දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, March 27, 2017

මදටිය [Madatiya] (Adenanthera pavonina)


මදටිය මීටර් 20 ක් පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. අළු පැහැති කඳේ පොත්ත සුමුදු ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා තද කොළ පැහැයක් ගනී. ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි ළා කහ පැහැති කුඩා මල් හට ගනී. කරලක් වන ඵලය ඇඹුරුණු ස්වභාවයක් ගනී. මේරූ කරල පිපිරීමෙන් බීජ විසිරී යයි. දීප්තිමත් රතු පැහැති බීජ දිළිසෙන සුලුය. එක් බීජයක් ආසන්න වශයෙන් 250mg පමණ බරකින් යුක්ත වෙයි. මෙම බීජ 1 ක් මංචාඩියක් ලෙසද බීජ 20 ක් කළඳක් (5g) ලෙස ද දේශීය වෙදකමේ කිරුම් මිනුම් වලදී භාවිතා කරයි. ඉහත පරම්පරාවල කුඩා දරුවන් ගණන් කිරීමට ඉගෙනීම සඳහා භාවිතා කළ ඇට වර්ග අතර මදටිය මුල් තැනක් ගනී. ළපටි මදටිය කොළ රසවත් ගුණවත් පළාවක් ලෙස ආහාරයට එකතු කර ගත හැකිය. පළාවක් ලෙස සකසා ගැනීමෙදී කොළ ජලයෙන් තම්බා දිය හැර ගත යුතුය. දැව වටිනාකමින්ද ඉහල මදටිය ශාකය Fabaceae කුලයට අයත්ය. 

මදටිය දේශීය වෙදකමේදී ඉදිමුම් නැසීමටක්, රුධිරය පිරිසිදු කිරීමටත් සුලභව භාවිතා කරයි. එමෙන්ම කැඩුම් බිඳුම්, වණ, ඉදිමුම්, හන්දි වේදනා, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, කුඩා දරුවන්ගේ රතගාය නිසා ඇතිවන රත ගෙඩි, මුත්‍ර ආබාධ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් මදටිය කොළ සහ පොතු භාවිතා කරයි. කුඩා දරුවන්ගේ රතගායට සහ සෙම් රෝගයට දෙන ජීවක කල්කයේත්, රත තෙලෙහිත්, නීල්‍යාදී තෛලය සහ සර්ව විෂාදි තෛලයෙහිත් මදටිය අඩංගුය. මදටිය ඉදිමුම් නසන, විෂබීජ නාශක, රුධිරය පිරිසිදු කරන ගුණයන් සහිතයි.

ළපටි මදටිය දලුවලින් සෑදූ කෂාය දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතීසාර වැනි රෝග තත්ත්වයන් ගෙන් මිදිය හැකිය. මදටිය පොතු කෂාය ඇඟ දැවිල්ල, කැසීම්, සමේ ආසාදන ආදී සමේ රෝග රැසක් සුව කරයි. ඒ සඳහා මදටිය පොතු ස්වල්පයක් මැටි මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකක් වනතුරු සිඳගෙන උදේ පත භාගයයි සවස පත භාගයයි දින කිහිපයක් පානය කළ යුතුය. ළදරු රතගායට ද මදටිය පොතු කෂාය ගුණදායකය.  අස්ථි බිඳීම්, ඉදිමීම්, තැළීම්වලට මදටිය කොළ සහ පොතුවලින් සාදන පත්තුව ඉතාම යෝග්‍ය ප්‍රතිකර්මයකි.  හන්දි වේදනා, ඉදිමුම් ප්‍රදාහ ආදියට මදටිය ඇට හොඳින් අඹරා පත්තුවක් සාදාගෙන බැඳීමෙන් සුවය ලැබෙයි. අන්ත්‍ර ආශ්‍රිතව හට ගන්නා විෂබීජ නාශනය කරන්නත්, උදරය ආශ්‍රිතව ඇතිවන අජීර්ණ තත්ත්වයන්වලටත් මදටිය කොළ පොතු කෂාය ඉතාම ගුණදායකයි. මදටිය කොළ හොඳින් කොටා මිරිකා ගත් යුෂ මුහුණේ ආලේප කිරීම කුරුලෑ ඉවත් කිරීමටත් සම පැහැපත් කිරීමටත් සුදුසු ඔෟෂධීය ශාක සත්කාරයකි. කල්ගතවූ සුව නොවන තුවාල, විසර ගෙඩි වැනි ආසාදන සඳහා මදටිය කොළ කොටා මිරිකා ගත් යුෂ විසර ගෙඩිවල තුවාලවල දිනපතා උදේ සවස ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. එමෙන්ම හන්දි වේදනා ඉදිමුම්, තුනටිය අමාරු වැනි තත්ත්වවලදී මදටිය ගහේ පොතු ස්වල්පයක් වියළාගෙන හොඳින් කුඩුකර ඇල් දිය ස්වල්පයකින් මිශ්‍ර කර හන්දි වේදනාව ඇති තැන්වල ආලේප කළ යුතුය. දින කිහිපයක් උදේ සවස මදටිය පොතු කෂාය බීමෙන්  මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, ආදී මුත්‍රා ආසාදන ආදියෙන් සුවය ලැබිය හැකිය. මදටිය කොළ අඹරා ගෑමෙන් කූඩලු විෂ සමනය වේ. 

ඇතැම් අයගෙ හිස ආශ්‍රිතව හට ගන්නා පොතු කබර රෝග තත්ත්වය නිට්ටාවටම සුව කරන්න පුළුවන් මදටිය ඇට තෙල්  දිනපතා හිසේ ආලේප කිරීමෙන් හැකි වේ. මී ඇටවලින් තෙල් ගන්නා ආකාරයට මදටිය ඇටවලින් තෙල් ලබා ගත හැකිය.  මදටිය ඇට හොඳින් කුඩු කර ඒ කුඩු සැරව ගෙඩිවල ආලේප කිරීමෙන් සැරව ගෙඩි පුපුරා විෂබීජ ඉවත් වෙයි. කුඩු කළ මදටිය ඇට චූර්ණය නළලේ ආලේප කිරීමෙන් ඕනෑම හිසේ රුදාවක් නැති කරගන්නත් පුළුවන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්  
Share:

Thursday, March 23, 2017

සව්කෙන්ද [Saukenda] (Kaempferia rotunda)

යවකෙන්ද යනුවෙන්ද හඳුන්වන සව්කෙන්ද බාහිරට පෙනෙන ව්‍යාජ කඳක් සහ භූගත අල සහිත, පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහු වාර්ෂික ශාකයකි. දේශීය ශාකයක් වන මෙහි පත්‍රයක් සෙ.මි. 30 පමණ දිගට වර්ධනය වේ. මල් පිපෙන කාලයේදී මෙහි කොළ මැරීයන අතර එවිට මල් පමණක් පිටතට දර්ශනය වේ. දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සව්කෙන්ද ශාකය ගැන මෙලෙස සඳහන් වේ. " මෙහි කොළ අඹ කහ හෝ හුලංකීරිය කොළවලටත් මල් වෙසක් මල්වලටත් සමානය. වැවී තිබෙන සම්පූර්ණ පඳුර පෙනුමෙන් අඹ කහ පඳුරක් බඳුය. ගස මැරී මල් හට ගන්නා කාලයෙහි දිනපතා එක බැගින් මසක් පමණ නොකඩවා පිපෙන මේ මල් මිහිරි සුවඳකින් හා මනා පෙනුමකින් යුක්ත වෙයි". ගෙවත්තෙහි විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධ පැළෑටියක් වන සව්කෙන්ද Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

සව්කෙන්ද ශාකයේ ඖෂධීය භාවිතාවය ගැන දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි මෙලෙස දක්වා ඇත. "මෙම වර්ගයේ අල උනු අළු පල්ලේ තම්බා එළඟිතෙලෙන් අඹරා ලේ ගෙඩි පිට ගෑමෙන් ඒ ගෙඩි මොලොක් වී හොඳින් පැසවා ලේ සාරය ඇදී යයි". එමෙන්ම අස්ථි දිරීම, ඇටමිදුළු දියවීම, තුවාල, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව ආයුර්වේද පුවත්පතෙහි සඳහන් කර ඇත. සව්කෙන්ද වාතය සහ සෙම නසන, උත්තෙජක, මුත්‍රකාරක අදී ගුණ සහිතයි.

වෙනත් රටවල සව්කෙන්ද ශාකයේ කොළ සහ අල රසකාරක ලෙස භාවිතාකරන බවත්, කැස්ස අජීර්ණය, ආහාර අරුචිය, අර්ශස්, තැලුම්, ඉදිමුම්, ස්වසන ආබාධ, දියවැඩියාව, රුධිර නාලිකා සිහින්වීම, කම්බුල්ගාය, උදරාබාධ, රුධිර නාලවල මේදය තැන්පත් වීම පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් මෙහි අලත් අමතරව කොළත් යොදා ගන්නා බවත් විදේශීය මූලාශ්‍රවල සඳහන්ව ඇත.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
සේයාරුව_  අන්තර්ජාලයෙන්
Share:

Tuesday, March 21, 2017

තිඹිරි [Tibiri] (Diospyros malabarica)

දේශීය Diospyros විශේෂ 30 ක් පමණ සංඛාවක් අතරින් එකක් වන තිඹිරි මීටර් 15 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පහත රට වියළි කලාපයේ සුලබව හමුවෙයි. කළු පැහැති කඳේ පොතු ගැලවී යන ස්භාවයක් ඇති අතර යටි පොත්ත තද රතු පැහැතිය. සරල පත්‍ර සෙ.මි 25 දක්වා දිගට වැඩේ. මල් කහ පැහැතිය. ගෝලාකාර ඵලය ඉදුණු පසු රතු පැහැයක් ගනී.  පුරාණයේ තිඹිරිගෙය, වැදුම් ගෙය නමින් හැඳින්වූ දරුවන් ප්‍රසූත කිරීම සඳහා වෙන්වූ කුටිය සැදීමට විශේෂයෙන් තිඹිරි දැව භාවිතා කළ නිසා එය තිඹිරිගේ නමින් හැඳින්වූ බව පොතපතෙහි සඳහන්වේ. ගම්වල ජනයා තම්බා ගත් තිඹිරි ගෙඩි කුල්ලේ ආලේප කිරීමට භාවිතා කරයි. මෙරටදී වෙල්වට් ඇපල් නමින් ප්‍රසිද්ධ Diospyros discolor යන උද්භිද නාමයෙන් හඳුන්වන විදේශීය ශාකය මෙම උද්භිද ගණයට අයත් ය. තිඹිරි Ebenaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  

කල් ගතවූ අතීසාර, රක්ත අතීසාරය, ප්‍රවාහිකා, ග්‍රහණි, රත්පිත්, රක්ත ප්‍රදර, ගර්භාෂගත රෝග, චර්ම රෝග, සර්ප විෂ, පිළිස්සුම්, වණ තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට තිඹිරි ශාකයේ කොළ, පොතු, ගෙඩි, මල්, බීජ සහ බීජ තෙල් ආදිය භාවිතා කරන බව සඳහන්. තිඹිරි සෙම් පිත් සමනය කරන, රුධිරය පිරිසිදු කරන, රුධිර වහනය වලක්වන ගුණ සහිත ඖෂධයක් ලෙස දක්වා ඇත. 

තිඹිරි ගෙඩිවලින් තැනූ ක්වාතය මුඛ රෝග, ශ්වේත ප්‍රදර සහ ගර්භාෂ රෝග ආදිය සඳහා භාවිතා කරයි. තිඹිරි පොතු චූර්ණය බාහිර ලේ වහනය සඳහා ඵලදායී ඔසුවකි. අතීසාර හා ප්‍රවාහිකා යන රෝග සඳහා පොතු කෂාය, ඇට හා ඇට තෙල්ද භාවිතා කරයි. ලේ නරක්වීමට සහ රත්පිතට ක්වාතය සහ ඉදුණු ගෙඩි යොදා ප්‍රතිකාර කරයි. අතීසාරයට තිඹිරි පොතු ස්වරසය මී පැණි සමඟ දෙයි.  තිඹිරි පොතු කෂායට ගිතෙල් යොදා සිඳගත් තෙල පිලිස්සුම් වණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. පිත්තජ අමාශ ක්ෂත රෝගයට තිඹිරි මල්, දඹ මල් දෙවර්ගයේ චූර්ණය ගිතෙලින් අඹරා මී පැණියෙන් අනා ලේහ කරයි. තිඹිරි කොළ හාල්පානු දියෙන් තම්බා බැඳීම සියළු වණ සඳහා යෝග්‍ය බව සඳහන්. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Thursday, March 16, 2017

අස්වැන්න [Aswenna] (Alysicarpus vaginalis)

අස්වැන්න පොලවට සමාන්තරව වැලක් ආකාරයෙන් වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට තරමක් පොළවෙන් ඉහලට එසවී වර්ධනය වෙයි. කඳෙන් මුල් ඇදී බොහෝ සේ අතු බෙදෙමින් බිම වසා පැතිරී වැඩෙයි. සරල පත්‍ර ඒකාන්තරව පිහිටන අතර බූවක් දක්නට නොලැබේ. පත්‍රයක් සෙ.මි. 5 ක් දක්වා දිගු විය හැකිය. කෙටි ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් දම් පැහැයට හුරු රෝස පැහැති ය. ඵලය රනිලයකි. අස්වැන්න ශාකය Fabaceae උද්භිද කුලයට අයත් ය. 

අයුර්වේයේ සඳහන් දසමුල්හි භාවිතා වන සුළුපස් මුල්වලින් එකක් වන්නේ ශාලපර්ණී ය. ශාලපර්ණී (Desmodium gangeticum) අප රටට දේශීය ශාකයක් වුව ද එය වඳවීයාමේ තර්ජනය ලක්වී ඇති නිසා සොයා ගැනීම අපහසු කටයුත්තකි.  එහෙයින් ශාලපර්ණී වෙනුවට දේශීයව යොදාගත හැකි සුදුසුම ශාකය (ප්‍රතිනිධිය) වන්නේ අස්වැන්නයි. එය ශාලපර්ණී අඩංගු ඕනෑම ඖෂධ යෝගයට භාවිතා කිරීමට සුදුසු බව දක්වා ඇත. අස්වැන්න ප්‍රතිනිධියක් ලෙස භාවිතා කිරීමට අමතරව දේශීයව අනන්‍ය භාවිතාවන්ද පවතී. ක්ෂය, ඉදිමුම්, ප්‍රමේහ, උණ, ඇදුම, විෂ පණු රෝග, කැස්ස, අතීසාර, අර්ශස්, වමනය, රුධිරගත රෝග, ශුක්‍ර රෝග, අභිඝාත, මුත්‍ර ගල් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අස්වැන්න සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී.

අස්වැන්න කිරි කෂාය හෘද රෝගීන්ට විශේෂිත වූ දේශීය කෂාය යෝගයකි. එය මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිත බැවින් හෘදයට හිතකර බව දක්වා ඇත. සුළු තැලීම්වලට අස්වැන්න මැල්ලුම යොදයි. එහිදී අස්වැන්න, අමුකහ, දියලුනු දමා කොටා මලවා බඳී. අක්මා රෝගීන්ට අස්වැන්න කොළ කැඳ ගුණදායක ය. අස්වැන්න මව්කිරි ශෝධනය කරන අතර වර්ධනය ද කරයි. ශාලිපර්ණ්‍යාදී ක්වාතය, සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, අස්වැන්න මූලසාරය අස්වැන්න යොදා නිපදවන ඖෂධයන් ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු  
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන් 


Share:

Monday, March 13, 2017

ලෝලු [Lolu] (Cordia dichotoma)

සිංහලෙන් පතරාජ, පතරංග ආදී නම් වලින් ද හඳුන්වනු ලබන ලෝලු මීටර් 10 ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාක විශේෂයකි. ඉලිප්සාකර පත්‍ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්‍රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලෝලු මල් සහ දළු රසවත් ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ලෝලු Boraginaceae උද්භිද  කුලයට අයත් ශාකයකි. 

රත්පිත්, ඇදුම, ප්‍රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්‍රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්‍ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි. 

ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්‍රතිකාරයකි. රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්‍රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත. මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි. ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්‍රතිකාරයකි. ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, March 5, 2017

හීං බිංකොහොඹ [Heen Binkohomba] (Andrographis paniculata)

හීං බිංකොහොඹ යනු කොහොඹ ශාකය හා සම්බන්ධයක් නොමැති කුඩා දේශීය පැළෑටියකි. සිංහලෙන් වල් බිංකොහොඹ යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය සෙ.මි 75 පමණ උසට වැඩෙන චතුරශ්‍රාකාර කඳක් දරයි. කොහොඹ ශාකයට පෙනුමෙන් සමාන නිසා භූනිබ්බ යනුවෙන්ද, විශාල ප්‍රදේශයක පැතිරී වඩෙන විට කළු වලාකුලක් බඳුය යන අර්ථයෙන් කාලමේඝ යනුවෙන්ද හඳුන්වා ඇත. ඇතැම් විට කිරාත යනුවෙන්ද හඳුන්වන මෙම ශාකයේ ඇති අධික තිත්ත බව වඩාත් ප්‍රකට ය. සම්මුඛව පිහිටන පත්‍ර අණ්ඩාකාර-ඉලිප්සීය සිට ඉලිප්සීය-ලංසාකාර ය. පත්‍රයක් සෙ.මි. 8.5 දක්වා දිගු විය හැකිය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැති වන අතර දල පත්‍රවල දම් පැහැති පැල්ලමක් දැකගත හැකිය. ඵලය පැලෙන කරලකි. විසිතුරු ශාකයක් ලෙස වැවීමටද සුදුසු හීං බිංකොහොඹ ශාකය Acanthaceae උද්භිද කුලයට අයත් ය. 

ඖෂධ වට්ටෝරුවල භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය ආයුුර්වේද වෛද්‍යවරු මෙම හීං බිංකොහොඹ ශාකයත්, ඉන්දියාවේ වැවෙන කිරාතතික්ත (Swertia chirata) පැළෑටියත් භාවිතා කර ඇති අතර පාරම්පරික වෛද්‍යවරු දේශීය බිංකොහොඹ ශාකය භාවිතා කර ඇත. කුසගිනි මදිකම, අක්මාව ඉදිමීම ඇතුළු අක්මා රෝග, විබන්ධතා, පණු රෝග, රුධිරගත රෝග, ඉදිමුම්, චර්ම රෝග, ශාරීරක දුර්වලතාවය ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට හීං බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. කාලමේඝ චූර්ණය, කාලමේඝ ක්වාතය, කාලමේඝ සුරාසවය, කාලමේඝ ක්ෂාරය හීං බිංකොහොඹ යොදා නිපදවන ඖෂධයන් ය. හීං බිංකොහොඹ අක්මාව උත්තේජනය කරන, පණුවන් නසන, රුධිරය පිරිසිදු කරන, ඉදිමුම් නසන, දහදිය ගන්වන, කුෂ්ඨ නසන ආදී ගුණයන් සහිතයි. 

අක්මා රෝග සඳහා සම්පූර්ණ හීං බිංකොහොඹ පැළෑටියම තම්බා බීම ගුණදායක ය. උග්‍ර මැලේරියා තත්වයක් ඇති විට හීං බිංකොහොඹ මරිච චූර්ණය දෙයි. මැලේරියාව අසාද්‍ය වූ විට ඇති වන ප්ලීහාව ඉදිමීම සඳහා හීං බිංකොහොඹ කේවල කෂාය යොදා ප්‍රතිකාර කරයි. හීං බිංකොහොඹ පැළෑටිය සහමුලින් ගෙන තම්බාගත් වතුර අඬුකෝප්පයක් (ළමුන් සඳහා අඬුකෝප්ප භාගයක්‌) සීනි ස්‌වල්පයක්‌ මුසු කොට උදේ සවස පානය කිරීමෙන් පීනස, නිතර සොටු දියර ගැලීම, ඉරුවාරදය, හතිය (පපුවේ මහන්සිය) සෙම් ගෙඩි, ලේ වල සෙම, හිස බරගතිය, නිතර පවතින ප්‍රතිශ්‍යාව, නාසයේ මස්‌ දලු ඇති වීම ආදී කල්ගත වූ කොතෙකුත් ප්‍රතිකාර කළත් සුව නොවන සෙම් රෝග නිට්‌ටාවටම සමනය වනු අත්දැකිය හැකිය. ගැමියන් තමන්ට දියවැඩියාව වැළඳී ඇති බව දැන ගත් පසු අත් බෙහෙතක්‌ වශයෙන් හීං බිංකොහොඹ ශාකයේ පත්‍රයක්‌ බැගින් දිනපතා උදේ සවස හොඳින් සපා ගිල දැමීම මඟින් වෙනත් ප්‍රතිකාරවලින් තොරවම එම අසනීපය සුව කර ගත්හ. හීං බිංකොහොඹ දියවැඩියාව සඳහා ඉතාමත් ප්‍රතිඵලදායක ඖෂධයක් බව මෑකතදී කරන ලද පර්යේෂණ මඟින්ද තහවුරු කර ඇත. හීං බිංකොහොඹ කොටා මිරිකා ගත් යුෂ තේ හැඳි භාගයක්‌ මී පැණි දමා උදේ සවස පානය කිරීමෙන් මුත්‍ර ගල් වැටී මුත්‍රාශ්වරී රෝගය සුව වෙයි. හීං බිංකොහොඹ ශාකය ගෙවත්තේ වවා ගැනීමෙන් නිතර දර්ශනය කිරීමෙන් ස්‌පර්ශ කිරීමෙන් සහ සුදුසු ක්‍රමවේද හරහා සේවනය කිරීමෙන් අඟහරු ග්‍රහයාගෙන් වන අපල උපද්‍රව දුරු කර ගත හැකි බව පැරණි විශ්වාසයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ප්‍රවීන ජ්‍යෙතිෂ්‍යවේදී, වෛද්‍යාචාර්ය, හේමලාල් සේපාල මහතාගේ ලිපියක් ඇසුරින්
විශේෂ ස්තුතිය_ ජේ‍ෂ්ඨ අායුර්වේද වෛද්‍ය සචින් ජයනෙත්ති මහතාට
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Monday, February 27, 2017

බිං කොහොඹ [Bin Kohomba] (Munronia pinnata)

බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ගණව කිරුලක් මෙන් ඇසිරී ඇත. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා විවිධ හැඩයන් ගනී. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඒ ඒ ප්‍රභේදවල මල් ද තරමක විවිධත්වයකින් ගනී. ස්ඵෝටිකාවක් වන ඵලය පිපිරී යෑමෙන් විසිරෙන බීජ මඟින් ශාකයෙහි ව්‍යාප්තිය සිදු වේ. බිංකොහොඹ වානිජව වගා කීරීමෙන් ඉහල ආර්ථික ප්‍රතිලාභ ලබ ගත හැකිය. වඳවී යාමේ තර්ජනයටද ලක්ව ඇති වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන බිං කොහොඹ ශාකය Meliaceae උද්භිද කුලයට අයත් ය. 

බිංකොහොඹ දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. ඉන්දීය වෛද්‍ය නිගණ්ඩුවල දේශීය බිංකොහොඹ ශාකය ගැන සඳහනක් නොමැත. අතීතයේ සිටම භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය වෛද්‍යවරු බිංකොහොඹ ශාකය ඖෂධ සඳහා භාවිතයට ගෙන ඇත. බිංකොහොඹ නාමය සහිත නම් තවත් දේශීය ශාකයක් හමුවන අතර එය "හීං බිංකොහොඹ" (Andrographis paniculata) නම් වේ. දේශීයව එයට වල් බිංකොහොඹ සහ ඇතැම් විට කිරාත යන නම ද භාවිතා කරයි. සංස්කෘතෙන් භූනිම්බ, කාලමෙඝ ආදී නම් වලින් හඳුන්වන එම ශාකය දේශීයව සහ විදේශීයව බෙහෙවින් ඖෂධ සඳහා භාවිතා කරන්නකි. දේශීය වෛද්‍යවරු බිංකොහොඹ වෙනුවට මෙම හීං බිංකොහොඹ ශාකය ද භාවිතයට ගනී. මෙම ශාක විශේෂ 2 හා බැඳෙන තවත් පැළෑටියක් ඇති අතර එය කිරාත හෝ කිරාතතික්ත යනුවෙන් හඳුන්වයි. Swertia chirata නම් උද්භිද නාමය සහිත එය මෙරටදී හමු නොවන ඉන්දියාවේදී පවා දුර්ලභව හමුවන්නකි. මෙම උද්භිද ගණයට අයත් Swertia zeylanica නම් හොර්ටන් තැන්න වැනි පතන් ආශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. කිරාතතික්ත වෙනුවට ඉන්දීය වෛද්‍යවරු හීං බිංකොහොඹ භාවිතා කරතත් එය නිවැරදි නොවන බවත් කාලමේඝ ලෙස සඳහන්ව ඇති විට කිරාතතික්තම භාවිතා කළ යුතු බවටත් ඇතැම් ඉන්දීය වෙදැදුරන් අතර මතයක් පවතී. 

බිංකොහොඹ ආයුර්වේදයේ සඳහන් කිරාතතික්ත තරමටම හෝ ඊටත් වැඩි තරමින් උණ නසන, රුධිරය පිරිසිදු කරන, තික්තබලකාරක ගුණයෙන් යුක්ත බව සඳහන්. දේශීය වෙදකමේදී උණ, අතීසාරය, අජීර්ණය, කුසගිනි මදිකම, මලබද්ධ, වාතරක්ත, කුෂ්ඨ, වණ, වේදනා, ඉදිමුම්, රක්ත අර්ශස්, චර්ම රෝග, එක්සිමා හෙවත් කඩුවේගන්, ඇඳුම, කැස්ස, රුධිර සංසරණ පද්ධතියේ රෝග, වමනය ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිත කරයි. බිංකොහොඹ කුසගිනි වඩවන, මුත්‍ර කාරක, වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. 

හික්කාවට (ඉක්කාවට) බිංකොහොඹ සහ කොත්තමල්ලි ග්රෑම් 15 පමණ ගෙන තලා වතුර පත 2 ක් දමා, පත භාගයට සිඳුවා මී පැණි ප්‍රක්ෂේප කොට බීමට දිය යුතුය. වියළි බිංකොහොඹ චූර්ණය ග්රෑම් 6 ක් මී පැණි සමඟ ලේහ කිරීමෙන් වමනය සුවවේ. උණට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ප්‍රකට ඔෂධයක් වන සුදර්ශන චුර්ණයේ වැඩි වශයෙන් ඇත්තේ බිංකොහොඹ ය. වඳවෙමින් පවතින වටිනා දේශීය ඖෂධ පැලෑටියක් වන බිංකොහොඹ ශාකයක් බඳුනක හෝ වවා ගැනීමට උනන්දු වීම දේශීය වෙදකමට හිතැති කාගේත් යුතුකමකි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, February 19, 2017

එළ නිටුල් [Ela Nitul] (Plumbago zeylanica)

එළ නිටුල් කොළ පැහැති සිහින් කඳක් දරන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. බහුවාර්ෂික පැළෑටියක් වන මෙහි බොහෝ ලක්ෂණ රත් නිටුල් ශාකයට සමාන බවක් පෙන්වයි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල ස්වභායක් ගනී. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර ය. පත්‍ර රත් නිටුල්වලට වඩා හරිත පැහැයකින් යුක්ත ය. කඳෙහි කෙලවරින් ඇති වන දිගු නටුවක් සහිත ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි සුදු පැහැති මල් හට ගනී. පෙති 5 ක් සහිත එම මල් අලංකාරයත් ය. ඵලය සෙ.මි 1 ක් පමණ දිග කරලකි. විසිතුරු ශාකයක් ලෙස වැවීමටද යෝග්‍ය එළනිටුල් ශාකය Plumbaginaceae උද්භිද කුලයට අයත් ය. 

කුසගිනි වඩවන ඖෂධයක් හෙයින් එළ නිටුල් ශාකයටද අග්නි පර්යාය යෙදී ඇත. එමෙන්ම චිත්‍රක නම් පර්යායද එළ නිටුල් සඳහා භාවිතා කර ඇත. වෙදකමට සම්බන්ධ ඇතැම් මූලාශ්‍රවල එළ නිටුල් සහ රත් නිටුල් සමාන ගුණයන්ගෙන් යුක්ත බව දක්වා ඇති අතර එළ නිටුල් ශාකයටම අනන්‍ය ඖෂධීය භාවිතාවන් ගැන තොරතුරු දේශීය මූලාශ්‍රවල විරල ය. පෙනහළු පිලිකා, ගුද පිළිකා, ආමාශ පිළිකා, අංශභාග, චර්ම රෝග, පණු හොරි, කුසගිනි මදිකම, ආමවාතය හෙවත් ආතරයිට්ස්, ලේ හිගකම, ස්ථුලතාවය, ඉදිමුම්, වණ, උදරාබාධ, පණු රෝග, සුදු කබර, උඳුගොව්වා කෑම, අර්ශස් ආදී රෝගාබාධ රාශියක් සඳහා ප්‍රතිඵලදායක ඖෂධයක් බව අන්තර්ජාලගත මූලාශ්‍රවල සඳහන්ව ඇත. ප්‍රධාන වශයෙන් මුල් සහ කොළ ඖෂධ සඳහා භාවිතා කරයි. එයිනුත් අල හෙවත් මුල් ප්‍රමුඛ වේ. එළ නිටුල්ද මිනිස් සිරුරට විෂ සහිත හෙයින් අභ්‍යන්තරව යෙදීමේදී රත් නිටුල් ආකාරයෙන් ශෝධනය කර භාවිතයට ගත යුතුය.  

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Monday, February 13, 2017

රත් නිටුල් [Rath Ntul] (Plumbago indica)

රත් නෙටොල් යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය කොළ පැහැති සිහින් කඳක් දරන, වැලක ලක්ෂණ පෙන්වන කුඩා පැළෑටියකි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල බවට පත් වී ඇත. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර ය. පත්‍රයක් සෙ.මි. 15 දක්වා දිගු විය හැකිය. කඳෙහි කෙලවර දිගු නටුවක් සහිත ඒකාක්ෂ පුෂ්ප මංජරියක් හට ගනී. දීප්තිමත් රතු පැහැයෙන් යුත් ද්වී ලිංගික පුෂ්ප අලංකාරවත්ය. ඵලය සෙ.මි. 2ක් පමණ දිග ස්ඵෝටිකාවකි. දකුණු ආසියාව නිජබිම ලෙස සැලකෙන රත් නිටුල් ශාකය අප රටට හඳුන්වා දී වගා කර ඇත. මෙම උද්භිද ගණයටම අයත් සුදු මල් පිපෙන එළ නිටුල් (Plumbago zeylanica) නම් දේශීය ශාකයක් ඇති අතර එහි ගුණද බොහෝ දුරට රත් නිටුල් හා සමාන ලෙස සලකා ඇත. අලංකාර මල් හට ගන්නා නිසා ගෙවතු සහ උද්‍යාන අලංකරණයටද වැවිය හැකි නිටුල් ශාක Plumbaginaceae උද්භිද කුලයට අයත් ය. 

රත් නිටුල් ඈත අතීතයේ සිටම ආයුර්වේද  සහ දේශීය වෙදමේ භාවිතා වී ඇති ඖෂධයකි. රත් නිටුල්වලට "අග්නි" නම් පර්යායක් යෙදී ඇත්තේ කුසගිනි වඩවන ඖෂධ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා නිසා ය. ස්නායු දුර්වලතා, අංශභාගය, අර්දිත, නිදි උලුක්කු, ගෘධ්‍රසි, වෙවිලීම, අපතන්ත්‍රක, කුසගිනි මදිකම, බඩ පිපුම, ගුල්ම, උදර ශූල, විබන්ධතා, පණු රෝග, ග්‍රහණි, අර්ශස්, පාණ්ඩු, අක්මා රෝග, අජීර්ණ, ගුද ශෝථ, අක්මාව සහ ප්ලීහාව ඉදිමීම, වාතය නිසා හට ගත් හෘද රෝග, කල්ගිය කැස්ස, ඇදුම, පෙනහලු ඉදිමීම, ප්‍රතිශ්‍යා, වාතික මුත්‍රඝාත, මුත්‍රාශයේ ඇති වන වේදනා, අශ්මරී රෝග, ඔසප් දෝෂ, ප්‍රසූතිවිකාර, දරුවන් බිහිකල අලුත මව්වරුන්ට ඇතිවන අධික වේදනා සහිත සංකූලතාවයන්, වේදනාකාරී ආර්ථවය, සුදු කබර, කුෂ්ඨ,  ආදි රෝග රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට රත් නිටුල් ශාකයේ මුල් (අල), කොළ සහ කිරි භාවිතා කරයි. දශමූලාරිෂ්ටය, චිත්‍රකාදී චූර්ණය, අග්නි සෘතය ආදී රත් නිටුල් යොදා නිපදවන ඖෂධ රැසකි. 

බරවා රෝගය නිසා හටගත් ඉඳිමුම් වලට රත්නිටුල් දේවදාර සමඟ අඹරා ආලේප කරයි. මෙහිදී රෙදිකඩක මතුපිට ලේපය තවරා පිට පැත්තට සිටින සේ ඉදිමුම මත ඇතිරිය යුතුය. සුදු කබර රෝගයේදී රත් නිටුල්, ගව මුත්‍ර, ගිතෙල්, මී පැණි සමව ගෙන කළගෙඩියක බහා තබා පානය කළ යුතුය. අර්ශස් රෝගයට රත් නිටුල් මුලේ පොතු අඹරා, මැටි භාජනයක් තුල ගා වියලුණු පසු එ තුල එළකිරි දමා මුදවා ගත් දධියෙන් කළ මෝරු වැළඳිය යුතුය. අතීසාරයට පවනේ වියළාගත් රත් නිටුල් මුල් චූර්ණය ස්වල්පයක් භාවිතා කිරීමට නියම කර ඇත. රසායනයට සහ බුද්ධි වර්ධනයට සම්මත ක්‍රමයන්ට ශෝධනය කර ගත් රත් නිටුල් මුලේ චූර්ණය ස්වල්පයක් එළකිරි, එළඟිතෙල් හෝ මී පැණි පානය කළ යුතුය. 

රත් නිටුල්වල ස්වභාවයෙන් යම් විෂ සහිත බවක් පවතින අතර එය ඉවත් කිරීමට පැරැන්නන් අනුදත් පිළිවෙලකට අනුව ශෝධනය කර ගත යුතුය. ඒ සඳහා සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගත් රත්නිටුල් මුල් පොල් වතුරෙන් හෝ පොල් කිරිවලින් හෝ ගව මුත්‍රවලින් තම්බා ගත යුතුය. එළකිරෙන් තම්බා වේලා ගැනීමද ඇතැම් දේශීය වෛද්‍යවරු අනුගමනය කරන පිළිවෙලකි. මේ සෑම අවස්ථාවකම මැද නාරටිය ඉවත් කළ යුතුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 

Share:

Monday, February 6, 2017

නිතුල්ල / ගැට නෙටුල් [Nitulla / Geta Netul] (Streblus asper)

ගැට නෙටුල් මීටර් 10 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් අකාරයෙන්ද දැක ගත හැකිය. පොත්ත අළු පාටට හුරු සුදු පාටය. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 12 ක් දක්වා දිගු විය හැකිය. පත්‍ර අග්‍රය උල් හැඩයක් ගන්නා අතර පත්‍ර දාරය දැති සහිත ස්වභාවයකි. ගැහැණු සහ පිරිමි මල් එකම ශාකයේ පිහිටයි. මල් සුදු පාටට හුරු කහ පාටය. අෂ්ටිලයක් වන ඵලය පරිනත වන තුරු අපපතන මණි පත්‍රවලින් වැසී පවතී. මේරු ඵලය කහ පැහැතිය. එ තුල බීජ 5ක් හෝ 6ක් පිහිටා තිබේ. ගැට නෙටුල් Moraceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

අතීසාරය, උණ, පාචනය, උදරාබාධ, ලාඳුරු, පිළිකා, රත්පිත්, ඉදිමුම්, බරවා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගැට නෙටුල් ශාකයේ පොතු සහ මුල් භාවිතා කරයි. අතීසාර, උණ සහ උදර රෝගයන් හිදී පොතු කෂාය යොදයි. පොතු ස්වරස (පොතු කොටාගත් යුෂ) ගිතෙල් සමඟ ගෙලෙන් උඩ කොටසේ රත්පිතට භාවිතා කරයි. මෙහිදී පොතු කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ භාවිතා කළ යුතුය. නෙටුල් පොතු විනාකිරෙන් අඹරා වාතජ ඉදිමුම්වලටත්, පොතු ගව මුත්‍රයෙන් අඹරා බරවා රෝගයටත් ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. 

ගැට නෙටුල් ශාකය වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල සමේ රෝග, සර්ප විෂ, උපදංශය, කොලරාව, අර්ශස්, ගෙඩි, හෘද රෝග, අක්මා රෝග, අක්‍රමවත් ඔසප් වීම, අපස්මාරය ආදී රෝග අවස්ථා සඳහා භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
ගෙඩි සහිත සේයාරුව_ වෛද්‍ය සංජීව රූපසිංහ මහතාගෙන්

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support