දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, May 19, 2014

ඉරමුසු [Iramusu] (Hemidesmus indicus)

ඉරමුසු පොළවෙහි වැතිරී හෝ අධාරක ශාකයක් මත එතෙමින් වැඩෙන අර්ධ පඳුරුමය කාෂ්ඨීය වැල් ශාකයකි. පොළවෙහි ගැඹුරට විහිදෙන කාෂ්ඨමය මුල සුගන්ධවත්ය. ලපටි කඳෙහි බූවක් ඇත. මේරූ කඳ බූව රහිත වන අතර කිරි සහිතයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර ආයත-ඕවලාකාර සිට රේඛීය දක්වා විවිධ හැඩයන්ගෙන් දැකගත හැකිය. පත්‍රයක් සෙ.මි. 3.8 සිට 6.6 දක්වා දිගු විය හැකිය. පත්‍ර යේ මධ්‍ය නාරටිය දිගේ දක්නට ලැබන සුදු පැහැති ඉර ඉරමුසු හඳුනා ගැනීමේ අනන්‍ය ලක්ෂණයක් වුවද එය නොපිහිටන අයස්ථාද හමුවෙයි. කක්ෂීය බහු අක්ෂ මත පිහිටන තද දම් පැහැති මල් ද්වීලිංගික ය. ඵලය කොටස් දෙකක් සහිත වරාවකි. හීං ඉරමුසු සහ මහ ඉරමුසු යනුවෙන් ප්‍රභේද (හෝ විශේෂ) දෙකක් ඇති අතර මෙරට වැවෙන වර්ගය හීං ඉරමුසු ලෙසත් ඉන්දියානු වර්ගය මහ ඉරමුසු ලෙසත් හඳුන්වයි. දේශීය ශාකයක් වන ඉරමුසු පෙර Apocynaceae සහ Asclepiadaceae උද්භිද කුලයන්ට අයත්ව තිබී වර්තමානයේ Periplocaceae කුලය යටතේ වර්ගීකරණය කර ඇත. 

අතීසාර, ප්‍රවාහිකා, වාතරක්ත, උපදංශ,ථීරංග, බරවා, ගණ්ඩමාලා, කුශ්ඨ, විසර්ප, තුවාල, මව්කිරි නිසිලෙස ස්‍රාවය නොවීම, අහාර අරුචිය, ස්ත්‍රි සහ පුරුෂ වඳ බව, මුත්‍ර ගල්, මුත්‍ර ආසාදන, ශරීරයේ දැවිල්ල, ඇදුම ඇතුළු ස්වසන ආබාධ, විදුරුමස් දියවීම, උගුරේ සෙම්ගෙඩි, සන්ධි වේදනා, පණු රෝග, උදරාබාධ, අකලට හිසකෙස් වැටීම, නින්ද නොයාම, මුහුනේ සම අවපැහැ වීම, අර්ශස් ඇතුලු රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ඉරමුසු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ඉරමුසු කුෂ්ඨ, දද, ශරීරයේ දුගඳ, කැස්ස, ඇදුම, රක්ත දෝෂ, අතීසාර, පිපාස, දාහ දුරලන ගුණ සහිතයි. වටී, ක්වාත,ලෞහ, තෛල, ලේප ආදී ඉරමුසු යොදා නිපදවන ඖෂධ රැසක් ද ඇත. 

ශරීරයේ දැවිල්ලට සහ මුත්‍ර දැවිල්ලට මුල් තම්බා බීමත් කැඳ සාදා බීමත් ගුණදායකය. අභිෂ්‍යන්දී නම් අක්ෂි රෝගයේදී ඉරමුසු ස්වරසය ඇසට යොදයි. ශරීරයේ දැවිල්ල සහ ඉදිමුම් අවස්ථාවන්ට මුල් අඹරා බාහිරින් ආලේප කරයි. ඉරමුසු මුල් තැම්බූ ජලයෙන් සේදීමෙන් වණ ශෝධනය වෙයි. මී විෂට ඉරමුසු මුල් කෂාය ලෙස ගෙන සාදාගත් සෘත යොදයි. 

ඉරමුසු කෂාය දින හතක් පමණ උදය හවස පානය කිරීම වඳබව නැසීමට උපකාරී වෙයි. ඉරමුසු චූර්ණය ජලයට මිශ්‍රකර පානය කිරීම මුත්‍රා ගල්, කුෂ්ඨ රෝගය සහ ස්ත්‍රි පුරුෂ වඳ භාවය නැති කිරීමය සමත් ය. පෙණහලු ආශ්‍රිත රෝග, සෙම තදවීම සහ ඇදුම වැනි රෝගවලින් පෙළෙන විට ඉරමුසු කොළ කොටා සාදාගත් කැඳ පානය ගුණය. විදුරු මස් දියවීම, කටේ සෙම්ගෙඩි හටගැනීම, උල්ලෝගම් ඒම (සුදු පැහැ පුස් ලප වර්ගයක්) වැනි මුඛය ආශ්‍රිත රෝග සඳහා ඉරමුසු වැල තැම්බූ වතුරින් සේදීමෙන් සුවය ලැබෙයි. එයට සීනක්කාරම් ස්වල්පයක් දැමීම වඩාත් ප්‍රතිඵලදායක වේ. සර්ප විෂ, ගෝනුසු විෂ සහ මී විෂ ආදී විවිධ විෂ වර්ග ශරීරගත වූ විටදී ඉරමුසු මුල් තම්බා කෂායක් සාදාගෙන ඒ කෂාය නැවතත් එළඟිතෙල් සමඟ රත් කර පානය කළ යුතුය. අතීසාරය, කෑම අරුචිය වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ගුණදෙන වටිනා ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගැනීමට ඉරමුසු, වියළි ඉඟුරු, කලාඳුරු අල සහ කෙලිඳ හාල් ග්‍රෑම් 15 බැගින් ගෙන වතුර කොප්ප 8ක් මිශ්‍රකර කොප්ප 1කට සිඳගෙන එය හොඳින් පෙරා පානය කරන්න. කෑම රුචිය වැඩිකිරීමටත් අතීසාරය දුරුකිරීමටත් එය ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයකි. පණු අමාරුව සහ උදරය ආශ්‍රිතව හටගන්නා විවිධ වේදනාවලදී ඉරමුසු ශාකය ඇල්වතුරෙන් අඹරා එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද මිශ්‍රකර හොඳින් ඝනවන තුරු අඹරන්න. ඉන්පසු කුඩා ගුළි ලෙස සාදාගෙන හොඳ ඇසුරුමකට දමා තබාගන්න. උදරය ආශ්‍රිතව හටගත් වේදනාවකදී ඒ ගුළිය බැගින් මඳ රස්නය ඇති වතුර සමඟ පානය කරන්න. අකලට හිසකෙස් වැටෙන විට ඉරමුසු ශාකය කොටා දිනපතා ඒ යුෂෙන් හිස සෝදන්න. දින කිහිපයකින් හිසකේ ගැලවී යෑම නවතී. ඉරමුසු කොළ සහ දෑසමන් කොළ ස්වල්පය බැගින් සමව ගෙන තම්බා ඒ ඔෟෂධීය දියෙන් පැසවූ තුවාලය දින තුනක් පමණ සේදීමෙන් තුවාලය ඉක්මනින් සුව වේ. මුහුණේ දුර්වර්ණවීම් ඇති විට ඉරමුසු කොළ හොඳින් කොටා දිනපතා උදෑසන එම යුෂ මුහුණේ ආලේප කර විනාඩි පහළොවකින් පමණ සෝදා හරින්න. ඉරමුසු ශාකය සම්පූර්ණයෙන් ගෙන කටරොළු මුල් හා අඹරා කල්කයක් සාදාගෙන එම කල්කය මැටි බඳුනක පතුලේ තවරා රත් කර වියළුණු පසු එයට මෝරු (මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් 4ක් දමා මිශ්‍ර කර මෝරු සාදා ගන්න) දමා හොඳින් මිශ්‍ර කර එය පානය කරන්න. අර්ශස් රෝගීන්ට එය ඉතාමත්ම ගුණදායකයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:

7 comments:

Anonymous said...

මේ ලිප පෙළ ඇත්තටම වටිනවා. හෙළ වෙදකම හොඳයි කියලා කවුරු මොනවා කිවුවත් මේ වගේ තොරතුරුවලින් තමයි ඒවගෙ ඖෂධීය ගුණය අපට දැනගන් පුළුවන් වෙන්නේ

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි

Unknown said...

බොහොමයක් වටිනාකමක් ඇති විස්තරයක්, අපෙන් වියකීයන අපේ පාරම්පරික ඖෂධ පිළිබඳ සියල්ලන් කියවිය යුතු ලිපියක්.
බොහොමයක් පින්.
බුදු සරණයි !

Unknown said...

මේ දවස් වල මම ඉරමුසු තම්බා පානය කරනවා, ඇත්තටම හොදයි

Unknown said...

හැමදාම බොන්න හොද නැද්ද?

Unknown said...

ඇත්තටම හුඟක් ප්‍රයෝජනවත් සටහනක්

Nimesh sandeepa said...

ශ්‍රී ලංකාවේ වදවීයන ශාක හ සත්ත්ව ලේඛනයක් සැකසීමට තොරතුරු අවශ්‍යව ඇත

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support