දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, October 10, 2016

හීං නෙරෙංචි / ගොකටු [Heen Nerenchi / Gokatu] (Tribulus terrestris)

සෙම්බු නෙරෙංචි යනුවෙන්ද හඳුන්වනු ලබන මෙය ලෝකයේ උණුසුම් රටවල් බොහෝමයක හමුවන බිම දිගේ වැවෙන වැල් ශාකයකි. වැලක් පොළවට සමාන්තරව සෙ.මි. 60 පමණ දිගට වර්ධනය වේ. කඳේ සහ පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන් සියුම් බූවක් සහිතය. පත්‍රයක් සෙ.මි 5.5 දක්වා වර්ධනය වන අතර පත්‍රිකාවක් මි.මි. 3.5 පමණ වේ. පෙති පහක් සහිත මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්ත ය. ගැටිති සහ දිගු රෝම සහිත ඵලයෙහි තියුණු සෘජු කටු පිහිටා තිබේ. මෙම කටු ගවයින්ගේ කුරවල ඇනෙන හෙයින් හීං නෙරෙංචි ශාකයට සංස්කෘතෙන් ගෝක්ෂුර නම් පර්යායක්ද වෙයි. ඖෂධීය භාවිතාවන් රැසක් සහිත  නෙරෙංචි Zygophyllaceae කුලයට අයත් වාර්ෂික පැළෑටියකි. 

කුසගිනි මදිකම, සංග්‍රහණී, අර්ශස්, පණු රෝග, හෘද රෝග, රක්ත පිත්ත, ඉදිමුම්, ඇදුම, ක්ෂය රෝගය, ගබ්සාවීම, මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, නාඩි දුර්වලතා, වාත රෝග, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, වේදනා ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට හීං නෙරෙංචි ශාකයේ ගෙඩි, ඇට සහ සම්පූර්ණ ශාකය එකවිටමත් භාවිතයට ගනී. හීං නෙරෙංචි මුත්‍රකාරක, කුසගිනි වඩවන, පණුවන් නසන, ඉදිමුම් නසන, ගැභ ආරක්ෂා කරන ආදී ගුණයන් බෝමයකින් සමන්විතයි.

හීං නෙරෙංචි ඇට කෂාය මුත්‍ර ගල්, කැස්ස, ක්ෂණික මෝචනය, ඇස් රුදාව සහ මවුකිරි වර්ධනයට ගුණදායක බව සඳහන්. හීං නෙරෙංචි ඇට හාල් සමඟ තම්බා සම්මත ක්‍රමයකට සකසා ගන්නා පානය බෙහෙවින් මුත්‍රකාරක ය. රක්තහීනතාවයට, පාචනයට, දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන රැධිර වහනයට සහ ශාක්තිජනක පානයක් ලෙස මෙම කොළ සහ ඇට තම්බා ගත් කෂාය භාවිතා කරයි. විදුරුමස් පිළිකා, මුඛය ඉදිමීම සහ දැවිල්ල, ස්‍රාව ගලන කුඩා සුදුපාට මුඛ පිළිකා සහ උගුරේ ආබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස නෙරෙංචි ඇට තැබූ වතුරින් මුඛය සේදීමට නියම කර ඇත. වකුගඩු ආබාධ, ක්ෂණික මෝචනය, මුත්‍ර සමඟ වැඩිපුර පොස්පෙට් පහවීම, ගොනෝරියා, කලක් පවතින මුත්‍රාශයේ දැවිල්ල, මුත්‍ර ගල්, අපිලිවෙලට මුත්‍ර පහවීම, මුත්‍ර අඩස්සිය, කුඩා සන්ධිවල ඇතිවන වේදනා, ලිංගික බෙලහීනතාවය, දරුප්‍රසූතියෙන් පසුව ඇති වන ගර්භාෂගත රෝග ආදියට හීං නෙරෙංචි පැළෑටිය සම්පූර්ණයෙන් තම්බා ගත් කෂාය දීම ගුණ වේ. වකුගඩු විශාල වීම (වෘක්ක වෘද්ධි) සඳහා නෙරෙංචි සහ නීරමුල්ලිය කෂාය යොදයි. ඵලය ඉවත් කරන ලද නෙරෙංචි පැළෑටියේ මැලියම් බඳු සාරය රසායන ඖෂධයක් ලෙස භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය


Share:

16 comments:

Duminda Abeysekara said...

ලිපියට ස්තූතියි. "සෝමලතා" කියලා පැළෑටියක් ගැන අහලා තියෙනවා, මාසයක් වගේ ආයුකාලයක් තියෙන. එහෙම පැළෑටියක් ඇත්තටම තියෙනවද ?

ජයවේවා!!!

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

එය නිශ්චිතව හඳුනාගෙන නැති මතභේදාත්මක ශාකයක් ලෙසයි සැලකෙන්නේ. ඒ ගැන ඇති වූ සංවාදයක් "ඔසුපැල හඳුනා ගනිමු" නමින් ඇති ෆේස්බුක් සමූහයේ පලවී තිබෙනවා.

Samantha Ranasinghe said...

Ahara skhashtraye Nishpadakayek Macuna beans ( wanduru Mey ) deshiyawa labagatha haki thorathurak diya hakida ? fruitslanka@ymail.com
email karanna . sthuthi

Unknown said...

Heen Nerenchi Kola ganna thanak dannawada

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

වියළි ප්‍රදේශවල තමයි හැදෙන්නේ. අනුරාධපුර පොලොන්නරු පැතිවල සහ වෙරළබඩ ප්‍රදේශවල සුලබව තියෙනවා.

Unknown said...

ස්තුතියි බුදු සරණයි

Susantha said...

මේවායේ කුඩු ගන්න තියේද?

Susantha said...

මේවායේ කුඩු ගන්න තියේද?

නිහාල් said...
This comment has been removed by the author.
නිහාල් said...

මේවා පානදුර වාද්දුව අවට වෙරළේ ටිකක් පරිස්සමින් බැලුවොත් සොයාගන්න පුලුවන්

Unknown said...

Sunamiyen passe dan ewa naha.wadawela

anbuajithkumar said...

පුරස්ථි ග්‍රන්ථියට හොඳයි කියලා කියනවා. ඒ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න.

Kelum Jayasinghe said...

සෙම්බු නෙරෙංචි කියල මට හම්බුනු පැලෑටිය හාත්පසින්ම වෙනස්..

Unknown said...

කුඩා කල සිටම මෙහි කටු තියෙනවා ද?

Unknown said...

මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට ඖෂධීය පානයක් ලෙස පානයට සුදුසුද?

Shirley Fernando said...

සෙම්බු නෙරෙංචි වුව ද හෙප්පු නෙරෙංචි යැ යිවරදවා කියන; හීන් නෙරෙංචි / ගොකටු/ ඉකිරි(කටු ඉකිරි) ලෙස ද කියන මෙම පැළෑටියේ කටු ඇණුන විට ඇතිවන කැක්කුම, ඉදිමුම, වැනි ගුණ නිසා වෙරළබඩ නිවැසියන් ගලවා පුළුස්සා දමමින් සංහාරයක් කරති. ඖෂධීය වටිනාකමක් නො දන්නාකම මෙන් ම ශාකයෙන් සිදු වන හිරිහැරය සලකා එසේ කළ ද මිළ නො කළ හැකි ඖෂධීය ගුණයන් ගෙන් සපිරි අපේ ඔසු පැළ සංහාරය වැලැක්වීමට දැනට ද කාලයක් නැතැ යි කිව හැක. ඒ ගැනැ නිවැරැදි තොරතුරු ජනගත කරන හැම දෙන ම ඉමහත් සේවයක් ම කරති.

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support