙල්කොලයක් තබා මේ කොටා ගත් ඖෂධ තබා උණුවතුර දමා මුට්ටිය වසා වාෂ්පයෙන් තම්බා මිරිකා සීනි මීපැණි දමා (තෙල් වර්ගයක් දුන්නා මේස හැන්දක් දමා බොන ලෙසට .
මෙය දුන්නේ හෙල වෙදකම කරන වෙදමහතෙක් පිලිකා රෝගයට. මේ ගැන කුමක්ද කියන්නේ

Unknown said...

me palayak gedara hadaganna puluwanda? kohenda ganna puluwan? sundayw774@gmail.com

Unknown said...

යකිනාරං හා ගල් මොරටු ශාක වෙනස්ව හඳුනාගන්නේ කෙසේද..?

GHeshan udana said...

Me palle koheda samanyen wawenne

Anonymous said...

බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support