දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

අත්තන [Attana] (Datura metel

අත්තන මීටරයක් පමණ උසට වර්ධනය වන කුඩා බහුවාර්ෂික ශාකයකි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිග සෙ.මි. 15 ක් සහ පළල සෙ.මි. දක්වා වර්ධනය වේ. පත්‍රවල සහ ළපටි කොටස්වල සියුම් බූවක් පිහිටයි. නලාවක හැඩයෙන් යුත් විශාල මල් විවිධ වර්ණයන්ගෙන් දැක ගත හැකිය. මලේ වර්ණය සහ දල පත්‍රවල ස්ථර ගණන අනුව ප්‍රභේද කිහිපයක් හමුවෙයි. මල්, කඳ සහ පත්‍ර නටු තද දම් පැහැයට හුරු වර්ගය කළු අත්තන නම් වේ. එළ අත්තනවල  මල් සුදු පැහැතිය. මල ස්ථර තුනකින් යුත් වර්ගය තුන්බෝ අත්තන නමින් හඳුන්වයි. අත්තන ඵලය තියුණු නොවන කටු වලින් ගහන මාංශල ස්ඵෝටිකාවකි. ඒ තුල බීජ රාශියක් පිහිටයි. අප රටට හඳුන්වාදෙන ලද ශාකයක් වන අත්තන Solanaceae උද්භිද කුලයට අයත් ය. 

මෙම Datura උද්භිද ගණයටම අයත් අත්තන වැනිම Datura stramonium යන උද්භිද නාමය සහිත මෙරටට හඳුන්වාදුන් තවත් ශාකයක් ඇති අතර එයට කියන සිංහල නමක් ගැන සඳහනක් නොමැත. මෙම කුලයටම අයත් විසිතුරු ශාකයක් ලෙස වගා කරන, විවිධ වර්ණයන්ගෙන් මල් හට ගන්නා රට අත්තන නමින් හඳුන්වන ශාකයක්ද ඇති අතර එහි ද තුන්බෝ අත්තනවල මෙන් ස්ථර කීපයක් සහිත මල් හට ගන්නා නිසා ඖෂධ සඳහා භාවිතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එම රට අත්තන ශාකය මීට කලකට පෙර Datura suaveolens යන උද්භිද නාමයෙන් හැඳින්වූ අතර වර්ථමානයෙහි Brugmansia suaveolens  නමින් හඳුන්වා ඇත. එහි ඵලය අත්තනවල මෙන් කටු නොමැති අතර දිගැටි කරලක් වැනි ආකාරයකි. 

වණ නිසා හටගත් ඉදිමුම්, ආමවාතය නිසා හටගත් සන්ධි ඉදිමුම්, බෙල්ලේ ග්‍රන්ථි ඉදිමීම්, ගෘධ්‍රසි, පියයුරුවල ඇති වන වේදනාවන්, ඔසප් වේදනා, හෘද වේදනා, අක්‍රමවත් හෘද සපන්දනය, වාත රෝග, සෙම් රෝග, හිසරදය, කැස්ස, ඇදුම, උදර වේදනා, කුසගිනි මදිකම, අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස්,  මුත්‍ර මාර්ගය ආශ්‍රිත වේදනා, වකුගඩු ගල්, උඳුගොව්වා කෑම, සම මතුපිට හටගන්නා ගෙඩි, මානසික ආබාධ, පිස්සු බලු විෂ, බරවා රෝගය, කණේ රෝග, ලේ පිටවන අර්ශස්, අකලට හිසකෙස් වැටීම සහ හිස්හොරි, වෘෂණකෝෂ ඉදිමීම, ලිංගික අප්‍රාණිකත්වය ආදී රෝග අවස්ථා රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී අත්තන ශාකයේ කොළ, මුල්, දඬු, මල්, ගෙඩි ඇට ආදිය භාවිතා කරයි. ඖෂධීය භාවිතාවේදී කළු අත්තන ගුණයෙන් අධික බවත් එහිද බීජ සහ කොළ ප්‍රමුඛ වන අතර බීජ වඩාත් ගුණයෙන් ඉහල බවත් සඳහන් කර ඇත. ආසව, සුරාසව, තෛල, වටිකා ආදී කාණ්ඩයන්ට අයත් සංස්කාරික ඖෂධ රැසක් අත්තන යොදා නිශ්පාදය කරයි. අත්තන පංචාංගය යොදා නිපදවන කනකාසවය නම් ඖෂධය කැස්ස, ඇදුම, ක්ෂය රෝග, රත්පිත,ක්ෂත ආදී රෝග රැසකට ගුණය.  

වණ, ආමවාත වැනි රෝගවලදී ඇති වන ඉදිමුම් සහිත වේදනාවලට අත්තන යොදා සිඳගත් තෙල් ආලේප කරයි. කළු අත්තන කොළ අඹරා ආලේප කිරීමෙන් පියයුරුවල වේදනාවන්, ප්‍රදාහ නිසා හටගත් ඉදිමුම් සුව වෙයි. අධික ලෙස තන කිරි වැගිරීමේදී අත්තන කොළ පැලැස්තරය හෝ කොළ නටන උණුවතුරෙහි ලා තැවීම ප්‍රත්‍යක්ෂ ප්‍රයෝගයක් ලෙස දක්වා ඇත. ඔසප් වේදනාවට අත්තන කොළ අඹරා යටි බඩෙහි පැලැස්තර යොදයි. උඳුගොව්වා කෑමට අත්තන කොළ යුෂ ආලේප කරයි. කණ් කැක්කුමට අත්තන කොළ යුෂ කණට වත් කරයි. උන්මාද රෝග සඳහා අත්තන මුලේ පොතු භාවිතා කරයි. පිස්සු බලු විෂට ප්‍රතිකාර කිරීමේදී දේශීය වෛද්‍යවරු අත්තන මල්, මුල් සහ කොළ යුෂ විවිධ යෝග සඳහා යොදා ගන්නා බව සඳහන්. ඇදුම රෝගයට වියළා කුඩුකර ගත් අත්තන කොළ සහ දඬු වූර්ණය යොදා සාදාගත් දුම් වැටියක් ඉරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයක් ලෙස දක්වා ඇත. යුනානි වෙදකමේදී ලිංගික බෙලහීනතාවය සඳහා අත්තන ඇටවලින් නිපවූ ඖෂධ බාහිරව සහ අභ්‍යන්තරව යොදයි. 

විශේෂයෙන් අත්තන ඇට ඇතුළුව අත්තන ගසේ කොටසක් විෂ සහිත බැවින් පිළිගත් සම්මත ක්‍රමවලට අනුව ශෝධනය කර භාවිතයට ගත යුතුය. අත්තන ඇටවල විෂ ඉවත්කිරීම සඳහා ගව මුත්‍රවල බහා යාම සතරක් (දිකන්) තබා පොතු ඉවත් කර භාවිතයට ගත යුතු යැයි දක්වා ඇත. එමෙන්ම මැටි මුට්ටියක එළකිරි දමා අත්තන ඇට පොට්ටනියක් එහි ගිලෙන සේ එල්ලා, තවත් මැටි මුට්ටියකින් වසා පැය තුනක් පමණ තම්බා උණු වතුරින් සෝදා ගැනීමෙන්ද ශෝධනය වේ. එය දෝලා පාක ක්‍රමය නම් වන අතර එම ඇටවුම දෝලා යන්ත්‍රය නමින් හඳුන්වයි. අත්තන ඇට මත්වන ස්වභාවයෙන් යුක්ත හෙයින් ශරීරගත වූ කළ සිහිය විකෘවීම, දිව හා උගුර වියෑළීම, ඇස් රතු පැහැ ගැන්වීම ආදී සංකූලතාවයක් ඇති විය හැකිය. විෂ මර්දනය සඳහා නිසි ප්‍රතිකාර නොකළහොත් මරණය පවා සිදු වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක කුකුරුමාන් කෂාය වැනි වමනකාරක ඖෂධයකින් වමනය කරවා ආමාශය ශුද්ධ කළ යුතුය. වමනය නැවතුනු පසු ගිතෙල්, නවනීත (වෙඬරු) සහ දොවාගත් විගස එළකිරි පානය කරවිම සුදුසු ය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
තුන්බෝ අත්තන - සේයාරුව වෛද්‍ය ප්‍රදීප් සුරංග 
Share:

3 comments:

Dhammika mohottie said...

ඉතාමත් වැදගත් දෙයක් ස්තුති ඔබට

Unknown said...

මෙවා කොහෙද තියෙන්නෙ.

Unknown said...

මුහුදු වෙරළ අශ්‍රිතව බහුලව තිබෙනවා

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support