
ශරීර දාහය, අධික පිපාසය, රුධිර වහනය, මුත්‍ර සමඟ රුධිරය පිට වීම, ගර්භාශගත රුධිර වහනය, අර්ශස්, රක්ත අතීසාරය, වමනය, චර්ම රෝග, ඉදිමුම්, වේදනා, සෙම් සහ පිත් රෝග, ශරීරයේ දුගඳ, කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් නාමල් රේණුත් අවශේෂව කොළ, ඇට, ඇටවලින් සිඳින තෙල් ආදියත් භාවිතා කරයි.
නාසයෙන් රුධිරය පිටවන අවස්ථාවලදී, කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධියේදී සහ රුධිරය පිටවන අර්ශස් රෝගවලදී නා මල් රේණු මඳක් වියළා පත අට එකට සිඳුවා දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් පානය කිරීම ඉතා ගුණ ය. නා ඇට තෙල් බාහිර ඉදිමුම්, වේදනා, කැක්කුම් ඇති ස්ථානවල දිනපතා උදේ සවස ආලේප කිරීමෙන් එම කැක්කුම්, වේදනා, ආසාදන ඉක්මනින් සුව වීමත් ඉදිමුම් බැසීමත් සිදු වේ. අතීසාරය වැනි රෝග තත්ත්වයකදී දිය හැකි කදිම ප්‍රතිකාරයකි නාමල් කැකුළු කෂාය. දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් එම කෂාය පානය කළ යුතුය. අතීතයේ කාන්තාවකට දරු ප්‍රසූතියක් වූ විටකදී ගර්භාෂය පිරිසුදු කිරීමට කෂායක් ලෙස නාමල් කෂාය දී ඇත. නාමල් රේණු කොටසක් ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩුකර එයට සමානව උළු හාල් සහ තේජ පත්‍ර කුඩු කොටස් දෙකක් ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. ඒ ආකාරයට මිශ්රකරගත් කුඩු සුළං නොවදින ඇසුරුමකට දමා වරකට එම කුඩු ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක් කිරි සමඟ මිශ්‍රකර දිනපතා උදේ සවස දින පහක් පමණ ආහාරයට ගන්න. එය ඉහත සඳහන් සෑම රෝගයකටම මෙන්ම දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගේ ගර්භාෂය පිරිසුදු කිරීමටත් මේ ඔෟෂධීය ආහාරය ගුණදායකයි. නාමල් වියළා හොඳින් කුඩුකර එය නැවතත් එළඟිතෙලින් අඹරා රස්නෙ කාලයට ඇතිවන අතුල් පතුල් දැවිල්ලට අලේප කළ හැකිය. එමඟින් ශරීරයට නැවුම් සිසිලසක් දැනේවි. ඇතැම් අවස්ථාවලදී නළලෙ සෙම පිරුණු ගතියත් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමේ ස්වභාවයකදී නා කොළ ගෙන හොඳින් කොටා කල්කයක් ලෙස නළලෙ ආලේප කිරීමෙන් ඉක්මනින් සෙම ඉවත් යයි.
එමෙන්ම අධික උෂ්ණ කාලයෙදි දහදිය දැමීම නිසා ශරීරයෙන් දැඩි දුගඳක් ඇති විය හැකිය. එවිට නාමල් රේණු කුඩු සහ සැවැන්දරා කුඩු සමානව ගෙන හොඳින් මිශ්‍රකර ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැය දෙකකට පමණ පසුව ඇඟ සෝදන්න. දහදිය දුගඳ නැතිකර ශරීරයෙන් කාන්තිමත් සුවඳක් ලබා දීමට මේ ප්රතිකර්මය ඉතා ගුණදායකයි. ගුරුවරුන්, ගායකයන් වැනි වෘත්තිකයින්ට අධික ලෙස උගුර වෙහෙසවීම නිසා උගුර බැරැන්ඩි ගතියක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවල නාමල් රේණු සහ එනසාල් ස්වල්පයක් මිශ්‍රකර සූකිරි ස්වල්පයක් සමඟ ආහාරයට ගැනීමෙන් උගුරේ පවතින සෙම ගතිය සුළු මොහොතකින් ඉවත්ව යයි. රුධිරය ගලන අර්ශස් රෝගයට නාමල් කුඩු සමඟ සූකිරි ස්වල්පය බැගින් විටින් විට ආහාරයට ගැනීමත් හොඳයි. කුෂ්ඨ කැළැල් සහ තුවාල කැළැල් මකා දීප්තිමත් සමක් ලබා ගැනීමට නාමල් රේණු කුඩු සමඟ පිණ්ඩ තෛලය මිශ්‍රකර දිනපතා හමේ ආලේප කරන්න. ටික කලක් මෙලෙස කිරීමේදී සමේ ඇති කැළැල් කෙමෙන් මැකී යෑමේ සතුට ඔබට අත් විඳින්නට පුළුවන් වේවි.
ස්ත්‍රී රෝගවලට භාවිත කරන පුෂ්යනුග චූර්ණය, නාරායන තෛලය වැනි ඔෟෂධ තුළත්, ස්ත්‍රී රෝගවලටම භාවිත කරන කුමාර්යාසවය තුළත්, පෙණහලු ආශ්රිත රෝග සඳහා ලබා දීමට සුදුසු "ද්‍රාක්ෂාරිෂ්ටය" තුළත් නා ශාක කොටස් ඇතුලත් ය. එමෙන්ම රෝගයක් වැලඳී එය සුව වූ පසු ශරීරය පුෂ්ටිමත් කිරීමට ලබා දීමට සුදුසු ච්යාවන ප්රාශාවලේහ ඔෟෂධය තුළ වැඩි වශයෙන් නෙල්ලි ඔෟෂධය අන්තර්ගත වුණත් එහි නාමල් රේණු ද අඩංගුව ඇත.
නා ගස බෞද්ධයින්ට ආගමික අතින් වැදගත් වනුයේ අටවිසි බෝධි වෘක්ෂයන්ට අයත් ශාකයක් වීමත් මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුන්වහන්සේලා බුදු බව ලබාගෙන තිබෙන්නේ මේ පූජනීය නා බෝධි මූලයේදී වීමත් ය. එමෙන්ම මතු බුදුවන මෛත්‍රීය බුදුරජාණන්වහන්සේගේ බෝධිය ලෙස සැලකෙන්නේද නා වෘක්ෂයයි. නා මල් පූජා කිරීමට ද බෞද්ධයෝ ඉමහත් කැමත්තක් දක්වති. මෙවන් ජාතික ආගමික සහ ඖෂධීය වටිනාකම් රැසක් සහිත පරිසර හිතකාමී නා ශාකය සුරැකීමට කටයුතු කිරීම ජාතික යුතුකමක් ලෙස සැලකිය හැකිය.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
![]() |
නා ගෙඩි - සේයාරුව අන්තර්ජාලයෙන්ෙ |
4 comments:
Namal pipenne mona masa walada
good ,but I can't copy
නාගසේ ප්‍රභේද දෙකක තියනවා, ලංකාවට ආවේණික ප්‍රභේදයේ විද්‍යාත්මක නාමය Mesua Nagaserium
මුලාශ්‍රය: ශ්‍රී ලංකාවේ ජාතික සංකේත - කරුණාරත්න දසනායක -ගුණසේන ප්‍රකාශකයෝ
Post a Comment