දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, April 30, 2017

හීං දෙමට [Heen Demata] (Gmelina asiatica)

දෙමට, ගැට දෙමට, කහ දෙමට ආදී නම්වලින්ද හඳුන්වන හීං දෙමට මීටර් 3ක් පමණ උසට වැවෙන පඳුරු අකාර කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට බිම දිගේ ඇදී යන ස්වභාවයක් දක්නට ලැබේ. පොත්ත කහ හෝ දුඹුරු පැහැයට හුරු සුදු පාට ය. කඳ දැඩි වන අතර සාමාන්‍යයෙන් කටු පිහිටා තිබුන ද එසේ නොවන අවස්ථාද දැකගත හැකිය. පත්‍ර තලය බොහෝ විට පටලමය වන අතර විවිධාකාර හැඩයන් ගනී. පත්‍රයක් සෙ.මි 1 සිට 9.5 දක්වා විය හැකිය. කක්ෂිය හෝ අග්‍රස්ථීය පුෂ්ප මජරිය කිඹිසි හෝ පහලට එල්ලෙමින් පවතින ආකාරයකි. අැලුණු ඝන බූවක් දරයි. දීප්තිමත් කහ පැහැයකින් යුත් මල් අලංකාරය. හවසට පිපෙන මල් හිරු උදාවත් සමඟ හැලී යයි. කොළ පැහැති ඵලය අෂ්ටිලයකි. ඉදුණු පසු කහ පැහැතිය. ඇතුලත පිහිටි ජලීය ද්‍රාවණය තුල බීජ 1 ක් හෝ 2ක් පිහිටයි. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී Gmelina arborea යන උද්භිද නාමයෙන් හඳුන්වන විශාල වෘක්ෂයක් වන ඇත් දෙමට හා මෙම ශාකය පටලවා නොගත යුතුය. දෙමට ශාක Verbenaceae උද්භිද කුලයට අයත් ය. 

වණ, ක්ෂත, ස්වසනාළ ප්‍රදාහය, පෙනහළු ආසාදන, ඇදුම, කැස්ස, සුදු බිංදුම (ගොනෝරිය) නම් සමාජ රෝගය, සන්දි ඉදිමීම, ථීරංග නම් සමේ රෝගය, කැඩුම් බිඳුම් ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට හීං දෙමට ශාකයේ මල්, ගෙඩි. පොතු, මුල් ආදිය භාවිතා කරයි. දෙමට පැණිය, දෙමට මල් කල්කය, හීං දෙමට යොදා නිපදවන ඖෂධයන් ය. සුරංවිදුර ගුළිය ඇඹරීමේ මාත්තුවක් ලෙස දෙමට ගෙඩි යුෂ යොදා ගනී. දෙමට සෙම නසන, ඇදුම, කැස්ස, වේදනා, ඉදිමුම් ආදිය සුව කරන ගුණ සහිතයි. 

වණ, ක්ෂත ආදියට ප්‍රතිකාර කිරීමේදී හීං දෙමට පොතු තැම්බූ වතුරින් සේදීම ගුණය. ස්වාසනාළ ප්‍රදාහය, ඵුප්ඵුස ප්‍රදාහය ඇදුම ආදියට හීං දෙමට ගෙඩි සමග වෙනත් ඖෂධ යොදා සකස්කරගත් ක්ෂය දෙයි. සුදු බිංදුම (ගොනෝරිය) රෝගයේදී කොළ සහ නැටිවලින් ලබාගත් සෙවලමය සාරයට ජලය මිශ්‍රකර සාදාගත් දියරයෙන් සේදීම කරයි. සන්ධි ඉදිමීම, ථීරංග ආදී රෝග සඳහා හීං දෙමට මුල් යොදා සකස්කර ගත් ඖෂධ ලබ දීමත්, හීං දෙමට පොතු කහ දළු ලා කොටා මලවා බැඳිමත් සිදු කරයි.  

දෙමට පොතු බුලත් විටට එකතු කර ගැනීම මෙම ශාක සුලබව ඇති ප්‍රදේශවල ගැමියන්ගේ පුරුද්දකි. කැති වැනි ගොවි උපකරණවල මිටවල් සහ හැඳි මිටවල් සෑදිමේදී දෙමට ලී භාවිතා කරයි. හදි හූනියම්,  මන්ත්‍ර ගුරුකම්, බලිතොවිල්, යාගහෝමවලදී හීං දෙමට ශාක කොටස් යොදා ගනී. රා පැසවීම සඳහා තෙලිදිය භාජනයට දෙමට පොතු එක් කරයි. ලීය වැටවල් සෑදීමටත්, දර ලෙසත් භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, April 23, 2017

හොඬපර [Hodapara] (Dillenia indica)

වම්පර යනුවෙන්ද හඳුන්වන හොඬපර මීටර් 15 පමණ උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාක විශේෂයකි. ඇල, දොළ, ගංඟා ඉවුරු ආශ්‍රිතව සුලභව හමු වෙයි. ඉතා රළු පත්‍රයක් සෙ.මි 36 දක්වා දිගු විය හැකිය. පත්‍රවල මධ්‍ය නාරටිය සහ පාර්විශක නාරටි කැපීපෙනෙන ලෙස පත්‍ර තලයෙන් ඉහලට මතුවී පෙනේ. පෙති පහක් සහිත සුදු පැහැති මල අලංකාරවත් ය. පර විශේෂවලට පොදු ලක්ෂණයක් වන්නේ මල පරාගනය වීමත් සමඟ ලපටි ඵලය වැසෙමින් මණිපත්‍ර වර්ධනය වීමයි. එමඟින් සෑබෑ ඵලය වටා ව්‍යාජ ඵලයක් නිර්මාණය වේ. කහ පාටට හුරු කොළ පාට ගොලාකාර ව්‍යාජ ඵලය සෙ.මි 12 පමණ විශ්කම්භයකින් සහිතයි. එහි මධ්‍යයේ සැබෑ ඵලය පිහිටන අතර එහි නානුමය පල්පය තුල ගිලී බීජ පිහිටා තිබේ.  

මෙම Dillenia උද්භිද ගණයට අයත් තවත් දේශීය පර විශේෂ 2 ක් ඇති අතර ඒවා දියපර (Dillenia triquetra) සහ ගොඩපර (Dillenia retusa) නම් වෙයි. මෙම විශේෂ දෙකෙහිද මල් සුදු පැහැතිය. මීට අමතරව කහ පැහැති මල් පිපෙන Dillenia suffruticosa නම් විදේශීය ආක්‍රමණික පර විශේෂයක් හමුවන අතර එය ඇතැම් ප්‍රදේශවල "පරසතු" යනුවෙන් හඳුන්වයි. මෙම විනාශකාරී විදේශීය ශාකය "පරසතු" ලෙස හැඳින්වීම කෙතරම් යෝග්‍ය දැයි සිතා බැලිය යුතුය. හොඬපර ද ඇතුළු පර විශේෂ Dilleniaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

අර්ශස්, උණ, කැස්ස, ස්වාස නාලිකා අවහිර වීම, හෘද රෝග, ශීර්ෂ රෝග, ඉදිමුම්, උදරාබාධ, පෝෂණ ඌණතා, ප්‍රතිශක්ති ඌණතා, රුධිර දෝෂ, කැඩුම් බිඳුම්, අස්ථි සන්ධි ප්‍රදාහය සහ සන්ධි අසල ගෙවීයාම ඇතුළු සන්ධිගත රෝග, ගෙඩි, ගල් තැළුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් හොඬපර ගෙඩිවල මදය භාවිතා කරයි. 

ඇට ඉවත් කරගත් හොඬපර මද දෙහි යුෂ සමඟ මිශ්‍ර කර හිසෙහි ආලේපයෙන් ඉස්හොරි, උකුණන්, අකලට කෙස් පැසීම සහ ගැලවීයාම, හිසෙහි සම වියළීම, හිසරදය වැනි රෝගවලින් නිදහස් විය හැකිය. හොඬපර මදයේ නානු ස්වාභාවික ජෙල් වශයෙන් ද භාවිතයට ගත හැකිය. සන්ධිගත වාතය රෝග සන්ධි ගෙවීයාම වැනි රෝග සඳහා හොඬපර මඳ ඇට සමඟ තල තෙල්, එළඟි තෙල් සමඟ මිශ්‍ර කර අඹරා මී පැණි දමා ආලේපනය ප්‍රතිඵලදායකය. පිත්, වා ප්‍රබල විට හුඹස් මැටි කබලේ බැද, කොටා, හලා මීට එක් කිරීමෙන් වහා ගුණ ලැබේ. හෘද නාල අවරෝධයේ දී මි පැණි, තල තෙල්, හොඬපර මඳ එක්කර පපුවේ ආලේප කළ යුතුය. සන්ධි භග්නයකදී තම්බාගත් හොඬපර මඳ අඹරා, වියළා ගත් කඳන් බිම්මල් කුඩු, මී පැණි සමඟ මිශ්‍ර කර ගෑමෙන් සුව වේ. එය ඕනෑම තැළුම් ස්ථානයකට ද යෙදිය හැක. අර්ශස්, පෝෂණ ඌනතා, ප්‍රතිශක්තිකරණ දුර්වලතා, රක්ත දෝෂ ඇති විට හොඬපර පොතු සියුම්ව ලියා තම්බා මලවා හෝ උයා කෑමෙන් ගුණ ලැබේ. එය තායිලන්තයේ, මැලේසියාවේ සහ චීනයේ ආර්ණ්‍ය ගත ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන ඖෂධීය ආහාරයකි.  

විශේෂ ස්තුතිය_ ඔෟෂධීය භාවිතාවන් පිලිබඳ තොරතුරු සපයා දුන් වෛද්‍ය නිලංක රවිනාත් ජයසේකර මහතාට
Share:

Sunday, April 16, 2017

මසන් [Masan] (Ziziphus mauritiana)

ඩෙබර සහ මහ ඩෙබර යනුවෙන්ද හඳුන්වන මසන් මීටර් 5 ක් පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. අතුවල තැනින් තැන තියුණු නොවන කටු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් දිගින් සෙ.මි. 9 ක් සහ පළලින් සෙ.මි. 5 දක්වා වර්ධනය විය හැකිය. හැඩයෙන් ඕවලාකාර හෝ අණ්ඩාකාර ය. පත්‍ර යටි පැත්තෙහි දුඹුරුවන් සියුම් බූවක් පිහිටයි. පත්‍ර දාරයෙහි දැතිවන් සියුම් කඩතොලු දැක ගත හැකිය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කොළ පාටට හුරු සුදු පාටය. ගෝලාකාර මාංසල ඵලය ඉඳුණු පසු කහ පැහැයක් ගනී. මසන් ඉන්දියානු මූලාශ්‍රවල බදර යනුවෙන් හඳුන්වා ඇති අතර ඒවායෙහි රාජ බදර, බදර හා ක්ෂුද්‍ර බදර යනුවෙන් වර්ග තුනක් ගැන සඳහන් වේ. මසන් Rhamnaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

අතීසාරය, රක්ත අතීසාරය, රක්ත පිත්ත, දියවැඩියාව, ආහාර අරුචිය, කුසගිනි මදිබව, අර්ශස්, ශරීර දාහය, ඇස් රෝග, ප්ලීහා රෝග, හෘද දුර්වලතා, කැස්ස, ඇදුම, ඉක්කා, මුත්‍ර අඩස්සිය. ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, චර්ම රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මසං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි, ඇට ආදිය භාවිතා කරයි. මසන් කුසගිනි වඩවන, දිරවීම පහසු කරවන, පිපාසය සහ ශරීර දාහය සංසිඳවන, හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, වණ ශෝධනය හා රෝපණය කරන ආදී ගුණයන් සහිතයි. අමු මසන් කොළ පිත සෙම වඩවන බවත් ඉඳුනු කොළ වාතය සහ පිත නසන බවත් සඳහන්. 

මසන් මුලේ පොතු කල්කය සියුම්ව එළකිරෙන් අඹරා කෑම රක්ත අතීසාරයට ගුණය. කොළ තලා බැඳීමෙන් මකුලු විෂ නැසේ. මසං ඇට චූර්ණය දීකිරි සමඟ කාස රෝගයට භාවිතා කරයි. රක්ත ප්‍රදරයට පොතු චූර්ණය උක් හකුරු සමඟ යොදයි. අර්ශස් සඳහා ද ඒකීය ඖෂධයක් ලෙස යොදා ගනී. අර්ශස් ගෙඩිවල වේදනාව ඇති විට මසන් කොල හා පොතු තම්බා ගත් ජලය මඳක් උණුසම්ව ගෙන ඒ මත වාඩිවී සිටීමෙන් වේදනාව පහව යයි. ශරීර දාහයට පත්‍ර කල්කය ආලේප කරයි. ඇස් රෝගවලදී ඇට ගලගා ආලේප කරයි. අතීසාර හා ප්‍රවාහිකා රෝගවලදී මසන් මුලේ පොතු චූර්ණය මී පැනි සමඟ යොදයි. ශ්වේත ප්‍රදර හා රක්ත ප්‍රදර රෝග සඳහා මසන් ගෙඩි චූර්ණය මී පැනි සමඟ හෝ හතුරු සමගත්, මුල් චූර්ණය හකුරු සමඟත් යොදා ගනී. ස්වර භේදය හෙවත් උගුර බැරැන්ඩියට මසන් කොළ කල්කය ගිතෙලින් බැද සහිඳ ලුණු සමඟ ලේහ කරයි. මසන් ගෙඩි කෑමට ගැනීම හෘද දුර්වලතා, රුධිර රෝග, රකතපිත්ත ආදියට ගුණදායකය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු 
සේයාරූ_ වෛද්‍ය සෙනරත් නිරෝෂන් 
Share:

Sunday, April 9, 2017

එළ මිදෙල්ල [Ela Midella] (Barringtonia acutangula)

දිය මිදෙල්ල යනුවෙන්ද හඳුන්වන එළ මිදෙල්ල මීටර් 20 දක්වා උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. බොහෝ විට ඇළ දොළ ගං ඉවුරු ආශ්‍රිතව දැක ගත හැකිය. රළු ස්වභාවයක් ගන්නා පොත්ත ඉතා ඝනකම්ය. සෙ.මි. 15 පමණ දිගුවන හරිත පැහැයෙන් යුතු සරල පත්‍ර වලයාකාර ගොනු වශයෙන් පිහිටයි. පත්‍ර පාදය දෙසට වන්නට පළල අඩුවන ස්වභාවයකි. පුෂ්ප මංජරිය පහලට එල්ලා වැටෙන දිගු ඒකාක්යෂකි. එහි හට ගන්නා රතු පැහැති මල් අලංකාරවත් ය. චතුරශ්‍රාකාර හැඩයෙන් යුත් ඵලය තුල එක බීජයක් පිහිටා තිබේ. මෙම උද්භිද ගණයටම අයත් තවත් දේශීය ශාක දෙකක් ඇති අතර ඒවා ගොඩ මිදෙල්ල (Barringtonia racemosa) සහ මුදිල්ල (Barringtonia asiatica) නම් වේ. මෙම ශාක විශේෂ Lecythidaceae උද්භිද කුලයට අයත් ය.  

ප්‍රමේහ, කුෂ්ඨ, අර්ශස්, රකත් පිත්ත, ආමඅතීසාර, කැස්ස, ඇදුම, පීනස, හිසරදය, අහාර අරුචිය, තුවාල, ගණ්ඩු, ලේ වමනය, කෘමි දෂ්ඨන ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට දියමිදෙල්ල ශාකයේ කොළ, දලු, මුල්, මල්, පොතු ගෙඩි හා ඇට භාවිතා කරයි. දිය මිදෙල්ල ගර්භාෂය සංකෝචනය කරන, රුධිරය පිරිසිදු කරන , උණ නසන ආදී ගුණ සහිතයි. 

අරුචි, ප්‍රමේහ, සෙම්, පිත්, ලේ දෝෂ නිසා ගට ගත් කුෂ්ඨ ආදියට මෙහි කොළ පළාවක් ලෙස ආහාරයට ගැනීම ගුණය. ආමඅතීසාරයට පත්‍ර ස්වරසය මී පැණි සමඟ යොදයි. ඇදුම රෝගයට  මිදෙල්ල පත්‍ර ස්වරසය මෙම ඇට චූර්ණය සමඟ හෝ පත්‍ර ස්වරසය ගම්මිරිස් ඇට 20 ක වූර්ණය සමඟ ගත යුතු බව සඳහන්. හිසරදයට බීජවල ඉතා සියුම් චූර්ණය ග්‍රෑම් 5 ක් ඉඟුරු ඉස්ම සමඟ නස්‍ය කළ යුතුය. කුඩා දරුවන්ගේ උදරය විශාල වී ඉදිරියට නෙරා ඒමට බීජ චූර්ණය ග්‍රෑම් 5-10 කිරි සමඟ මිශ්‍රකර පානයට දිය යුතුය. ඇස්වලින් කඳුළු ගලන විට බීජ චූර්ණය වතුරින් ගලගා අංජන ලෙස බාහිරින් ආලේප කරයි. ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම ආදී අවස්ථාවන්ට ගෙඩි යුෂ ද අතීසාරයට පත්‍ර යුෂද භාවිතා කරයි. ළය විරේකයට කෝලිකුට්ටු අල, පොල්තෙල්, බෝ පොතු යුුෂ, නස්නාරං, නික කොළ යුෂ, මිදෙල්ල පොතු යුෂ භාවිතා කරයි. කැපුම් තුවාලයක් වූ විට මෙහි කඳෙන් පට්ටයක් ගලවා එයින් තුවාලය බැඳ තැබීම ග්‍රාමීය ප්‍රතිකාරයකි. දියමිදෙල්ල කොළ, පොතු හා මල් තැම්බූ වතුරින් කට සේදීමෙන් දත් මුල් ශක්තිමත් වන බව සඳහන්. 

ළපටි දිය මිදෙල්ල පත්‍ර පළාවක් ලෙස කෑමට ගත හැකිය. මෙම ලීය බෝට්ටු, විසිතුරු උපකරණ, කෘෂි උපකරණ සහ ආයුධ ආදියෙහි මිටවල් සෑදීමට යොදා ගනී. දිය මිදෙල්ල අලංකාරය සඳහා ද වැවිය හැකි වටිනා ශාකයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
සේයාරූ අනුග්‍රහය_ ප්‍රදීප් රාජතේව මහතා
Share:

Sunday, April 2, 2017

බැලතණ [Belatana] (Eleusine indica)

බැලතණ පොළවෙන් මදක් ඉස්සී වැඩෙන ශක්තිමත් මූල පද්ධතියක් සහිත දේශීය තෘණ ශාකයකි. බීජයක් මගින් හට ගන්නා කුඩා පැළෑටිය බෙදෙමින්, නව පැළෑටි බිහි කරමින් පඳුරක් ආකාරයට වර්ධනය වේ. මි.මි 3-5 පමණ පළල පත්‍රයක් සෙ.මි. 10 දක්වා දිගට වර්ධනය වේ. පැළෑටිවල අග්‍රස්ථයෙන් දිග නටුවක් සහිත පුෂ්ප මංජරියක් හට ගන්නා අතර කහ කොළ පැහැයට හුරු මල් ඉතාමත් කුඩාය. බැලතණ Poaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

කැඩුම් බිඳුම්, ඉදිමුම්, චර්ම රෝග ආදීයට ප්‍රතිකාර කිරීමේදී බාහිරවත්, මුත්‍ර අබාධ සහ අක්මා රෝග, ඉන්ෆ්ලුවෙන්සාව, ඇදුම, අධි රුධිර පීඩනය, සෙංගමාලය, උණ ආදී රෝග සඳහා සඳහා ප්‍රතිකාර කිරීමේදී අභ්‍යන්තරවත් සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බැලතණ කැඩුම් බිඳුම් වෙදකමේදී යොදා ගන්නා මැල්ලුම් සඳහා සුලබව යෙදෙන ඖෂධයකි. උළුක්කු සහ තැළුම් සඳහා බැලතණ, අමුකහ, ලුණු කැට ස්වල්පයක් සමග කොටා මලවා බැඳීම පහසු ප්‍රතිකාරයකි. ඇතැම් විට එයට අඹ පොතු එක්කර ගැනීමද සිදු කරයි. ළපටි බැලතණ පැළෑටියේ යුෂ යොදා සිඳ ගන්නා තෙල් වාත රක්ත, තැලුම්, කැඩුම් බිඳුම්, රුදා ආදිය සමනය කිරීමට යොදා ගනී. බැලතණ කොළ තම්බා තේ මෙන් පානය කිරීමෙන් හොඳින් මුත්‍ර පිටවන බවත්, අමාශගත පීඩා ආදිය දුරුවන බවත් සඳහන් වේ. ඇතැම් රටවල සාගත කාල වලදී මෙම බීජ ආහාරයට ගන්නා බව සඳහන්. බැලතණ වේදනා නාශක, මුත්‍රකාරක, උණ නසන ගුණ සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

Thursday, March 30, 2017

කහ මිල්ල [Kaha Milla] (Vitex altissima)

සාමාන්‍ය ව්‍යවහාරයේ මිල්ල යනුවෙන් හඳුන්වන කහ මිල්ල බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 25 ක් දක්වා ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. කඳ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් දක්වා වැඩේ. ඇතැම් විට කුඩා වෘක්ෂ ලෙස ද දැක ගත හැකිය. සංයුක්ත පත්‍ර ද්වීකාන්තරික සම්මුඛ වන අතර පත්‍රිකා 3 හෝ 5 ලෙස පිහිටයි. පුෂ්ප මංජරිය පුෂ්ප රාශියක් ගොනු වී ඇති බහු අක්ෂයකි. මල් ළා දම් පැහැතිය. ඵලය අෂ්ඨිලයකි. එය කොළ පැහැති වන අතර මෝරණ විට තද දම් පැහැයට හැරේ. මෙම ශාකයේ අරටුව කහ පැහැති වන අතර දැවමය වටිනාකම ඉතා ඉහලය. කහ මිල්ල Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. Tiliaceae උද්භිද කුලයට අයත් තවත් මිල්ල නමින් හඳුන්වන, දැවමය වටිනාකමක් සහිත ශාකයක් ඇති අතර එය හල්මිල්ල (Berrya cordifolia) නම් වේ. 

සන්නිපාත අතීසාරය, රතගාය, සියළු ගඩු, පිටගැස්ම, හන්දි ආබාධ, තැළුම්, හිස කැක්කුම, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මිල්ල ශාකයේ පොතු, කොළ, දළු, මල් ආදිය භාවිතා කරයි. මිල්ල ශාකයේ අරටුවෙන් ලබා ගන්නා කහ පැහැති වර්ණකය හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බාහිර ආලේපනයක් ලෙස යොදා ගන්නා බව සඳහන් වේ. 

අවහන්දියට මිල්ල පොතු, කැටකෑල පොතු, ඉඹුල් පොතු, කුකුරුමාන් කොළ, කහ, ලුණු සමග කොට මළවා බඳියි. ගඩුවලට, දොඬම් ගෙඩියක ඇස්ස කපා මිල්ල මල් දමා උණු අළුවෙන් තම්බා දොඬම් ඇඹුලෙන් අඹරා ගඩුවේ ගෑ යුතුය. හිසේ කැක්කුමට හා සන්නි රෝග සඳහා මිල්ල පොතු ඉස්ම සහ පොල් කිරි කකාරා බොන්නට දීම හා හිසේ ගැල්වීම සිදු කරයි. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මිල්ල පොතු පත්තු, ප්‍රලේප, මැල්ලුම් ආදීය සඳහා විවිධාකාරයෙන් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Monday, March 27, 2017

මදටිය [Madatiya] (Adenanthera pavonina)


මදටිය මීටර් 20 ක් පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. අළු පැහැති කඳේ පොත්ත සුමුදු ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා තද කොළ පැහැයක් ගනී. ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි ළා කහ පැහැති කුඩා මල් හට ගනී. කරලක් වන ඵලය ඇඹුරුණු ස්වභාවයක් ගනී. මේරූ කරල පිපිරීමෙන් බීජ විසිරී යයි. දීප්තිමත් රතු පැහැති බීජ දිළිසෙන සුලුය. එක් බීජයක් ආසන්න වශයෙන් 250mg පමණ බරකින් යුක්ත වෙයි. මෙම බීජ 1 ක් මංචාඩියක් ලෙසද බීජ 20 ක් කළඳක් (5g) ලෙස ද දේශීය වෙදකමේ කිරුම් මිනුම් වලදී භාවිතා කරයි. ඉහත පරම්පරාවල කුඩා දරුවන් ගණන් කිරීමට ඉගෙනීම සඳහා භාවිතා කළ ඇට වර්ග අතර මදටිය මුල් තැනක් ගනී. ළපටි මදටිය කොළ රසවත් ගුණවත් පළාවක් ලෙස ආහාරයට එකතු කර ගත හැකිය. පළාවක් ලෙස සකසා ගැනීමෙදී කොළ ජලයෙන් තම්බා දිය හැර ගත යුතුය. දැව වටිනාකමින්ද ඉහල මදටිය ශාකය Fabaceae කුලයට අයත්ය. 

මදටිය දේශීය වෙදකමේදී ඉදිමුම් නැසීමටක්, රුධිරය පිරිසිදු කිරීමටත් සුලභව භාවිතා කරයි. එමෙන්ම කැඩුම් බිඳුම්, වණ, ඉදිමුම්, හන්දි වේදනා, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, කුඩා දරුවන්ගේ රතගාය නිසා ඇතිවන රත ගෙඩි, මුත්‍ර ආබාධ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් මදටිය කොළ සහ පොතු භාවිතා කරයි. කුඩා දරුවන්ගේ රතගායට සහ සෙම් රෝගයට දෙන ජීවක කල්කයේත්, රත තෙලෙහිත්, නීල්‍යාදී තෛලය සහ සර්ව විෂාදි තෛලයෙහිත් මදටිය අඩංගුය. මදටිය ඉදිමුම් නසන, විෂබීජ නාශක, රුධිරය පිරිසිදු කරන ගුණයන් සහිතයි.

ළපටි මදටිය දලුවලින් සෑදූ කෂාය දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතීසාර වැනි රෝග තත්ත්වයන් ගෙන් මිදිය හැකිය. මදටිය පොතු කෂාය ඇඟ දැවිල්ල, කැසීම්, සමේ ආසාදන ආදී සමේ රෝග රැසක් සුව කරයි. ඒ සඳහා මදටිය පොතු ස්වල්පයක් මැටි මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකක් වනතුරු සිඳගෙන උදේ පත භාගයයි සවස පත භාගයයි දින කිහිපයක් පානය කළ යුතුය. ළදරු රතගායට ද මදටිය පොතු කෂාය ගුණදායකය.  අස්ථි බිඳීම්, ඉදිමීම්, තැළීම්වලට මදටිය කොළ සහ පොතුවලින් සාදන පත්තුව ඉතාම යෝග්‍ය ප්‍රතිකර්මයකි.  හන්දි වේදනා, ඉදිමුම් ප්‍රදාහ ආදියට මදටිය ඇට හොඳින් අඹරා පත්තුවක් සාදාගෙන බැඳීමෙන් සුවය ලැබෙයි. අන්ත්‍ර ආශ්‍රිතව හට ගන්නා විෂබීජ නාශනය කරන්නත්, උදරය ආශ්‍රිතව ඇතිවන අජීර්ණ තත්ත්වයන්වලටත් මදටිය කොළ පොතු කෂාය ඉතාම ගුණදායකයි. මදටිය කොළ හොඳින් කොටා මිරිකා ගත් යුෂ මුහුණේ ආලේප කිරීම කුරුලෑ ඉවත් කිරීමටත් සම පැහැපත් කිරීමටත් සුදුසු ඔෟෂධීය ශාක සත්කාරයකි. කල්ගතවූ සුව නොවන තුවාල, විසර ගෙඩි වැනි ආසාදන සඳහා මදටිය කොළ කොටා මිරිකා ගත් යුෂ විසර ගෙඩිවල තුවාලවල දිනපතා උදේ සවස ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. එමෙන්ම හන්දි වේදනා ඉදිමුම්, තුනටිය අමාරු වැනි තත්ත්වවලදී මදටිය ගහේ පොතු ස්වල්පයක් වියළාගෙන හොඳින් කුඩුකර ඇල් දිය ස්වල්පයකින් මිශ්‍ර කර හන්දි වේදනාව ඇති තැන්වල ආලේප කළ යුතුය. දින කිහිපයක් උදේ සවස මදටිය පොතු කෂාය බීමෙන්  මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, ආදී මුත්‍රා ආසාදන ආදියෙන් සුවය ලැබිය හැකිය. මදටිය කොළ අඹරා ගෑමෙන් කූඩලු විෂ සමනය වේ. 

ඇතැම් අයගෙ හිස ආශ්‍රිතව හට ගන්නා පොතු කබර රෝග තත්ත්වය නිට්ටාවටම සුව කරන්න පුළුවන් මදටිය ඇට තෙල්  දිනපතා හිසේ ආලේප කිරීමෙන් හැකි වේ. මී ඇටවලින් තෙල් ගන්නා ආකාරයට මදටිය ඇටවලින් තෙල් ලබා ගත හැකිය.  මදටිය ඇට හොඳින් කුඩු කර ඒ කුඩු සැරව ගෙඩිවල ආලේප කිරීමෙන් සැරව ගෙඩි පුපුරා විෂබීජ ඉවත් වෙයි. කුඩු කළ මදටිය ඇට චූර්ණය නළලේ ආලේප කිරීමෙන් ඕනෑම හිසේ රුදාවක් නැති කරගන්නත් පුළුවන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්  
Share:

Thursday, March 23, 2017

සව්කෙන්ද [Saukenda] (Kaempferia rotunda)

යවකෙන්ද යනුවෙන්ද හඳුන්වන සව්කෙන්ද බාහිරට පෙනෙන ව්‍යාජ කඳක් සහ භූගත අල සහිත, පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහු වාර්ෂික ශාකයකි. දේශීය ශාකයක් වන මෙහි පත්‍රයක් සෙ.මි. 30 පමණ දිගට වර්ධනය වේ. මල් පිපෙන කාලයේදී මෙහි කොළ මැරීයන අතර එවිට මල් පමණක් පිටතට දර්ශනය වේ. දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සව්කෙන්ද ශාකය ගැන මෙලෙස සඳහන් වේ. " මෙහි කොළ අඹ කහ හෝ හුලංකීරිය කොළවලටත් මල් වෙසක් මල්වලටත් සමානය. වැවී තිබෙන සම්පූර්ණ පඳුර පෙනුමෙන් අඹ කහ පඳුරක් බඳුය. ගස මැරී මල් හට ගන්නා කාලයෙහි දිනපතා එක බැගින් මසක් පමණ නොකඩවා පිපෙන මේ මල් මිහිරි සුවඳකින් හා මනා පෙනුමකින් යුක්ත වෙයි". ගෙවත්තෙහි විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධ පැළෑටියක් වන සව්කෙන්ද Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

සව්කෙන්ද ශාකයේ ඖෂධීය භාවිතාවය ගැන දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි මෙලෙස දක්වා ඇත. "මෙම වර්ගයේ අල උනු අළු පල්ලේ තම්බා එළඟිතෙලෙන් අඹරා ලේ ගෙඩි පිට ගෑමෙන් ඒ ගෙඩි මොලොක් වී හොඳින් පැසවා ලේ සාරය ඇදී යයි". එමෙන්ම අස්ථි දිරීම, ඇටමිදුළු දියවීම, තුවාල, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව ආයුර්වේද පුවත්පතෙහි සඳහන් කර ඇත. සව්කෙන්ද වාතය සහ සෙම නසන, උත්තෙජක, මුත්‍රකාරක අදී ගුණ සහිතයි.

වෙනත් රටවල සව්කෙන්ද ශාකයේ කොළ සහ අල රසකාරක ලෙස භාවිතාකරන බවත්, කැස්ස අජීර්ණය, ආහාර අරුචිය, අර්ශස්, තැලුම්, ඉදිමුම්, ස්වසන ආබාධ, දියවැඩියාව, රුධිර නාලිකා සිහින්වීම, කම්බුල්ගාය, උදරාබාධ, රුධිර නාලවල මේදය තැන්පත් වීම පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් මෙහි අලත් අමතරව කොළත් යොදා ගන්නා බවත් විදේශීය මූලාශ්‍රවල සඳහන්ව ඇත.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
සේයාරුව_  අන්තර්ජාලයෙන්
Share:

Tuesday, March 21, 2017

තිඹිරි [Tibiri] (Diospyros malabarica)

දේශීය Diospyros විශේෂ 30 ක් පමණ සංඛාවක් අතරින් එකක් වන තිඹිරි මීටර් 15 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පහත රට වියළි කලාපයේ සුලබව හමුවෙයි. කළු පැහැති කඳේ පොතු ගැලවී යන ස්භාවයක් ඇති අතර යටි පොත්ත තද රතු පැහැතිය. සරල පත්‍ර සෙ.මි 25 දක්වා දිගට වැඩේ. මල් කහ පැහැතිය. ගෝලාකාර ඵලය ඉදුණු පසු රතු පැහැයක් ගනී.  පුරාණයේ තිඹිරිගෙය, වැදුම් ගෙය නමින් හැඳින්වූ දරුවන් ප්‍රසූත කිරීම සඳහා වෙන්වූ කුටිය සැදීමට විශේෂයෙන් තිඹිරි දැව භාවිතා කළ නිසා එය තිඹිරිගේ නමින් හැඳින්වූ බව පොතපතෙහි සඳහන්වේ. ගම්වල ජනයා තම්බා ගත් තිඹිරි ගෙඩි කුල්ලේ ආලේප කිරීමට භාවිතා කරයි. මෙරටදී වෙල්වට් ඇපල් නමින් ප්‍රසිද්ධ Diospyros discolor යන උද්භිද නාමයෙන් හඳුන්වන විදේශීය ශාකය මෙම උද්භිද ගණයට අයත් ය. තිඹිරි Ebenaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  

කල් ගතවූ අතීසාර, රක්ත අතීසාරය, ප්‍රවාහිකා, ග්‍රහණි, රත්පිත්, රක්ත ප්‍රදර, ගර්භාෂගත රෝග, චර්ම රෝග, සර්ප විෂ, පිළිස්සුම්, වණ තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට තිඹිරි ශාකයේ කොළ, පොතු, ගෙඩි, මල්, බීජ සහ බීජ තෙල් ආදිය භාවිතා කරන බව සඳහන්. තිඹිරි සෙම් පිත් සමනය කරන, රුධිරය පිරිසිදු කරන, රුධිර වහනය වලක්වන ගුණ සහිත ඖෂධයක් ලෙස දක්වා ඇත. 

තිඹිරි ගෙඩිවලින් තැනූ ක්වාතය මුඛ රෝග, ශ්වේත ප්‍රදර සහ ගර්භාෂ රෝග ආදිය සඳහා භාවිතා කරයි. තිඹිරි පොතු චූර්ණය බාහිර ලේ වහනය සඳහා ඵලදායී ඔසුවකි. අතීසාර හා ප්‍රවාහිකා යන රෝග සඳහා පොතු කෂාය, ඇට හා ඇට තෙල්ද භාවිතා කරයි. ලේ නරක්වීමට සහ රත්පිතට ක්වාතය සහ ඉදුණු ගෙඩි යොදා ප්‍රතිකාර කරයි. අතීසාරයට තිඹිරි පොතු ස්වරසය මී පැණි සමඟ දෙයි.  තිඹිරි පොතු කෂායට ගිතෙල් යොදා සිඳගත් තෙල පිලිස්සුම් වණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. පිත්තජ අමාශ ක්ෂත රෝගයට තිඹිරි මල්, දඹ මල් දෙවර්ගයේ චූර්ණය ගිතෙලින් අඹරා මී පැණියෙන් අනා ලේහ කරයි. තිඹිරි කොළ හාල්පානු දියෙන් තම්බා බැඳීම සියළු වණ සඳහා යෝග්‍ය බව සඳහන්. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Thursday, March 16, 2017

අස්වැන්න [Aswenna] (Alysicarpus vaginalis)

අස්වැන්න පොලවට සමාන්තරව වැලක් ආකාරයෙන් වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට තරමක් පොළවෙන් ඉහලට එසවී වර්ධනය වෙයි. කඳෙන් මුල් ඇදී බොහෝ සේ අතු බෙදෙමින් බිම වසා පැතිරී වැඩෙයි. සරල පත්‍ර ඒකාන්තරව පිහිටන අතර බූවක් දක්නට නොලැබේ. පත්‍රයක් සෙ.මි. 5 ක් දක්වා දිගු විය හැකිය. කෙටි ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් දම් පැහැයට හුරු රෝස පැහැති ය. ඵලය රනිලයකි. අස්වැන්න ශාකය Fabaceae උද්භිද කුලයට අයත් ය. 

අයුර්වේයේ සඳහන් දසමුල්හි භාවිතා වන සුළුපස් මුල්වලින් එකක් වන්නේ ශාලපර්ණී ය. ශාලපර්ණී (Desmodium gangeticum) අප රටට දේශීය ශාකයක් වුව ද එය වඳවීයාමේ තර්ජනය ලක්වී ඇති නිසා සොයා ගැනීම අපහසු කටයුත්තකි.  එහෙයින් ශාලපර්ණී වෙනුවට දේශීයව යොදාගත හැකි සුදුසුම ශාකය (ප්‍රතිනිධිය) වන්නේ අස්වැන්නයි. එය ශාලපර්ණී අඩංගු ඕනෑම ඖෂධ යෝගයට භාවිතා කිරීමට සුදුසු බව දක්වා ඇත. අස්වැන්න ප්‍රතිනිධියක් ලෙස භාවිතා කිරීමට අමතරව දේශීයව අනන්‍ය භාවිතාවන්ද පවතී. ක්ෂය, ඉදිමුම්, ප්‍රමේහ, උණ, ඇදුම, විෂ පණු රෝග, කැස්ස, අතීසාර, අර්ශස්, වමනය, රුධිරගත රෝග, ශුක්‍ර රෝග, අභිඝාත, මුත්‍ර ගල් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අස්වැන්න සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී.

අස්වැන්න කිරි කෂාය හෘද රෝගීන්ට විශේෂිත වූ දේශීය කෂාය යෝගයකි. එය මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිත බැවින් හෘදයට හිතකර බව දක්වා ඇත. සුළු තැලීම්වලට අස්වැන්න මැල්ලුම යොදයි. එහිදී අස්වැන්න, අමුකහ, දියලුනු දමා කොටා මලවා බඳී. අක්මා රෝගීන්ට අස්වැන්න කොළ කැඳ ගුණදායක ය. අස්වැන්න මව්කිරි ශෝධනය කරන අතර වර්ධනය ද කරයි. ශාලිපර්ණ්‍යාදී ක්වාතය, සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, අස්වැන්න මූලසාරය අස්වැන්න යොදා නිපදවන ඖෂධයන් ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු  
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන් 


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support