ගණ්ඩමාලය, මුත්‍ර මාර්ගයේ ඉදිමුම්, ග්‍රහණි, අතීසාර, අර්ශස්, අහාර අරුචිය, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම, දරු ප්‍රසූතියෙන් පසු ලේ වහනය, අම්ලපිත්තය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කල්ගතවූ කුෂ්ට, කැස්ස, කක්කල් කැස්ස, උදරාබාධ, ශ්වේත ප්‍රදර, පූය මේහ, රක්තඅතීසාරය, ප්‍රවාහිකා, තුවාල, පිලිස්සුම්, අක්ෂි රෝග, උගුරේ තුවාල සහ මුඛයේ ආසාදන ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා ශාකයේ පොතු, කොළ, ගෙඩි ආදිය භාවිතා කරයි.
සෙම ඉවත් කිරීමට ඇඹරැල්ලා ගසේ පොත්ත පිට කුරුට්ට ඉවත්කර එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගෑ යුතුය. බෙල්ල ඉදිමීමට ඇඹරැල්ලා පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බලේලේ ගෑමට නියම කර ඇත. ඇඹරැල්ලා පොතු, අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ගෑම ගණ්ඩමාල රෝගයට ප්‍රතිකාරයකි. තැල්මට ඇඹරැල්ලා පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගායි. කල්ගතවූ කුෂ්ට හා කක්කල් කැස්සට හොඳියෙන් පැසී ඉදුණු ගෙඩි පොතු හැර, ගෑරොප්පුවකින් සිදුරු කර මී පැණියේ බහා තබා දිනපතා ගෙඩිය බැගින් කෑමට ගත යුතුය. ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම. මුත්‍ර මාර්ගය ආශ්‍රිත ඉදිමීම්, දියවැඩියාව, ශ්වේත ප්‍රදර, පූය මේහ, ප්‍රවාහිකා, රක්ත අතීසාර ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා පොතු කෂාය යොදා ගනී.
අමු ඇඹරැල්ලා ගෙඩි ව්‍යංජනයක් ලෙසත්, ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් කෑමට ගත හැකිය. ඇඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකසා අහාරට එකතු කර ගැනීමට පුලුවන. එමෙන්ම ඇඹරැල්ලා යොදා ගෙන ජෑම්, චට්නි, අච්චාරු ආදිය සාදා ගත හැකිය. අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයටත්, හෘද රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ටත් එළවළුවක් ලෙස මෙන්ම පළතුරක් ලෙස ද ඇඹරැල්ලා ආහාරයට ගැනීම ගුණදායක ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment