දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, April 30, 2017

හීං දෙමට [Heen Demata] (Gmelina asiatica)

දෙමට, ගැට දෙමට, කහ දෙමට ආදී නම්වලින්ද හඳුන්වන හීං දෙමට මීටර් 3ක් පමණ උසට වැවෙන පඳුරු අකාර කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට බිම දිගේ ඇදී යන ස්වභාවයක් දක්නට ලැබේ. පොත්ත කහ හෝ දුඹුරු පැහැයට හුරු සුදු පාට ය. කඳ දැඩි වන අතර සාමාන්‍යයෙන් කටු පිහිටා තිබුන ද එසේ නොවන අවස්ථාද දැකගත හැකිය. පත්‍ර තලය බොහෝ විට පටලමය වන අතර විවිධාකාර හැඩයන් ගනී. පත්‍රයක් සෙ.මි 1 සිට 9.5 දක්වා විය හැකිය. කක්ෂිය හෝ අග්‍රස්ථීය පුෂ්ප මජරිය කිඹිසි හෝ පහලට එල්ලෙමින් පවතින ආකාරයකි. අැලුණු ඝන බූවක් දරයි. දීප්තිමත් කහ පැහැයකින් යුත් මල් අලංකාරය. හවසට පිපෙන මල් හිරු උදාවත් සමඟ හැලී යයි. කොළ පැහැති ඵලය අෂ්ටිලයකි. ඉදුණු පසු කහ පැහැතිය. ඇතුලත පිහිටි ජලීය ද්‍රාවණය තුල බීජ 1 ක් හෝ 2ක් පිහිටයි. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී Gmelina arborea යන උද්භිද නාමයෙන් හඳුන්වන විශාල වෘක්ෂයක් වන ඇත් දෙමට හා මෙම ශාකය පටලවා නොගත යුතුය. දෙමට ශාක Verbenaceae උද්භිද කුලයට අයත් ය. 

වණ, ක්ෂත, ස්වසනාළ ප්‍රදාහය, පෙනහළු ආසාදන, ඇදුම, කැස්ස, සුදු බිංදුම (ගොනෝරිය) නම් සමාජ රෝගය, සන්දි ඉදිමීම, ථීරංග නම් සමේ රෝගය, කැඩුම් බිඳුම් ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට හීං දෙමට ශාකයේ මල්, ගෙඩි. පොතු, මුල් ආදිය භාවිතා කරයි. දෙමට පැණිය, දෙමට මල් කල්කය, හීං දෙමට යොදා නිපදවන ඖෂධයන් ය. සුරංවිදුර ගුළිය ඇඹරීමේ මාත්තුවක් ලෙස දෙමට ගෙඩි යුෂ යොදා ගනී. දෙමට සෙම නසන, ඇදුම, කැස්ස, වේදනා, ඉදිමුම් ආදිය සුව කරන ගුණ සහිතයි. 

වණ, ක්ෂත ආදියට ප්‍රතිකාර කිරීමේදී හීං දෙමට පොතු තැම්බූ වතුරින් සේදීම ගුණය. ස්වාසනාළ ප්‍රදාහය, ඵුප්ඵුස ප්‍රදාහය ඇදුම ආදියට හීං දෙමට ගෙඩි සමග වෙනත් ඖෂධ යොදා සකස්කරගත් ක්ෂය දෙයි. සුදු බිංදුම (ගොනෝරිය) රෝගයේදී කොළ සහ නැටිවලින් ලබාගත් සෙවලමය සාරයට ජලය මිශ්‍රකර සාදාගත් දියරයෙන් සේදීම කරයි. සන්ධි ඉදිමීම, ථීරංග ආදී රෝග සඳහා හීං දෙමට මුල් යොදා සකස්කර ගත් ඖෂධ ලබ දීමත්, හීං දෙමට පොතු කහ දළු ලා කොටා මලවා බැඳිමත් සිදු කරයි.  

දෙමට පොතු බුලත් විටට එකතු කර ගැනීම මෙම ශාක සුලබව ඇති ප්‍රදේශවල ගැමියන්ගේ පුරුද්දකි. කැති වැනි ගොවි උපකරණවල මිටවල් සහ හැඳි මිටවල් සෑදිමේදී දෙමට ලී භාවිතා කරයි. හදි හූනියම්,  මන්ත්‍ර ගුරුකම්, බලිතොවිල්, යාගහෝමවලදී හීං දෙමට ශාක කොටස් යොදා ගනී. රා පැසවීම සඳහා තෙලිදිය භාජනයට දෙමට පොතු එක් කරයි. ලීය වැටවල් සෑදීමටත්, දර ලෙසත් භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support