රත්හඳුන් දේශිය වෛද්‍ය කර්මයෙහි භාවිතා වන ඉතා ප්‍රකට ඖෂධයක් ලෙස සැලකිය හැකිය. පුරාතනයේ සිටම රත් හඳුන් එදිනෙදා භාවිතයට ගන්නා අත් බෙහෙතක් ලෙස ද බොහෝ ජනප්‍රියව පවතී. අතීතයේ විසූ කුමාරිකාවන්, රජ බිසෝවරුන් ප්‍රමුඛ කාන්තාවන් සිය ශරීරයේ රූ සොභාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම සම පවිත්‍ර කාරකයක් ලෙස ද සලකා ස්නානයේදී සඳුන් ගලගා ශරීරයේ ගල්වනු ලැබූ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. රත්හඳුන් මීටර් 7-8 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර ඒකාන්තරයි, ත්‍රිපත්‍රිකයි, උපපත්‍ර රහිතයි. රත්හඳුන් සහ ගම්මාළු ශාක බොහෝ දෙනෙක් පටලවා ගන්නා අතර ගම්මාළු වල පත්‍රිකා 5, 7, 9 ලෙස දක්නට ලැබීම එය රත්හඳුන් ශාකයෙන් වෙන්කර හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණයකි. පුෂ්ප මංජරියක හට ගන්නා දිවීලිංගික පුෂ්ප කහ පාටය. ඵලය බීජ දෙකක් සහිත කරලකි. මෙම ශාකය ඉන්දියාවේ ස්භාවිකව වැවෙන අතර ලංකාවේ වගා කර ඇත. රත් හඳුන් Fabaceae කුලයට අයත් ශාකයකි.
ඉදිමීම්, වමනය, දැවිල්ල, අක්ෂි රෝග, අධික පිපාසය, හිසරදය, අතීසාරය, උණ, රක්ත අර්ශස්, චර්ම රෝග, පණු රෝග, රක්තපිත්ත, වාතආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රත්හඳුන් ශාකයේ ඵලය සහ අරටුව භාවිතා කරයි. බුද්ධරාජ කල්කය, දෙ සඳුන් කල්කය, රත්හඳුන් කල්කය යනාදිය රත්හඳුන් යොදාගෙන නිපදවන ඖෂධයන්ය. රත්හඳුන් කුෂ්ඨ නසන, පණුවන් නසන, ලේ පිරිසිදු කරන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි.
පාචනයට රත්හඳුන් ගෙඩියේ යුෂ ඖෂධීය පානයක් ලෙස ලබා දෙයි. ලේ පිටවන අර්ශස් සඳහා රත්හඳුන් එළකිරෙන් ගලගා බීම හෝ වතුරින් ගලගා ආලේප කරයි. ඇස් රෝගවලට රත්හඳුන් ගලගා තලපයක් මෙන් සාදා ඇස වටේ ආලේප කරයි. එලෙස සාදා නලලේ ආලේප කිරීමෙන් හිද රුදා සුව වෙයි. රත්හඳුන්, වියළි කහ සහ කිරි මිශ්‍ර කර ආලේප කිරීමෙන් කුරුලෑ වැනි චර්ම රෝග සුව වෙයි. මේරූ රත්හඳුන් ලීය සමේ ආසාදන සුව කිරීම සඳහා භාවිතා කරයි. බොහෝ විට ඒ සඳහා දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම සිදු කරයි. එලෙස දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම බාහිර තැලීම්, ඉදිමීම් ආදියටද ප්‍රතිකාරයකි. හොඳම වර්ගයේ කයිප්පු නම් ඖෂධය තනනුයේ රත්හඳුන් අරටුවෙනි. රත්හඳුන් රූපලාවන්‍ය කර්මාන්තයට බහුලව යොදා ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්