දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 28, 2014

උක් (saccharum officinarum)

නිරන්තරයෙන් උණුසුම් දේශගුණයක් හා අධික තෙතමනය ඇති ප්‍රදේශවල වැවෙන බහුවාර්ෂික ශාකයකි. පුරුක් සහිත දිග දණ්ඩක් ඇති මෙම ශාකයේ මුල් ඇදෙන්නේ පොළොව යට පිහිටි රයිසෝමයෙනි. පොළොවෙන් ඉහල ඇති කොටසින් කොළ, අංකුර, වෙනත් වර්ධක අවයව සහ ප්‍රජනක අවයව විකසනය වේ. උක් දඬුවක් සාමාන්‍යෙයන් අඩි 4-12 දක්වා දිගැතිය. විශ්කම්භය අඟල් 1-4 දක්වා වෙයි. උක් දණ්ඩක ඇති පුරුකක් අඟල් 4-10 දක්වා විය හැකිය. එක් පුරුකක් ගැටය හා පර්වය නම් කොටස් දෙකකින් යුක්තය. උක් පත්‍ර තලය දිගය, පටුය, ඊට පත්‍ර කොපුවක් ඇත. පත්‍රයක දිග අඩි 5-6 අතර වේ. පළල අඟල් 1-3 දක්වා විය හැක. උක් ගසේ මූල පද්ධතිය බෙදී යන මුල් විශාල සංඛාවකින් යුක්තය. 

නිවර්තනික ප්‍රදේශ වලදී උක් ගස්වල මල් පිපේ. එහෙත් ඇට සෑදෙන්නේ ඉතාම කලාතුරකිනි. මෙහි පුෂ්ප මංජරිය අඟල් 18 පමණ දිග පිහාටුවක් වැනි සංයුක්ත ඒකාක්ෂයකි. උක් වගාකරන්නේ මුල් අද්දවා ගත් පසු පොළොවට යට කෙරෙන කොටස්වලිනි. ඒවායින් අලුත් උක් ගස් පැලවේ. උක් වගාවට යෝග්‍ය දියළු ලොම් පසය. 

උක් වගාකරන රටවල් රැසකි. කියුබාව, ඉන්දියාව, ලංකාව, බාබඩෝස්, මුරුසිය, ග්වාතමාලා, එල්-සැල්වදෝර්, ආර්ජන්ටිනා, වෙනිසියුලා, එක්සත් ජනපදය, පාකිස්ථානය හා ෆීජී ඉන් සමහරකි.

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල උක් “ඉක්ෂු“ යන නමින් හඳුන්වා ඇත. සුශ්‍රැත සංහිතාවෙහි උක් ප්‍රභේද දොලහක් දැක්වේ. රාජානිඝණ්ටුව නම් වෛද්‍ය ග්‍රන්ථයේ සීත, පුණ්ඩ්, කරංග, කෘෂ්ණා හා රක්ත යයි උක් පස් වර්ගයක් ගැන සඳහන් වේ. 

සීක උක් - ආහාර රුචිය ඇති කරයි, සෙම් හා මූත්‍ර වඩවයි, කුසගින්න වඩයි, පිත නිසා සිරුරේ හට ගන්නා දැවිලි නසයි.

පුණ්ඩු උක් - ඉතා මිහිරිය, සිසිල්ය, සෙම වඩයි, පිත් නසයි, ආහාර රුචිය ඇති කරයි, ශරීරය සන්තර්පණය කරයි. 

කරංග උක් - මිහිරිය, සිසිල්ය, ධාතු පෝෂණය කරයි, කුසගින්න වඩයි, පිත නිසා හට ගත් දැවිලි සුව කරයි. 

කෘෂ්ණ උක් - කළු පැහැතිය, මිහිරිය, හෘදයට හිතය, තුන් දොස් පහ කරයි, ශරීර ශක්තිය ඇති කරයි.

රක්ත උක් - මිහිරිය, ධාතු පෝෂණය කරයි, කුසගින්න වඩයි, පිත නිසා හට ගත් දැවිලි ගතිය පහ කරයි.

මුත්‍ර හටගැන්වීම සඳහා උක් යහපත්ය. රත්පිත, නාසයෙන් ලේ ගැලීම හා පාණ්ඩුව ආදියට දෙන බෙහෙත්වලට උක් පැණි යොදනු ලැබේ. ආසව, අරිෂ්ට, ලේහ, සෘත හා ක්වාථ ආදිය තැනීමේදී උක් පැණි හා උක් හකුරු භාවිත කෙරේ. 

ආයුර්වේදීය, දේශීය හා යුනානි යන වෛද්‍ය ක්‍රම වල උක් පැණි භාවිතා වන ඖෂධ රාශියකි. යකෘත් ප්‍රදාහය, කාමලාව ආදී රෝගවලින්ද පැපොල හා සරම්ප රෝග වලින්ද සුවය ලබන අයට සුවය ඉක්මන් කරනු පිණිසත් රෝගීව තිබූ යකෘතය ආදී අවයව පෝෂණය කරනු පිණිසත් උක් පැණි දෙනු ලැබේ. උක් පැණි ඖෂධ රාශියකට එකතු කෙරෙන ද්‍රව්‍යයකි. එය ප්‍රතිවාප සේ ගැනෙන ඔසු රුසක් තිබේ. උක් මධුමේහය හෙවත් දියවැඩියාව තිබෙන අයට අපථ්‍යයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support