දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

අළු පුහුල් (Benincasa hispida)

ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18 දක්වා වැඩෙන ඵලය සිලින්ඩරාකාර මාංශල බදරියකි. එහි පිට පොත්තේ සුදු පැහැති ඇලෙන සුලු කුඩක් ඇත. ඵලය තුළ ලා කහ පැහැති ඇට බොහෝ ය. ලංකාව, ඉන්දියාව, මලයාව, චීනය, ජපානය හා නිවර්තන අප්‍රිකාව යන රටවල වවනු ලැබේ. ලංකාවේ හේන් වල වගාකරන අතර ගෙවතු වල ද දක්නට ලැබේ. අළු පුහුල් ව්‍යාංජනයක්, ඖෂධයක් සහ රස කැවිලි සෑදීම සඳහාත් භාවිත කෙරේ. අළු පුහුල් Cucurbitaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම
සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල අළු පුහුල් හැඳින්වෙන්නේ “කුෂ්මාන්ඩ“ යන නමිනි. කඩා මාස කිහිපයක් ගත වූ අළු පුහුල් ශරීරය නිවා තර කරයි. ශක්තිය ලබා දෙයි. රත්, පිත් හා වාත දෝෂ නසයි. කුසගිනි වඩයි. අන්ත්‍ර හෙවත් බඩවැල් ශුද්ධ කරයි. පිත් දෝෂ සමනය කරයි. අළු පුහුල් ඇට මූත්‍රා අඩස්සිය හෙවත් හරිහැටි මූත්‍ර පහ නොවීමට ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එම ඇට අඹරා යටි බඩේ ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සිය පහව යයි.
 

අළු පුහුල් යුෂ ක්ෂය රෝගය, සිහි විකල් වීම, මීමැස්මොරය, පෙණහලුවල වණ, පීනස හා ඇඳුම ආදියට ප්‍රතිකාර වශයෙන් යොදනු ලබන ඔසු තැනීමට ගනු ලැබේ. අළු පුහුල් කොළ හා දඬු යොදා තනා ගන්නා කෂාය විෂ පෙවුන විට මාහැඟි ප්‍රතිකාරයකි. යුනානි වෙදකමේ අළු පුහුල් ඇට වලින් සිඳින තෙලක් හිස සිසිල් කිරීමට නිර්දේශ කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇති වන ලේ ගැලීම් නැවත් වීමට අළු පුහුල් යුෂ යොදා ගනී. තවත් ඖෂධ හා මිශ්‍ර කොට ප්‍රධාන වශයෙන් අළු පුහුල් වලින් තනනු ලබන “ඛණ්ඩකුෂ්මාණ්ඩය“, “වාසකුෂ්මාණ්ඩඛණ්ඩය“ සහ“කුෂ්මාණ්ඩසෘතය“ ශරීරය තරකොට දාහය හෙවත් දැවිල්ල නිවා බලවර්ධනය කරන ඖෂධ රසායනයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර


Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support