දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

අබ (Brassica juncea)

Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා උසට වැවෙන වාර්ෂික ශාකයකි. පත්‍ර තද කොල පැහැ වන අතර පහතින් ඇති පත්‍ර වීණාකාර ය. කුඩා කහ පාට මල් දිවීලිංගික ය. ඵලය අඟල් දෙකක් පමණ දිග කරලකි. ව්‍යාපාරික භෝගයක් වශයෙන් ඉන්දියාවේ බිහාර්, උත්තර ප්‍රදේශ හා බෙංගාල යන ප්‍රාන්තවලත් ලංකාවේ හේන් වලත් අබ වවනු ලැබේ. අබ BRASSICACEAE  කුලයට අයත් ශාක විශේෂයන් ය.

ඖෂධීය වටිනාකම


ආයුර්වේදයේ අබ වලට විශේෂ තැනක් හිමිවන අතර එහි දී "සර්ෂප" හා "සිද්ධාර්ථ" යන නම් වලින් අබ හැඳින් වේ. අබ වර්ග හා ඒවායේ ගුණ මෙ සේ ය.

  • ගෞර සිද්ධාර්ථ (එළ අබ) - ඌෂ්ණය වාතය හා සෙම පහ කරයි. කුරුමිණි රෝග, ආමාශයේ සහ බඩවැල්වල හරි හැටි ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාත, කුෂ්ට, කණේ රෝග හා හිසේ රෝග නසයි.
  • රක්ත සිද්ධාර්ථ (රතු අබ) - ඉතා සැර ය. සෙම් හා පිත් නසයි. රත් පිත් උපදවයි. කුසගින්න වඩයි. කුෂ්ට රෝග හා කුරුමිණි රෝග නසයි.
  • කෘෂ්ණ රාජිකා (කළු අබ) - ඉතා සැර ය. සෙම් හා පිත් නසයි. රත් පිත් උපදවයි. කුසගින්න වඩයි. කුෂ්ට රෝග හා කුරුමිණි රෝග නසයි.
  • රාජිකා (සාමාන්‍ය අබ) - තිත්ත ය. ඌෂ්ණය, කුරුමිණි රෝග හා සෙම් රෝග පහ කරයි. බඩගින්න හා පිත් වඩයි. වාතය, දැවිලි ගතිය, ප්ලීහාවේ රෝග, කුෂ්ට හා වණ සුව කරයි.

අබ තෙල් ඌෂ්ණය.සෙම හා වාතය දුරු කරයි. කුෂ්ට රෝග හා පණු රෝග සුව කරයි. අබ ඇට අඹරා සාදාගත් කල්කය බෙහෙත් තෙල් සෑදීමේ දී යොදා ගැනේ. සිද්ධාර්ථ තෛලය එ වැන්නකි. මහා සිද්ධාර්ථ තෛලය තැනීමට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යය අබ ය. ශ්වස දුර්වලතා සහ හුස්ම ගැනීමේ අපහසුකම් ඇති අයගේ පපුවට යොදන පැලැස්තර් සඳහා අබ ගනු ලැබේ. අබ කුඩු ජලයේ දිය කොට පෙවූ විට වමනය උපදවයි. එළ අබ ශුද්ධ වස්තුවකි. "ලද පස් මල්" අතුරින් එකකි. ඉවුම් පිහුම් කටයුතු වල දී කෑම රසවත් කිරීම සඳහා ද අබ බහුල ව භාවිත කරයි. අබ ආහාරයට එකතු කිරීම මඟින් දිරවීම පහසු කරයි.


ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support