කළුකැම්මේරිය මීටරයක් දක්වා උසට වැඩෙන, මෙරටට හඳුන්වාදෙන ලද දේශීයකරණයවූ වාර්ෂික පැළෑටියකි. මෙහි කඳ සහ ශාඛා කොළ පැහැතිය. පත්‍ර ඒකාන්තර වන අතර ඒවායෙහි හැඩය අණ්ඩාකාර සිට ලන්සාකාර වේ. කක්ෂීය පුෂ්ප මංජරියෙහි මල් කීහිපයක් හට ගනී. පෙති පහක් සහිත මල සුදු පැහැති වන අතර රේණු කහ පැහැතිය. ඵලය කොළ පැහැති ගෝලාකාර බදරියකි. ඒ තුල බීජ රාශියක් පිහිටා තිබේ. ඉදුණු ඵලය තද දම් පැහැයක් ගනී. මෙහි කොළ රසවත් ගුණවත් පළාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. කළුකැම්මේරිය Solanaceae කුලයට අයත් ශාකයකි.
ශුක්‍ර දෝෂ, හෘද රෝග, ඉදිමුම්, වාත රක්ත, නින්ද නොයෑම, මී විෂ, ආමවාත, මුත්‍ර අඩස්සිය, ඉක්කා, ඇදුම, කුෂ්ඨ, ගෙඩි, අර්ශස්, මී විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, දඬු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කළුකැම්මේරිය සිරුර සන්තර්පනය කරන රසායන ගුණයෙන් යුක්තය. ඇසට හිතකරයි. වාතය පිත හා සෙම යන තුන් දොස නසයි.කළුකැම්මෙරිය කොළ අඹරා ආලේප කිරීම ඇතැම් කුෂ්ඨ රෝග සඳහා ප්‍රතිකාරයකි. ක්ෂය රෝගය සඳහා කළුකැම්මෙරිය කොළ මැල්ලුම ගුණදායකය. මී විෂට කළුකැම්මෙරිය කොළ යුෂ බීමට දෙයි. ඉදිමුම් සඳහා කළුකැම්මේරිය කොළ සමග බත් කෑමට දීම ආදී ලෙස සරල ප්‍රතිකාර රැසකි. මීට අමතරව කළුකැම්මේරිය වෙනත් ශාක ඖෂධ සමග යොදා ගන්නා ප්‍රතිකාරද රාශියක් ඇත. කළුකැම්මේරිය ශුක්‍ර වඩවන, මුත්‍රකාරක, කුසගිනි වඩවන, නින්ද ඇති කරවන ආදී ගුණයන් රැසක් සහිතයි.
අප රටේ දේශීය වෙදකමේදී හා ආයුර්වේද චික්ත්සාවේදී කළු කැම්මේරිය විශේෂයෙන් යොදන අවස්ථා හමුවේ. ඒ අනිද්‍රා හෙවත් නින්ද නොයාම පිළිබඳ රෝගාවස්ථාවේදීය. එහිදී මෙම ශාකය සහමුලින් ගෙන පිරිසිදු කර සිහින්ව කපා පවනේ වියලා තම්බා බීමෙන් හා එයම කලං 12 ක් (ග්රෑම් 60) ගෙන වතුර පත 8 දමා පතට සිඳ පෙරා බීමෙන් ඉතා සුවපත් නින්දක් ලබා ගත හැකිය. ඒ සඳහා මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්ම මෙම ගසේ මුල ගලවා නිදිනොලබන්නා හිසට තබන කොට්ටයට ඇතුළු කිරීමෙන් නිදි එළඹෙන බවට දේශීය විශ්වාසයේ පවතී.
කළුකැම්මේරිය විවිධ රටවල දේශීය වෛද්‍ය ක්‍රමවල විවිධ රෝගාබාධ සඳහා භාවිතා කරන බව සඳහන්. ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයෙහි වෛද්‍යවරු කළුකැම්මේරිය උණ, පාචනය හා ඇස් රෝග ආදියට ප්‍රතිකාර සඳහා බහුලව යොදාගන්නා බවත්, බොම්බායේ වෛද්‍යවරු කළුකැම්මේරිය යුෂ අක්මා රෝග සඳහා ඔසුවක් සේ භාවිතා කරන බවත්, ඉන්දියාවේ කොංකාන ප්‍රදේශයෙහි වෛද්‍යවරු පොතු කබර රෝගය ඇතුළු සමේ රෝගවලට ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බවත්, චීන වෛද්‍යවරු වකුගඩුවල සහ මුත්‍රාශයේ රෝගවලටත් ගොනෝරියා නම් සමාජ රෝගයටත් ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බවටත් තෙරතුරු සඳහන් වේ.
කළුකැම්මෙරිය ඇට අධික මාත්‍රාවක් ශරීරගත වීමෙන් වමන, අතීසාර, පිපාස, උදර වේදනා, හිසෙහි වේදනා, කලන්තය ආදී සංකූලතා සහ ඇතැම් විට මරණය පවා ඇති විය හැකි බවත් අත්තන විෂට සමානව ප්‍රතිකාර කළ යුතු බවත් දැක්වේ.
මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
2 comments:
ඉස්සරනම් පාර දිගට තිබ්බත් අද වෙනකොට පේන්න නැති පැළෑටියක්. හැමදාමත් ආශාවෙන් බලන ලිපියක්.
ජයවේවා!!!
ස්තුතියි ඔබට. නුවර පැත්තෙ නම් මේවා දුර්ලභ නෑ.
Post a Comment