දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Tuesday, May 27, 2014

දේශීය ඉඳි [Idi] (Phoenix pusilla)


දේශීය ඉඳි ශාකය අඩි 6-15 අතර උසට වැවෙන  තාල වර්ගයේ ගසකි. කඳ අපපතන පත්‍ර වලින් වැසී ඇත. දිග පක්ෂවත් කොළවල පටු පක්ෂක බොහෝය. මේ පක්ෂවල අග්‍රය ඉතා තියුණුය. ඇතැම් කොළවල මුල් කොටසේ ඇති පක්ෂක ඌන වී කටු බවට පරිවර්තනය වෙයි. පුමංගි හා ජායංගි ගස් වෙන වෙනම තිබේ. පහළට නැමී ඇති ශුකි නම් පුෂ්ප මංජරිවල කහ පාට මල් ඇත. ඵලය අඟල් 1/2 පමණ දිගය. රතු පාටය. ඉදුණු ඵලය තද දම් පාටය. ඇටය ඵලයට වඩා කුඩා වන්නේ ස්වල්ප වශයෙනි. පහතරට තෙත් ප්‍රදේශ වල මෙය සුලභය. දකුණු වෙරළබඩ ප්‍රදේශවල ද වැඩි වශයෙන් දක්නා ලැබේ. ඉන්දියාවේ මෙම ඉඳි ගස් රා පිණිස මදිනු ලැබේ. දේශීය ඉඳි ශාකයේ හොඳින් පැසුනු ජලයෙහි බහා තැබීමෙන් ඉක්මනින් ඉදීම සිදු වේ. ඉදුණ ඉඳි ගෙඩිවල මොලොක් කොටස කෑමට සුදුසුය. ඉඳි ගොබවලින් දර්ශනීය පැදුරු, තොප්පි හා පෙට්ටි ආදිය තනනු ලැබේ. සුප්‍රකට රට ඉදි හෙවත් Phoenix dactylifera මැද පෙරදිග රටවල වැවේ.  ඉඳි ගස Arecaceae කුලයට අයත්ය. 

‍ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල ඉඳි හඳුන්වා දී ඇත්තේ "ඛර්ජුරී", "ඛර්ජුරිකා" යන නම් වලිනි. ඒවායෙහි රාජ ඛර්ජුරී, දීප්‍යා ඛර්ජුරී, මධූ ඛර්ජුරී හා භූමි ඛර්ජුරී යයි ප්‍රභේද හතරක් දැක්වේ. ලංකාවේ වැවෙන ඉඳි ගස භූමි ඛර්ජුරී ප්‍රභේදයට අයත්ය. ඉන්දියාවේ ඉඳි ප්‍රභේද හතක් පමණ ඇත. පොදුවේ ගත් කල සියලුම ඉඳි වර්ග මිහිරිය, බරය, සිහිල්ය. ලේ පිත් සමනය කරයි. විෂ පහ කරයි. සිරුර පෘෂ්ටිමත් කරයි. හෘදයට හිතකරයි. ශක්ති වර්ධකය, ගත සන්තර්පනය කරයි. ධාතු ශක්තිය වඩවයි. අධික දාහය සහ පිත සමනය කරයි. 

ඉක්කාව, රත්පිත, පෙනහලු රෝග හා දැවිලි ආදී රෝගාබාධ සමනය කරනු පිණිස වෙනත් ඖෂධ සමග ඉඳි යුෂ, ඉඳි බඩ හා ඉඳි ඵල යොදනු ලැබේ. ඉඳි ගසෙන් ලබාගන්නා රා මුත්‍රකාරකය. සර්ප විෂෙන් මූර්ජා වූවන් බහා ලීමට පිළියෙළ කෙරෙන බෙහෙත් ඔරුවට, නාග, පොලොං, මී හා ජයපාල විෂ පහ කිරීමට, සියලු වස විෂ පහ කිරීමට හා බිඳුණු තැන් සන්ධි ගැන්වීමට යොදන ඖෂධ වලට මෙරට වැවෙන ඉඳි ශාකයේ බොඩ ගනු ලැබේ. සෙංගමාලය වැනි රෝගවලදී ඉඳි බොඩ කැඳ දීමෙන් සුවය ඉක්මන් වෙයි. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support