සුළුනයි පොළවේ වැතිරී හෝ සෙ.මී. 20ක් පමණ උසට වැඩෙන දුර්වල සිහින් කඳක් සහිත කුඩා පැළෑටියකි. පත්‍රවල හැඩය ඕවලාකාර හෝ ආයත ඕවලාකාර ය. පත්‍රයක් දිගින් සෙ.මී. 1.2-2 දක්වා ද පළලින් සෙ.මී. 0.5-0.8 දක්වා ද විය හැකි අතර මද තීව්‍ර අග්‍රස්ථයක් සහිතය. සෙ.මී. 2.5 ක් පමණ දිග නටුවක හටගන්නා ශුකියෙහි ළා දම් පැහැ හෝ ළා නිල් පැහැ කුඩා පුෂ්ප හටගනී. ඕවලාකාර ආයත හැඩැති කුඩා බීජකෝෂවල චක්‍රාකාර බීජ ඒක කේන්ද්‍රීය ව පිහිටා තිබේ. සුළු නයි Acanthaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.
තුවාල, සර්ප විෂ, අක්ෂි රෝග, ඇසේ යමක් ඇණුන විට එය එය ඉවත් වී තුවාලය සුව වීමට ආදීය අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සුළුනයි සම්පූර්ණ ශාකයම භාවිතා කරයි.
සුළු නයි කොළ අඹරා තැබීමෙන් තුවාලවල ලේ ගලා යාම නවතී. සුදුළූණු, වදකහ, තුන් බෝ අත්තන මුල්, සුළු නයි මුල් සමව ගෙන සුණු කොට සාදාගන්නා දුම් පන්දුව සියලු සර්ප විෂට වේදු ඇල්ලීම පිණිස යොදා ගනී. විෂ වෛද්‍යවරු මුඛයෙන් නාග විෂ ඉරීමට ප්‍රථම සුළු නයි, මහ නයි දෙවර්ගයේ මුල් සැපීම සිදුකරන බව සඳහන්. එසේම සර්ප විෂ සඳහා සාදන ගුලි වර්ගවල යෝගයක් ලෙස ද සුළු නයි යොදා ගනී. ඇසේ යමක් ඇනී තුවාල වූ විට අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට,කොහොඹ කොළ, කූර කොළ, කරල් සැබෝ කොළ, ඔලිඳ කොළ, බුත්සරණ මුල්, තැල් කොළ, සුළු නයි කසාය කර ඇසට වත් කරන අතර සුළු නයි, මහ නයි, මොණරකුඩුම්බිය, තැල් කොළ, බූ මෑ කොළ, ගොටුකොළ, කරල්සැබෝ කොළ ආදියෙන් ලද පමණක් තලා වත් කිරීම ද සිදු කරන බව දක්වා ඇත. ඇසේ සුද නැති වීමට සුළු නයි, මොණරකුඩුම්බිය, පොල්පලා තලා ඇසට වත් කරන බව ද කියැවේ.
මූලාශ්‍ර_ තල්පතේ පිළියම් කෘති
සේයාරූ_ Illustrated field guide to the flowers of Sri Lanka - Volume 1 සහ වෛද්‍ය සංජීව රූපසිංහ