දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

ඇත්හොඬ [Ethhoda] (Heliotropium indicum)

ඇත්හොඬ මීටර් 1 ක් පමණ උසට වැවෙන කුඩා වාර්ෂික හෝ බහුවාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 1.5 දක්වා උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. බූව සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර වින්‍යාසය ඇතැම් විට උප සම්මුඛක ආකාරයක් ද විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පලලින් සෙ.මි. 10 ක් දක්වා වර්ධනය වේ. රළු පත්‍ර තලය නෙරුම් රාශීයකින් සමන්විත වන අතර පත්‍ර දාරය තරංගීමය ස්වරූපයක් ගනී. ඒකාක්ෂ පුෂ්ප මංජරියක දම් පැහැයට හුරු සුදු පැහැති මල් රැසක් හට ගනී. පුෂ්ප මංජරිය ඉදිරියෙන් වක්වී ඇති හෙයින් ඇත්හොඬ  නාමය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. තියුණු තුඩක් සහිත ඵලයක් තුල බීජ 4 ක් පමණ පිහිටයි. ඇත්සැටිය යනුවෙන්ද හඳුන්වන ඇත්හොඬ Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 
 
ඔඩුගිය වණ, තුවාල, හොරි, කඩුවේගන්, පණුකැවිලි, පරංගි, සම මතුපිට හට ගන්නා අර්බුද, පිළිකා, ඉදිමුම් සහිත දැවිල්ල, සන්ධි ප්‍රදාහය නිසා හටගත් වේදනා, අතීසාරය, දියවැඩියාව, ලිංගික, ආබාධ, ප්‍රතිශ්‍යාව, කැස්ස, උදරාබාධ, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය, තොල් පැලීම, ඇස් ඉදිමීම, කුරුලෑ, බල්ලන් සපා කෑම, උමතු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඩ සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. ඇත්හොඬ ඖෂධ සඳහා භාවිතා කිරීමේදී අමුවෙන් ගත යුතු බව සඳහන් කර ඇත. 

ක්ෂත, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඬ ස්වරසය භාවිතා කරයි. තොල් පැලීමට මල් සහ කොළ යෙදූ කෂාය යොදා ගනී. ඇස් ඉදිමීමට ප්‍රතිකාරයක් ලෙස පත්‍ර ප්‍රලේපය ස්ථානීය වශයෙන් යෙදේ. විදේශීයව ආර්තව වේදනා සමනය කිරීමටත්, ආර්තවයේදී සිදුවන ලේ වහනය පාලනයටත් ඇත්හොඬ මල් අඩු මාත්‍රාවකින් භාවිතා කරන බව සඳහන්. ඇත්හොඬ වැඩි මාත්‍රාව ගබ්සාකරක ය. චර්ම රෝගවලදී සහ සන්ධි ඉදිමීමේදී මෙම කොළ සහ මුල් ආලේප වශයෙන් යොදා ගනී. මෙම සම්පූර්ණ ශාකයම තම්බා පානය කිරීම උෂ්ණ බිබිලි සඳහා ප්‍රතිකාරයකි. පැළෑටියම තම්බා ගත් ජලය ඇස් සහ වණ සේදීමට ගනී. ඇත්හොඬ සහ එඬරු තෙල් යොදා සකස්කළ තෙල් බල්ලන් සපාකෑවිට සහ කෘමි දෂ්ඨනවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරයි. මුහුණේ සෑදෙන කුරුලෑ, දද, බිබිලි හා පණු කැවිලි ඇත්හොඬ කොළ කොටා මිරිකාගත් යුෂය ආලේප කිරීමෙන් සුවවේ. ඇත්හොඬ වණ සුව කරන, දැවිල්ල සහ ස්ථානීය වේදනාවන් සමනය කරන ගුණ සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

1 comments:

සමනළ PLANT SHOP said...

ඇත්හොඩ සමනලුන්ගේ පැවැත්මට ඉතාමත් උපකාරි වන ශාකයකි. සමනළයන් ගේ ජීවන චක්‍රය විචිත්‍රවත් ය. විවිධ වර්ගවල සමනළයන්ට, ඔවුන් බිත්තර දමන ආධාරක ශාකයක්‌ (Hදිඑ චක්‌බඑ) තිබේ. බිත්තරයෙන් දළඹුවකු එළියට එන අතර, ධාරක ශාකයේ පත්‍ර ආහාරයට ගෙන, ඉන් පසු කෝෂ අවස්‌ථාවක්‌ ගත කර, සමනළයකු ලෙසට රූපාන්තරණය කරයි.
වැඩුණු සමනළයෝ සියල්ලන් ම පාහේ මල් පැණි ආහාර ලෙස ගනිති. ඒ නිසා ඔවුන් ප්‍රිය කරන මල් වර්ග වැවීමෙන් සමනළයන් ලෙහෙසියෙන් ම ඔබේ ගෙවත්තට ආකර්ෂණය කරගැනීමට හැකි ය. සීනියාස්‌, අසෝක,කන් කුඹල, අඩනහිරියා, බලුනගුට, දාස්, සූරියකාන්ත වැනි මල් වර්ග මෙන් ම තවත් ලස්‌සනට වගා කරන මල් වර්ග බොහොමයකට ම සමනළයෝ ඇදී එති. මේ පැල මිලදි ගැනීම සඳහා අපව අමතන්න 0 723 723 888 | https://www.facebook.com/smanalaplantshop.lk

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support