දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Friday, June 12, 2015

දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)


තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු අක්ෂ මත අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. කුඩා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ළා දුඹුරු පැහැති බීජ රාශියකි. මුගටියකු සහ නාගයකු අතර ඇතිවන සටනකදී නාගයා පැරදුණු පසු, මුගටියා තම ශරීරයට ඇතුල්වූ නාග විෂ මර්ධනය කර ගැනීම සඳහා දත්කෑටිය ගස් සොයමින් ඒවායෙහි මුල් සපමින් යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. දත්කැටිය Rubiaceae උද්භිද කුලයට අයත් ශාකයකි.  

සර්ප දෂ්ට කිරීම්, පාචනය, පිස්සු බලු විෂ, අතීසාර, කුසගිනි මදිකම, ගෙඩි, වණ, පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, පොතු සහ එකවර සම්පුර්ණ පැළෑටියමත් භාවිතා කරයි. සියළු සර්ප විෂ සඳහා ශාකය සහමුලින් ගෙන කොටා යුෂ ගෙන හීනටි හාලෙන් කැඳ පිස එළඟිතෙල් දමා බොන්නට දෙයි. මෙහි මුලෙහි පිළිකා මර්ධනය කළ හැකි රසායනික සංඝටක අඩංගු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇති බව සඳහන්. ජීවරත්ත මහ අඳුන, බ්‍රහ්ම ලෝක තෛලය අත්කැටිය යොදා නිපදවන ඖෂධයන් ය. දත්කැටිය පණුවන් නසන, කුසගිනි වඩවන, මෘදු විරේචක, බලකාරක, පිත්ත නිස්සාරක ගුණ සහිතයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support