දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Saturday, May 31, 2014

එරබදු [Erabadu] (Erythrina variegata)

ගැමි ව්‍යවහාරයේ එරමුදු යනුවෙන්ද හඳුන්වන එරබදු මීටර් 10 පමණ උසට වැඩෙන කටු සහිත මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. සිනිඳු පොත්ත  අළු පැහැති ය. පත්‍රිකා 3 ක් සහිත සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රිකා පුලුල් ලෙස අණ්ඩාකාර සිට ඩෙල්ටාකාර ය. පත්‍රිකාවක් දිගින් සෙ.මි. 12 සහ පළලින් සෙ.මි. 11 පමණ වේ. පුෂ්ප මංජරිය සෙ.මි. 30 ක් පමණ දිග සෘජු ඒකාක්ෂයකි. දීප්තිමත් රතු පැහැයකින් යුත් මල් සෙ.මි. 6 පමණ දිග ය. මල් පිපෙන අවස්ථාවේ ගසේ කොළ තිබීමට හෝ නොතිබීමට හැකි ය. ඵලය නොපැලෙන ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල බීජ 3-8 සංඛාවක් පිහිටා තිබේ. බීජයක් මි.මි. 6 පමණ දිග ය. මෙම උද්භිද ගණයටම අයත් Erythrina fusca යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් එරබදු වර්ගයක් ඇති අතර ඇති අතර එය යක් එරබදු නමින් හඳුන්වා ඇත. එරබදු වර්ග Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.  

අක්ෂි රෝග, ලිංගික බෙලහීනතාවය, කෂ්ටරජස්, කුෂ්ඨ රෝග, හොරි, පරංගි, දද, පණුකැවිලි, කරප්පන්, පණු රෝග, ආර්තව රෝග, වණ සහිත ඉදිමුම්, සන්ධි ඉදිමීම, උළුක්කු, ඇමැට්ටි, සර්ප විෂ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා එරබදු ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, දළු ආදී පංචාංගයම භාවිතයට ගනී. එරබදු ඉදිමුම් නසන, වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, පණුවන් නසන, මුත්‍රකාරක, වාජීකරණ, වේදනා නාශක ආදී ගුණ සහිතයි. 

අභිෂ්‍යන්ද නම් අක්ෂි රෝගයට එරබදු ගසේ සෙවෙල සහිත ඇතුලත පොත්ත රත්කර අඳුන් ලෙස එකතුකර, පිරිසිදු එළඟිතෙලෙන් අනා ගෑ යුතුය. ආර්තව වේදනාවට පොතු කෂාය දෙයි. වටපණු, පටිපණු හා කිරිපණු රෝග සඳහා අලුත් එරබදු කොළ යුෂ අවුස 2 ක් මී පැණියෙන් බීමට දිය යුතුය. එරබදු දළු මැල්ලුම හෝ කොළ ව්‍යංජනය ආහාරයට ගැනීම පණු රෝග සඳහා ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එරබදු ඇට හොඳින් වේළාගෙන කුඩු කර තේ හැඳි 1ක ප්‍රමාණයක් උණු වතුර හා බීමෙන් ද පණු රෝග සුව වෙයි.  සන්ධි ඉදිමීමට එරබදු කොළ කොටා කහ, ලුණු දමා මලවා බඳී. ඉදිමුම් සහිත වණ සඳහා එරබදු කොළ සහ පොතු තම්බා සේදීම, කොළ සහ පොතු අමුකහ යොදා සියුම්ව කොටා මැල්ලුම් බැඳීම සහ පොතු ගලගා ප්‍රලේප එලීම සිදු කරයි. පීනසට ප්‍රතිකාර වශයෙන් හිසේ ගෑම සඳහා සිඳින තෙල්වලට යක් එරබදු කොළ යොදා ගනී. මාන්දමට එරබදු කොළ කැඳ ගුණදායක ඔසුවකි. 

එරබදු දලු මිටක් ගෙන හොඳින් තම්බා ඒ තැම්බුම් දියරින් තුවාල, කුෂ්ඨ, විසර ගෙඩි දිනපතා උදේ සවස දින කිහිපයක් සේදීමෙන් එම ආසාදන සියල්ලකින්ම මිදිය හැකියි. විෂ කටු ඇණුන විට එරබදු කොළ සහ දළු තැම්බූ වතුරින් සේදීමෙන් විෂ ඉවත්ව ගොස් තුවාලය සුව වේ. දියවැඩියාව ආදී රෝග නිසා දීර්ඝකාලීනව පවතින තුවාලවල කබොල්ල ඉවත් කර තුවාලය පිරිසිදු කිරීමට එරබදු දලු මී පැණියෙන් අඹරා තුවාලය මත බැඳිය යුතුය. දිනපතා උදේ සවස එරබදු පොතු කෂායක් ලෙස පත අට එකට සිඳුවා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කිරීමෙන් ආහාර අරුචිය, වමනය, කෑම නොදිරවීම, අර්ශස් දක්වා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක්ම සුවකර ගත හැකියි. එය මානසික රෝග සහ මීමැස්මොර, නින්ද නොයෑම, අමතක වීමේ ස්වභාවය, නිතරම මුත්‍රා පිට කිරීමට සිදුවීම වැනි රෝග සඳහා ද ගුණදායක ඔසුවකි.  ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග සහ කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කර ගැනීමට එරබදු කොළ ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා හොඳින් තම්බා පත එක පදමට සිඳුණු පසු උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කළ යුතුය. එරබදු පොතු, හික් පොතු, කහ, ලුණු සමව දමා හොඳින් කොටා මලවා අස්ථි බිඳීම්, හන්දි උලුක්කු ඇති වූ ස්ථානයේ බැඳීමෙන් අස්ථි බිඳීම ඉක්මනින් සුව කර ගත හැකි වේ. එරබදු කොළ, රත්මල්, අරලු කළං 4 බැගින් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර එය පත 1කට සිඳ ගෙන, පසුව පෙරා සීනි ග්‍රෑම් 500ක් එයට මිශ්‍ර කර පැණි පදමට එනතුරු කකාරන්න. හොඳින් කකාරා ගත් මේ ඔෟෂධීය පැණිය සුළං නොවදින බෝතලයකට දමා වරකට තේ හැඳි දෙකක් බැගින් දිනපතා උදේ සවස ආහාරයට දෙන්න. මෙය සති කිහිපයක් කළොත් කුඩා දරුවන්ගේ රතගාය, රත් දද, පලු ඉක්මනින් සුව වේ. මේ ඔෟෂධීය පැණිය සුරක්ෂිතව මාසයක් පමණ කාලයක් තබා ගන්නත් පුළුවන්. සිකනල්, ගෝනුසු වැනි සත්ත්ව විෂක් ශරීරගත වූ අවස්ථාවකදී එරබදු කොළ ඉස්ම දෂ්ඨ ස්ථානයේ වරින්වර ආලේප කිරීමෙන් විස නැසී යයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
යක් එරබදු
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support