දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Thursday, May 29, 2014

එනසාල් (Elettaria cardamomum)

කරඳමුංගු ලෙසද හඳුන්වන මෙය ලංකාව, ඉන්දියාව, බුරුමය හා මලයාව යන රටවල කඳුකර තෙත් වනාන්තර නිජබිම කොටගත් බහුවාර්ෂික පැලෑටියකි. එම රටවල මෙය වනගත පැලෑටියක් සේ වැවේ. එනසාල් ආර්ථික භෝගයක් ලෙස එම රටවල විධිමත්ව ද වවනු ලැබේ. අඩි 2000-5000 අතර උසැති අඟල් 60- 230 ත් අතර වර්ෂාපතනයක් ඇති ප්‍රදේශ එනසාල් වගාවට යෝග්‍ය වේ. මෙය පොළොව යට පිහිටි රයිසෝමයකින් මතුව අඩි 4-15 දක්වා ඉහල නගින ශාකයකි. කොළ අඩි 1-3 අතර දිගැතිය. ඉලිප්සාකාරය. සංයුක්ත ඒකාක්ෂවල මල් පිපේ. මල අඟල් 1 1/2 පමණ දිගු වන අතර සුදු හෝ ළා පලාවන් පැහැතිය. ද්වීලිංගිකය. ඵලය ස්ඵෝටිකාවකි. එහි හැඩය අණ්ඩාකාර හෝ ආයත වේ. එනසාල් කුළුබඩුවක් සේම ඖෂධයක් සේද වැදගත්ය. එනසාල් Zingiberaceae හෙවත් ඉඟුරු කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල "ඒලා" හා "උපකුංචිකා" යන නම් වලින් එනසාල් හැඳින්වේ. ඖෂධීය වශයෙන් හීන් එනසාල් හා මහ එනසාල් යනුවෙන් දෙවර්ගයකි. හීන් එනසාල් සිසිල් ගුණ ඇත්තේය. සැහැල්ලුය, ආහාර රුචිය වඩයි, හෘදයට හිතය, වාතය නසයි, කුසගිනි වඩයි. මුත්‍ර අඩස්සිය, අර්ශස් හා සෙම් රෝග පහ කරයි. මහ එනසාල් තිත්තය, සැහැල්ලුය, ඌෂ්ණය, කුසගිනි වඩයි, සෙම් පිත්, වමනය හා පිපාසය නසයි. මුඛය, ශීර්ෂය හා ගුදය ආදී ස්ථානවල හටගන්නා රෝගවලට අන්‍ය ඖෂධ හා සමග යොදනු ලැබේ. එනසාල් කාමෝද්දීපකය. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
Share:

1 comments:

Unknown said...

Very importent post ekak

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support