දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

ඇත්දෙමට [Ethdemata] (Gmelina arborea)

කාශ්මර්ය යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ඇත්දෙමට මීටර් 20 හෝ ඊට වඩා උසට වැඩෙන දේශීය ශාකයකි. හීං දෙමට නමින් කුඩා ශාකයක් ඇති නිසා විශාල යන අර්ථයෙන් මෙය ඇත්දෙමට ලෙස හඳුන්වා ඇතැයි සඳහන්. මෙම ශාකයේ වැඩුනු කඳ ඇතාගේ පාදයට සමාන කමක් දක්වන හෙයින් ඇත්දෙමට ලෙස හැඳින්වූ බවට ද මතයක් පවතී. ඇත්දෙමට ශාකයේ අළු කහ පැහැති ගණකම් පොත්ත ගැටිති සහිතය. ළපටි ශාඛා කහ පැහැති බූවක් දරයි. ඉහල අතු ගස මුදුනේදී එකතු වී සෙවණ සහිත මස්තකයක් සාදයි. පතනශීලී පත්‍රවල පිහිටීම ද්වීකාන්තරික සම්මුඛය. පුළුල් ලෙස අන්ඩාකාර පත්‍රයක් දිග සෙ.මි. 25 සහ පළල සෙ.මි. 18 දක්වා වර්ධනය වේ. ළපටි කාලයේදී උඩු පෘෂ්ඨයේ ගනව පිහිටන දැඩි රෝම දැක ගත හැකිය. අග්‍රස්ථීය හා කක්ෂීය පුෂ්ප මංජරියෙහි දැඩි රෝම පිහිටයි. ඝණ්ඨාකාර මණියක් සහිත මල් කහ, තැඹිලි, රතු, දුඹුරු, රෝස හෝ සුදු පැහැති විය හැකිය. ඵලය කහ තැඹිලි පැහැති අෂ්ටිලයකි. ඇත් දෙමට Verbenaceae උද්භිද කුලයට අයත් ය. 

දැවිල්ල, හිසරදය, ශුක්‍රහීනතාවය, ගබ්සාවීම, ගර්භාෂයේ දුර්වලතාවයන්, ඉදිමුම්, අළුත් සහ පරණ තුවාල, සර්ප විෂ, කැඩුම් බිඳුම්, ගෙඩි වෙදකම, මුත්‍රඅඩස්සිය, රක්ත අතීසාරය, වාත රක්තය, පිත නිසා හටගත් උණ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඇත්දෙමට ශාකයේ මුල්, මල්, පොතු, ළපටි කොළ, ගෙඩි, ඇට ආදිය භාවිතා කරයි. ඇත්දෙමට කුසගිනි වඩවන, ඉදිමුම් නසන, විෂ නසන, ගර්භස්ථාපන, මුත්‍රකාරක ආදී ගුණයන් සහිතයි. ගම්භාර තෛලය ඇත්දෙමට යොදා නිපදවන ඖෂධයකි.

හිසරදයට ළපටි ඇත්දෙමට කොළ අඹරා හිසේ සහ නලලේ ආලේ කරයි. එයටම පැසුනු ගෙඩි මී පැණියෙන් අඹරා ලේහ කරනු ලබයි. එය රක්තඅතීසාරයටද යෙදිය හැකි ප්‍රතිකාරයකි. නිතර ගබ්සාවන විට ආරක්ෂාකාරී ඖෂධයක් ලෙස ඇත්දෙමට ගෙඩි වියළා සකස්කළ චූර්ණය හෝ පොතු චූර්ණය සහ වැල්මී සමව ගෙන එමෙන් දෙගුණයක් සූකිරි ද සමඟ මී පැණියෙන් අනා කෑමට දෙයි. මුත්‍රඅඩස්සියට, ප්‍රමේහයට සහ ගුදමාර්ගය අවට ඉදිමීමට ගෙඩි යුෂ හෝ ළපටි කොළ යුෂ සීනි සමඟ දෙයි. මෙයටම එළකිරි මිශ්‍රකර දීමෙන් රෝගියාගේ බලය වර්ධනය වන බව සඳහන්. රක්තඅතීසාරයට ඇත්දෙමට ගෙඩි යුෂ සීනි හෝ මී පැණි සමඟ ස්වල්ප වශයෙන් යොදා මඳින් මඳ පානය කළ යුතුය. පිත්ත ප්‍රභල උණට ඇත්දෙමට මුලේ පොතු කෂායකර සීනි සමඟ යොදයි. 

ඇත්දෙමට ගෙඩි කෘෂ වූ ශරීරය තර කරයි. ශරීර ශක්තිය වර්ධනය කරයි. වාතය, පිත, පිපාසය, ලේ අඩුකම, මුත්‍රා, දැවිල්ලට ගුණදායකයි. ආහාර ජීර්ණය යහපත් කරයි. ශරීරය සිසිල් කරයි. කහට හා ඇඹුල් රස නිසා මල බද්ධයට ඖෂධයකි. රසායන ගුණයෙන්ද යුක්තය. අධික පිපාසය සඳහා ඇත්දෙමට ගෙඩි කලං 12 ගෙන කපා, කොටා වතුර පත හතරක් වත්කොට පතට සිඳුවා සූකිරි කලං එක හමාරක් මිශ්‍ර කොට වරකට කෂාය පත භාගයක් බීම ගුණදායකය. කුසගිනි මදිකමට ඇත්දෙමට කොළ ඉස්මට ඉඟුරු ස්වල්පයක් දමා බීම හොඳය.

ඉදුණු ඇත්දෙමට ගෙඩි හෘදයට හිතකර හෙයින් හෘද රොගීන්ට පළතුරක් ලෙස කෑමට යෝග්‍යය. ගැමියන් මෙම මල් රසවත් ව්‍යංජනයක් ලෙස පිස ගනී. ඇත්දෙමට ශාකය පාර දෙපස සෙවණ සඳහා වැවීමට ඉතා සුදුසු ය. ලීය නිවාස සහ ගෘහ භාන්ඩ සෑදීමට භාවිතා කරයි. ගෙඩි සහ දළු මුවන් වැනි සතුන්ගේ ප්‍රියතම ආහාරයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
ඇත් දෙමට මල්
Share:

4 comments:

Unknown said...

ඇත්දෙමට දැව වහල සදහා සුදුසුද

Unknown said...

ඇත්දෙමට පැල සකසා ගන්නේ කෙසේද?

Kelum said...

මොනවද බං ඔය අහන ප්‍රශ්ණ? යකෝ වඳින්න පුදන්න වටින බෙහෙත් ගහක උඹට දැනගන්න ඕනැ ලීයෙ වටිනාකමද?

Unknown said...

ඇත් දෙමට මාතර අවටින් සොයා ගත හැකිද? පත්‍ර කිහිපයක් අවශ්‍ය වී ඇත.

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support