දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Thursday, February 11, 2016

හීං උඳුපියලි [Heen Udupiyali] (Desmodium triflorum)

හාවුන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස සැලකෙන හීං උඳුපියලි ශාකය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. පර්වයන්ගෙන් පොළවට මුල් ඇදෙමින් මීටර් භාගයක් පමණ වන ප්‍රදේශයක පැතිරී වැඩෙයි. ශාකය පුරාම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර ත්‍රිපත්‍රි ය. නිර්වෘන්ත පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. හීං උඳුපියලි Fabaceae කුලයට අයත් ශාකයකි.

ආම වාතය, කුසගිනි මදිකම, ගුල්ම, විෂ, අක්ෂි රෝග, මාන්දම, අතීසාර, ගෙඩි, වණ, තදබල මුත්‍ර අඩස්සිය, ළදරු ක්ෂය රෝගය, නාග විෂ, ඉරුවාරදය, දියවැඩියාව නිසා ඇතිවන පිපාසය, තොල් පැලීම, සර්ප විෂ ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඔසු සෑදීමෙදී මෙම සම්පූර්ණ ශාකයම යොදා ගනී. මධ්‍යම පළාතේ කැඩුම් බිඳුම් සඳහා ද හීං උඳුපියලිය භාවිතා කරයි. උඳුපියලිය නිල්ල පෑගීම අක්ෂි රෝග වැළැක්වීමට සහ ඇස් පෙනීම දියුණු වීමට හේතුවන බවට විශ්වාසයක් පවතී.

හීං උඳුපියලි කොළ අඹරා පුවක් ගෙඩියක් පමණ එළකිරෙන් දිය කොට දවසට වරක් උදය වරුවේ බීමට දීමෙන් මව් කිරි වර්ධනය වේ. ළදරුවන්ගේ අජීර්ණය, කුසගිනි මදිකම ආදියට හීං උඳුපියලිය යුෂ ස්වල්පයක් දීම ප්‍රතිකාරයකි. වණ සඳහා කොළ යුෂ හෝ මුල් යුෂ තැවරීම සිදු කරයි. දැඩි මුත්‍ර අඩස්සියට සම්පුර්ණ ශාකයම තම්බා බීමට දෙයි. පොළොන් විෂ හැරීමට උඳුපියලිය යුෂ පතක් බොන්නට දෙයි. පත්තෑ විෂට හීං උඳුපියලිය දෙසි ඇඹුල් සමග අඹරා අාලේප කරයි. සෙංගමාල, ශරීරයේ විෂ, අතීසාර, ඇස් රෝග ආදියට හීං උඳුපියලිය කැඳ බොන්නට දෙයි. උඳුපියලි කොළ බුලත් මෙන් සපා කෙල ගිලීමෙන් තොල් පැලීම සුව වෙයි. බඩපිපුමට උඳුපියලිය කොළ පවනේ වේලා කුඩුකර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. හීං උඳුපියලිය වේලා කුඩුකර ඊට උළුහාල් කුඩු තේ හැදි භාගයක් දමා කෝපි මෙන් පානය කිරීම මධුමේහයේ ඇතිවන පිපාසයට ප්‍රතිකාරයකි. හාවුන්ගේ වසුරු උඳුපියලි කොළ යුෂින් අඹරා ගෑම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයක් බව සඳහන් වේ. හීං උඳුපියලිය වේදනානාශක, මුත්‍රකාරක. ක්ෂීර වර්ධක, ශක්තිජනක ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති 

Share:

1 comments:

Unknown said...

මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගන ගන්නවා.මේ විස්තර ගොඩක් වටිනවා.මේ විස්තර downlord කරන්න පුළුවන් විදියට සකස් කරන්න පුලුවන්ද?

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support